ගෘහනියගේ සිට කාර්යාලයේ, වැඩබිමේ, ගොවිපොළේ ආදී සෑම ක්ෂේත්‍රයක ම සිටින සමස්ත කාන්තා ප්‍රජාව ම ආවරණය වන ආකාරයෙන් මෙම මූලෝපායික සැලැස්ම සකස් කර තිබේ.
මෙම සැලැස්ම ප්‍රධාන අරමුණු හතක් මූලික කර ගනිමින් සකස් කර ඇති අතර ඉදිරි තෙවසර අවසන් වන විට එම අරමුණු සාක්ෂාත් කර ගැනීමට අපේක්ෂා කරන බවත්, එය 2030 ජාතික ඩිජිටල් ආර්ථීක මූලෝපායික සැලැස්ම හා සම්බන්ධව ක්‍රියාත්මක වන බවත් ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය සඳහන් කරයි.
සුහුරුලිය 2.0 මූලෝපායික සැලැස්ම තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් සහ කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ යන අය වෙත නිල වශයෙන් පිළිගැන්වීම ද මෙහි දී සිදු විය.
ව්‍යවසායිකාවන් දස දහසක් දෙනා ඩිජිටල් තාක්ෂණයෙන් සවිබල ගන්වා ඩිජිටල් ව්‍යවසායිකාවන් වශයෙන් ජාත්‍යන්තර වෙළෙඳපොළට ප්‍රවේශ කරවීම, මෙරට කාන්තා ජනගහනයෙන් සියයට පනහක පිරිසක් 2026 වසර වන විට ජාතික ආර්ථිකයේ සක්‍රීය දායකත්වය දක්වන කොටස්කාරියන් බවට පත් කිරීම, 2026 වසර වන විට STEM අධ්‍යාපනය තුළ කාන්තා සංයුතිය සියයට හතළිහ දක්වා වර්ධනය කිරීම, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශ්‍රම බලකායේ කාන්තා දායකත්වය සියයට හතළිස් පහ දක්වා වර්ධනය කිරීම, රාජ්‍ය අංශයේ සිටින කාන්තාවන් නව ඩිජිටල් යුගයට ගැළපෙන පරිදි බල ගැන්වීම, විශේෂ අවශ්‍යතා සහිත කාන්තාවන්, විදේශ රැකියා සඳහා පිටත්ව යන කාන්තාවන් සහ තොරතුරු තාක්ෂණ නොවන උපාධි ලත් කාන්තාවන් ඩිජිටල් ආර්ථිකයේ ප්‍රතිලාභ ලබා ගැනීමට හැකි පරිදි බල ගැන්වීම, සයිබර් අවකාශයේ කාන්තාවන් සඳහා ආරක්ෂාව සහ ආරක්ෂිතව තොරතුරු හුවමාරු කර ගැනීම පිළිබඳ දැනුම හා පුහුණුව ලබා දීම මෙම මූලෝපායික සැලැස්මට ඇතුළත් වේ.
මෙම අවස්ථාව ඇමතූ තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත්, DIGIECON 2030 වැඩසටහන යටතේ මේ වන විට රටට ඩිජිටල් ආර්ථික ප්‍රතිපත්තියක් සකස් කර තිබෙන බවත්, එම ප්‍රතිපත්තියට ඇතුළත් ප්‍රජාව ඩිජිටල් තාක්ෂණයෙන් සවිබල ගැන්වීම සහ ඩිජිටල් ආර්ථිකය ශක්තිමත් කිරීම යන ප්‍රමුඛ කාරණා දෙක සුහුරුලිය මූලෝපායික 2.0 සැලැස්මට ද ඇතුළත් කර තිබීම ඉතා වැදගත් බවත් සඳහන් කළේය.
