1815 උඩරට ගිවිසුම රට පාවාදීමක් ද ? කවුද කියන්නේ Featured

Saturday, 03 March 2018 12:14

මීට වසර දෙසීයකට පමණ පෙර, ‘සිංහලේ ’රාජ්‍යයේ අවසානය සලකුණු කරමින් එළඹගත් ‘උඩරට ගිවිසුම’ පිළිබඳ පවතින අවබෝධය කිසිසේත් ප්‍රමාණවත් නොවන බව ඒ පිළිබඳව ගැඹුරට යන ඕනෑම විද්වතෙකුට පැහැදිලි වේ.

අන්තර්ජාතික ගිවිසුමක් වූ එම ලේඛනයේ ඇතැම් මුල් පිටපත් තවමත්, විශේෂයෙන් ඇතැම් විහාරාරාමවල පවතින බව අපගේ විශ්වාසය යි. එහෙත් එය කෙටුම්පත් කරන ලද්දේ කවරෙක් ද, එහි සිය කැමැත්තෙන්ම අත්සන් තැබුවේ කවුරුහු ද, අත්සන් තැබීම සිදුවූයේ කවදා ද, ඇතැම් අත්සන් සිංහලෙන් නොව දෙමළෙන් තබන ලද්දේ ඇයි ද, අත්සන් කිරීමට අපොහොසත් වූ අයට අත් වූ ඉරණම කුමක් ද, ඒ සියල්ලටම වඩා ගිවිසුමකින් උඩරට ප්‍රදේශ වෙනත් රාජ්‍යයකට පැවරීමට තරම් පාරම්පරික උරුම බලයක් උඩරට ප්‍රධානීන් සතුව පැවතියේ කෙසේ ද, යනා දී ප්‍රශ්න රාශියක් ම මේ සම්බන්ධයෙන් පැන නඟී.

මෙම ලිපියේ අරමුණ වන්නේ එම ඓතිහාසික ගිවිසුමට එළඹීමට පාදක වූ හේතු සාධක සහ පැවැති රාජ්‍ය තාන්ත්‍රික වාතාවරණයත් ගිවිසුමේ අන්තර්ගතය පිළිබිඹු කරන්නේ කුමන පර්ශවවල චින්තනය ද යන්නත්, එයට එළඹීමෙන් පසුව ගෙවුණ වසර තුනක කාලයක් තුළ රටේ පැවැති සාපේක්ෂ සාමයත්, ඓතිහාසික මෙන්ම ජනශ්‍රැති මූලාශ්‍රයන් ආධාර කරගනිමින් හැකිතාක් දුරට විමර්ශනයට ලක් කිරීමයි. මෙහිදි, 1815 මුල් කාලය වන විට රටේ පැවැති වාතාවරණය අනුව, අධිරාජ්‍යවාදී හමුදාවන් සහ පහතරට ප්‍රදේශවලින් ආ මුදලි මුහන්දිරම්වරුන්ගේ ග්‍රහණයට ශ්‍රී වික්‍රම රාජසිංහ රජුන් පත් වූ පසු රට කර වූ උඩරට ප්‍රධානීන්ට ඉතිරිව තිබූ විකල්ප කවරේදැයි විමසා බැලීමක් සිදුකෙරේ.

