නිදහස් සැමරුම වන විට ජනවාර්ගික ගැටළුවට විසඳුමක්. සර්වපාක්ෂික සමුළුව සාර්ථකයි

Published in පුවත්
Wednesday, 14 December 2022 20:43

පසුගියදා පාර්ලිමේන්තුව හමුවේ දෙමල ජාතික සංධානයේ මන්ත්‍රී සුමන්තිරන් මහතා දෙමළ ජනතාව මුහුණ දෙමින් තිබෙන ගැටළු ගැන අවධානය යොමුකළ අවස්ථාවේදී එම මොහොතේ පාර්ලිමේන්තුව තුළ සිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙම ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් ලබා දී විසඳීමට එකතුවෙලා තීරණයක් ගන්න එකඟ දැයි දේශපාලන පක්ෂ නායකයන් නම් කරමින් විමසා සිටියේය. ඒ අනුව සියලුම දෙනා එකඟ වූ අතර එහිදී දෙසැම්බර 11 වන දිනෙන් පසුව සාකච්ඡා කිරීමටද ජනධිපතිවරයා යෝජනා කළේය. ඒ අනුව ඊයෙ දිනයේදී එම සර්වපාක්ෂික සමුළුව කැඳවන ලදී.

මෙම සමුළුව් ඉතා සාර්ථකව පැවැති අතර යෝජනා රැසක් සාකච්ඡාවට ගැනිනි. එසේම දින වකවානු නියම කරමින් විසඳුම් යෝජනා ගෙන එම ගැනද එකඟතාවයකට පත්ව තිබේ.

මේ සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ දිගු නිවේදනය පහතින් පලවේ.

එළැඹෙන ‍නිදහස් සැමරුම වන විට ජනවාර්ගික ගැටළුවට විසඳුමක් ලබාදීමට සියලු දේශපාලන පක්ෂ එක් විය යුතුයි – ජනපති.

එළැඹෙන 75 වන ‍නිදහස් සැමරුම වන විට ජනවාර්ගික ගැටළුවට විසඳුමක් ලබාදීම සඳහා සියලු දේශපාලන පක්ෂ පොදු එකඟතාවකට පැමිණිය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ජනාධිපති කාර්යාලයේ ඊයේ (13) පස්වරුවේ පැවති සර්ව පාක්ෂික සමුළුවට එක්වෙමිනි.

ජාතික සංහිඳියාව තුළින් ජනවාර්ගික ගැටළුවට විසඳුම් සෙවීම සඳහා පොදු එකඟතාවක් ඇතිකර ගැනීමේ අරමුණින් ජනාධිපතිවරයා විසින් මෙම සමුළුව කැඳවා තිබිණි.

එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙන්ම සර්ව පාක්ෂික සමුළුව සඳහා සහභාගී වූ දේශපාලන පක්ෂ නියෝජිතයන් දැක්වූ අදහස් පහත දැක්වේ.

මේ රටේ තිබෙන ප්‍රශ්නය විසඳීමට අප සියලු දෙනා එක් විය යුතුයි. ඒකට ජනවාර්ගික ප්‍රශ්නය කියනවද, වෙන මොකක් හරි නමක් කියනවද කියන එක වැදගත් නැහැ. අපිට අවශ්‍ය වන්නේ මේ ප්‍රශ්නයවල විසඳුම් ලබාදීමයි. සියලු දේශපාලන පක්ෂ එකතුවෙලා මේ සඳහා විසඳුමක් සෙවීමට පාර්ලිමේන්තුවේදී එකඟතාවක් ඇති කර ගත්තා. අද මේ පක්ෂ නායක රැස්වීම කැඳවනු ලැබුවේ ඒ සඳහායි.

රටේ ජාතික ප්‍රශ්නය පිළිබඳ අද උතුරේ මන්ත්‍රීවරු සාකච්ඡා කරල තිබෙනවා. කොටස් දෙකක් යටතේ මෙම ප්‍රශ්නය සාකච්ඡා කළ හැකියි. පළමු කරුණ වන්නේ අතුරුදන්වූවන් සඳහා වන්දි ගෙවීමේ ක්‍රියාවලිය හා ඔවුන් සම්බන්ධයෙන් සිදුකරන පර්යේෂණ. ත්‍රස්තවාදය වැළැක්විමේ පනත, ඒ වගේම ඉඩම් සම්බන්ධයෙන් විසඳුම් ලබාදිය යුතු ගැටළු රැසක් තිබෙනවා. දෙවනුව තිබෙන්නේ බලය බෙදීම සම්බන්ධව නීතිමය කටයුතු කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළයි.

