පෝට්සිටි කොමිසම භෞමික අඛණ්ඩතාවට, ජාතික ආරක්‍ෂාවට තර්ජනයක් ! - වැඩිදුර විභාගය අද

Published in පුවත්
Tuesday, 20 April 2021 10:01

යෝජිත කොළඹ වරාය නගර කොමිෂන් සභාව රටේ පවත්නා බොහෝ අණපනත් ඉක්මවා ගිය පාර්ලිමේන්තුවට, රජයට හෝ අධිකරණ පද්ධතියට හෝ වග නොකියන සර්ව බලධාරී කොමිෂන් සභාවක් වන්නේ යැයි ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ ආචාර්ය කේ. කනගඊශ්වරන් මහතා ඊයේ (19 දා) අගවිනිසුරුවරයා ප‍්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලට පෙන්වා දුන්නේය.

රට තුළ කි‍්‍රයාත්මක මූල්‍ය නීති නොතකා සිය අභිමතය පරිදි මූල්‍ය පාලනයක් ගෙන යෑමට කොළඹ වරාය නගර කොමිෂන් සභාවට බලය පැවරීමෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ගැනෙන වැරදි සිදුකරන නිදහස් පරාදීසයක් බවට එය පත්වීමේ අනතුර සුළු කොට නොතැකිය යුත්තේ යැයි ද ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥවරයා එහිදී විනිසුරු මඬුල්ල හමුවේ කියා සිටියේය.

කොළඹ වරාය නගරය කොළඹ දිස්ති‍්‍රක්කයට අයත් භූමිභාගයක් බව 2019 වසරේදී ශී‍්‍ර ලංකා පාර්ලිමේන්තුව මගින් පවා පිළිගෙන ඇති බවත් ඒ අනුව රට තුළ බලාත්මක ඉඩම් පනත් අනුව වරාය නගරයේ ඉඩම් වරාය නගර කොමිෂන් සභාවට පැවරීම ශී‍්‍ර ලංකා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පටහැනි වන්නේ යැයි ද විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රය හා එහි විධායක අධ්‍යක්ෂ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ආචාර්ය කේ. කනගඊෂ්වන් මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

රජය විසින් මේ වනවිට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට ඇති කොළඹ වරාය නගර ආර්ථික කලාප කොමිෂන් සභා පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් දේශපාලන පක්ෂ, සිවිල් බහුජන සංවිධාන ඇතුළු පාර්ශ්ව රැුසක් ඉදිරිපත් කොට ඇති විශේෂ පෙත්සම් සලකා බැලීම සඳහා අගවිනිසුරුවරයා ප‍්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ කැඳවූ අවස්ථාවේදී ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ ආචාර්ය කේ. කනගඊශ්වරන් මහතා එලෙස අධිකරණයට පැවසීය.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලූවිහාරේ, පි‍්‍රයන්ත ජයවර්ධන, මුර්දු ප‍්‍රනාන්දු හා ජනක් ද සිල්වා යන පංච පුද්ගල විනිසුරු ම`ඩුල්ල හමුවේදී ඊයේ පෙරවරුවේ එම පෙත්සම් කැඳවිණි.

කොළඹ වරාය නගරය ශී‍්‍ර ලංකාවේ කොටසක් ලෙස නොව වෙනත් රටකට අයත් කොටසක් ලෙස සලකා එහි ආරම්භ කරනු ලබන ව්‍යාපාර හිමියන්ගේ අභිමතය මත පමණක් පිහිටා කටයුතු කිරීමට ඉඩහැරීම රටේ ජාතික ආරක්ෂාවට පමණක් නොව භෞමික අඛණ්ඩතාවට ද බලවත් තර්ජනයක් වන්නේ යැයි ද පෙත්සම්කාර ගාමිණී වියන්ගොඩ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්තිරන් මහතා එහිදී විනිසුරු මඬුල්ලට පෙන්වා දුන්නේය.

රටේ මූල්‍ය පාලන බලය හිමි පාර්ලිමේන්තුව පවා බයිපාස් කර දමා එකී කොමිෂන් සභාවට ඒකාධිපති බලයක් හිමිකරදීම ශී‍්‍ර ලංකා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අමු අමුවේ උල්ලංඝනය කිරීමක් වන්නේ යැයි ද පෙත්සම්කාර එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ එරාජ් ද සිල්වා මහතා එහිදී විනිසුරු මඬුල්ලට පෙන්වා දුන්නේය. රටේ ව්‍යවස්ථාව අනුව ඉඩම් විෂය සම්බන්ධයෙන් මූලික බලය පැවරී ඇත්තේ පළාත් සභාවලට වන නිසා එකී පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට පෙර පළාත් සභාවට ඉදිරිපත් කළ යුතුව තිබුණේ යැයි එකී පනත් කෙටුම්පතට එරෙහිව පෙත්සමක් ගොනු කළ ඉංජිනේවරුවරයකු වන කපිල රේණුක පෙරේරා මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ දර්ශන රවීරදුවගේ මහතා සිය දේශනය මගින් විනිසුරු මඬුල්ලට පෙන්වා දුන්නේය.