පහතරට සිංහලයන් උඩරට ප්‍රදේශ කරා පලායෑම

1796 දී බ්‍රිතාන්‍ය යටත් විජිත හමුදාපන්න ලංදේසීන් වෙතින් මුහුදුබඩ ප්‍රදේශ සිය ආධිපත්‍ය නතු කරගැනිමට සමත් වුහ. ඒ අවස්ථාවේ පෘතුගිසි සහ ලංදේසි තාඩන පීඩනවලින් හෙම්බත්ව සිටි පහතරට සිංහලයන්ට තවත් බලවත් අපරදිග විදේශිකයකුගේ අණසකට යටත්ව ඔවුන්ගේ සංස්කෘතිය වැලඳ ගැනීම හෝ සිය ගම්බිම් අතහැර දමා එකල ‘සිංහලේ’ නමින් හැඳින්වු උඩරට ප්‍රදේශ කරා පලායාම හැර අන් විකල්පයක් නොවී ය. පෘතුගීසි සමයේ දී පටන් ඔවුන්ගේ ක්‍රෑර තාඩන පීඩන විඳදරාගත නොහැකි පහතරට වැසියන් අරඹා තිබු කඳුරටට පලා යෑමේ ප්‍රවණතාව මෙහි දී වඩාත් තීව්‍ර විය. එසේ පහත රටින් උඩරටට පලා ආ සිංහලයන් ඔවුන් සමඟ නොපැමිණි සිය නෑ හිතවතුන් දෙස අවඥාවෙන් බැලීම නිසා ‘උඩරට’ සහ ‘පහතරට’ යනුවෙන් භේදයක් ඇති වූ අතර, පෘතුගීසීන් පැමිණීමට පෙර එවන් භේදයක් සිංහලයන් අතර නොවීය. මෙසේ අදත් හිනිදුම් පත්තුව උඩරට ප්‍රදේශයක් වශයෙන් සැලකේ. සිංහලයන් පමණක් නොව පෘතුගීසි තාඩන පීඩනවලින් බැට කෑ මුස්ලිම්වරුන් පවා උඩරටට පලාගොස් උඩරට රජවරුන්ගේ පිහිටාධාර පැතූ හ. මෙසේ සිංහල ජන ප්‍රවාහයට එක් වූ මුස්ලිම්වරුන්ගෙන් බොහෝ දෙනා සිය ඉස්ලාමීය පුද්ගල නාමයට සිංහල වාසගමක් එක්කර ගත්හ. ඒ අනුව, සිය ඇදහිලි ක්‍රම කෙරෙහි ඇති බලගතු බැඳීම් නිසාදෝ, ‘උඩරට මුස්ලිම්’ සහ ‘පහතරට මුස්ලිම්’යනුවෙන් බෙදීගිය බවක් නොපෙනේ. එහෙත් 1971ජන සංගණනය වන විටත් ඔවුහු අතර ‘ඉන්දීය’ සහ ‘ලාංකික’ මුස්ලිම්වරුන් වශයෙන් බෙදීමක් පැවතිණි.

මෙසේ බ්‍රිතාන්‍යයන් ද පහතරට සිය ආධිපත්‍යයට ග්‍රහණය කරගත් අවස්ථාව වන විට, රට මැද ප්‍රදේශය දීර්ඝ ඉතිහාසයක් උරුමකොට ගත් ආර්ය සිංහල සංස්කෘතික ලක්‍ෂණ දිගින් දිගටම රැකගෙන සිටි, ජාතිමාමක සිංහලයන් අවසන් වරට වාස භූමිය කොට ගත් සුවිශේෂී භූමි භාගයක් විය. මේ බව කීර්තිමත් විද්වතෙකු වූ ආනන්ද කුමාරස්වාමි මනාව කැටි කර දක්වයි. ‘‘දිගුකලක් තිස්සේ බටහිර ආභාසයට ලක් වූ පහතරට ප්‍රදේශ තුළින් ජාතික අනන්‍යතාව සහ කලාශිල්ප බොහෝ විට සොයා ගැනීමට අපහසුය. එහෙත් රට අභ්‍යන්තරයෙහි විසු හැඩි දැඩි කඳුකර වැසියන් පොදුවේ සිංහලයෝ ජිවමාන සහ ස්වීය ලක්ෂණවලින් හෙබි ජාතියක් ලෙස සැලකිමට ඉඩක් අපට ලබාදුන්හ.

පැවැති ජාතික ජනසංහිඳියාව

එම ජන සමාජය ඉතිහාසයේ නොයෙකුත් අත්දැකිම්වලින් පරිණත වූ, ජන වර්ග භේදයක් නොසැලකූ ශීලාචාර ජන සමාජයක් පිළිබිබු කළ හ. ඔවුන් පාලනය කළ අවසන් උඩරට රජදරුවන් හතර දෙනාම සිංහලයෝ නොවූ හ. එහෙත් එම රජවරු පන්සල් ඇසුරු කොට ගෙන හැදුණු වැඩුනු බැවින් සිංහල උගත් බෞද්ධ ගතිපැවතුම්වලට අනුව ජීවිත හැඩගස්වාගත් අය වූහ. මුස්ලිම්වරු ද සිය ආගම අත් නොහළ නමුදු, ශ්‍රී ලාංකික කාන්තාවන් විවාහ කර ගනිමින්, සිංහල වාසගම් යොදා ගනිමින්, පුරාණ සිංහල චාරිත්‍ර විධිවලට ක්‍රමයෙන් අනුගත වෙමින් සිටියහ. ගැටලු පැන නඟින්නට ආරම්භ වූයේ මලබාර් සම්භවයක් ඇති රජවරුන් එකිනෙකාට පසුව, සිය පරපුර සදහටම සිංහලේ රාජ්‍ය බලය ඔවුන් වෙත තබා ගැනීම කෙරෙහි නැඹුරු වීම නිසා ය. ඔවුන් එසේ කර ගැනීම සඳහා උඩරට ප්‍රධානීන් එකිනෙකා සමඟ කෙටවීම වැනි උපායශීලී ක්‍රියා මඟින් දිගින් දිගටම කළහ. මලබාර් සම්භවයක් පැවතුන ද, මහනුවර අවසන් රජු වූ ශ්‍රී වික්‍රම රාජසිංහයන්ට අවසානය දක්වාම කොතරම් ක්‍රෑරකම් කළත් සිංහලයෝ අවනත බවක් දැක් වූහ. රජුන් වෙනුවෙන් අවසන් වරට දිවි පිදුවේ ද කරල්ලියද්දේ සිංහල වැසියෙකි.

