එම නිවේදනයට අනුව නිදහසෙන් පසු 2022 වසර වන තුරු ම සුරාබදු බලපත්‍ර නිකුත් කිරීමේ දී රජය මුදල් අය කිරීමක් කර නොමැත. 2022 වසර වනවිට රටේ සෘජු බදු විශාල ලෙස අහිමිවීමේ ප්‍රවණතාවයක් පෙන්නුම් කර තිබූ බැවින් සහ රට පත්ව තිබූ දැඩි ආර්ථික බංකොලොත් භාවයෙන් ගොඩ ඒම සඳහා සුදුසු පියවර ගන්නා ලෙස පාර්ලිමේන්තු ක්‍රම සහ විධි කාරක සභාව ද ඒ අවස්ථාවේදී රජයට දැනුම් දී ඇත.
සෘජු බදු සීඝ්‍ර ලෙස අහිමිවීමට විකල්ප ලෙස රජයේ ආදායම වැඩිකර ගැනීම සඳහා මුදල් අය කර සුරාබදු බලපත්‍ර නිකුත් කිරීමට තීරණය කර ඇත්තේ ඒ අනුව ය.
එමෙන් ම: සුරාබදු පරිපාලනය වැඩි දියුණු කිරීමේ ක්‍රමවේද සහ බදු ප්‍රතිපත්ති සංශෝධනය, විවිධ වර්ගයේ සුරාබදු බලපත්‍රවලට අදාළ වන මාර්ගෝපදේශ රීති විධිමත් කිරීම, නව නිර්නායක හඳුන්වාදීම, බලපත්‍රවල උපරීම සීමාවන් තීරණය කිරීම, සුරාබදු සේවා සඳහා පරිපාලන ගාස්තු ලබාදීම, ඉල්ලුමට අනුව අදාළ බලපත්‍ර ගාස්තු ඉහළ නැංවීම යන යෝජනා ඇතුළත් අය වැය ලේඛණය වර්ෂ 2024 අය වැය කතාවේ අංක V ඡේදය යටතේ ඉදිරිපත් කරන ලද පාර්ලිමේන්තුව සම්මත කර ඇති බවත්, ඊට අදාළ ගැසට් නිවේදනයට ද පාර්ලිමේන්තුවේ අනුමැතිය පළ කර ඇති බවත් එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් කර ඇත.
VIII වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ කාර්යාලය විසින් නිකුත් කරනු ලැබ ඇති සම්පූර්ණ නිවේදනය මතු දැක්වේ.
සුරා බලපත් විකුණා මාස 9ට බිලියන 3.1ක් හෙව්වා
නිදහසින් පසු 2022 වසර වනතුරුම සුරාබදු බලපත්‍ර නිකුත් කිරීමේදී රජය මුදල් අය කිරීමක් කර නොතිබිණ. ඒ වනවිට රටේ සෘජු බදු විශාල ලෙස අහිමිවීමේ ප්රවනතාවයක් පෙන්නුම් කෙරිණි. රට පත්ව තිබූ දැඩි ආර්ථික බංකොලොත් භාවයෙන් ගොඩ ඒම සඳහා සුදුසු පියවර ගන්නා ලෙස පාර්ලිමේන්තු ක්‍රම සහ විධි කාරක සභාව ද ඒ අවස්ථාවේදී රජයට දැනුම් දුන්නේය. ඒ අනුව, සෘජු බදු සීඝ්‍ර ලෙස අහිමිවීමට විකල්ප ලෙස රජයේ ආදායම වැඩිකර ගැනීම සඳහා මුදල් අය කර සුරාබදු බලපත්‍ර නිකුත් කිරීමට තීරණය කරනු ලැබීය.
වර්ෂ 2024 අය වැය කතාවේ අංක V ඡේදය යටතේ ඉදිරිපත් කරන ලද සුරාබදු පරිපාලනය වැඩි දියුණු කිරීමේ ක්‍රමවේද හා බදු ප්‍රතිපත්ති සංශෝධනය, විවිධ වර්ගයේ සුරාබදු බලපත්‍රවලට අදාළ වන මාර්ගෝපදේශ රීති විධිමත් කිරීම, නව නිර්නායක හඳුන්වාදීම, බලපත්‍රවල උපරීම සීමාවන් තීරණය කිරීම, සුරාබදු සේවා සඳහා පරිපාලන ගාස්තු ලබාදීම, ඉල්ලුමට අනුව අදාළ බලපත්‍ර ගාස්තු ඉහළ නැංවීම යන යෝජනා ඇතුලත් අය වැය ලේඛණය පාර්ලිමේන්තුව සම්මත කළ අතර, ඊට අදාළ ගැසට් නිවේදනයට ද පාර්ලිමේන්තුවේ අනුමැතිය පළවිණ.
ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 148 සිට 152 දක්වා වගන්ති යටතේ රාජ්‍ය මූල්‍ය පාලනය පිළිබඳ සම්පූර්ණ බලය පාර්ලිමේන්තුව සතුය. ඊට අමතරව රාජ්‍ය මූල්‍ය වගකීම් පනතේ 3 වැනි වගන්තිය ද ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අමතරව නීතියේ කොටසක් ලෙස ක්‍රියාත්මක වේ. එමෙන්ම ආර්ථික පරිවර්තන පනතේ 8 වැනි වගන්තිය යටතේ අමාත්‍ය මණ්ඩලය විසින් බලතල ක්‍රියාත්මක කිරීමේදී එහි අධීක්ෂණය ද පාර්ලිමේන්තුවට හිමි වේ.
පැවැති ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ගැනීමේ අරමුණින් ක්‍රියාත්මක කරන ලද මේ තීරණය වඩාත් ශක්තිමත් කරමින් සුරාබදු ආඥා පනත යටතේ අංක 03/2024 දරණ සුරාබදු නිවේදනය මගින් එතෙක් පැවැති ගාස්තු ප්‍රමාණ ඉහළ නංවමින් 2024 පෙබරවාරි 01 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි නව සංශෝධන බලාත්මක කරන ලදී.
මේ සියල්ල ආර්ථික සංවර්ධන පනතේ 4 වැනි වගන්තියේ d සහ h අනු වගන්තිවලට අනුකූලව සිදුකර ඇත. ඊට අමතරව, 2008 අප්‍රේල් 10 දිනැති අංක 1544/17 දරණ අතිවිශේෂ ගැසට් නිවේදනය (සුරාබදු නිවේදන අංක 902) මගින් ප්‍රකාශයට පත් කර තිබූ නියමයන් 2024 ජනවාරි 12 දිනැති අංක 2366/39 දරණ ගැසට් නිවේදනය මගින් සංශෝධනය කරන ලදී. ඒ සියල්ල පාර්ලිමේන්තුවේ මහජන මුදල් කාරක සභාව විසින් අනුමත කළ බව සදහන් කළ යුතුය.
ඒ අනුව, මහ නගර සභා බල ප්‍රදේශ සඳහා ව්‍යාපාරයට ප්‍රවේශ වීමේදී අයකරනු ලබන රුපියල් මිලියන 15 ක ගාස්තුවට අමතරව රුපියල් මිලියනයක වාර්ෂික බලපත්‍ර ගාස්තුවක් සහ රුපියල් ලක්ෂ 05 ක ආරක්ෂිත ඇප මුදලක් යටතේ ද,
නගර සභා බල ප්‍රදේශ සඳහා ව්‍යාපාරයට ප්‍රවේශ වීමේදී අයකරනු ලබන රුපියල් මිලියන 10 ක ගාස්තුවට අමතරව රුපියල් ලක්ෂ 08 ක වාර්ෂික බලපත්‍ර ගාස්තුවක් සහ රුපියල් ලක්ෂ 05 ක ආරක්ෂිත ඇප මුදලක් යටතේ ද,
අනෙකුත් ප්‍රදේශ සඳහා ව්‍යාපාරයට ප්‍රවේශ වීමේදී අයකරනු ලබන රුපියල් මිලියනයක ගාස්තුවට අමතරව රුපියල් ලක්ෂ 06 ක වාර්ෂික බලපත්‍ර ගාස්තුවක් සහ රුපියල් ලක්ෂ 05 ක ආරක්ෂිත ඇප මුදලක් යටතේ ද,
රුපියල් මිලියන 1,000 ඉක්මවන වෙළෙඳ සංකීර්ණ හෝ වෙළෙඳසැල් හෝ සඳහා ව්‍යාපාරයට ප්‍රවේශ වීමේදී අයකරනු ලබන රුපියල් මිලියන 15 ක ගාස්තුවට අමතරව රුපියල් මිලියන 1.5 ක වාර්ෂික බලපත්‍ර ගාස්තුවක් සහ රුපියල් ලක්ෂ 05 ක ආරක්ෂිත ඇප මුදලක් යටතේ ද, මත්පැන් සිල්ලරට විකිණීමේ බලපත්‍ර නිකුත් කරනු ලැබීය.
2024 පෙබරවාරි 01 වැනි දින සිට 2024 ඔක්තෝබර් 31 දක්වා නව සංශෝධනය අනුව, සුරාබදු බලපත් වර්ගීකරණයේ ර.බි.4 (F.L.4) යටතට ගැනෙන මත්පැන් සිල්ලරට පිටතට විකිනීමේ බලපත්‍රය යටතේ මත්පැන් අළෙවිසැල් 172කට සහ රුපියල් මිලියන 1,000 ඉක්මවන වෙළෙඳ සංකීර්ණ හෝ වෙළෙඳසැල් හෝ 89 ක් සඳහා නව මත්පැන් බලපත්‍ර නිකුත් කරනු ලැබිණි.
මේ සියලු බලපත්‍ර නිකුත් කර ඇත්තේ සුරාබදු දෙපාර්තමේන්තුවේ නීති රීති සහ නියමිත ක්‍රමවේදයට අනුවය. බලපත්‍ර නිකුත් කිරීමේදී සුරාබදු කොමසාරිස් ජනල්වරයා නිර්දේශ කළ අයඳුම්පත් සඳහා පමණක් බලපත්‍ර නිකුත් කෙරිණි. එම ක්‍රමවේදයට පරිබාහිරව එකදු සුරාබදු බලපත්‍රයක් හෝ නිකුත් කර නැත.
