අභියෝග හමුවේ කිසිවිටෙකත් පැන යන්න එපා - ජනපති   Featured

Published in පුවත්
Sunday, 23 June 2024 17:36

අනාගත පරපුර වෙනුවෙන් තමා ලබා දෙන උපදෙස වන්නේ හොඳින් අධ්‍යාපනය ලැබීම, ප්‍රතිපත්ති ගරුක වීම සහ අභියෝග හමුවේ බිය නොවීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ රටේ සාර්ථක නායකයෙක්, දක්ෂ දේශපාලනඥයෙක් ලෙස ලද අත්දැකීම් අනුව අනාගත පරම්පරාවේ සාර්ථකත්වය වෙනුවෙන් ලබා දෙන උපදෙස කුමක්දැයි මඩකලපුව දිස්ත්‍රික් තරුණ නියෝජිත හමුවේදී, තරුණියක නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි.

මඩකලපුව දිස්ත්‍රික් තරුණ නියෝජිතයින්ගේ මෙම හමුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මඩකලපුව ‘ගෝල්ඩන් රිවර්’ හෝටලයේදී ඊයේ (22) පැවැත්විණි.

මඩකලපුව දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන් විශාල පිරිසක් මෙම හමුවට එක්ව සිටි අතර ඔවුන් නැගු ප්‍රශ්නවලට පිළිතුරු ලබාදීමට ද ජනාධිපතිවරයා කටයුතු කළේය.

මෙම සාකච්ඡාවෙන් අනතරුව ජනාධිපතිවරයා ඊට සහභාගි වූ තරුණ තරුණියන් සමඟ සෙල්ෆි ඡායාරූප කිහිපයකටද එක් විය.
මෙහිදී තරුණ තරුණියන් නැගු ප්‍රශ්න සහ ජනාධිපතිවරයා ඊට ලබා දුන් පිළිතුරු පහත පරිදි වේ.

ප්‍රශ්නය
ජනාධිපතිතුමනි රට අර්බුදකාරී තත්ත්වයක තිබියදී ඔබතුමා රටේ වගකීම බාර ගත්තා. ඔබතුමා එම අභියෝගය ජයග්‍රහණය කළේ කොහොමද, රාජකීය විද්‍යාලය වැනි පාසල්වල අධ්‍යාපනය ලැබීමට අනාගත පරම්පරාවට අවස්ථාවක් ලැබේවිද?

පිළිතුර
අනෙක් සියලුදෙනා අභියෝගවලට බියේ පැන යන විට මම එම වගකීම භාරගත්තා. තමන් තුළ විශ්වාසයක් තිබේනම් අභියෝගවලට බිය විය යුතු නැහැ. ධාවන සපත්තු පළදින්නේ දිවීමට මිස ප්‍රශ්නවලට බියේ පැන දුවන්න නොවෙයි.

මෙම අභියෝගයෙන් රට මුදවා ගැනීමට මට හැකි බව මා විශ්වාස කළා. මම රට භාරගත්තේ නැත්නම් අද රටේ තත්ත්වය කුමක්ද කියා අහන්න කැමතියි. එසේ නම් අපට මේ ආකාරයෙන් වාඩි වී සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. රට පුරා ජනතාවට පොසොන් පොහොයට අනුරාධපුරේ යාමට අවස්ථාව ලැබෙන්නේ ද නැහැ. ඔබ අභියෝගවලට බියවන්න එපා. ඒ වගේම බොරු කියන්න එපා. රාජකීය විද්‍යාලය වගේම ඉදිරියේ දී තවත් බොහෝ පාසල්වලට එවැනිම පහසුකම් ලැබේවි. ආණ්ඩුවට පුලුවන් අධ්‍යාපනය ලබා දෙන්න. නමුත් පිට කොන්ද ලබා දෙන්න බැහැ.එය තිබිය යුත්තේ තමන් තුළමයි.