මේ සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යවරයා සහ අධිකරණ අමාත්‍යවරයා එක්ව විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා. ඒ අනුව අතුරුදන්වූවන් පිළිබඳ වත්, දේශපාලන සිරකරුවන් පිළිබඳ වත් වාර්තාවක් ලබාදීමට අපි බලාපොරොත්තු වෙනවා. ඉන් පසුව අපිට පුළුවන් බලය බෙදීම ගැන කතා කරන්න.
ඒ සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නවාස් මහතාගේ ප්‍රධානත්වයෙන් පත්කළ කමිටුවේ වාර්තාවතව සතියකින් පමණ මුද්‍රණය කෙරෙනවා. එම වාර්තාවේ යෝජනා ගණනාවක් ඇතුළත් වෙනවා. මීට පෙර ලබාදුන් වාර්තාවල යෝජනා ද අපි මෙහිදී සලකා බලනවා.

විදේශ අමාත්‍ය අලි සබ්‍රි මහතා,

ජිනීවා නුවර පැවැත්වෙන මානව හිමිකම් පිළිබඳ කොමිසමේ සාකච්ඡා හා ශ්‍රී ලංකාව පිළිබඳ ජාත්‍යන්තරයේ සිදු කෙරෙන සාකච්ඡා ප්‍රධාන වශයෙන් කරුණු දෙකක් යටතේ සිදු කෙරෙනවා.

එහිදි අපි ඉදිරිපත් කළ උගත් පාඩම් කොමිසම, උදුලාගම කොමිසම හා පරණගම කොමිසම් වාර්තා සැලකිල්ලට ගෙන තිබෙනවා. එම හැම වාර්තාවකින්ම පෙන්වා දී තිබුණේ, රට තුළ සිදුවූ සිදුවීම් සඳහා විසඳුම් ලබාදීමට තිබෙන නමුත් , විදෙස් රටක යාන්ත්‍රණයක් යටතේ මෙම විසඳුම් ලබා දීමට නොහැකි බවයි. ඒ අනුව අපි මේ සඳහා දේශීය යාන්ත්‍රණයක් යටතේ විසඳුම් ලබාදීමට පොරොන්දු වී තිබුනත් එය ක්‍රියාත්මක වී නැහැ.

ජනාධිපතිවරයා පවසන අන්දමට, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තමයි, නවාස් කොමිසම පත් කළේ.

එම කොමිසම මගින් සිදුවුණේ ,පසුගිය කොමිසන් සභාවල යෝජනාත් ඇතුළත් කර ගනිමින්, ‍මේ සඳහා විසඳුම් ලබාදීමට අවශ්‍ය වැඩපිළිවෙළ සකස් කිරීමයි. ඒ අනුව මෙම යාන්ත්‍රණය ගෙන ඒමට අපිට වගවීමක් තිබෙනවා.

ආරක්ෂක අංශ පවා මෙම යාන්ත්‍රණය ගෙන ඒම පිළිබඳ, කැමැත්ත පළ කර තිබෙනවා. ආරක්ෂක අංශ කියන්නේ, යම් යම් සේනාංක විවිධ අන්දමින් හංවඩු ගහලා තියෙනවා කියලයි. සමහර සේනාංකවලට එක්සත් ජාතීන්ගේ මෙහෙයුම් වලට පවා යාමට නොහැකි තත්ත්වයක් උදාවී තිබෙනවා. ඔවුන්ට ඔවුන්ගේ නිර්දෝෂී භාවය ඔප්පු කිරීම සඳහාත්, සැකකටයුතු යම් දෙයක් සිදුවී ඇත්නම් ඒ සඳහා නීතිය ක්‍රියාත්මක කිරීමත් ඔවුන් අපේක්ෂා කරනවා.

කෙසේ වෙතත් ඒ වගේ ක්‍රියාපටිපාටියක් අනුගමනය කිරීමට, අපට මේ වන තුරුත් නොහැකි වී තිබෙනවා. අපි හිතනවා දේශීය යාන්ත්‍රණයක් තුළින් මේවාට විසඳුම් ලබා දෙන්න පුළුවන් වෙයි කියලා. සත්‍ය කොමිසම හරහා මේ සඳහා විසඳුම් ලබා ගන්න පුළුවන්. දකුණු අප්‍රිකාව සමගත් මේ සම්බන්ධව අපි සාකච්ඡා කර තිබෙනවා.

