එම කටයුතු ඉදිරියට ගෙන යාම වෙනුවෙන් ආර්ථික කොමිෂමක් ඇති කරන අතර සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ශක්තිමත් කිරීම වෙනුවෙන් “එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා" නමින් නව ආයතනයක් පිහිටුවන බවද ජනාධිපතිවරයා පැවසීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ශ්‍රි ලංකාවේ ප්‍රථම වරට පැවැත්වෙන ඉන්ටනැෂනල් ඉන්ඩස්ට්‍රි එක්ස්පෝ 2024 (International Industry Expo 2024) ප්‍රදර්ශනය අද (19) පෙරවරුවේ විවෘත කරමිනි.
කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ උපදෙස් පරිදි කර්මාන්ත අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන්, කර්මාන්ත සංවර්ධන මණ්ඩලය විසින් සංවිධානය කළ මෙම ප්‍රදර්ශනය අද සිට ජූනි 23 දක්වා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වේ.
විවිධ රටවල් නියෝජනය කරමින් ජාත්‍යන්තර කර්මාන්ත ව්‍යවසායකයින් මෙන්ම දේශීය මහාපරිමාණ හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් දහසකට අධික පිරිසක් මීට එක්ව සිටියි. මෙය ප්‍රදර්ශන කුටි 1307කින් සමන්විත අතර හරිත කර්මාන්ත කලාපයක් ලෙස වෙනම පරිශ්‍රයක් පළමු වරට ප්‍රදර්ශනයට එක් කර තිබීම විශේෂත්වයකි. මෙම ප්‍රදර්ශන කාලය තුළ හරිත කර්මාන්තකරණය පිළිබඳ පර්යේෂණාත්මක විද්වත් සමුළුවක් ද පැවැත්වෙයි.
පීත්ත පටිය කපා “ඉන්ටනැෂනල් ඉන්ඩස්ට්‍රි එක්ස්පෝ 2024” ප්‍රදර්ශනය විවෘත කළ ජනාධිපතිවරයා ප්‍රදර්ශනය නැරඹීමට ද එක් විය.
Ceylon Plaza පරිගණක යෙදුම හඳුන්වාදීම ද මීට සමගාමීව සිදු කෙරිණි.
අනතුරුව පැවති උත්සව සභාව අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ රටේ සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක කරන සෑම කටයුත්තකදීම අධිකරණයට යාමට ඇතැමුන් පුරුදු වී ඇති බවයි. එසේ කිරීමෙන් රට සංවර්ධනය කළ නොහැකි බවත්, ජාතික ප්‍රතිපත්තියක් ඔස්සේ රට ඉදිරියට ගෙන යා යුතු බවත් ජනධිපතිවරයා අවධාරණය කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී සිදු කළ සම්පූර්ණ කථාව මෙසේය,
රමේෂ් පතිරණ අමාත්‍යතුමා මෙරට කර්මාන්ත ක්ෂේත්‍රයේ සංවර්ධනය පිළිබඳ විශේෂ අවධානයකින් කටයුතු කරනවා. එහි එක් පියවරක් ලෙස මෙම කර්මාන්ත ප්‍රදර්ශනය හඳුන්වාදිය හැකියි. මෙය මෙරට පැවැත්වෙන විශාලම ප්‍රදර්ශනයයි.
පසුගිය කාලයේ දී අප රට බංකොළොත් රටක් බවට පත්ව තිබුණා. නමුත් ඉදිරි සති කිහිපය තුළ අප එම බංකොළොත් රටක් යන ලේබලයෙන් සම්පූර්ණයෙන් නිදහස් වෙනවා. ඊට අදාළ ගිවිසුමටද ඉදිරි සති කිහිපය තුළ එළැඹිමට නියමිතයි. මේ සමඟ පුද්ගලික ණයකරුවන් සමඟ සාකච්ඡා කිරීමත් පහසු වෙනවා. එසේනම් වසර දෙකක කාලයක් තුළ අප මෙම කටයුත්ත සිදු කර තිබෙනවා.
නමුත් අපට මෙයින් සෑහීමකට පත් විය නොහැකියි. අප මෙම ණය නැවත ගෙවන්නේ කොහොමද කියා අවධානය යොමු කළ යුතුයි. අප දීර්ඝ කාලයක් තිස්සේ ලබා ගත් ණය ආපසු ගෙවිය යුතුව තිබෙනවා. ඒ සඳහා 2042 වසර වන තෙක් කාලය ලබා ගැනීමට බලාපොරොත්තු වෙනවා.
