ඒ අනුව ඔහුව පැය 72ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරන බව පොලීසිය සඳහන් කළේය.
2019 වසරේ අප්‍රේල් 21 වැනිදා පාස්කු ඉරුදිනයේ සහරාන් හෂීම් ප්‍රමුඛ ම්ලේච්ඡ අන්තවාදීන් කණ්ඩායමක් දිවයිනේ ස්ථාන 08කදී සිදුකළ මරාගෙන මැරෙන ප්‍රහාර 10කදී පුද්ගලයින් 273ක් ජීවිතක්ෂයට පත්විය.
අනතුරුව අදාළ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් විමර්ශන ඇරඹි අතර, පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් සහ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවක් ඔස්සේද විමර්ශන සිදු කෙරුණි.
එකී සියලු විමර්ශනවලින් අනාවරණය වූ කරුණු මත ත්‍රස්ත ප්‍රහාරය සිදුකළ කණ්ඩායම් සමග සෘජුව සම්බන්ධතා පවත්වා තිබූ නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 25 දෙනෙකුට එරෙහිව කොළඹ ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කළේය.
ඊට අදාළ නඩුව මේ වනවිට දිනපතා විභාග කෙරෙමින් පවතී.
මෙවැනි පසුබිමක පාස්කු ඉරුදින ප්‍රහාරය පිටුපස දේශපාලන හස්තයක් ඇතැයි දිගින් දිගටම ඇතැම් පාර්ශ්ව චෝදනා කළේය.
ඒ අතරවාරයේ හිටපු හමුදා බුද්ධි අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සහ තවුහිද් ජමාත් සාමාජිකයන්ගේ සහභාගිත්වයෙන් පැවති හමුවකදී රාජපක්ෂවරුන් යළි බලයට ගෙනඒම සඳහා රට තුළ අනාරක්ෂිත තත්ත්වයක් ඇතිකිරීමට යෝජනා වූ බවට බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ නාලිකාවේ වාර්තාමය වැඩසටහනකින් චෝදනා එල්ල කෙරුණි.
ඒ කලක් පිල්ලෙයාන්ගේ මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කළ මේ වනවිට ස්විට්සර්ලන්තයේ දේශපාලන රැකවරණ පතන අසාද් මව්ලානා සිදුකළ ප්‍රකාශයකින්ය.
ඒ අනුව පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ රහසිගත විමර්ශනයක් පිළිබඳ පසුගිය සමයේ අවස්ථා කිහිපයකදී කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට වැඩිදුර වාර්තා මගින් කරුණු දක්වා තිබුණි.
එවැනි පසුබිමක හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරල් තුවාන් සුරේෂ් සලේ මහතාව අද පෙ.ව. 8.10ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයට ආධාර අනුබලදීම හා කුමන්ත්‍රණය කිරීමේ චෝදනාව යටතේ ඔහු අත්අඩංගුවට පත්විය.
සලේ මහතා පෑලියගොඩ පිහිටි පෞද්ගලික ආයතනයක සේවය සඳහා යමින් සිටියදී අත්අඩංගුවට ගත් බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.
අනතුරුව ඔහුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙනවිත් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.
එමෙන්ම ඔහු භාවිත කරන පරිගණක, ඔහුගේ නිවස, බැංකු ගිණුම් හා ඊමේල් පණිවිඩ පරීක්ෂා කිරීමට නියමිත බවය වාර්තා වේ.
සුරේෂ් සලේ මහතා පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් ඇතැම් තොරතුරු දැන සිට, ඒ පිළිබඳව අදාළ පාර්ශ්වයන් දැනුම්වත් කර නොමැතිද යන්න පිළිබඳව විමර්ශකයින්ගේ අවධානය යොමු වී ඇති බවද සඳහන්ය.
පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බවට සැකකෙරෙන තවත් ප්‍රබල චරිත කිහිපයක් සම්බන්ධයෙන් මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශනවල අවධානය යොමු වී ඇති බව වාර්තා වේ.
මේ අතර රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානි සුරේෂ් සලේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මහ මඟදී අත්අඩංගුවට ගැනීම තරයේ හෙලා දකින බව ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා අභියාචනාධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබේ.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා යුද හමුදා හිටපු බුද්ධි අංශ සාමාජිකයෙකු වන කර්නල් කැලුම් මන්දුමගේ විසින් ඉදිරිපත් කළ පෙත්සම අද සලකා බැලූ අවස්ථාවේදී පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා මේ බව පවසා ඇත.
එහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා, සුරේෂ් සලේ මෙරට ජාතික ආරක්ෂාව සුරක්ෂිත කිරීම සඳහා දැවැන්ත කාර්යභාරයක් ඉටුකර තිබෙන බවත් කොටි නායක තමිල් සෙල්වම් විනාශ කිරීම සඳහා ඔහු මුල්වී ක්‍රියා කළ බවත් ඔහු පෙන්වා දී ඇත.
කොටි නායකයෙකු වන කුමරන් පද්මනාදන් මැලේසියාවට ගොස් මෙරටට රැගෙන එනු ලැබුවේද සුරේෂ් සලේ විසින් බවත් ජාතික ආරක්ෂාව සමග ක්‍රීඩා කිරීම නුසුදුසු බවත් එහිදී පවසා ඇත.
2015 වසරේ සිදු වූයේත් මෙවැනි තත්ත්වයේ ක්‍රියාවක් යැයි සඳහන් කළ ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා අවසානයේ දී මුළු ජාතික ආරක්ෂාවම අනතුරේ වැටුණු බවත් පවසා ඇත.
වවුනතීව් ප්‍රදේශයේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු මරා දැමීමේ සිද්ධියට අදාළ විමර්ශන නොමග යැවීමට කටයුතු කළේ යැයි චෝදනා කරමින් සිය සේවාදායකයාට එරෙහිව වර්තමානයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා එවැනි විමර්ශනයක් සිදු කිරීමට කිසිදු සාක්ෂියක් නොමැති බවත් සඳහන් කර ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතාගේ මෙහෙයවීම යටතේ සිදු කරන මෙම විමර්ශනය හරහා සිය සේවාදායකයාට සාධාරණයක් අපේක්ෂා කළ නොහැකි බවත් ඔහු කියා ඇත.
අසාද් මවුලානා නමැති දේශපාලන සරණාගත භාවය අපේක්ෂා කරන අයෙකු බ්‍රිතාන්‍ය රූපවාහිනී නාලිකාවකට කරන ලද ප්‍රකාශයක් පදනම් කරගෙන මෙම විමර්ශනය ආරම්භ කර තිබෙන බවත් මෙවැනි විමර්ශන හරහා වින්දිතයින්ට කිසිදා යුක්තිය ඉටු නොවන බවත් ඔහු සඳහන් කර ඇත.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට ඉන්දීය බුද්ධි අංශ මෙන්ම මෙරට බුද්ධි අංශ කලින්ම අනතුරු අඟවා තිබියදී එය වළක්වා ගැනීමට පොලීසිය අවශ්‍ය පියවර නොගැනීම නිසා මෙම ඛේදවාචකය උද්ගත වූ බවත් ඔහු පෙන්වා දී තිබේ.
අද දින ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතාගේ කරුණු දැක්වීම අවසන් කෙරුණු අතර වැඩිදුර කරුණු සලකා බැලීම මාර්තු මස 24 වනදා දක්වා කල් තැබීමට විනිසුරු මඩුල්ල නියෝග කළේය.