මෙම ප්‍රශ්නයට විසඳුම් ලබාදීම උතුරටත් දකුණටත් ඉතා හොඳයි. මේ සඳහා කැබිනට් පත්‍රිකාවක් අපි ඉදිරිපත් කරනවා. හිටපු තානාපතිවරයෙක් මෙම කමිටුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස පත්කර තිබෙනවා. විදේශගතව සිටින සිංහල දෙමළ මුස්ලිම් සියලු දෙනා ඒකාබද්ධ කර ගනිමින් හොඳ යෝජනා රැසක් ගෙන ඒමට මෙමගින් අපේක්ෂා කරනවා. ඒ සඳහා රජය හැටියට පහසුකම් සැපයීමට අපි බලාපොරොත්තු වෙනවා.

අධිකරණ ඇමති විජයදාස රාජපක්ෂ මහතා

අධිකරණ අමාත්‍යාංශයට තමයි ශ්‍රී ලංකාවේ සංහිඳියාව පිළිබඳ කාර්යය පටිපාටිය පැවරී තිබෙන්නේ. මේ වන විටත් අතුරුදහන් අතුරුදහන්වුවන්ගේ කාර්යාලය පවත්වාගෙන යන්නේත් අධිකරණ අමාත්‍යංශ යටතේයි. මෙහි තිබෙන සියලු ලිපි ගොනු ලබන වසරේ දෙසැම්බර් 31 වනදා වන විට අවසන් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.

අතුරුදහන්වූවන් සම්බන්ධයෙන් වන්දි ගෙවීමේදී එක් පුද්ගලයෙකු සඳහා රුපියල් ලක්ෂයක මුදලක් පිරිනැමුවා.

දේපල වන්දි ගෙවීම සම්බන්ධවත් මේ වෙනකොට අපි සලකා බලමින් ඉන්නවා.

උතුරේ යුද්ධය නිසා උප්පැන්න සහතික, හැඳුනුම්පත් අහිමිවූ 11,000 කට ආසන්න ජනතාවක් හිටියා . ඒවා නැවත සකස් කිරීමට අපි කටයුතු කළා. උතුරු පළාතේ සමථකරණ වැඩසටහන් ගණනාවක් අධිකරණ අමාත්‍යාංශය යටතේ සිදු කරනු ලැබුවා. මේ ප්‍රශ්න විසඳගෙන යනවිට විදේශ ගත ශ්‍රී ලාංකිකයන් ලංකාව තුළ තුළ ආයෝජනය කිරීමටත් පෙළඹෙනු ඇතැයි අප විශ්වාස කරනවා. සත්‍ය සෙවීමේ කොමිසම මේ වන කොට ක්‍රියාත්මක වෙමින් පවතිනවා. දකුණු අප්‍රිකානු රජය මේ සම්බන්ධයෙන් අපට සහයෝගය ලබා දෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා.

උතුරේ තිබෙන ඉඩම් පිළිබඳ කාරණා කිහිපයක් මතුව තිබෙනවා. උපදේශකතුමාත්, ඉඩම් අමාත්‍යාංශයේ ලේකම්තුමාත්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියාත් එකතුවෙලා එම ප්‍රදේශ වල මහජන නියෝජිතයන් නියෝජිතයන් සමඟ එක්ව එක විසඳුමකට එන්න බලාපොරොත්තු වෙනවා. දැනට මෙහි ප්‍රගතියක් ඇති වෙලා තියෙනවා. සාකච්ඡා ඉදිරියට යන විට යනවිට අදහස් දැනගන්න පුළුවන්. ඒ නිසා තමයි සියලු පක්ෂ වල පක්ෂවල අදහස් දැනගන්න මේ සමුළුව කැඳෙව්වේ. මේ ගැන අපි එක විසඳුමකට පැමිණ යුතුයි කියලා මම යෝජනා කරනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී විග්නේෂරන් මහතා

දෙමළ ජනතාවගේ පැත්තෙන් මේ ගැටලුව දෙස බලන විට අපට අදියර 3ක් තිබෙනවා. ඒ ඉඩම්, අතුරුදන් වූවන් සහ ඒ පළාත්වල මෙතරම් හමුදාවක් සිටීම. විවිධ දෙපාර්තමේන්තු වලට ඉඩම් පවරා ගැනීම සම්බන්ධයෙන් ජනතාවට ප්‍රශ්න තිබෙනවා. ඒ ගැන සොයා බැලිය යුතුයි. අපේ ජනතාව සම්බන්ධයෙන් කළ යුතු පළමු දෙය සහ වහාම කළ යුතු දෙය එයයි.