ඒ වගේම අප ආනයන ආර්ථිකයක් නිසා ආනයන වෙනුවෙන් මුදල් ගෙවිය යුතුයි. ඒ සඳහා අපට විදේශ විනිමය නැහැ. ඒ නිසා නැවත ණය ගැනීමට සිදු වෙනවා. මෙම ක්‍රමය ක්‍රියාත්මක කළහොත් තවත් වසර 15-20කින් අපට නැවතත් ආර්ථික අර්බුදයකට මුහුණ දීමට සිදු වෙනවා. ඒ නිසා අප අපනයන ආර්ථිකයක් බවට පරිවර්තනය වීමට කටයුතු කරමින් සිටිනවා.
අපනයන ආර්ථිකයක් කරා පරිවර්තනය වීමේදී නිෂ්පාදන ආර්ථිකයට ප්‍රධාන තැනක් හිමි වෙනවා. එහිදී නිර්මාණය වන ආර්ථිකය තරගකාරී මෙන්ම ඩිජිටල් ආර්ථිකයක් විය යුතුයි. ඒ වගේම කාබන් විමෝචනය ශූන්‍ය කිරීමේ ගෝලිය ඉලක්කය කරා ගමන් කිරීමේ දී හරිත ආර්ථිකයක් බවට ද අප පරිවර්තනය විය යුතුව තිබෙනවා. මෙම රාමුව තුළ අප කටයුතු කළයුතුයි.
එහිදී පළමු කාර්යය ලෙස අප දැනට තිබෙන කර්මාන්ත එම සැලසුම් ඔස්සේ ඉදිරියට ගෙන ආ යුතුයි. එක රැයකින් කිසිවෙකුට තරගකාරිත්වයක් ඇති කරන්න බැහැ. අපේ අසල්වාසි රටවන ඉන්දියාවේ මේ වන විට විශාල කර්මාන්ත දියුණුවක් සිදු වෙමින් තිබෙනවා. තමිල්නාඩු, තෙලගනා, ආන්ද්‍රා ප්‍රදේශවල එම දියුණුව ඇතිව තිබෙනවා. අපත් ඒ සමග සම්බන්ධ විය යුතුයි. ඒ වගේම ලෝකයේ අනෙකුත් රටවල් සමග මේ හා සම්බන්ධව කටයුතු කිරීමට අප බලාපොරොත්තු වෙනවා. ඒ නිසා පළමුව සිදු කළ යුත්තේ කර්මාන්ත තරගකාරී තත්ත්වයට ගෙන ඒමයි. ඒ පිළිබඳ රජයෙන් ලබාදිය යුතු සියලු සහයෝගය ලබාදීමට පියවර ගෙන තිබෙනවා.
මේ සඳහා අවශ්‍ය මුදල් සපයා ගැනීම වෙනුවෙන් සංවර්ධන බැංකුවක් ඇති කිරීමට අප සාකච්ඡා කරමින් සිටිනවා. 1960දී අපට DFCC බැංකුව තිබුණා. ඒ වගේම 1980දී NDB බැංකුව ආරම්භ කළා. පුද්ගලීකරණයෙන් පසු මේ බැංකු දෙකම අපේ රටේ තිබෙන ප්‍රධාන වාණිජ බැංකු බවට පත්ව තිබෙනවා. විශේෂයෙන් එදා මේ බැංකු නොතිබුණා නම් ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ ඇගළුම් කර්මාන්ත ශාලා 200 වැඩසටහන සාර්ථක වන්නේ නැහැ. ඒ නිසා අලුත් බැංකුවක් ආරම්භ කිරිමට අප අපේක්ෂා කරනවා.
එහිදී පොලි අනුපාතය අඩු මට්ටමක තබාගත යුතුයි. ඒ වගේම මෙම කටයුතු ඉදිරියට ගෙන යාම වෙනුවෙන් ආර්ථික කොමිෂමක් ද ඇති කරනවා. අනෙකුත් මධ්‍යම පරිමාණ සහ සුළු පරිමාණ ව්‍යාපාරිකයන් වෙනුවෙන් එන්ට්‍රප්‍රයිස් ශ්‍රී ලංකා නමින් අලුත් ආයතනයක් ඇති කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ රටේ සියලු කර්මාන්තකරුවන්ට සහාය ලබාදීම වෙනුවෙන් මේ ආයතන පද්ධතිය නිර්මාණය කරනවා. ඊළග වසර 05 – 10 තුළ අප මෙම මාර්ගයේ ඉදිරියට ගමන් කළයුතුයි.
