ජනාධිපතිවරයා මේ බව පෙන්වා දුන්නේ "බලශක්ති පරිවර්තනයේ ඉදිරි ගමන්මග" මැයෙන් අද (29) පෙරවරුවේ කොළඹ හිල්ටන් හෝටලයේ පැවති වටමේස සාකච්ඡාවට එක්වෙමිනි.
ලෝක බැංකුව, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සහ ලංකා විදුලිබල මණ්ඩලය එක්ව සංවිධානය කර තිබූ මෙම වටමේස සාකච්ඡාව ශ්‍රී ලංකාවේ බලශක්ති පරිවර්තනය පිළිබඳ සාකච්ඡා කිරීමට වේදිකාවක් ලෙස කටයුතු කරනු ලැබීය.
හරිත හයිඩ්‍රජන් පිළිබඳ ප්‍රයිස් වෝටර් හවුස් කූපර්ස් (PricewaterhouseCoopers) ආයතනය විසින් මෑතකදී ඉදිරිපත් කරන ලද වාර්තාව පිළිබඳව මෙහිදී අවධානය යොමු කළ ජනාධිපතිවරයා එම වාර්තාව සතු වැදගත්කම මෙන්ම නැගී එන පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය තවදුටත් දිරිමත් කිරීම සඳහා පුළුල් සැලැස්මක අවශ්‍යතාව ද පෙන්වා දුන්නේය.
එහිදී දේශීය වශයෙන් විශේෂඥ දැනුම ලබා ගැනීමේදී මතුව ඇති දුෂ්කරතා පිළිබඳව සඳහන් කළ ජනාධිපතිවරයා ඊට සහාය ලබා දෙන ලෙස ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව සහ දෙස් විදෙස් ආයෝජකයින් ඇතුළු සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටියේය.
තිරසර හා තරගකාරී ආර්ථිකයක් නිර්මාණය කිරීමට ශ්‍රී ලංකාව කැපවී සිටින බවත් ඒ සඳහා පුනර්ජනනීය බලශක්තිය ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරන බවත් මෙහිදී පැවසූ ජනාධිපතිවරයා ඉදිරියේදී විදුලිබල ප්‍රතිසංස්කරණ පනත් කෙටුම්පත සහ දේශගුණික විපර්යාස පිළිබඳ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවද සඳහන් කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.
බංකොලොත්භාවයෙන් මිදීමට කටයුතු කරමින් සිටින ශ්‍රී ලංකාව මේ වන විට නව ආර්ථික රාමුවක් කෙරෙහි අවධානය යොමු කර තිබෙනවා. අපනයනයට නැඹුරු වූ ඉතා තරගකාරී ආර්ථිකයක් වෙත පරිවර්තනය වීම අපගේ අරමුණ වන අතර, එය කෘෂිකර්මය මත පදනම් වූ හරිත ආර්ථිකයක් ද විය යුතුයි.
අප දැනමටමත් එම කටයුතු සැලසුම් කර තිබෙන අතර ආර්ථිකයේ නව අංශ කිහිපයක්ද හඳුනාගෙන සිටිනවා. එහිදී ශ්‍රී ලංකාව සතුව පවතින පුනර්ජනනීය බලශක්තිය සහ හරිත හයිඩ්‍රජන් පිළිබඳ අවධානය යොමු කර තිබෙන අතර පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු ලෙස ඉදිරියට ඒමට ශ්‍රී ලංකාවට ඉහළ හැකියාවක් පවතිනවා.
එසේම ශ්‍රී ලංකාවේ වියළි කලාපය තුළ සුළං බලශක්තිය නිෂ්පාදනය සඳහා තිබෙන විභවය සමඟ එම ක්ෂේත්‍රය තුළ වේගවත් සංවර්ධනයක් අත්කර ගැනීම අපගේ අරමුණයි. ශ්‍රී ලංකාව ශුන්‍ය විමෝචන තත්ත්වයට ළඟා වීම වෙනුවෙන් කරනු ලබන කැපවීම සමඟ මෙය අනුකූල වන අතර 2040 වන විට මෙම ඉලක්ක කරා ළඟා වීම අපේ අපේක්ෂාවයි.
විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයට පිළිගත හැකි සංශෝධන රැසක් සමඟින් මීට දින දෙකකට පමණ පෙර ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අනුමත කරන ලද විදුලිබල ප්‍රතිසංස්කරණ පනත් කෙටුම්පත අප දැනටමත් ඉදිරිපත් කර තිබෙනවා. එළැඹෙන මාසයේ දී අප මේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුව තුළ විවාද කර සම්මත කර ගැනීමට කටයුතු කරනවා.