දෙවනුව අපට යම් යම් අයිතීන් ලබා දෙන නීතිමය ප්‍රතිපාදන තිබෙනවා. අපට පළාත් සභාවේ අවශ්‍යතාව ඉතා විශාලයි. එය ඉතා කඩිනමින් කළ යුතුයි. උතුරු නැගෙනහිර පළාත් සභා මැතිවරණය හැකි ඉක්මනින් පැවැත්විය යුතුයි. මේ වන විටත් ඉඩම් විශාල ප්‍රමාණයක් පවරාගෙන තිබෙනවා. ඒ සියල්ල සිදුව තිබෙන්නේ නීතියට පටහැනිවයි. ඊට අදාළව විවිධ නඩු විභාග වෙමින් තිබෙනවා. ඒ නිසා ඉඩම් අයිතිය පිළිබඳ ප්‍රශ්නය ගැන සොයාබැලීමට අවශ්‍යයි.

එබැවින් පළමුවැනි ප්‍රශ්නය භූමි තත්ත්වයන් සම්බන්ධයෙන් තිබෙන්නේ. දෙවැන්න දැනටමත් ක්‍රියාත්මක කළ යුතු අයිතිවාසිකම් සම්බන්ධයෙන් තියෙන්නේ. තෙවැන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන්. නමුත් ලබන වසරේ පෙබරවාරි 4 වැනි දින ලෙස ජනාධිපතිතුමා විසින් ලබා දී ඇති කාල සීමාව තුළ මේ කටයුතු අවසන් කිරීමට නම් ඉහත පෙන්වාදුන් කරුණු කෙරෙහි එකවර අවධානය යොමුකරන්න වෙනවා. එය කළ නොහැක්කක් නොවෙයි. අප සතුව දැනටමත් ඊට අදාළ ලියකියවිලි, ප්‍රමාණවත් තරම් කොමිෂන් සභා වාර්තා සහ විවිධ කෙටුම්පත් තිබෙනවා. ඉතින් මේ රටට ගෙනාපු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පීඩාවට පත් වූවන්ට අපි කොහොමද අයිතිවාසිකම් ලබා දෙන්නේ කියලා බලන්න නම් අපිට තියෙන්නේ වාඩිවෙලා අවසාන ප්‍රතිඵලයක් හදාගන්න එක විතරයි.

අවසාන වශයෙන් මම සඳහන් කරන්න කැමතියි, උතුරු හා නැගෙනහිර දෙමළ ජනතාව ලෙස අපට වසර 3,000 කට වැඩි ඉතිහාසයක් ඇති බව. අපට අපේම කියා ඉඩමක් ඇති බව. ඒ වගේම අපට භාෂාවක් සහ සංස්කෘතියක් තිබෙනවා. මේ රටේ අපට එම අයිතිය ලබා දියයුතු වනවා. අපට ගෞරවය, සමානාත්මතාවය සහ අනාගතයේ එකම රටක් ලෙස එකට යාමට අවශ්‍ය ව්‍යවස්ථාවක් තිබිය යුතුයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා :

මං හිතන්නේ මෙතන විධායකය විසින් කළයුතු වැඩ ගණනාවක් තිබෙනවා. ශ්‍රී ලංකාවේ පැවැති යුද්ධය අවසන්වෙලා අවුරුදු 12ක් සම්පූර්ණ වෙලා. තවමත් සැකකරුවෝ සහ දේශපාලන සිරකරුවෝ ඉන්නවා. මම දන්නෑ ගාන කීයද කියලා. නමුත් යම්කිසි විසඳුමක් ලබාදිය යුතුයි. අපි ඊට එකඟයි. අතුරුදන්වූවන් පිළිබඳ විමර්ශන, ආරක්ෂක අංශය ලබාගෙන තිබෙනවා කියන ඉඩම්,මේ පිළිබඳ විධායකය මගින් තීන්දු ගත යුතුයි . ඒ පිළිබඳ කිසි විවාදයක් නෑ.

