උණුසුම් කාලගුණය මැයි දක්වා - අප්‍රේල් මාසයෙ උණුසුම තවත් ඉහළට

Published in පුවත්
Friday, 27 March 2026 16:37

පවතින උණුසුම් කාලගුණික තත්ත්වය එළැඹෙන මැයි මාසය දක්වා පවතිනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුවේ අතිරේක කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් අජිත් විජේමාන්න මහතා පැවසුවේ නිරිත දිග මෝසම මැයි මාසයේ අග ක්‍රියාත්මක වීමට නියමිත බැවින් එම කාලය තුළ පවතින උණුසුම් කාලගුණය තරමක් පහව යනු ඇතැයි අපේක්ෂා කරන බවය.

පවතින තත්ත්වය තුළ අප්‍රේල් සහ මැයි මාසය දක්වා උණුසුම් කාලගුණික තත්ත්වයක් දක්නට ලැබෙන බවත් පැවසූ ඒ මහතා පැවසුවේ ඒ අනුව අප්‍රේල් මාසයේත් දැඩි උණුසුම් තත්ත්වයක් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට බලපානු ඇති බවය.

මේ වන විට ආරම්භ වී ඇත්තේ පළමු අන්තර් මෝසම් කාලගුණික තත්ත්වය බව පෙන්වා දුන් ඒ මහතා මේ වන විට නිෂ්චිත දිසාවකින් සුළං හැමීමක් නොමැති බවත් සුළඟේ වේගය ද ඉතාමත් අඩු බවද සඳහන් කළේය.

එමෙන්ම මෙම කාලය තුළ සූර්යා මුදුන්ව පැවතීම සහ වළාකුළු අඩුවීම තුළින් මුහුද සහ ගොඩබිම රත්වීම තුළින් තාප තරංග නිකුත් කිරීම් සිදුවන බවත් ඒ හරහා වායුගෝලය උණුසුම් වීම සිදුවනු ඇති බවත් සඳහන් කළේය.

තවද උණුසුම් කාලගුණය දවසේ උදෑසන 11 සිට සවස 4 දක්වා වූ කාලය තුළ තදින්ම ඇතිවන බවත් පැවසූ ඒ මහතා එම කාලය තුළ එළිමහන් ක්‍රියාකාරකම් හැකිතාක් අවම කිරීමත් නිරන්තර ජලය පානය කිරීම වැදගත් බවත් පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අතිරේක කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් අජිත් විජේමාන්න මහතා,

"අපි ඉන්නේ පළවෙනි අන්තර් මෝසම් කාලයේ. පළවෙනි අන්තර් මෝසම් කාලය මාර්තු - අප්‍රේල් මාස දෙකේ තමයි පවතින්නේ. ඊට පස්සේ පටන් ගන්නවා නිරිත දිග මෝසම මැයි මාසයේ මැද ඒ කියන්නේ 20න් පස්සේ වගේ ඉඳලා ඉස්සරහාට මාස 5ක් වගේ. මේ පළවෙනි අන්තර් මෝසම් කාලය ගත්තොත් දිවයින හරහා නිෂ්චිත දිසාවකින් සුළං හමන්නේ නෑ. සුළඟේ වේගයත් ඉතාමත් අඩුයි. ඒ වගේම තමයි මේ කාලයේ ඉර මුදුන් වෙලා තිබෙනවා දිවයිනට. ඒ වගේම වළාකුළු අඩුයි, සූර්ය රස්නයත් අපිට කෙළින්ම ලැබෙනවා. මුහුද රත්වෙනවා, ගොඩබිම රත්වෙනවා, එහෙම රත්වුණාම මුහුදෙන්, ගොඩබිමෙන් තාප තරංග නිකුත් කරනවා. එතකොට වායුගෝලය හොඳටම උණුසුම් වෙනවා.

සාමාන්‍යයෙන් ගත්තොත් අප්‍රේල් මාසය සහ මැයි මාසය රස්නෙයි අනිත් මාසවලට සාපේක්ෂව දිගින් දිගටම මාර්තු, අප්‍රේල් දරාගන්න බැරි උණුසුමක් එනවා. ඒක මේ දේශගුණික වෙනස්වීමත් එක්ක එන්න එන්න වැඩිවෙලා තිබෙනවා. අපි බලාපොරොත්තු වෙනවා අප්‍රේල් මාසයේ සහ මැයි මාසයේත් දැඩි උණුසුම් තත්ත්වයක් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට බලපායි.

සාමාන්‍යයෙන් ගත්තොත් ජූලි - අගෝස්තු වැස්ස අඩුයි. හැබැයි මේ තත්ත්වය ගත්තොත් හොඳටම අඩුවෙනවා ඒ කියන්නේ නියඟයක් වගේ එන්න පුළුවන්. නමුත් මේ තත්ත්වයන් තුළ දෙවන අන්තර් මෝසමේ ඒ කියන්නේ ඔක්තෝබර් - නොවැම්බර්, ඊට පස්සේ ඊසාන දිග මෝසම නොවැම්බර්වලින් පටන් ගන්නේ එතැනදි ආයේ වැස්ස වැඩි වෙන්න පුළුවන්. මේ තත්ත්වය තුළ වැස්ස අඩු වීමක් බලාපොරොත්තු වෙන්න පුළුවන් මේ එල් නිනෝ තත්ත්වය තුළ.

අද දවසේ ගත්තොත් වැඩි වෙන්නේ හවස අපි ජනතාවට කියන්නෙත් උෂ්ණත්වය වැඩි වෙන්නෙත් හවස 3ට විතර මේ දිනවල ගත්තොත් මධ්‍යම පලාතයි බදුල්ල දිස්ත්‍රික්කයයි හැරෙන්න අනිත් හැමතැනකම උණුසුම් දර්ශකය මිනිස් සිරුරට දැනෙන මට්ටමක තිබෙනවා සහ ඒ ගැන අවධානයෙන් ඉන්න කියලා. විශේෂයෙන් ගත්තොත් උදේ 11 ඉඳලා හවස 4 වෙනකන් කාලය තමා හරිම අමාරු. ඒ වෙලාවට අපි කියන්නේ ක්‍රීඩා කරන අයට හරි වැඩ කරන අයට හරි එළිමහනේ ඉන්න එපා. හැකිතරම් වතුර හරි දියර ජාති බොන්න ඒ වගේම එළිමහනේ යනකොට අඳින ඇඳුම පවා පාට අඩු ඇඳුමක් අඳින්න. විශේෂයෙන් කුඩා ළමුන් සහ වැඩිහිටි පුද්ගලයින් පුළුවන් තරම් මේ අවස්ථාවේ එළිමහනට නොයා සෙවන තිබෙන තැනක ඉන්නවානම් තමයි හොඳ"

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us