අගරදගුරු හිමිපාණන් සහ තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ඇතුළු පාර්ශව කිහිපයක් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කර තිබුණා.
අගවිනිසුරුවරයා ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ එය අද (12) කැඳවූවා.
මීට පෙර දේශබන්දු තෙන්නකෝන් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා එහිදි කියා සිටියේ තමන් තවදුරටත් සිය සේවා දායකයා වෙනුවෙන් පෙනී නොසිටින අතර ඊට අදාල පෙරකලාසීය ඉවත් කරගෙන තිබෙන බවයි.
දේශබන්දු තෙන්නකෝන් මහතා මේ වනවිට පොලිස්පති ධූරයෙන් ඉවත් කර ඇති බැවින් මෙම පෙත්සම් තවදුරටත් පවත්වාගෙන යාමේ පදනමක් නොමැති බව හිටපු කතානායකවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා පැවසුවා.
පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ඉල්ලා සිටියේ මේ සම්බන්ධයෙන් තීන්දුවක් අපේක්ෂා කරන බවයි.
එහිදි අගවිනිසුරුවරයා පැවසුවේ හිටපු පොලිස්පතිවරයා ඉවත් කර ඇති බැවින් මෙම නඩුව විභාග කිරීම ” පාලු ගෙදර වලං බිඳීම” වැනි ක්‍රියාවක් විය හැකි බවයි.
මෙහිදී නීතිපතිවරයා වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා කරුණු දක්වමින් මෙම පෙත්සම්වල වග උත්තරකරුවෙකු වශයෙන් නම් කර සිටින වත්මන් ජනාධිපතිවරයා සිය ලේකම්වරයා මාර්ගයෙන් ඉකුත් වසරේ ජනවාරි (28) වනදා දිවුරුම් ප්‍රකාශයක් මගින් දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා වශයෙන් පත්කිරීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමේ දී ආණ්ඩුක්‍රම ව්‍යස්ථාදායක සභාව අනුගමනය කළ ක්‍රියාපටිපාටිය දෝෂ සහගත බව ප්‍රකාශ කර ඇති බව සඳහන් කළා.
එම කරුණු සම්බන්ධයෙන් සලකා බැලූ පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරුන් ජනාධිපතිවරයා ඉදිරිපත් කරන එම කරුණ අධිකරණය හමුවේ සටහන් තැබීමෙන් අනතුරුව පෙත්සම් විභාගය අවසන් කිරීමට එකඟතාව පළ කළා.
ඒ අනුවයි පෙත්සම් විභාගය අවසන් කිරීමට තීන්දු කෙරුණේ.