නමුත් පරිසර සංරක්ෂණ ප්‍රදේශ හා පුරාවිද්‍යා ප්‍රදේශ ලංකාවේ පවතින නීතියට යටත් විය යුතුයි. ඊළඟට නීති සම්පාදනය පාර්ලිමේන්තුවෙන් සිදු විය යුතුයි. ඒ අනුව මේ තිබෙන විදිහට එක්කෝ පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතුයි. නැත්නම් පාර්ලිමේන්තුව තුළ තේරීම් කාරක සභාවක් හරහා පළාත් සභා පනත සංශෝධනය කර ඉදිරි වැඩ කටයුතු කළ යුතුයි.

මෙවැනි වැඩසටහනක් අපි 2015දීත් ක්‍රියාත්මක කිරීමට උත්සාහ කළා. ඒ සම්බන්ධ එකඟතාවයක් ලැබෙන තුරු පළාත් සභා මැතිවරණ පවත්වනවද, නැද්ද කියන එක අපි තීරණය කළ යුතුයි. මගේ අදහස නම් පළාත් සභා මැතිවරණයට තිබෙන බාධා ඉවත් කළ යුතු බවයි. නැතිනම් නැවතත් තේරීම් කාරක සභාවක් හරහා ගියහොත් තව කල් මැරීමක් සිදු වෙනවා. එවිට ඡන්දයක් කිසිවිටෙක පැවැත්වීමට නොහැකි තත්ත්වයක් උදාවෙන්න පුළුවන්. මෙය ක‍ළොත් රාජ්‍ය අංශයේ තිබෙන යම් ප්‍රතිසංස්කරණ සිදු කරන්න පුළුවන් කියලා මම ඔබතුමාට යෝජනා කරනවා.

සියලු පක්ෂ නායකයින් සමග සාකච්ඡා කරලා ඒ උපාය මාර්ගික වැඩපිළිවෙල ඉදිරියට ගෙන යා හැකියි.

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා :

සියල්ල පටලවාගන්න ගියත් ලොකු ප්‍රශ්නයක් වෙයි. දැනට අත්අඩංගුවේ ඉන්න සිරකරුවන් නිදහස් කිරීමට කටයුතු කරලා. සත්‍ය කොමිසමක් හරහා ඉදිරි වැඩකටයුතු කරගෙන යාමයි වැදගත්. එවිට මේ කටයුතු සඳහා සහයෝගය දෙන්න අපිට පුළුවන්.

පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා :

අද ඒකපාර්ශව වැඩපිළිවෙළක් යනවා කියලා තමයි අපිට විශ්වාස කරන්න තියෙන්නේ. සර්ව පාක්ෂික සමුළුව හරහා ඔබතුමා ජනවාර්ගික ප්‍රශ්නය විසඳන්න උත්සාහ කරන බව අපිට පේනවා. නමුත් මේක වසර 75 ක් තිස්සේ ඇදිච්ච ප්‍රශ්නයක්. මේක දවස් 75 කින් විසඳන්න පුළුවන් කියලා මම හිතන්නේ නැහැ. අද පළාත් සභා නවය පාලනය කරන්නේ පුද්ගලයන් නවදෙනෙකු විසින්. එම නිසා පළාත් සභා ක්‍රමය නිවැරදි කර ගන්න අපි උත්සාහ කරන්න ඕන.

පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා :

අපි හිතන ආකාරයට 75 වන නිදහස් සමරුවට පෙර , අවම වශයෙන් ආරම්භක පියවරක් ලෙස, 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීම සඳහා තීරණයක් ගත යුතුව තිබෙනවා. ඊට පසුව සර්ව පාක්ෂික සමුළුව සහ අවශ්‍ය නම් සිවිල් සංවිධාන සහභාගී කරගෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ වෙත යොමුවෙන්න පුළුවන්. වික්ටර් අයිවන් වැනි සිවිල් සමාජ ක්‍රියාකාරීන් දැනටමත් අපව හමුවෙලා විවිධ කරුණු කාරනා සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබෙනවා.