ජාතික ඩිජිටල් ආර්ථික ප්‍රතිපත්තිය ප්‍රායෝගිකව ගම් මට්ටමේ සිට ක්‍රියාත්මක කළ හැකි වැඩසටහනක් බව ද රටේ ඩිජිටල් සාක්ෂරතාවය වර්ධනය කරමින් තොරතුරු තාක්ෂණ කර්මාන්තය පුළුල් කිරීමට කටයුතු කරමින් සිටින බව ද සුහුරුලිය වැඩසටහන ගැන පසුවිපරමක් කිරීමත්, දිවයින පුරා පුළුල්ව ව්‍යාප්ත කිරීමත් ඉතා වැදගත් බව ද රාජ්‍ය අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම අවස්ථාව ඇමතූ කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය සඳහන් කළේ ගෝලීය වශයෙන් මෙන් ම රටක් වශයෙන් ද තිබෙන අභියෝග ජය ගැනීමට නම් කාන්තා ප්‍රජාව නිසැකව ම තොරතුරු තාක්ෂණ දැනුම ලබා ගත යුතු බවත්, එවිට ස්ව ශක්තියෙන් නැගී සිටිමින් රටේ ආර්ථිකයටත් ශක්තියක් ලබා දීමට ඔවුන්ට හැකි වෙන බවත් ය. තම අමාත්‍යංශය මෙතෙක් මේ සඳහා ලබා දුන් සහාය ඉදිරියටත් ලබා දීමට කටයුතු කරන බව ද රාජ්‍ය අමාත්‍යවරිය මෙහි දී අවධාරණය කළාය.
ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සභාපති මහාචාර්ය මලික් රණසිංහ සඳහන් කළේ රටේ ජනගහනයෙන් සියයට පනස් දෙකක් මෙන් ම උසස් අධ්‍යාපනය හදාරන පිරිසගෙනුත් බහුතරය කාන්තාවන් වුවත් රැකියාවලට ප්‍රවේශ වීමේ දී එය අඩු ප්‍රතිශතයක් ගන්නා බවයි. තොරතුරු තාක්ෂණ දැනුම මඳ වීම එයට එක් හේතුවක් බව ද නොමිලේ අධ්‍යපනය ලබා රැකියා කිරීමට විදේශ ගත වූ විට එහි ඵල ප්‍රයෝජන ලබන්නේ එම රටවල් බව ද පැවසූ මහාචාර්යවරයා විදේශයන්ගෙන් ණය ලබා ගන්නා විට ඒ ගැනත් අවධානය යොමු කළ යුතු බව පැවසීය. කාන්තා ප්‍රජාව තොරතුරු තාක්ෂණයෙන් බලගන්වා රටේ ආර්ථිකයට සක්‍රීයව හවුල් කර ගත හැකි ප්‍රායෝගික වැඩපිළිවෙළක් සුහුරුලිය 2.0 මූලෝපායික සැලැස්මට අන්තර්ගත කර තිබෙන බව ඔහු පැවසීය.
“ඩිජිටල් ආර්ථිකය සඳහා ශ්‍රී ලාංකේය කාන්තාවන් සවිබල ගැන්විය යුත්තේ කෙසේ ද?” මැයෙන් මෙහි දී විශේෂ සාකච්ඡාමය සැසියක් ද පැවැත්විණි.
සුහුරුලිය 2.0 මූලෝපායික සැලැස්ම සකස් කිරීම සඳහා රාජ්‍ය ආයතන, රාජ්‍ය නොවන සංවිධාන, කාන්තා සංවිධාන ඇතුළු ආයතන 59ක් සිය දායකත්වය ලබා දී තිබෙන අතර මාස 8ක කාලයක් ඒ සඳහා ගත වී තිබේ.
තාක්ෂණ අමාත්‍යාංශය, කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යංශය, මෙටා (Meta) ආයතනය, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය සංවර්ධනය සඳහා වන එක්සත් ජාතීන්ගේ ආසියානු සහ පැසිෆික් පුහුණු මධ්‍යස්ථානය ඇතුළු ආයතන ගණනාවක් සුහුරුලිය වැඩසටහන අඛණ්ඩව ඉදිරියට ගෙන යෑම සඳහා සිය සහාය ලබා දී ඇත.
RS