එය අප අද දවසේ කතා කරන HIV/AIDS වලටත් වඩා මාරාන්තිකය. සුව කළ නොහැකිය. (එහි රෝග ලක්ෂණ දැන ගැනීමට මුල් පුරවැසි දියණිය ලියූ (බව කියන) පොත බලන්න.)
මේ රටේ දේශපාලන ඉතිහාසය තුළ කිසිදා අමතක නොවන දින දෙකක් මෑතකාලීනව අපට හමු වී තිබෙන්නේය. එකක් 2015 ජනවාරි 08 වැනිදාය. රාජපක්ෂ පාලනයේ අඩුලුහුඬුකම් හේතුවෙන් ඔහුට එරෙහිව නැගි සිටි ප්‍රබල සන්ධානයක් ඔස්සේ එළියට ආ පොදු අපේක්ෂකයා හැට දෙලක්ෂයක් වූ ජනතා ඡන්දයෙන් පත් වූ දිනයය. අනෙක් දිනය වන්නේ 2018 ඔක්තෝබර් 26වැනිදාය. එදා පොදු අපේක්ෂකයා (ආප්ප කෑ) යහපාලන රජය පිහිටුවීමේ සිටම ඇහේ ඉඳන් පට්ට ගැසූ නායකයා වූ මහින්ද රාජපක්ෂව යළි අගමැති ධුරයේ පිහිටවූ දිනයය.
එතැන් සිට මේ දක්වා සිදු වූ හරිය මෙය කියවන ඔබ දන්නවා ඇතැයි සිතමි. ලියන්නියගේ අරමුණ සිදු වූ දේ ගැන කතා කර ලිපිය දිගු කිරීම නොවේ. මේ කතා කරන්න හදන්නේ ඊට වඩා හාත්පසින්ම වෙනස් කරුණක් ගැනය. ජනාධිපති සිරිසේන රාජපක්ෂලා අතින් ඝාතනය වූ බව කියන මාධ්‍යවේදින් , ක්‍රීඩකයින්, විශ්ව විද්‍යාල හා සිවිල් ක්‍රියාකාරිකයන් විකුණා ලබා ගත් මිනිසුන්ගේ ජනතා පරමාධිපත්‍ය බලය සමූහ දූෂණයට ලක් කළේය. ඒ රටේ හදවත බඳු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිට පිටම අවභාවිත කරමින්ය. බලයේ සිටි අගමැතිවරයා ද නොදැන පහුවදා එළිවන විට වෙනත් පුද්ගලයෙක් අගමැති ධුරයේ දිවුරුම් දී තිබුණේ අන්න එහෙමය. මේ ගැන සියලු දෙනා කතා කරන්නට පටන් ගත්තේය. කතානායකවරයා පාර්ලිමේන්තු සම්ප්‍රදාය ආරක්ෂා කිරීම වෙනුවෙන් දහසකුත් අවලාද අසමින් සෘජුව සිටියේය. අවසානයේ ජනාධිපතිවරයා සියල්ලටම විසඳුම ලෙස නොවැම්බර් 09 වැනි සිකුරාදා ආණ්ඩුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනයට අත්සන් කළේය.
අවනඩුව ශ්‍රේෂ්ඨාධිකරණයට..
මේ අවනඩුව ගැන කීමට සියල්ලන්ටම ඉතිරි වූයේ ශ්‍රේෂ්ඨාධිකරණයයි. ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ගිය දොළොස් දෙනෙක් ජනාධිපති සිරිසේනගේ ගැසට් නිවේදනයට එරෙහිව පෙත්සම් ඉදිරිපත් කළෝය. ඒ පසුගිය 13 වැනිදා අගවිනිසුරු නලින් ජයලත් පෙරේරා ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල ඉදිරියේය. මේ විනිසුරු මඬුල්ල ඉදිරියේ පෙත්සම් දොළහම විභාගයට ගැනීමට තීරණය වීමත් සමඟ නඩු තීන්දුව දෙස සියල්ලෝම බලා සිටියෝය.