මෙහිදී උතුරු නැගෙනහිර පළාත් වල දෙමළ භාෂාව කතා කරන ජනතාවගේ ගැටළු ගැනත් අවධානය යොමුකළ යුතුයි. එම පළාත් වල සිටින ජනතාවගේ ජීවිකාව කරගෙන යාමට ප්‍රධාන ගැටළුවක් වී ඇත්තේ, ඔවුන්ගේ ඉඩම් අන්‍යන් විසින් අත්පත් කරගෙන තිබීමයි. ඒ හමුදාව පමණක් නොවෙයි, රජයේ අන්‍ය ආයතන මඟින්ද ඉඩම් අත්පත් කර ගැනීම් සිදුකර තිබෙනවා. විශේෂයෙන් වන ජීවී, වන සංරක්ෂණ සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මෙලෙස ඉඩම් අත්පත් කරගෙන තිබෙනවා. මෙය මුස්ලිම් ප්‍රජාවට පමණක් නොවෙයි, සිංහල ප්‍රජාවටත් ගැටළුවක්.

පාස්කු ප්‍රහාරය සම්බන්ධ ගැටලුවේදී සමහර ආගමික ස්ථාන වල දේපළ රජයට අත්පත් කරගැනීමේ උත්සාහයන් තිබුනා. ඒ සමහර ස්ථාන වල පොලිසිය රැඳී සිටිනවා. මේ සම්බන්ධව ජනතාවගේ ගැටළුවක් තිබෙනවා. ඒ නිසා සහරාන් හෝ ඔහුගේ කණ්ඩායමේ පුද්ගලයන්ට අයිති දේපල නෙවෙයි, නමුත් වෙනත් ආගමික ස්ථාන ගැන

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද මහතා :

දැන් සංහිඳියාව කියන වචනය ජාතික සංහිඳියාව ලෙස තිබීමට අවශ්‍යයි. මම දේශපාලනයට පිවිසුනේම සංහිඳියාව ඇති කිරිමේ මූලික අරමුණ ඇතුවයි. ඉන්දු – ශ්‍රී ලංකා ගිවිසුමෙන් පසුව දෙමළ ප්‍රජාවට අවශ්‍ය තරම් අවස්ථා ලැබුණා. අවාසනාවකට ඔවුන් එය භාවිතා කළේ නැහැ. . ඔවුන් එය වැරදි ලෙස භාවිතා කළා. ඒ ගැන කතා කරන්න මට අයිතියක් තියෙනවා. අපි පසුගිය අවුරුදු 35ක් පුරාවට කරමින් සිටියේ , දේශපාලන විසඳුමකින් පටන් ගන්න, 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් පටන් ගන්න කියමින් සිටීම පමණයි.

මුලින්ම අපි සියලු ප්‍රජාවන් සමඟ සංහිඳියාව ආරම්භ කරමු. පසුව තවත් ඉදිරියට යමු. මගේ පාර්ලිමේන්තු සගයන් වන සිද්ධාර්ථන් සහ සෙල්වම් අඩෙක්කලනාදන් ඒ වෙනුවෙන් මුල සිටම කටයුතු කළා. අපි ඔවුන් සමඟ සාකච්ඡා කර තිබෙනවා. 13 වැනි සංශෝධනයෙන් මේ කටයුතු ආරම්භ කිරීමට ඔවුන් ද එකඟ වුණා. අපි අලුත් ව්‍යවස්ථාවකට යන්නේ නැහැ. මොකද අලුත් ව්‍යවස්ථාවකට යන්න නම් අපිට පාර්ලිමේන්තුවේ 2/3ක් සහ ජනමත විචාරණයක් අවශ්‍යයි. මේ මොහොතේ මේ රටට එය කළ නොහැක්කක් . මුලින්ම අපි පටන් ගන්නේ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීමෙන් . ඒ හරහා අපට සියලු ප්‍රශ්න විසඳාගත හැකියි.

ජනාධිපතිතුමනි, අපගේ සියලු ප්‍රශ්න විසඳා සමථයකට පත් කර ගැනීමට හැකි වන පරිදි මෙම සර්ව පාක්ෂික සමුළුව සංවිධානය කර එය ඉදිරි වැඩසටහන් බවට පත් කිරීම පිළිබඳව මම ඔබට ස්තූතිවන්ත වෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා :

යම් ආගමික ස්ථානයක් තර්ජනයට ලක්ව ඇත්නම් අපට දන්වන්න. අද වන විට අපි සමහර මුස්ලිම් සංවිධාන සම්බන්ධයෙන් අපි අධ්‍යයනය කරමින් සිටිනවා. සමහර සංවිධාන සඳහා පනවා ඇති තහනම ඉවත් කරන්න පියවර ගන්න අපි කටයුතු කරනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා :

යුද්ධය සමඟ අපේ ගෙවල් දොරවල් කැලෑවට ගිහින් තිබෙනවා. නමුත් දැන් එම අපේ ඉඩම්, වනජීවී දෙපාර්තමේන්තුව මඟින් රක්ෂිත බවට පත්කර තිබෙනවා. ජනාධිපතිතුමනි, වසර තිහක් යුද්ධය පැවතුණාම, ඒ ප්‍රදේශ වල ජනතාව හිටියේ නෑ. ඉතින් ඒ ප්‍රදේශ කැළෑ බවට පත්වෙනවා. එම නිසා අපේ එම ඉඩම් ටික බේරා දෙන්න කියලා ඉල්ලා සිටිනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා :

ඉඩම් අමාත්‍යාංශයත් වනජීවී අමාත්‍යංශයත් එකතු වෙලා ඔය ප්‍රශ්නයට විසඳුම් ලබා දෙන්න කටයුතු කරනවා. නමුත් ශ්‍රී ලංකාව තුළ වනාන්තර සියයට තිස් දෙකක් තියෙන්න ඕන. ඉන් පරිබාහිර කොටස් සොයා බලා ලබාදෙන්න කටයුතු කරන්න පුළුවන්. අපි 75 වෙනි නිදහස් උත්සවය සමරන අවස්ථාව වන විට එක ජාතියක් වශයෙන් ඉදිරියට යන්න අවශ්‍යයි.

මහ ජාතියේ සැකයක් තියනවා නැවත යුද්ධයකට යයි කියලා. දෙමල මන්ත්‍රීවරු කියනවා ඔවුන් යුද්ධය අත්හැරලා තියෙන්නෙ කියලා. අන්න ඒ නිසා අපි එක වේදිකාවක් තුළ ඉඳලා මේ ප්‍රශ්නය විසදීමට සාකච්ඡා කළ යුතුයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග මහතා :

මේ ප්‍රශ්නය විසඳන්න නම් පළවෙනි කාරණාව තමයි අවංකවීම. හොඳම උදාහරණය තමයි, මේ වෙනකොට නීතිය හදාරන සිසුන්ට තමන්ගේ මව් භාෂාවෙන් නීතිය හදාරන්නට ඇති අයිතිය අහෝසි වෙමින් පවතිනවා. මෙහෙම තත්ත්වයක් තුළ අපට විසඳුම් සොයා ගන්න පුළුවන්ද?

පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා :

පළාත් සභා ඡන්දය වහාම පවත්වන්න කියලා අපි යෝජනා කරනවා. අපේ අදහස පළාත් සභාවල බලතල සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරන්න අවශ්‍ය බවයි. 13 ව්‍යවස්ථා සංශෝධනයෙන් අපි මුලින්ම සංහිඳියාව ආරම්භ කරමු.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා :

දහතුන්වැනි සංශෝධනයේ ගැටලුවට කලින් අපි මෙහිදී සාකච්ඡා කරන ගැටලු විසඳ ගමුද ?
පාර්ලිමේන්තුවේදී එකග වුනේ මේ ප්‍රශ්නයට විසඳුමක් ලබා දෙන්නයි. එහෙම නම් ඊට පස්සේ අපි අනෙක් ප්‍රශ්න ගැන බලමු.

ඒ වගේම සඳහන් කරන්න ඕන , ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව සමඟ සිදුකරන ගනුදෙනු සම්බන්ධයෙන් අප පාර්ලිමේන්තුව දැනුවත් කිරීමට බලාපොරොත්තු වෙනවා. හැමදෙනාම ඒක පිළිගන්නවද නැද්ද කියන එක බැලිය යුතුයි. පිළිගන්නේ නැත්නම් ප්‍රශ්නයක් තියෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ලෝක බැංකුව අප ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳ අවධානයෙන් ඉන්නේ.

ඔවුන් අපිට ලබාදී තිබෙන සැලැස්ම අපි පාර්ලිමේන්තුට ඉදිරිපත් කරලා , ඔබතුමාන්ලාව දැනුවත් කරන්නත් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපේ බැංකු පද්ධතිය තිබෙන තත්ත්වය ගැනත් පාර්ලිමේන්තුව දැනුවත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙනුත් එහෙමයි. සියලු කාරණා සම්බන්ධයෙන් පාර්ලිමේන්තු දැනුවත් කිරීමට බලාපොරොත්තු වෙනවා.