වරාය නගරයේ ඉඩම් පැවරීම, විකිණීම හා බදුදීමේ බලබ සම්පූර්ණයෙන්ම එකී කොමිෂන් සභාවට පවරා තිබීම මෙන්ම එහි ආරම්භ කරනු ලබන ව්‍යාපාරවල සේවයට පැමිණෙන හා පිරිසගේ හා සෙසු නේවාසිකයන්ගේ වීසා අනුමත කිරීමේ බලය රටේ ස්වාධිපත්වයට කෙතරම් අහිතකර දැයි වරක් දෙවරක් නොව නැවත නැවතත් සිතා බැලිය යුතු වන්නේ යැයි ද නීතිඥ දර්ශන රවීරදුවගේ මහතා විනිසුරු මඬුල්ලට වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

එකී පනත් කෙටුම්පත අප රටේ ජාතික ආර්ථිකය, ජාතික ආරක්ෂාව හා රටේ ස්වෛරීභාවය විනාශ කරන අති භයානක විනාශකාරි පනත් කෙටුම්පතක් බව පෙත්සම්කාර සමගි ජන බලවේගය පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ විජේගුණවර්ධන මහතා අධිකරණයට පෙන්වා දුන්නේය.

පළපුරුද්ද, වෘත්තීය සුදුසුකම් හෝ වෙනත් කිසිදු කරුණක් නොසලකා තම තනි අභිමතය පරිදි විජාතිකයන් හෝ එකී කොමිෂන් සභාවට පත් කිරීමට එකී පනත් කෙටුම්පත මගින් ජනාධිපතිවරයාට බලය හිමිකර දී තිබීම ඉතා අහිතකර කරුණක් වන්නේ යැයි ද පෙත්සම්කාර සමගි ජනබලවේගය පක්ෂයේ තරුණ මන්තී‍්‍ර සංසදය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ලක්මාල් රාජපක්ෂ මහතා විනිසුරු මඬුල්ලට පෙන්වා දුන්නේය.

එකී වරාය නගරය තුළ ආරම්භ කරනු ලබන කිසිදු ව්‍යාපාරයකින් හෝ නිවාස ව්‍යාපෘතියකින් කිසිදු බදු මුදලක් අයකර ගැනීමේ බලය දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය ආයතනවලට අහිමිවීම මගින් රටේ ආර්ථිකයට බලවත් පහරක් එල්ල වන්නේ යැයි එහිදී අධිකරණයට පෙන්වා දුන් පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන් එකී පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ 2/3 බහුතර ඡුන්දයකින් පමණක් නොව ජනමත විචාරණයකින් ද සම්මත කළ යුතු බවට අර්ථ නිරූපණයක් නිකුත් කරන ලෙසත් එහි අඩංගු බොහෝ වගන්ති ශී‍්‍ර ලංකා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවටත් අර්ථ නිරූපණයක් නිකුත් කරන්නැයි විනිසුරු මඬුල්ලෙන් ඉල්ලා සිටියහ.

එකී පනත් කෙටුම්පතට එරෙහිව පෙත්සම් 19 ක් පෙරේදා (18 දා) පස්වරුව වනවිට ඉදිරිපත් වී තිබිණි. ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී. එල්. පීරිස්, එම පක්ෂයේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම්, ජනපති ලේකම් පී. බී. ජයසුන්දර, මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්. ආර්. ආටිගල, අමාත්‍ය මණ්ඩල ලේකම් ඩබ්ලිව්. එම්. ඞී. ජේ. ප‍්‍රනාන්දු යන මහත්වරුන් මෙන්ම ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ නීතිඥ සංගමයට ද එකී පෙත්සම්වලට අතරමැදි පාර්ශ්වකරුවන් ලෙස සම්බන්ධ වී කරුණු දැක්වීමට අවසර ලබාදෙන ලෙස අධිකරණයට අතරමැදි පෙත්සම් ගොනු කර තිබිණි.

රජය විසින් මේ වනවිට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට ඇති කොළඹ වරාය නගර ආර්ථික කලාප විශේෂ කොමිෂන් සභා පනත් කෙටුම්පතට එරෙහිව ගොනු කර ඇති විශේෂ පෙත්සම් සහ අතරමැදි පෙත්සම් වැඩිදුර විභාගය අද (20 දා) දක්වා කල්තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (19 දා) නියෝග කළේය.

එම පෙත්සම් විභාගය අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලූවිහාරේ, පි‍්‍රයන්ත ජයවර්ධන, මුර්දු ප‍්‍රනාන්දු සහ ජනක් ද සිල්වා යන පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේදී පැවැත්විණි.

-දිවයින

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us