ප්‍රශ්නය
අපේ රටේ ඕනෑ තරම් සම්පත් තිබෙනවා. නමුත් අප ආහාර ඇතුළු බොහෝ දේ විදේශයන්ගෙන් ආනයනය කරනවා. අපගේ කර්මාන්ත තව දුරටත් සංවර්ධනය කරනවා නම් මෙම තත්ත්වය වෙනස් කළ හැකියි නේද,

පිළිතුර
ඔබේ ප්‍රියතම ගායකයා යුවන් සංගරාජා බව පැවසුවා. එසේ නම් අප ගීතත් ආනයනය කරනවා නේද? විවෘත ලෝකය හමුවේ අපගේ කර්මාන්ත දියුණු කළ යුතු බවට මම එකඟ වෙනවා. නමුත් අප රටේ සම්පත් භාවිතා කරමින් නිපදවන දේ අපනයනය කළේ නැහැ. එම නිසා අපට විදේශ විනිමය නැහැ. ඉන්ධන වැනි දේ මිලදී ගැනීම සඳහා අප‍ට විදේශ විනිමය අවශ්‍යයයි. එම නිසා අපට ණය ලබා ගැනීමට සිදු වුණා. එසේ අප ලබා ගත් ණය ගෙවීමට නොහැකි වුණා. අපට සිදු වූයේ එයයි.

අපේ අපනයන ආදායම ඉහළ නංවා ගැනීමට මෙතෙක් අවධානය යොමු කර නැහැ. ඒනිසා අප සතු සම්පත් භාවිතා කරමින් අපනයනය සඳහා වැඩි වශයෙන් යොමු විය යුතුයි.

අපේ සම්පත්වලින් එක් කොටසක් වන්නේ පුහුණු ශ්‍රම බලකායයි. අනෙක සංචාරක කර්මාන්තයයි. මඩකලපුවේ පමණක් අපට පහසුවෙන්ම සංචාරක හෝටල් සියයක් පමණ ඇති කළ හැකියි. ඒ වගේම කෘෂිකර්මාන්තය නවීකරණය කරමින් අප නවීන කෘෂිකර්මාන්තයක් කරා ගමන් කළ යුතුයි.අපට විදේශ විනිමය ඉහළ නංවා ගත හැක්කේ එවිටයි.

රට බංකොළත්භාවයෙන් මුදවා ගැනීමට අප කටයුතු කළද අප අපනයන ආර්ථිකයක් කරා යොමු නොවුණහොත් ඉදිරි වසර 15-20 තුළ ඔබට නැවතත් මෙම ගැටළුවටම මුහුණ දීමට සිදු වෙනවා. අපට ඇති එකම මාර්ගය වන්නේ අපගේ කෘෂි කර්මාන්තය, සංචාරක කාර්මාන්තය ඇතුලු කර්මාන්ත දියුණු කර අපනයන ආර්ථිකයක් කරා යොමු වීමයි. ආනයන ආර්ථිකයේ සිට අපනයන ආර්ථිකයක් වෙත පරිවර්තනය වීම සඳහා අප ආර්ථික පරිවර්තන පනත ගෙන එනවා.

ප්‍රශ්නය
ඔබතුමා අප රටේ ඉතා සාර්ථක නායකයෙක්. දක්ෂ දේශපාලනඥයෙක්. ඔබේ අත්දැකීම් අනුව අනාගත පරම්පරාවේ සාර්ථකත්වය වෙනුවෙන් ලබා දෙන උපදෙස කුමක්ද?

පිළිතුර
හොඳින් ඉගෙන ගන්න. බුද්ධිමත්ව කටයුතු කරන්න. ඔබ, ඔබව විශ්වාස කර ප්‍රතිපත්තිගරුක වන්න. අභියෝග හමුවේ කිසි විටෙකත් බිය වන්න එපා.