ඒ එක්කම 75 නිදහස් දින සැමරුම වන විට, සර්ව පාක්ෂික සමුළුව මඟින් ජනතාවට ලබා දිය හැකි විසඳුම් ලබා දෙන්න පුලුවන්ද බැරිද කියන කාරණය පාර්ලිමේන්තුවට දැනුම්දෙන්න අවශ්‍යයි. ඒ ගැන කතා කරන්න තමයි සර්ව පාක්ෂික සමුළුව කැඳවා තිබෙන්නේ.

ආර්ථිකයත් ඉතා වැදගත්. ආර්ථිකය සම්බන්ධ කාරනාවලටත් මෙවැනි ම සමුළුවක් පවත්වන්න පුළුවන්. ඒ සමඟම එවැනි ජාතික ප්‍රතිපත්තියක් සකස් කරමු. පාඨලී මන්ත්‍රීවරයා කිව්වා වගේ විධායකය තුළින් ගත යුතු තීරණ තිබෙනවා. බලය බෙදාහැරීම සහ 13වන සංශෝධනය පිළිබඳව අපි සාකච්ඡා කරමු. ඊළඟ සාකච්ඡා වාරය ලබන ජනවාරි මාසයේ පවත්වන්න කටයුතු කරමු. එහිදී අපි සර්වපාක්ෂික විසඳුමකට එනවද නැද්ද කියලා එකඟතාවයකට එමු. ආර්ථිකය සම්බන්ධ කාරණා ලබන පෙබරවාරි මාසයේදී කතා කරමු. මේ පිළිබඳව රටත් දැනගන්න ඕන. ඔබ සියලු දෙනාගේ පැමිණීම සම්බන්ධයෙන් මම ස්තූතිවන්ත වෙනවා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා :

අද මෙම සාකච්ඡාව ඉතාම වැදගත්. මෙම සාකච්ඡාවට කාල සටහනක් තිබීම සම්බන්ධයෙන් සතුටු වෙනවා. එවැනි ඉලක්කගත වැඩසටහන් මගින් රටේ ඉදිරි ගමනට විශාල පිටුවහලක් වෙනවා. රටක් එක්සත් වීමට නම් එකමුතු භාවයක් තිබෙන්න අවශ්‍යයි. ජන සමාජයක එකමුතුභාවය මගින් රට ආර්ථික වශයෙන් සංවර්ධනය කළ හැකියි.

අපේ රටේ ජන සමාජය තුළ විවිධ ජන කොටස් එක හා සමාන ලෙස ජීවත් වෙනවා. ඒ නිසා දේශපාලන ක්‍රමය තුළ කුලය ආගම යොදා නොගත යුතුයි. එම විෂ බීජය අපි ඉවත් කළ යුතුයි. ජාතිය ආගම භාවිතා කර දේශපාලනය කරන පිරිස් අපි ඉවත් කළ යුතුයි. මේ කාලය එවැනි සමාජ සමාජයක් ප්‍රතිනිර්මාණය කිරීමක් අවශ්‍ය වන කාලයක්.

එමගින් අපිට සංහිඳියාව ඇති කළ හැකියි . ජාතිවාදය සමාජයෙන් ඉවත් කිරීම සඳහා නීතිරීති ගෙන ආ යුතුයි .

ජාතිවාදී සංකල්පවලින් අපි බැහැර විය යුතුයි . එසේ නොවන්නට අපට වෙනත් රටක් බිහි කළ නොහැකියි. මේ රටේ සෑම ජන කොට්ඨාශයකටම අපි හැමෝටම සමාන සැලකිලි තිබෙන බවට අදහසක් තිබිය යුතුයි. අපි අපේ දේශීය යාන්ත්‍රණයක් තුළ මෙම ප්‍රශ්න විසඳාගත හැකියි. මෙම වැඩපිළිවෙළ ආරම්භ කිරීමත් සමගම එය පවත්වාගෙන යාමටත් අපිට වගකීමක් තිබෙනවා. එම නිසා ජනාධිපතිතුමා මේ ආරම්භ කළ සර්වපාක්ෂික සමුළුවත් සාර්ථකව ඉදිරියට කරගෙන යාමට අපි ඔක්කොම එකතු විය යුතුයි.

ජාතික සංහිඳියාව තුළින් ජනවාර්ගික ගැටළුවට විසඳුම් සෙවීම සඳහා සර්ව පාක්ෂික සමුළුවක් කැඳවීම සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සිය ප්‍රසාදය පළ කළහ.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us