මැදපෙරදිග කලාපයේ පවතින ගැටුම්කාරී වටපිටාව හමුවේ නාවික ප්‍රවාහන කටයුතු අඩාල වීම සහ ඉහළ ගොස් ඇති යුද අවදානම හේතුවෙන් මැදපෙරදිග රටවල් කිහිපයකට තේ සැපයීමට ඇති හැකියාව බරපතළ ලෙස සීමා වී ඇත.
එබැවින් මෙම තත්ත්වය දිගින් දිගටම පැවතුණහොත් මෙරටට ලැබෙන විදේශ විනිමය ආදායමට එය දැඩි බලපෑමක් එල්ලවිය හැකි බව කරනු ඇති බව ඔවුන් සඳහන් කරයි.
මෙරට සමස්ත තේ අපනයනයෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් මිලදී ගනු ලබන්නේ මැදපෙරදිග රටවල් වන අතර වාර්ෂිකව තේ අපනයනයෙන් උපයන ඩොලර් බිලියන 1.5 ක ආදායමෙන් ඩොලර් මිලියන 530 ක් මෙම කලාපයෙන් ලැබේ.
කෙසේවෙතත් පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් තේ වතු හිමියන්ගේ සංගමය විසින් තේ කර්මාන්තය මුහුණ දෙන අනපේක්ෂිත අවදානම් පාලනය කිරීමට රජය වෙත යෝජනාවලියක් ඉදිරිපත් කර ඇත.
ඒ අනුව රුපියල අවප්‍රමාණය වීමෙන් ලැබෙන විදේශ විනිමය වාසිය තේ ඉඩම් හිමියා වෙත ගලා යාම සහතික කිරීම සඳහා විනිවිදභාවයකින් යුතු මිල සූත්‍රයක් ක්‍රියාත්මක කිරීම, යුද අවදානම හේතුවෙන් අලෙවි කරගත නොහැකිව ගොඩගැසෙන තේ තොග සුරක්ෂිතව තබා ගැනීමට රජයේ ගබඩා පහසුකම් සහනදායී ලෙස ලබා දීම සහ වගාකරුගේ ආදායම ස්ථාවර කිරීමට රාජ්‍ය මැදිහත්වීමෙන් තේ මිලදී ගැනීමේ විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම මෙහිදී යෝජනාවී ඇත.
එමෙන්ම යුද වාතාවරණය නිසා ඉහළ ගොස් ඇති ජාත්‍යන්තර රක්ෂණ සහ නාවික ගාස්තු හේතුවෙන් ඇති වන අතිරික්ත පිරිවැය, තේ ඉඩම් හිමියන්
මත පැටවීම හෝ අමු දලු මිල ගණනය කිරීමේදී ඊට බලපෑමක් ඇති කිරීම වහාම නැවැත්විම මෙන්ම එළැඹෙන සිංහල සහ දෙමළ අලුත් අවුරුදු සමයේ ඉඩම් හිමියන් මුහුණ දෙන මූල්‍ය පීඩනය සමනය කිරීමට සහනදායී කාරක ප්‍රාග්ධන ණය පහසුකමක් රජය මැදිහත්ව ලබා දීමද මෙම යෝජනාවලියට ඇතුළත්ව තිබේ.
නිෂ්පාදන පිරිවැය අවම කිරීම සඳහා රජය සෘජුව මැදිහත්ව සහනදායී මිලට පොහොර ආනයනය කළ යුතු බවත් අපනයන වෙළෙඳපොළ යුද අවදානම් සහිත කලාපවලින් ඔබ්බට නව විභවතාවයන් සහිත වෙළෙඳපොළවල් කරා යොමු කළ යුතු බවත් එහි සඳහන් වේ.
අපනයන සෙස් බදු මුදලින් සියයට 15ක් වෙන් කර, යුද අවදානම්, දේශගුණික විපර්යාස සහ මිල පහත වැටීම වැනි අනපේක්ෂිත වෙළෙඳපොළ අස්ථාවරවීම්වලදී ඉඩම් හිමියාගේ මූල්‍ය ස්ථාවරත්වය සුරක්ෂිත කිරීමට ස්වාධීන අරමුදලක් පිහිටුවීමටද මෙමගින් යෝජනාකර ඇත.