කෙසේ එළඹුණේ පෙත්සම් සඳහා විරෝධතා ඉදිරිපත් කිරීමේ අවස්ථාවයි. අපේ රටේ නීතිපතිවරයා එදා පැමිණ නොසිටි අතර ඔහු වෙනුවට කනිෂ්ඨ නිලධාරියෙක් පැමිණ සිටියේය. නීතිපතිවරයා පිළිබඳව විමසීමේදී එම නිළධරයා කියා සිටියේ ලිඛිතව දැනුම් දීමක් මේ නඩු විභාගය සම්බන්ධයෙන් සිදු නොකළ නිසා නීතිපතිවරයා නොපැමිණි බවය. (එහෙම දැනුම් දීමට තරම් අප්‍රසිද්ධ නඩුවක්ද මෙය? ගැටළුවකි). ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ද වැදගත්කමක් සහිත මේ නඩු විභාගයේ පෙත්සම්කරුවන්ගේ පෙත්සම් සඳහා විරෝධතා ඉදිරිපත් කිරීමේ කාලය එළැඹුණි.
යහපාලකයන් ගෙන ආ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ජනාධිපති බලතල අඩු කිරීම නොව වැඩි කිරීමට සකස් කරන ලද්දක් බවට නීති විශාරදයෝ විවිධ තර්ක ඉදිරිපත් කරන්නේ මෙහිදිය. කෙසේ වෙතත් නඩුව විභාග වූ මුළු කාලය තුළම එක්තරා සුවිශේෂී බවක් තිබුණේය. ඒ ඇතැම් විනිසුරන් හා නීතිඥයන් අතර පැවති ඥාති සම්බන්ධතාය. විනිසුරු මඬුල්ලේ සිටි ප්‍රසන්න ජයවර්ධන මහතාගේ සහෝදරයකු වන සංජීව ජයවර්ධන මහතා ජී. එල් පීරිස් මහතා වෙනුවෙන් කරුණු ඉදිරිපත් කළ නීතිඥවරයාය. පෙත්සම්කාර පාර්ශ්වයේ තිලක් මාරපන මහතා සිටිද්දි වග උත්තරකාර පාර්ශ්වයේ ගාමිනි මාරපන මහතා සිටියේය. මේ සියල්ලෝම අයියලා මල්ලිලාය. නමුත් ඒ සියලු දෙනාටම තමන්ට අනන්‍ය ප්‍රතිපත්ති හා දැක්මක් තිබුණේය. ඒ නිසා ඔවුන්ගේ ක්‍රියා කලාපයන් සම්බන්ධයෙන් කිසිවෙකුටත් ප්‍රශ්නයක් නොතිබුණි. අවසානයේ ජනාධිපතිවරයාගේ ගැසට් නිවේදනය දෙසැම්බර් 07 දක්වා අත්හිටුවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේය. දෙසැම්බර් 4, 5 සහ 6 වැනිදා නඩුව විවාදයට ගැනීමට තීරණය කර තිබුණේය. තීන්දුව ලබන 7 වැනිදා දීමට නියමිතය. අපේ කතාව ඇරඹෙන්නේ අන්න එතැනින්ය.
අධිකරණය ගැන සහතිකය
අපේ රටේ අධිකරණය ගැන අපිට දැඩි විශ්වාසයක් තිබෙන්නේය. අධිකරණය විධායකයේ ක්‍රියාවන් සම්බන්ධයෙන් කටයුතු කළ ප්‍රශස්ත ආකාරය සියලු දෙනාම පැසසුමට ලක් කරන්නේ ඒ ස්වාධීන ශක්තිමත් කශේරුකාව ආරක්ෂා කර ගත් අගවිනිසුරු ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ ක්‍රියාකලාපය හේතුවෙන්ය.මේ අතර විනිසුරු මඩුල්ල 7 දෙනෙකු දක්වා වැඩි කිරීම්ටද ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේ මෙම නඩු විභාගයේ වැදගත්කම සලකාය. සත්පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ ඇත්තේ භාරධූර කාර්යයකි. එය ඔවුන් විසඳන ආකාරය මෙරට නීති ක්ෂේත්‍රයේ පූර්වාදර්ශයක් වන අතරම ජාත්‍යන්තරවත් කතා බහට ලක්වීමත් සිදුවෙනු ඇත.