ඒ වගේම බංග්ලාදේශය, මියන්මාර්ය වැනි රටවලට ගොස් එහි නිෂ්පාදන කටයුතු සිදු කිරීමට අපට අවශ්‍ය නම් ඒ පිළිබඳවද ඉදිරියේදි අවස්ථාව ලබා ගැනීමට හැකියාව තිබෙනවා. අපේ ප්‍රතිපත්තිය මෙයයි. මේ කටයුතු සිදුකරන අතරම අප ඉන්දියාව සමගත් වැඩකටයුතු කරගෙන යනවා. මම ඒ පිළිබඳ නරේන්ද්‍ර මෝදි අගමැතිතුමා සමග සාකච්ඡා කළා. ඒ වගේම හෙට ඉන්දීය විදේශ අමාත්‍යවරයා සමඟත් ඒ පිළිබඳ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. මෙරට සූර්ය බලය සහ සුළං බලය භාවිතා කිරීම සහ හරිත හයිඩ්‍රජන් ලබා ගැනීම පිළිබඳ ඉන්දියාව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට අපේක්ෂා කරනවා. උතුරු මුහුදේ එම වාසිය ලබා ගැනීමට අප බලාපොරොත්තු වෙනවා. අදානි සමාගම ලංකාවට පැමිණියේ එහි පළමු පියවර ලෙසයි. අප මෙම නව මාර්ගයේ ගමන් කළයුතුයි.
නමුත් හැම කටයුත්තකදීම අධිකරණයට යාමේ සිරිතක් අපේ රටේ ඇතැම් අයට තිබෙනවා. එහි වාසිය ලැබෙන්නේ නීතිඥයන්ට පමණයි. අධිකරණයට ගිය පමණින් රට සංවර්ධනය කරන්න බැහැ. අපේ ජාතික ප්‍රතිපත්තිය අනුව අප ඉදිරියට යා යුතුයි. මෙම කර්මාන්ත ඉදිරියට ගෙන යාම වෙනුවෙන් සියලුදෙනා සාකච්ඡා කර නව වැඩපිළිවෙළක් සකස් කරන ලෙස මා කර්මාන්ත අමාත්‍යවරයාට උපදෙස් දී තිබෙනවා. එම කටයුතු ශක්තිමත් කිරීම වෙනුවෙන් ආර්ථික පරිවර්තන නීතිය අප පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා.
සෞඛ්‍ය සහ කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා
2022 වසර ශ්‍රි ලංකාවට ආර්ථික වශයෙන් ඉතාමත් අපහසු වසරක් වුණා. නමුත් මෙරට සියලු කර්මාන්තකරුවන් විවිධ බාධක මැද වුවද කර්මාන්ත ක්ෂේත්‍රය නගා සිටුවීමට කටයුතු කිරීම මම ඉතා අගය කරනවා. ඒ වෙනුවෙන් ජාතියේ ප්‍රණාමය ඔවුන්ට හිමිවිය යුතුයි. වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කර්මාන්ත අමාත්‍යවරයාව සිටියදී මෙරට කර්මාන්ත ක්ෂේත්‍රය වැඩි දියුණු කිරීමට විශාල වැඩකොටසක් ඉටු කළා. ඇගළුම් කර්මාන්ත ශාලා ආරම්භ කිරීම සහ නිදහස් වෙළෙඳ ගිවිසුම් ඇති කර ගනිමින් මෙරට කර්මාන්ත ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීමට එතුමා විශාල කැපවීමකින් කටයුතු කළා.
මේ වන විට ශ්‍රී ලංකාවේ අපනයන බහුතරය සීමා වී තිබෙන්නේ ඇගළුම් අපනයන සහ වැවිලි කර්මාන්තයට සම්බන්ධ නිෂ්පාදනවලින් පමණයි. නමුත් රටක් ලෙස අපට ඉදිරියට යාමේදී ආහාර තාක්ෂණය, ඖෂධ නිෂ්පාදනය,අසුරුම්කරණය, මෝටර් රථ එකලැස් කිරීම් ඇතුළු අංශ ගණනාවක විශාල විභවයක් තිබෙන බව මෙම ප්‍රදර්ශනය තුළින් පිළිබිඹු වෙනවා. ජාතියක් ලෙස අප තුළ තිබෙන මෙම ශක්තිය ඉදිරියට ගෙන යාමට අප කටයුතු කළ යුතු අතර ජනාධිතිපතිතුමා ඒ පිළිබඳ විශේෂ අවධානයකින් කටයුතු කරන බව කිව යුතුයි.
රාජ්‍ය අමාත්‍යවරුන් වන ප්‍රසන්න රණවීර, චාමර සම්පත් දසනායක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වජිර අබේවර්ධන, සම්පත් අතුකෝරල, කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ශාන්ත වීරසිංහ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් පාලිත ගුණරත්න මහීපාල, කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම, කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් එච්. එම්. එස්. සමරකෝන්, බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ් ද ශ්‍රී ලංකා එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක යන මහත්වරුන් ද විදෙස් තානාපතිවරුන්, සංස්ථා මණ්ඩල සභාපතිවරුන්, අනුග්‍රාහක සමාගම්වල නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.