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන්, රාජ්‍ය අමාත්‍යවරුන් වන එස්. වියාලේන්ද්‍රන්, සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, නැගෙනහිර පළාත් අධ්‍යාපන ලේකම් එච්. ඊ. එම්. ඩබ්ලිව්. ජී. දිසානායක, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂිකා සුජාතා කුලෙන්ද්‍රකුමාර් යන මහත්ම මහත්මීන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මඩකලපුව දිස්ත්‍රික්කයේ ව්‍යාපාරික හමුවකට ද ඊයේ (22) පස්වරුවේ එක් විය.

සංචාරක, කර්මාන්ත සහ කෘෂිකාර්මික වශයෙන් නැගෙනහිර පළාත තුළ පුළුල් සංවර්ධනයක් ඇති කිරීමේ රජයේ සැලසුම් පිළිබඳ මෙහිදී ව්‍යාපාරික ප්‍රජාව දැනුවත් කළ ජනාධිපතිවරයා විශේෂයෙන් ඉන්දීය රජය සමඟ සහයෝගයෙන් ත්‍රිකුණාමලය බලශක්ති කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට ගෙන ඇති පියවර ද පැහැදිළි කළේය.

එසේම අපනයන ආර්ථිකයක් කරා රට ගෙන යාමේ වැඩපිළිවෙළේදි විශේෂ ස්ථානයක් නැගෙනහිර පළාතට හිමිවන බව පැවසූ ජනාධිපතිවරයා ඉදිරි වසර 05 තුළ නැගෙනහිර පළාත පුළුල් සංවර්ධනයක් කරා ගෙන යාමේ වැඩපිවෙළ සමඟ එක්වන ලෙස ද ව්‍යාපාරික ප්‍රජාවට ආරාධනා කළේය.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය

රට දියුණු කිරීමේ දී නැගෙනහිර පළාත තුළද විශාල සංවර්ධනයක් කළයුතුව තිබෙනවා. ඒ අනුව ඉන්දියාව සහ තවත් විදේශ රටවල් සමග එක්ව ත්‍රිකුණාමල වරාය දියුණු කිරීම සහ ත්‍රිකුණාමලයේ නව ආයෝජන කලාප ඇති කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ වගේම නව තෙල් පිරිපහදුවක් ත්‍රිකුණාමලයේ ඇති කිරීමට ද සැලසුම් කර තිබෙනවා. මේ අයුරින් ත්‍රිකුණාමලය බලශක්ති මධ්‍යස්ථානයක් බවට පරිවර්තනය කිරීම අපේ අරමුණයි. ඒ වගේම සූර්ය බලය හා සුළං බලශක්ති ව්‍යාපෘති කිහිපයක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි. තවද, මෙම පළාත සංචාරක කලාපයක් ලෙස දියුණු කිරීමට අප සැලසුම් කර තිබෙනවා.

ඒ වගේම කෘෂි නවීකරණ වැඩසටහන හරහා මහවැලි බී කලාපය දියුණු කිරීමට වැඩසටහන් සකස් කරගෙන යනවා. එවිට මේ පළාතේ කෘෂි නිෂ්පාදන ඉහළ යනවා. ඒ වගේම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර දියුණු කිරීමට පියවර ගන්නා අතර එවිට ඔබට නව ව්‍යාපාර ආරම්භ කිරීමට අවස්ථාව ලැබෙනවා. එසේ නම් රට අපනයන ආර්ථිකයක් කරා පරිවර්තනය කිරීමේ දී සුවිශේෂී ස්ථානයක් නැගෙනහිර පළාතට හිමි වෙනවා. ඒ අනුව ඉදිරි වසර 05 තුළ විශාල වෙනසක් මෙම පළාත තුළ සිදු කිරීම වෙනුවෙන් අප සියලුදෙනා කැපවී කටයුතු කරමු කියා මා ඔබට ආරාධනා කරනවා.

