ඔහු මේ බව කියා සිටියේ පුදුකුඩුඉරිප්පු නගරයේදී පැවැත් වූ ලෝක පොල් දින සැමරුමට සමගාමීව “රටම සරු කරයි නිරතුරු - කප්තුරු සවිය” උතුරේ පොල් ත්‍රිකෝණය දියත් කිරීමේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින්.
එහිදී ජනාධිපතිවරයා ජාතිවාදී දේශපාලනය කිසිවිටෙකත් පොදු ජනතාවට සේවයක් සපයා නොමැති බවත්, එය හුදෙක් දේශපාලනඥයින්ගේ මෙවලමක් පමණක් වන බව ද අවධාරණය කර සිටියා.
එසේම කොතැනක හෝ කුමන ආකාරයකින් එවැනි ජාතිවාදී දේශපාලනයක් පැනනඟින්නේ නම් ජනතාව එය ප්‍රතික්ෂේප කරනු ඇතැයි තමා විශ්වාස කරන බවද සඳහන් කළා.
තවද 30 වසරක යුද්ධය මෙරට ඉතිහාසයේ සිදුවු විශාලතම ඛේදවාචකය වන බවත්, එහි ප්‍රතිඵලයක් වශයෙන් ජනතාව ඈත් වූ බවත් සඳහන් කළ ජනාධිපතිවරයා, උතුරේ සහ දකුණේ බලය ලබාගන්නා ප්‍රධානතම මෙවලම බවට ජාතිවාදය පත්වූ බව ද පැවසුවා.
ඉකුත් මැතිවරණයේ දී රටේ ජනතාව එම තත්ත්වය පරාජයට පත්කළ බවත්, වර්තමානය වනවිට යුද්ධයක් පිළිබඳ අනියත බියක් නිරන්තරයෙන් ගොඩනඟමින් දකුණේ දේශපාලනයක් ක්‍රියාත්මක වෙමින් ඇති බවද අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළා.
ඊට අමතරව ආණ්ඩුව සෑමවිටම ජාතිවාදී ගැටුමක් ඇති නොවීමට කටයුතු කරමින් සිටින බවත්, ඒ වෙනුවෙන් ඉතාම තීරණාත්මක තීන්දු තීරණ ගැනීමට කිසිවිටෙකත් බිය නොවන බවත් පවසමින් වැඩිදුරටත් සඳහන් කළේ,
"මට මතකයි පහුගිය මැතිවරණයේ දී මේ ආසන්නයට ඇවිත් මේ ජනතාව මුණගැහුණා. අපිට අවශ්‍යයි යළි විනාශයට පත්වී තිබෙන මේ ප්‍රදේශ සහ ජනතාවට ජීවය කැටුව ඒමේ උවමනාවක් අපිට තියෙනවා. විශේෂයෙන්ම පහුගිය මැතිවරණවලදී මේ ප්‍රදේශවල ජනතාව ප්‍රබල ඉදිරි පියවරක් තබලා අපි ගැන විශ්වාසය තබලා තියෙනවා. ඔවුන් ඉතාමත් ශක්තිමත් ඉදිරි පියවරක් ආරම්භ කරලා තියෙනවා. අප හමුවේ තියෙන අභියෝගය කුමක් ද ? අපි කෙරේ විශ්වාසය තැබූ ජනතාව, ජයග්‍රහණය දක්වා ඉදිරියට ගෙන යෑම අපේ අපේක්ෂාවයි. ඒ සඳහා කේෂ්ත්‍ර කිහිපයක අපි වැඩ කරන්න පටන් අරගෙන තියෙනවා. පළමු කොටම මේ ජනතාවගේ අයිතිවාසිකම් තහවුරු කළ යුතුයි. ඔවුන්ගේ ඉඩම් අයිතිය, භාෂාව රාජ්‍යයත්වයට ගනුදෙනු කිරීමට තියෙන අයිතිය, ඔවුන්ගේ සංස්කෘතිකමය අයිතීන්, අතුරුදන් වුවවන්ට සිදුවුයේ කුමක්දැයි දැනගැනීමට ඇති අයිතිය, මුලික අයිතින් ලෙස අපි දකිනවා. ඒ අයිතින් ආරක්ෂා කරගැනීමට ගත හැකි පියවර රැසක් අපි ආරම්භ කරලා තියෙනවා. දෙවනුව ඔවුන්ගේ ආර්ථික තලය ඉහළට ඔසවා තැබිය යුතුයි. පසුගිය ගැටුම් හේතුවෙන් විශාල ආර්ථික අවස්ථා අහිමිවූ ජනතාවක් මෙම ප්‍රදේශවල ජීවත් වෙනවා. ඒ නිසා ඔවුන්ට ශක්තිමත් ආර්ථිකයක් සකස් කර දීම රජයක් ලෙස අපේ වගකීමක්. අපි එය භාරගැනීමට ලෑස්තියි. ඒ සඳහා අපි පියවර ගණනාවක් ආරම්භ කළා. උතුර කේන්ද්‍ර කරගත් නව කර්මාන්ත කලාප, උතුරු කේන්ද්‍ර කරගත් සංචාරක කේෂ්ත්‍රය, වගාවන් සඳහා අවශ්‍ය ජලය ලබාදීම ඒ වගේම ඒ ප්‍රධානම සාධකය තමා ආර්ථිකය නංවාලීමට පොල් වගාව ආරම්භ කිරීම. මෙම අමාත්‍යාංශය තීරණය කරලා තියෙනවා අක්කර 16,000ක් මේ වසරේ වගා කරන්න. ආසන්න වශයෙන් ගොවි පවුල් 12,000ක් පමණ මේ තුළ නියෝජනය කරාවි. එය ආර්ථිකයෙන් ඉතා අපහසුතාවයට පත්ව සිටින ජනතාවට ආර්ථිකය නඟාසිටුවීමට විශාල පිටුවහලක් බවට පත්වෙන බව අපට විශ්වාසයි. අනිත් පියවර වන්නේ සංස්කෘතිකමය වශයෙන් අප තුළ ඇති කරගන්නා වූ ඒකාබද්ධතාවය. ඒ සඳහා අපි සියලුදෙනා එක්ව සැමරිය හැකි දිනයක් අපි නම්කර තිබෙනවා. ක්‍රීඩාවෙන් අන්තර් සම්බන්ධතාවය ගොඩනගා ගැනීමට අපි වෙහෙසෙනවා. යළි බෙදී ඈත් වෙලා හිටිය ජනතාව යළි ඒකාබද්ධ කරගැනීමට අපි වෙහෙසෙනවා. අපිට අවශ්‍ය වන්නේ කුමන වර්ගයේ රටක් ද? මෙතෙන බොහෝ අය ජීවිතය ගත කළේ යුද්ධය සමග.එකිනෙකා කෙරෙහි අවිශ්වාසයෙන්, සැකයෙන්, අවි අමෝරාගෙන වසර 30කට වඩා යුද්ධ කරලා තියෙනවා. එය අපේ රටේ ඇති වූ විශාලතම ඛේදවාචකයයි.