බැරිවෙලා හෝ දෙසැම්බර් 07 වැනිදා තීන්දුව දීම කල් ගියා යැයි නිකමට සිතීමට මම ඔබට කියමි. එසේ වුවහොත් කුමක් සිදු වේවිද යන ප්‍රශ්නය අප හමුවේ තිබේ. දෙසැම්බර් 07 වැනිදා නඩු තීන්දුව කල් ගියහොත් ජනාධිපති සිරිසේන තවදුරටත් පක්ෂ සමඟ සාකච්ඡා පවත්වනු ඇත. තවදුරටත් බටර් පිහි හෝ කොකා කෝලා ලෙමනේඩ් පාර්ලිමේන්තුව තුළට එනු ඇති බවට සිතිය නොහැකිය. මන්ද ඉන් පසුව එන්නේ කැති මන්නා හෝ ඇසිඩ් වැනි දෑ විය හැකිය. තවදුරටත් අගමැතිවරුන් දෙපළක් හා ඇමති මණ්ඩල දෙකක් මේ රට කරවන්නට වලි කනු ඇත. එසේම රටේ ආර්ථිකයට අබ සරණය. රුපියලේ සිට නත්තල දක්වාද නත්තලේ සිට ජනවාරියේ මිනිසුන්ගේ එදිනෙදා ජීවිතයට සම්බන්ධ සියල්ල අවප්‍රමාණය වනු ඇත.
07 වෙනිදායින් පසු??
දැන් මම ඔබට දෙසැම්බර් 07 වැනිදාට ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීන්දුව දෙනු ඇතැයි උපකල්පනය කරන ලෙසට මොහොතකට ඉල්ලමි. එම තීන්දුව එක්කෝ ජනාධිපතිවරයා ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බවට දිය හැකිය. නැතහොත් ජනාධිපතිවරයා ව්‍යවස්ථානුකූලව කටයුතු කර ඇතැයි කිව හැකිය. ඒ ගැන කීමට අපට කිසිදු අයිතියක් නැත. එය අධිකරණය සතු රාජකාරියක්ය. මේ දෙකෙන් කුමක් වුවද සිරිසේන ජනාධිපතිවරයාට රස්සාව නැති වන්නේ නැත. ඔහු මේ රටේ විධායක ජනාධිපතිවරයාය. හැබැයි තීන්දු දෙකෙන් එකක් වන ජනාධිපතිවරයා නිවැරදි නොවන බවට තීන්දුවක් ලැබීම ඔහුගේ රස්සාව නැති කරන දෝෂාභියෝගයක් ගෙන ඒමට කෙනෙක් ට අදහසක් පහළ නොවිය හැකි යැයි කිව නොහැකිය. එසේ නොවුනත් එය ඔහුගේ දේශපාලන පරාජයක් බව ඉඳුරාම කිව හැක. එසේම දේශපාලන අර්බුධය වහාම විසැඳීමට ඔහුට ඔහු තුලින්ම බල කිරීමක් වෙනු ඇත.