ඒ වගේම ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත දැනටමත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. එය මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කර ඇති අතර, අනිවාර්යයෙන්ම මෙම ජූලි මස ආරම්භය වන විට මෙය නීතියක් බවට පත් කළ යුතුයි. එබැවින් මෙම කටයුතු දැනට ව්‍යවස්ථාදායක සභාව තුළ සිදු කෙරෙමින් පවතිනවා.
ඒ වගේම දේශගුණික විපර්යාස පනත දැනටමත් කෙටුම්පත් කරමින් පවතින අතර එය මේ පිළිබඳ වන තුන්වන පනතයි.
සිව්වනුව, අප සාකච්ඡා කළ යුත්තේ බලශක්ති පරිවර්තනය පිළිබඳ නීති සම්පාදනය කිරීම පිළිබඳවයි. ඇතැම් රටවල බලශක්ති පරිවර්තනය පිළිබඳ නීති තිබෙනවා. අප ඒ පිළිබඳ අධ්‍යයනය කරමින් සිටින අතර දකුණු ඕස්ට්‍රේලියාව වැනි ඇතැම් ප්‍රදේශවල එම නීති ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව ද අධ්‍යයනය කර තිබෙනවා. බලශක්ති පරිවර්තනය පිළිබඳ නීති සම්පාදනය කිරීමේ දී එය අපට ප්‍රයෝජනවත් විය හැකියි.
එහිදී අප නව ක්ෂේත්‍ර වෙත ගමන් කිරීමට අපේක්ෂා කරන අතර, විදුලිය නිපදවීම සඳහා පමණක් නොව, විදුලිය බෙදා හැරීම සඳහා ද අප එම ක්ෂේත්‍ර විවෘත කරනවා. එහිදී පෞද්ගලික අංශය ප්‍රධාන භූමිකාවක් ඉටු කරනු ඇතියි.
එසේ නොමැතිව 2040 හෝ 2050 වන විට අපේ ඉලක්ක සපුරා ගත හැකි වෙනත් ක්‍රමවේදයක් නැහැ. මුදල් අමාත්‍යාංශය අනෙකුත් අංශ සමඟ මෙම කටයුතු සම්බන්ධීකරණය කරමින් සිටිනවා.
පරිසර අමාත්‍යාංශය සහ විදුලිබල අමාත්‍යාංශය හරිත මූල්‍යකරණය පිළිබඳ ප්‍රතිපත්ති සම්පාදනය කරමින් සිටින අතර හරිත හයිඩ්‍රජන් වලට පරිවර්තනය වීම සහ පුනර්ජනනීය බලශක්තිය භාවිතා කිරීම සඳහා වන අපගේ සැලසුම් වන්නේ මේවායි. හරිත හයිඩ්‍රජන් සඳහා අප සතුව ඉහළ විභවයක් පවතින අතර එහි ඇස්තමේන්තු ගත ප්‍රමාණය ගිගාවොට් 40 ක් පමණ වෙනවා. ඇතැම් විට එය ඊටත් වඩා වැඩි විය හැකියි.
මන්නාරම ප්‍රදේශයේ හරිත හයිඩ්‍රජන් නිපදවීම සඳහා සැලකිය යුතු විභවයක් පවතිනවා. නමුත් එහි ගැටළු ගණනාවක් තිබෙන අතර අප ඒවාට විසඳුම් සෙවිය යුතුයි. එහිදී පුද්ගලික අංශයේ ආයෝජන ලබා ගැනීම සඳහා අප ඔවුන්ව දිරිමත් කළ යුතුව තිබෙනවා. ඉන්දියාව දැනටමත් හරිත හයිඩ්‍රජන් අපනයනය සිය සැලසුම්වලට ඇතුළත් කර ඇති අතර, ඒ සඳහා ඔවුන් සැලකිය යුතු හරිත හයිඩ්‍රජන් ප්‍රමාණයක් නිපදවනවා.
