“අස්වැසුම’’ ප්‍රතිලාභය ලබා ගැනීම සඳහා 2023 වසරේදී අයැදුම්පත් ඉදිරිපත් කර ප්‍රතිලාභ ලබන හෝ නොලබන අයගේ තොරතුරු යාවත්කාලීන කිරීමේ කටයුතු මේ දිනවල සිදු කෙරෙන්නේය.
එම තොරතුරු යාවත්කාලීන කිරීම හෙටින් (20 වැනිදා) අවසන් වන බවද සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය සඳහන් කරයි.
මෙම තොරතුරු යාවත්කාලීන කිරීම මාර්ගගත ආකාරයට (online) හෝ අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සුභ සාධක ප්‍රතිලාභ ඒකකය හරහාද සිදු කිරීමට අවස්ථාව සලසා ඇත. එමෙන්ම,විදාතා සම්පත් මධ්‍යස්ථාන හරහා සේම අයැදුම්පත් තැපෑලෙන් යොමු කිරීමෙන්ද අස්වැසුම ප්‍රතිලාභීන්ට සිය තොරතුරු යාවත්කාලීන කළ හැකි බවද සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය සඳහන් කරන්නේය.
අස්වැසුම ප්‍රතිලාභය ලබා ගැනීම සඳහා 2023 වසරේදී ලක්ෂ 29 ක් පමණ ඉල්ලුම්කර තිබෙන බවද, ඉන් ලක්ෂ 16 ක් පමණ මේ වනවිට ප්‍රතිලාභ ලබන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති නිමල් කොටවෙලගෙදර පැවසීය. මේ අනුව, ප්‍රතිලාභ ලබන සහ නොලබන අයගේ තොරතුරු යාවත්කාලීන කිරීමට මේ වනවිට අ වස්ථාව ලබාදී ඇතැයිද ඔහු කීවේය.
පනත අනුව මාස 12 කට වරක් අදාළ තොරතුරු යාවත්කාලීන කළ යුතු වූවත්, 2023, 2024 සහ 2025 වර්ෂවලදී අදාළ තොරතුරු යාවත්කාලීන කිරීමට නොහැකිවී ඇතැයිද සභාපතිවරයා පැවසුවේය.
මෙම තොරතුරු යාවත්කාලීන කිරීමේ වැඩපිළිවෙළ ඉකුත් වසරේ (2025) නොවැම්බර් මස 10 වැනිදා සිට ආරම්භ කළ බවද ඔහු කීවේය.
මෙම අවස්ථාවේ මුලින්ම සිදුකළ යුත්තේ සිය තොරතුරු වෙනස්වී ඇතිද, නැතිද යන්න ප්‍රකාශයට පත් කිරීම බවත්, ඒ අනුව ඉකුත් ජනවාරි 19 වැනිදා දක්වා ඊට අවස්ථාව ලබාදී තිබූ බවත්, එම අවස්ථාව ප්‍රයෝජනයට ගෙන තොරතුරු යාවත්කාලීන නොකළ සංඛ්‍යාවක් සිටින බවත් ඔහු කීවේය.
ඒ අනුව, අන්ත දිළිඳු කාණ්ඩයේ පුද්ගලයන් 28,608 ක් සහ දිළිඳු කාණ්ඩයේ පුද්ගලයන් 56,548 ක් සිය තොරතුරු වෙනස්වී තිබේද, නැතිද යන්න යාවත්කාලීන කර නැතැයිද සභාපතිවරයා පැවසුවේය. ඒ අනුව, එම කාණ්ඩ දෙකේ 85,156 ක් එම තොරතුරු යාවත්කාලීන කර නැත.
මෙලෙස තොරතුරු යාවත්කාලීන නොකිරීම නිසා, සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් ඊළඟ දීමනා ගෙවීමේ ක්‍රියාවලිය ආරම්භ කරන විට ඔවුන්ව ගෙවීම්වලින් නතර වන බවද ඔහු පැවසීය. ඒ නිසා ඔවුන්ට විශාල අසාධාරණයක් සිදුවන බවද ඔහු කීවේය.
මෙම පිරිස දැනුවත් කිරීමට කටයුතු කර ඇතත්,ජනතාව අතරට එම පණිවුඩය ගොස් නැතැයිද සභාපතිවරයා කීවේය. මෙම තොරතුරු යාවත්කාලීන කිරීම සම්බන්ධව ග්‍රාම නිලධාරීවරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන් දැනුවත්කර ඇතැයිද සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය කියයි.
සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් දිළිඳු කාණ්ඩයට මාසිකව රුපියල් 10,000 ක ප්‍රතිලාභයක්ද, අන්ත දිළිඳු කාණ්ඩයට මාසිකව රුපියල් 17,500 ක ප්‍රතිලාභ ලබා දෙන්නේය. සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් අන්ත දිළිඳු කාණ්ඩයේ ප්‍රතිලාභීන් 423,293 කටද, දිළිඳු කාණ්ඩයේ ප්‍රතිලාභීන් 851,042 කටද ඉකුත් පෙබරවාරි මාසයේදී “අස්වැසුම“ප්‍රතිලාභ ගෙවා තිබිණි.
“අස්වැසුම’’ප්‍රතිලාභ වැඩසටහන පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමට ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී ඊයේ (18 වැනිදා) පැවැති වැඩමුළුවකදී මෙම තොරතුරු අනාවරණය කෙරිණි.