ජනාධිපතිවරයාගේ නියෝගය නිවැරදි බව තීන්දු වුව හොත් එය යළි බරපතල නෛතිකමය සාකච්ඡාවකට හේතු වනු ඇත. යළිත් 19 වන සංශෝධනය ගැන කතා බහක් මෙන්ම ඒ මත ගත් තීන්දු තීරණ ගැන යළි විමසීමේ නඩු ගොඩක් පැටලෙනු ඇත. ඊට සමාන්තරව දේශපාලන ක්ෂේත්‍රයද ගිනි ඇවිලෙනු ඇත. එය නිවා දැමීම කෙසේ සිදුවෙයිද යන්න ගැන අනවැකි කීමට නොහැකි නමුත් ඊළඟට පැමිණෙන්නේ මහ මැතිවරණයක්ය. ඒ මැතිවරණය ද මේ රටේ දේශපාලනයේ අනාගත මුහුණුවර තීරණය කරන්නක් වනු ඇත. නඩු තීන්දුවෙන් පසු මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය අගයන මිනිසුන් ප්‍රශස්ත වෙනස්කම් රැසක් වෙනුවෙන් පෙළ ගැසෙනු ඇත. එහිදි ඩිජිටල්කරණය වු අලුත් පරම්පරාව දේශපාලනයේ තීරක සාධකය වීම වැලැක්විය නොහැකි වනු ඇත.
එදා ආචාර්ය එන්.එම් පෙරේරා පාර්ලිමේන්තුවේ කියූ පරිදිම පිස්සෙක් ජනාධිපති වුණහොත් පිස්සු නැටිය හැකි 1978 ව්‍යවස්ථාවෙන් ගෙන ආ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම මුලින්ම සිදු විය යුතුය. එයට ද ඊළඟට රටේ නායකයා වන පුද්ගලයා පොරොන්දු රාශියක් දෙනු ඇත. නමුත් එය මඟ හැර යෑමට එදාට හැකි වන්නේ නැත. අලුත් පරම්පරාවේ බලපැම අද දේශපාලනය මෙහෙයවන තැනට පත් වෙමින් තිබෙන බව දැනටමත් පෙන්වා දෙමින් තිබේ.
ඒ වගේම මේ රටේ මෙතෙක් සිය බලය පවත්වාගෙන ආ ප්‍රධාන දේශපාලන ධාරාවේ දැවැන්තයන්ගේ දේශපාලන මිය යාම ඇරඹෙන්නේ ද මේ නඩු තීන්දුවත් සමඟය. එයට රනිල් වික්‍රමසිංහ ද, මහින්ද රාජපක්ෂ ද, මෛත්‍රිපාල සිරිසේන ද, දිනේෂ් ගුනවර්ධන ද ,වාසුදේව නානායක්කාර ද යන්න වැදගත් නැත.පටු ගෝත්‍රවාදී ආකල්පයන් දරණ දේශපාලනඥයන්ට පවතින්නට ඇති ඉඩ කඩ ඇහිරෙනු ඇත. ජනතාව මොවුන්ව සමූහ දේශපාලන මිනි වළකට තල්ලු කිරීමේ ආරම්භය ද සිදු වනු ඇත. ඒ වගේම මේ ජනතා පුත්‍රයන්ගේ පියවරුන්ගේ මිම්මෙන් ජනතාව මේ පුතුන් මනින කාලය ද අවසන් වනු ඇත. එය මොවුන්ගේ පුත්‍ර රත්නයන්ට ද එක සේ අදාළ වනු ඇත. පියාගෙන් පුතාට, පරම්පරාවෙන් පරම්පරාවට මිනිසුන් වන්දනාවේ හෝ කඩේ ගිය කාලය අවසන් වනු ඇත.
විකල්පය පචයක්ය..