ඒ වගේම විදුලිය බෙදා හැරීම සඳහා අලුතින් මුහුද යටින් දිවෙන කේබල් ඉදිවෙනවා. ඉන් එකක් ඕස්ට්‍රේලියාව සහ සිංගප්පූරුව අතර ඉදිවනු ඇති අතර, අනෙක සිංගප්පූරුව සහ ඉන්දියාව අතර ඉදිවනු ඇතියි. එහිදී මුහුද යටින් දිවෙන ඉන්දු-සිංගප්පූරු කේබලය ශ්‍රී ලංකාවට සම්බන්ධ කිරීමේ හැකියාව පවතිනවා. හරිත හයිඩ්‍රජන් භාවිතය දෙස බලන විට, ශ්‍රී ලංකාවට කලාපය තුළ දිගුකාලීන සැපයුම් මධ්‍යස්ථානයක් බවට පත්වීම සඳහා එය උපකාරී වනු ඇතැයි අප විශ්වාස කරනවා.
හරිත හයිඩ්‍රජන් ප්‍රභවයන්ට ආසන්න ත්‍රිකුණාමලය, හරිත හයිඩ්‍රජන් පවතින දකුණේ හම්බන්තොට සහ කොළඹ ලෙස අපට වරායන් තුනක් තිබෙනවා. අප ඉන්දියාව සමඟ ගොඩබිම් පාලමක් මෙන්ම දකුණු ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ගොඩබිම් සම්බන්ධතාවයක් ගැන සාකච්ඡා කරමින් සිටිනවා. එනම් අපට දකුණු ඉන්දියාවට ළඟා වීමේ හැකියාව ද පවතිනවා.මේ වන විටත් අප ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර බලශක්ති සම්බන්ධතාවය පිළිබඳව සාකච්ඡා කරමින් සිටින අතර මේ සියල්ල නිසි ලෙස සිදුවනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා.
ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්තිය ප්‍රයෝජනයට ගැනීම සඳහා අපට ඇති රාමුව කුමක්ද සහ ප්‍රවණතා මොනවාද යන්න පිළිබඳවද අවධානය යොමු කළ යුතුයි.
මීට මාසයකට පමණ පෙර, ප්‍රයිස් වෝටර් හවුස් කූපර්ස් (PricewaterhouseCoopers) සමාගම විසින් හරිත හයිඩ්‍රජන් පිළිබඳ සිය නවතම වාර්තාව නිකුත් කළ අතර එය ඉතා සිත්ගන්නා සුළු වාර්තාවක් වෙනවා.
ඒ නිසා අප සියලුදෙනා එක්ව මෙම අරමුණ ඉටුකර ගත යුතුයි. නමුත් මේ සඳහා අපට පරිපූර්ණ විශේෂඥ දැනුමක් නොමැති බව පිළිගත යුතුයි. ඒ සඳහා අපට බාහිර උපකාර අවශ්‍යයි. ඒ නිසා ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව සහ ඒ පිළිබඳ උනන්දුවකින් කටයුතු කරන පාර්ශ්වයන් අපට නිසැක වශයෙන්ම සහය ලබා දෙනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා. අප හරිත ආර්ථිකයක් බිහිකිරීම සඳහා කැපවී සිටින බැවින් මේ තුළ ඉදිරියට යාම අවශ්‍යයි.
විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා
ශ්‍රී ලංකාවේ බලශක්ති පරිවර්තනය සඳහා ජාත්‍යන්තර හවුල්කරුවන්ගේ සහයෝගීතාව සමඟ උපායමාර්ගික මුලපිරීම් ඇතුළු වැඩසටහන් රැසක් අප ක්‍රියාත්මක කර තිබෙනවා. පුනර්ජනනීය බලශක්ති භාවිතය, බලශක්ති සුරක්ෂිතතාව සහතික කිරීම මෙන්ම පිරිවැය අඩු කිරීම ඉලක්ක කරගත් ප්‍රතිසංස්කරණ සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් අනුමැතිය ද ඒ අතර කැපී පෙනෙනවා.
2030 වන විට මෙරට බලශක්ති අවශ්‍යතාවයෙන් 70%ක් පුනර්ජනනීය බලශක්තිය මගින් ලබා ගැනීම මෙන්ම 2040 වන විට කාබන් ශුන්‍ය තත්ත්වය ළඟාකර ගැනීම ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ ඉලක්ක බවට පත්ව තිබෙනවා. මෙම ක්‍රියාවලිය සඳහා COP26 හි මූලධර්මවලට අනුකූලව නව ගල් අඟුරු බලාගාරවලට එරෙහි ප්‍රතිපත්තිය ද ඇතුළත් වෙනවා. කෙසේ වෙතත්, 2030 වන විට නව පුනර්ජනනීය බලශක්ති භාවිතයෙන් මෙගාවොට් 4000 ක් ජාලයට ඒකාබද්ධ කිරීම වැනි අභියෝග තවමත් පවතිනවා.