මෙමගින් රජය අදාළ මාස නවයක කාලය තුළ උපයා ගෙන ඇති සමස්ත ආදායම රුපියල් බිලියන 3.1කට අධික වේ. මේ ක්‍රමය 2024 නොවැම්බර් හා දෙසැම්බර් මාස දෙකෙහි ද අඛණ්ඩව ක්‍රියාත්මක වුවහොත් 2024 වර්ෂය තුළ රුපියල් බිලියන 04 ඉක්මව වූ ආදායමක් රජයට ලබාගත හැකි වෙයි.
මෙම ක්‍රමවේදයේ සාර්ථකත්වය හා අත්දැකීම් පදනම් කර ගනිමින් 2025 වසරේ සිට නිශ්චිත ප්‍රදේශ නියම කර සුරාබදු බලපත්‍ර 250-300 අතර ප්‍රමාණයක් රුපියල් මිලියන 25 ක අවම ලන්සුවක් යටතේ වෙන්දේසි පදනම යටතේ නිකුත් කිරීමටත්, මෙමගින් ලැබෙන ආදායමෙන් සියයට 25 ක් වෙන්කර අරමුදලක් පිහිටූවීටත්, එය අමද්‍යප ව්‍යාපාරය ප්‍රවර්ධන කටයුතු සඳහා යොදා ගැනීමටත් සැළසුම් කර තිබුණි. තවද මේ වැඩ කටයුතු ඉදිරියට ගෙන යන අතරවාරයේ දී නව සුරාබදු පනතක් ගෙන ඒමට අවශ්‍ය මූලික පියවර ගැනීම ද ආරම්භ කෙරිණි.
නිකුත් කරන ලද මත්පැන් බලපත්‍රයකට අදාළව සුරාබදු දෙපාර්තමේන්තුවට ලැබුණු මහජන පැමිණිලි මත එම බලපත්‍රය අත්හිටුවීමට සුරාබදු කොමසාරිස් ජනරාල් විසින් කටයුතු කළ අවස්ථාවේ ඊට එරෙහිව බලපත්‍රලාභියා ගොනු කළ පෙත්සම අධිකරණය විසින් 2024 අගෝස්තු 09 වැනි දින පිළිගැනීම සහ පසුගිය ජනාධිපතිවරණය ප්‍රකාශිත කාලය තුළ (2024.07.26 සිට 2024.09.21 දින දක්වා) මත්පැන් බලපත්‍ර නිකුත් කරන්නේ නම් ඒ සඳහා විධිමත් ක්‍රියාපටිපාටියක් අනුගමනය කර විනිවිදභාවයකින් යුතුව දේශපාලන ප්‍රවර්ධනයකින් තොරව බලපත්‍ර ලබාදීමට කටයුතු කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව විසින් සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාට 2024.08.19 දිනැති ලිපිය මගින් නිර්දේශ ලබාදී තිබීම තුළින් ද මත්පැන් බලපත්‍ර ලබාදීමේදී අනුගමනය කරන ලද ක්‍රමවේදය නීත්‍යානුකූල බව තහවුරු කෙරිණි.
පසුගිය රජය සමයේ මත්පැන් බලපත්‍ර කිසිවක් පිනට දී නැත. සිදුවූයේ ඒවා විකුණා රාජ්‍ය ආදායමට සැළකිය යුතු මුදලක් එකතු කර ගැනීමය. ආර්ථික වශයෙන් රට අමාරුවට වැටුණු මොහොතක බදු ආදායමට අමතරව රටට ආදායම් ගෙනෙන නව ක්රමෝපායක් ලෙස මේ බලපත්‍ර විකුණු බව ද සඳහන් කළ යුතුය.
බංකොලොත්ව තිබූ ආර්ථිකය ගොඩගැනීම සඳහා දිගුකාලීන දැක්මක් සහිතව ක්‍රියාවට නගන ලද මෙම සුරාබදු බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රියාවලිය පටු දේශපාලන අරමුණු වෙනුවෙන් අවභාවිත කිරීම කණගාටුවට කරුණකි.
දැනට ක්‍රියාත්මක විනිවිද හා විධිමත් නව ආදායම් මාර්ගය අහෝසි කර ගන්නවාද, නැද්ද යන්න පිළිබඳවත්, එසේ නැති නම් නව සුරාබදු පනතක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන්නේ ද යන්නත් පාර්ලිමේන්තුවේ අනුමැතියට යටත්ව තීරණය කළ යුත්තේ අමාත්‍ය මණ්ඩලය ය. එසේම, මෙය ඉදිරියට ගෙන යෑමේ හෝ අහෝසි කිරීමේ හෝ බලය ද අමාත්‍ය මණ්ඩලය සතු වන්නේය. ''