හැබැයි ඒ අතරේ මේ ප්‍රධාන දේශපාලන ධාරාවෙන් එපිටට ගිය විකල්ප දේශපාලනයක් ගැන මතයක් ද දැන් දැන් කරළියට එමින් තිබෙන්නේය. එම විකල්ප දේශපාලන කල්ලි කණ්ඩායම් ගැන ද කියන්නට තිබෙන්නේ එච්චරමය. පැරණි වයස්ගත වයෝවෘද්ධයන් පන්නා දමා අලුත්ම මුහුණු පාර්ලිමේන්තුවට යැව්වද ඔවුන්ව මෙහෙයවීමට අර වයෝවෘද්ධයන් කිසිසේත් නොපැකිළෙන බැවින්ය. තමන් විකල්පයක් ගොඩ නගනවා නම් රතු හෝ වේවා නිල් හෝ වේවා කොළ හෝ වේවා මේ කිසිදු පක්ෂයකට මුක්කු ගැසීමට හෝ කාගෙවත් අගු පිල්වල රස්තියාදු වීමට ඒ විකල්ප දේශපාලනයක් අපේක්ෂා කරන්නන්ට නොහැකිය. එහෙත් මෙහි තිත්ත ඇත්ත නම් ඔවුන් ද මේ වෙලාවේ සිදු කරන්නේ විකල්පයේ මුවාවෙන් සිය පුද්ගලික අරමුණු සාක්ෂාත් කර ගැනීමට බවට සැකයක් නැත. ඔබට අවශ්‍ය විකල්පයක් නම් ඔබ විකල්පය සෙවිය යුත්තේ අන් කිසිවකින් නොව ඔබේ හෘද සාක්ෂියෙන් ය. ගෝත්‍රිකත්වයෙන් ඔබ්බට ගොස් ඒ ගැන කල්පනා කරන්න යැයි මම ඔබට යෝජනා කරමි.
අපේක්ෂාවේ හා උපේක්ෂාවේ දිනය
රටක් විදියට මේ ප්‍රශ්නය අපේ රටට පමණක් බලපාන්නක් යනුවෙන් යැයි මේ කරුණු විමසා බලන ඔබට සිතිය හැකිය. නැත. ජාත්‍යන්තර ප්‍රජාව මේ ප්‍රශ්නයේ මුල සිටම අවධානයෙන් සිටියේය. “ප්‍රජාතන්ත්‍රවාදය“ යන වදන පිළිබඳව අල්පෙනෙති තුඩක තරම් හෝ අවධානයක් දක්වන සෑම කෙනෙක්ම මේ නඩු තීන්දුව ගැන විමසිල්ලෙන් සිටියි. පාසල්වල, විශ්ව විද්‍යාලවල පමණක් නොව සෑම අධ්‍යයන මධ්‍යස්ථානයකම දේශපාලන ඉතිහාසයට මේ නඩු තීන්දුව එක් වනු ඇත. ශ්‍රී ලංකාව තවදුරටත් පුංචි විලක් මැද ඇති ගොඩනැගිල්ලක සිටින 225කගෙන් පාලනය වනවාද නැද්ද යන්න ගැන තීරණය කරන ප්‍රධානම සාධකය මෙය වනු ඇත.
ඒ සියල්ලටම හේතුකාරක වන වෙනස දරා ගත යුතු ක්‍රම දෙකක් යෝජනා කරමි. පළමුවැන්න එය අපේක්ෂාවෙන් විඳගත යුතුය. අනෙක උපේක්ෂාවෙන් විඳ ගත යුතුය. ඔබ අයත් වන්නේ මින් කුමකටද යන්න තීරණය කිරිමට අද සිට තවත් දින 6ක් බලා සිටිය යුතුය. එතැන් සිට මේ විඳදරා ගැනීමේ අවස්ථාව ඔබට භාරය. අනාගතය ගැඩවිල් මොළයකට භාර නොකරන පරපුරක් බිහි වීම සොබාදහම විසින් ඉටු කරනු ඇත. එහිදි අනාගත දේශපාලනයට එන සියල්ලන්ට සිය පතිවත පරික්ෂා කරන අග්නි පරික්ෂාවට මුහුණ දීමට සිදු වනු ඇත. ඒ ජනතා කොමිසමේ කොමිසාර්වරුන් ලෙස ඔබ ද මම ද අප සියල්ලන් ද කටයුතු කරනු ඇත. එදාට මේ සියලු සමාජ රෝගයන්ගෙන් පෙළෙන දේශපාලන ගණිකාවන්ට සිය මල් යහනාවන්ගෙන් බැස යාමට සිදු වනු ඇත.
සටහන - සුපුන් භාග්‍යා වීරකෝන්
සමන් ජේ. කොඩිතුවක්කු