මේ සඳහා ශ්‍රී ලංකාවේ දේශගුණික විපර්යාස ලේකම් කාර්යාලය වෙනුවෙන් දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන, දේශගුණික අවදානම් සංසදය (CVF) වෙනුවෙන් එහි මහ ලේකම් මාලදිවයිනේ හිපටු ජනාධිපති මොහොමඩ් නෂීඩි සහ පෘතුගාලයේ Nativa Capital සමාගම වෙනුවෙන් එහි ප්‍රධාන විධායක අධ්‍යක්ෂ කාලෝස් ගෝමස් යන අය අත්සන් තැබූහ.
ගොවිපල අස්වැන්න සහ ගොවීන්ගේ ආදායම ඉහළ නැංවීමේ අරමුණින් වැඩිදියුණු කළ සහ වඩාත් තිරසාර ගොවිතැන් පිළිවෙත් හඳුන්වා දෙමින් ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ප්‍රජාවගේ ගෘහ ආශ්‍රිත ගොවිතැන වැඩිදියුණු කිරීම මෙම ගිවිසුමේ අරමුණයි. ශ්‍රී ලංකාවේ බොහෝ ගොවිපළවල් දැනට කුඩා පරිමාණයෙන් පවතින අතර, ඒ නිසාම, අඩු අස්වැන්නක් සහ අඩු ආදායම් හමුවේ පීඩාවට පත්ව තිබේ.
ඒ හේතුවෙන් එක්සත් ජනපද ඩොලර් මිලියන 100ක ආයෝජනයක් සිදු කර ගොවීන් පවුල් 15,000කට අවශ්‍ය ආධාර හා තාක්ෂණය ලබාදෙන නියමු ව්‍යාපෘතියක් අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කිරීමට ද නියමිතය.
අවබෝධතා ගිවිසුමට ඇතුළත් කර ඇති ගොවිතැන් හා වන වගා ව්‍යාපෘති හඳුනාගෙන තිබෙන්නේ දේශගුණික අවදානම් සංසදය (CVF) හි සහාය ඇතිව ශ්‍රී ලංකාව විසින් කෙටුම්පත් කරන ලද ශ්‍රී ලංකාවේ දේශගුණික සෞභාග්‍ය සැලැස්ම තුළිනි.
මේ සම්බන්ධයෙන් 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන කියා සිටියේ තිරසර කෘෂිකර්මාන්තයක් මඟින් ශක්තිමත් අපනයන ආර්ථිකයක් නිර්මාණය කළ හැකි බවය.
මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන මෙසේද පැවසීය.
නවීන කෘෂිකර්මාන්තයක් ඇති කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගෙනයන වැඩපිළිවෙළ අනුව කෘෂිකර්මාන්තයට නවීන තාක්ෂණය හඳුන්වාදීම සඳහා සහායවීමට පෘතුගාල සමාගමක් ආයෝජකයකු ලෙස ඉදිරිපත්ව සිටිනවා. මෙය එක්සත් ජනපද ඩොලර් මිලියන 100ක පමණ ආයෝජනයක් බව සඳහන් කළ යුතුයි.
මේ සඳහා අනුරාධපුර දිස්ත්‍රික්කයේ පවුල් 15,000ක් හා අක්කර 15,000ක් දැනටමත් හඳුනාගෙන තිබෙනවා. ඉන් පවුල් 15ක් සහ අක්කර පහළොවක් මෙම නියමු ව්‍යාපෘතියට එක් කර ගැනීමට බලාපොරොත්තු වෙනවා. එක් පවුලකට එක්සත් ජනපද ඩොලර් 6000ක පමණ පිරිවැයක් දැරීමට ආයෝජන සමාගම එකඟතාව පළ කර තිබෙනවා. මේ ගිවිසුම අනුව ඉදිරි වසර 25ක් සඳහා කෘෂිකර්මාන්තයට තාක්ෂණික සහාය ලබාදීමට සැලසුම් කර තිබෙන බව කිය යුතුයි.
කෘෂිකාර්මාන්තයට අදාළ නවීන තාක්ෂණික උපකරණ ලබාදීමද මෙම ව්‍යාපෘතිය හරහා සිදුවෙනවා. ඒ වගේම ගොවි ජනතාවට ප්‍රශ්නයක්ව පැවති තම නිෂ්පාදන සඳහා අවශ්‍ය වෙළෙඳ පොළක් මෙහිදී නිර්මාණය කර දීමටත් හැකි වෙනවා. මෙම ව්‍යාපෘතිය මගින් නිෂ්පාදනය කරන භාණ්ඩ මිලදී ගැනීමට ආයෝජන සමාගම එකඟතාව පළකර තිබෙනවා. දැනට මිරිස්, තක්කාලි සහ කොමඩු වගාවන්ට යොමු වී තිබෙන බව කිව යුතුයි. ඉදිරියේදී වෙනත් බෝග නිෂ්පාදනය සඳහාත් අවධානය යොමුව තිබෙනවා.
මෙම නියමු ව්‍යාපෘතිය සාර්ථකවීමෙන් අනතුරුව අනෙකුත් දිස්ත්‍රික්වලට නවීන තාක්ෂණය හඳුන්වාදීමට ද රජය බලාපොරොත්තු වෙනවා. මෙම නවීන කෘෂිකර්මාන්තය සමඟ අපනයන ආර්ථිකයේ පරිවර්තනීය වෙනසක් ඇති කිරීමට හැකියාව ලැබෙනවා. ඒ සමගම ගොවි ජනතාවගේ ජීවන තත්ත්වය නඟාසිටුවීමට හැකියාව ලැබෙනවා.
කෘෂිකර්මාන්තය නවීකරණය කිරීම සම්බන්ධව වඩාත් ආර්ශනීය හා ඵලදායි සැලැස්ම තිබෙන්නේ ශ්‍රී ලංකාවට බව මෙහිදී අදහස් දැක්වූ දේශගුණික අවදානම් සංසදයේ (CVF) මහ ලේකම් මාලදිවයිනේ හිපටු ජනාධිපති මොහොමඩ් නෂීඩි පැවසීය.
ශ්‍රී ලංකා දේශගුණික සෞභාග්‍ය සැලැස්ම තුළ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමේ වැදගත්කම ද ඔහු අවධාරණය කළේය.
දේශගුණික අවදානම් සංසදය විසින් මෙහෙයවනු ලබන මෙම සැලසුම් පාරිසරික ආරක්ෂාව සමඟ ආර්ථික වර්ධනය සමතුලිත කරන අඩු කාබන් සංවර්ධන උපාය මාර්ග ප්‍රවර්ධනය කරන බවත් ශ්‍රී ලංකාව, බංගලිදේශය සහ ඝානාව යන රටවල සාර්ථක ලෙස ක්‍රියාත්මක වීම සහ තවත් රටවල් හතක උනන්දුව සමඟින්, මෙම සැලසුම් ලොව පුරා ප්‍රචලිත වෙමින් පවතින බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.