කාන්තා රැඳවියන් සමඟ සිටිනා දරුවන්ට විශේෂ අවධානයක් දෙන්න - අගමැති

Published in පුවත්
Tuesday, 07 September 2021 10:21

වැලිකඩ බන්ධනාගාර පරිශ්‍රය හොරණ මිල්ලෑවේ ප්‍රතිස්ථාපනය කිරීමේ දී කාන්තා රැඳවියන් සමඟ සිටිනා දරුවන් සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා බන්ධනාගාර දෙපාර්තමේන්තුවට සහ නාගරික සංවර්ධන අධිකාරියට ඊයේ (06) දින උපදෙස් දී ඇත.

ඒ, වැලිකඩ බන්ධනාගාර පරිශ්‍රය හොරණ මිල්ලෑවේ අක්කර 200ක භූමි භාගයක ප්‍රතිස්ථාපනය කිරීමේ ව්‍යාපෘතියට අදාළ ප්‍රගතිය සොයා බැලීමට සූම් තාක්ෂණය ඔස්සේ පැවැති සාකච්ඡාව සඳහා අරලියගහ මන්දිරයේ සිට එක්වෙමිනි.
රුපියල් බිලියන 30ක් වැයවන මෙම ව්‍යාපෘතිය 2024 වසරේ අවසන් කිරීමට අපේක්ෂිත බව නාගරික සංවර්ධන අධිකාරියේ හා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරිහු එහිදී සදහන් කර තිබේ.

රටේ පවතින ආර්ථික තත්ත්වය හමුවේ මහා භාණ්ඩාගාරයෙන් ව්‍යාපෘති සඳහා මුදල් වෙන්කිරීමක් මේ මොහො‌තේ සිදු නොවන බැවින් රජයට බරක් නොවී විකල්ප මාර්ග ඔස්සේ මෙම ව්‍යාපෘතිය අවසන් කිරීමට බලාපොරොත්තුවන බව ද නාගරික සංවර්ධන, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා එහිදී සඳහන් කර ඇත.

බොරැල්ලේ පිහිටි වැලිකඩ බන්ධනාගාර භූමිය අක්කර 40කි. එහි ඇති චැපල් වාට්ටුවත් බන්ධනාගාර මූලස්ථාන ගොඩනැගිල්ලත් හෝටල් ව්‍යාපෘතියක් සඳහා වෙන් කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය දැනටමත් සැලසුම්කර තිබේ.
ඒ හැරුණු කොට වෙනත් ආයෝජන සඳහා එම භූමියෙන් අක්කර 35ක් වෙන් කෙරෙණු ඇත. ආයෝජකයන් කිහිප දෙනෙකු මේ වන විටත් එහි ව්‍යාපෘති සඳහා එකඟතාව පළකර ඇතැයි බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා එහි දී පෙන්වා දී තිබේ.

දැනට එසේ කැමැත්ත පළ කර සිටින ආයෝජකයන්ට අමතරව තවත් ආයෝජකයන් සිටී නම් ඔවුන්ට ද මෙහි ආයෝජන සඳහා ආරාධනා කරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ට මෙම හමුවේ දී උපදෙස් දී තිබේ.
ව්‍යාපෘතිය ක්‍රියාත්මකවන හොරණ මිල්ලෑවේ පිහිටි භූමිය වතු සමාගමකට අයත් රබර් වගාකළ ඉඩමකි. එහි සේවයේ නිරතව සිටි වතු සේවකයන් 123 දෙනෙකුට මේ යටතේ වන්දි ගෙවීම සිදු වේ. ඔවුන් පදිංචිව සිටි වතු නිවාස 57ක් වෙනුවට නාගරික සංවර්ධන අධිකාරිය නව නිවාස 57ක් අලුතින් ඉදි කරනු ලබයි.

මැගසින් බන්ධනාගාරය පළමුවත් සෙසු බන්ධනාගාර ඉන් අනතුරුවත් මිල්ලෑවේ ප්‍රතිස්ථාපනය කෙරෙන අතර වැලිකඩ එල්ලුම්ගහ ද මේ යටතේ හොරණට රැගෙන යන බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පැවසීය.
රක්ෂිත බන්ධනාගාරගත කරන්නන් වරදකරුවන් නොවන අය බැවින් රිමාන්ඩ් බන්ධනාගාරය හොරණට රැගෙන යන විට ඒ අයට උවමනා පහසුකම් ස්ථාපිත කිරීම යෝග්‍ය බව ද අග්‍රාමාත්‍යවරයා ඒහි දී පෙන්වා දී තිබේන අතර ඇතැම් කාන්තා රැඳවියන් සමඟ දරුවන් ද සිටින බැවින් එම දරුවන්ගේ සුබසාධනය සහ ආරක්ෂාව ගැන ද විශේෂ අවධානයක් යොමු කරන ලෙස දැනුම් දී ඇත.

ඒ අනුව කාන්තා බන්ධනාගාරය මිල්ලෑවේ ස්ථාපිත කරන විට දරුවන් සිටින රැඳවියන් වෙන්කර දරුවන් වෙනුවෙන් දිවා සුරැකුම් මධ්‍යස්ථානයක් ද සකස් කරන බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කර තිබේ.
මැගසින්, වැලිකඩ, රිමාන්ඩ්, කාන්තා යන බන්ධනාගාර එම නම්වලින්ම හොරණ මිල්ලෑවේ ස්ථාපිත කෙරෙනු ඇත. බන්ධනාගාර රෝහල, බන්ධනාගාර පුහුණු පාසල, පුනරුත්ථාපන මධ්‍යස්ථානය, බන්ධනාගාර බුද්ධි අංශය ද මිල්ලෑවේ ස්ථාපිත කෙරෙන අතර බන්ධනාගාර මූලස්ථානය බත්තරමුල්ලේ ද, නිල නිවාස සංකීර්ණයක් මාලබේ ද ඉදිකෙරනු ඇත.

ආරක්ෂාව සහ තාක්ෂණයට ද මුල් තැන දෙමින් නව බන්ධනාගාර සංකීර්ණය ඉදිකෙරෙන අතර බන්ධනාගාරයේ සිට ම වීඩියෝ තාක්ෂණය ඔස්සේ නඩු කටයුතු සඳහා රැඳවියන් ඉදිරිපත් කිරීමේ තාක්ෂණික පහසුකම් ද එහි ස්ථාපිත වේ.
මෙරට බන්ධනාගාර පද්ධතියේ රැඳවියන් 11,000ක් රඳවා ගැනීමට ප්‍රමාණවත් පහසුකම් ඇතත් එම සංඛ්‍යාව මෙන් දෙතුන් ගුණයක් දැනට රඳවා සිටින බැවින් ජාත්‍යන්තරයෙන් ඊට දැඩි විවේචන එල්ල වී ඇති බව මෙහි දී ප්‍රකාශ කළ අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා බොරැල්ලේ පිහිටි වැලිකඩ බන්ධනාගාරය මිල්ලෑවේ ස්ථාපිත කිරීම අනිවාර්යෙන්ම සිදුවිය යුත්තක් බව අවධාරණය කර ඇත.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us