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන්, රාජ්‍ය අමාත්‍යවරුන් වන එස්. වියාලේන්ද්‍රන්, සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරනු ලබන කෘෂි නවීකරණ වැඩසටහන යටතේ රුපියල් මිලියන 55ක වියදමින් කරදියනාරු ප්‍රදේශයේ ඉදිකරන ලද රටකජු සැකසුම් මධ්‍යස්ථානය අද (23) පෙරවරුවේ විවෘත කිරීමේ අවස්ථාවේ දි අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ පැවසීය.

මෙම වැඩසටහන කෘෂි නවීකරණ වැඩසටහනේ කොටසක් ලෙස හැඳින්විය හැකියි. අපේ රටේ වගා නොකළ ඉඩම් විශාල ප්‍රමාණයක් තිබෙනවා. මේ සියලු ඉඩම් වගාව සඳහා යොදාගත යුතුයි. අපේ කෘෂිකර්මාන්තය අපනයන කෘෂිකර්මාන්තයක් බවට පත්කළ යුතුයි. මෙරට ආහාර අවශ්‍යතාව පමණක් නොව අනෙක් රටවල ආහාර අවශ්‍යතාවය සඳහා ද කෘෂි බෝග අපනයනයට අප සුදානම් විය යුතුයි. ඒ තුළින් අපට ඉහළ විදේශ විනිමයක් උපයා ගැනීමට හැකියාව ලැබෙනවා. එවිට අපට නැවත විදේශ ණය ලබා ගැනීමට අවශ්‍ය වන්නේ නැහැ. මම මේ රට භාරගත්තේ රටේ ආර්ථිකය අලුතින් ගොඩනැගීම සඳහායි. අලුත් ආර්ථිකයක් ඇතිවන විට රටේ ගොවි ජනතාවට ද හොඳ ආදායමක් ලැබෙනවා.

අද මෙම කර්මාන්තශාලාව විවෘත කළා වගේම නවීන තාක්ෂණය සමඟ තමන්ගේ වගා කටයුතු සිදු කිරීමට කෘෂි සංවිධානවලට ලැප්ටොප් පරිගණක යන්ත්‍ර ලබා දීමද සිදු කෙරුණා. ඉන්දීයාවේ ගොවින් මෙම වගා කටයුතු මෙහෙයවන්නේ තමන්ගේ අතේ තිබෙන ජංගම දුරකථනය මඟින්.

රජයේ ඉඩම්වල ගොවිතැන් කරන අයට සින්නකර ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩසටහන අප ආරම්භ කර තිබෙනවා. ඊයේ දින එම වැඩසටහන මඩකලපුව දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක වුණා. ඒ අනුව ඔබට ඉඩම් අයිතිය හිමිව තිබෙනවා. එහි ආඩම්බරය ඔබට දැනිය යුතුයි. ඒ වගේම අප දීප ව්‍යාප්ත කෘෂි නවීකරණ වැඩසටහනක් ආරම්භ කරනවා. කෘෂිකර්ම අමාත්‍යාංශයත්, පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශත් එක්ව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන අතර ගොවිජන සේවා මධ්‍යස්ථාන සියල්ලම ලබන වසර වන විට කෘෂි නවීකරණ මධ්‍යස්ථාන බවට පත් කිරීමට සැලසුම් කර තිබෙනවා. මේ අයුරින් ක්‍රමානුකූලව මේ රටේ ගොවි ජනතාවගේ ආදායම ඉහළ නැංවීම තුළින් ග්‍රාමිය ප්‍රදේශ දියුණු වෙනවා.

ඒ වෙනුවෙන් මඩකලපුව දිස්ත්‍රික්කයේ ද විශාල වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන අතර මහවැලි ඒ සහ බී කලාප ඇතුළු ප්‍රදේශයේ කෘෂිකාර්මික කටයුතු දියුණු කිරීමට අප බලාපොරොත්තු වෙනවා. ඒ තුළින් ප්‍රදේශයේ කෘෂිකර්මාන්තය මුළුමනින්ම දියුණු වෙනවා.

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන්, රාජ්‍ය අමාත්‍යවරුන් වන එස්. වියාලේන්ද්‍රන්, සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us