ව්‍යාපෘති තක්සේරු කිරීමේදී මෙන්ම සුදුසු මිල නියම කිරීමේදී අතිරේක තාක්ෂණික සහාය අවශ්‍ය වෙනවා. සුදුසු තාක්ෂණය සහිත නිවැරදි ආයෝජකයින් ආකර්ෂණය කර ගැනීම මෙන්ම පාරිභෝගිකයින් සඳහා තරගකාරී මිල නියම කිරීම සහතික කිරීම සඳහා එය වැදගත් වෙනවා. බලශක්ති ක්ෂේත්‍රයට සම්බන්ධ ආයතන සවිබල ගැන්වීම ද වැදගත් වෙනවා. විදුලිබල ප්‍රතිසංස්කරණ පනතේ අරමුණ ඒවා දුර්වල කිරීම නොව ශක්තිමත් කිරීම බව කිවයුතුයි. විශේෂයෙන් මේ සඳහා ලංකා විදුලි මණ්ඩලය, තිරසර බලශක්ති අධිකාරිය වැනි නියාමන ආයතන බලගැන්වීම වැදගත් වෙනවා.
ලෝක බැංකුවේ ශ්‍රී ලංකාව සඳහා වන අධ්‍යක්ෂ ෆාරිස් එච්. හදාද්-සර්වෝස්
(Faris H. Hadad-Zervos) මහතා
ආර්ථික වර්ධනය සඳහා පුනර්ජනනීය බලශක්ති ආයෝජන ඉතා අවශ්‍යයි. 2030 වන විට සිය බලශක්ති අවශ්‍යතාවයෙන් 70%ක් පුනර්ජනනීය බලශක්තියෙන් සපයා ගැනීමටත්, පුනර්ජනනනීය බලශක්ති ක්ෂේත්‍රයේ කලාපීය බලවතෙකු බවට පත්වීම සඳහාත් වන ශ්‍රි ලංකාවේ ඉලක්කය මම ප්‍රශංසාත්මකව අගය කරනවා.
COP27 හිදී එළිදක්වන ලද දේශගුණික සෞභාග්‍ය සැලැස්ම මගින් දේශගුණික අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ ජාතික උපායමාර්ගය පිළිබඳ විස්තර කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ව්‍යාප්ත කිරීමේ ප්‍රගතිය පිළිබඳ මෙන්ම විශේෂයෙන්, සූර්ය හා සුළං බලශක්ති ප්‍රසම්පාදනය පිළිබඳව මම සතුටු වෙනවා.
පෞද්ගලික අංශයේ ආයෝජන ආකර්ෂණය කර ගැනීම වෙනුවෙන් පුනර්ජනනීය බලශක්ති ප්‍රසම්පාදනය සඳහා පවතින ආයතනික ධාරිතාව සහ නියාමන රාමු වැඩිදියුණු කිරීම ඉතා වැදගත් වෙනවා.
පාලනය, කාර්යක්ෂමතාව සහ මූල්‍ය තිරසරභාවය වැඩිදියුණු කිරීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් ආරම්භ කර ඇති විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ සඳහා අනෙකුත් හවුල්කරුවන්ගේ ද සහාය ඇතිව ප්‍රතිපත්ති උපදේශන, තාක්ෂණික ආධාර සහ මූල්‍යමය වශයෙන් සහාය දැක්වීමට ලෝක බැංකුව සූදානම් බව මම ප්‍රකාශ කිරීමට කැමතියි.
රාජ්‍ය අමාත්‍යවරුන් වන ඩී.වී. චානක, ඉන්දික අනුරුද්ධ, දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන, විදුලි හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන, ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති නලින්ද ඉලංගකෝන් යන මහත්වරුන් මෙන්ම විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සහ ලංකා විදුලිබල මණ්ඩලය ඇතුළු රේඛීය ආයතනවල ඉහළ නිලධාරීන්, ලෝක බැංකුව (World Bank), ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව (AIIB), ජපාන සහයෝගීතා නියෝජිතායතනය (JICA), ජාත්‍යන්තර සංවර්ධනය පිළිබඳ එක්සත් ජනපද නියෝජිතායතනය (USAID), ආසියානු සංවර්ධන බැංකුව (ADB) ඇතුළු ජාත්‍යන්තර සංවිධානවල නියෝජිතයින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.