ඓතිහාසික වශයෙන් ඒ අතීත සමාජය මනා ජන සංහිඳියාවක් පවත්වා ගත්තේ ඒ අයුරිනි. වර්තමානයේ තැත් කෙරෙන පරිදි ජාතික කොඩියට පටි දැමීමෙන් හෝ ජාතික ගීය දෙමළෙන් ගැයීම තුළින් හෝ දින පතා ජනමාධ්‍ය යොදා ගැනීම වැනි සෝබන කටයුතුවලින් හෝ සංහිඳියාව කෘත්‍රීමව නිර්මාණය කළ හැකි බව අප විශ්වාස නොකරමු. වර්තමාන තත්ත්වයන් යටතේ විවිධ ජන කොටස් අතර පැන නඟින දුරවබෝධයන් වළකාලීමටනම් අඩුම වශයෙන් ජනගහන වර්ධනයේ තුළනයක් සද්භාවයෙන් ඇතිකර ගැනිමේ ප්‍රතිපත්ති මාවතකට පිවිසිය යුතුව ඇත. එසේ නොවන සමාජයක ජනවාර්ගික ගැටලු උත්සන්න වීම නොවැළැක්විය හැකි සමාජ සංසිද්ධියක් බවට පත්වීම ස්වාභාවික දෙයක් විය හැකි ය.

මා මෙහි දී ගොඩනැඟීමට තැත් කරන මතවාදය වන්නේ උඩරට ගිවිසුමත්, ඉන් පසුව පැන නැඟි මහ අරගලයත් (උඩරට කැරැල්ලත්), එක්තරා ප්‍රදේශයකට සීමා වූ හෝ එක්තරා ජන සමූහයකට සීමා වූ එකක් සේ සැලකීම නිවැරදි නොවන බවයි. එය, පැහැදිලිවම අනුරාධපුර යුගයේ සිට ඔවුන් ජන සමූහයක් වශයෙන් ලබා ගෙන එක් රැස් කරගෙන සිටි අපට හිමි සරල සංස්කෘතියත්, නීති පද්ධති, ගෘහ නිර්මාණ හා කලා සම්ප්‍රදායන් මෙන්ම සුවිශේෂ සටන්කලාවන් ද උරුමකරගෙන සිටි අහිංසක ජන සමූහයක්, ‘ඉර නොබසින’ අධිරාජ්‍යයකට එරෙහිව ඒ උත්කෘෂ්ට ‘අපේකම’ රැක ගැනීම පිණිස දිවි පරදුවට තබා සටන් බිමට බැසීමක් විය. එහෙයින්ම එය ‘උඩරට’ අරගලයක් නොව මහා ජාතික සටනක් විය. අනෙක් අතින් එය සිය වර්ගයාගේ ලෝකාධිපත්‍යය රැකගැනීම සඳහා කුඩා එහෙත් ශිෂ්ඨ සම්පන්න ජාතියක්, මුල දී කපටිකමින් සහ පසුව මිලේච්ඡත්වය ප්‍රදර්ශනය කරමින් ද, විනාශ කර දැමීමට බ්‍රිතාන්‍ය යටත් විජිත පාලකයන් දැරු නිර්ලජ්ජිත ප්‍රයත්නයක් විය.

උඩරට ආක්‍රමණ

බ්‍රිතාන්‍ය යටත් විජිත පාලකයන් ද මුහුදුබඩ ප්‍රදේශ අත්පත් කොටගත් තැන් පටන් උඩරට ස්වාධීනව පැවැති ප්‍රදේශය සිය ග්‍රහණයට නතුකර ගැනීම සඳහා නානා විධ ප්‍රයත්න දැරූහ. 1803 එනම් මුහුදුබඩ පළාත් යටත් කොට ගෙන අවුරුදු හතකට පසුව, හමුදා බලයෙන් උඩරට යටත් කර ගැනීමට යාමෙන් වින්ද සමූලඝාතන හා මහා පරාජයන් මෙන්ම අවමානයන් ද නිසා, ඔවුන් සිය උපායමාර්ග වෙනස් කොට ගෙන, චරපුරුෂ සේවා සහ බුද්ධිපදනම් සටන් මාර්ගවලින් උඩරට ජයගැනීමට පෙලඹුණහ. මේ සඳහා ඔවුහු බ්‍රිතාන්‍යයේ අග්‍රගණ්‍ය විශ්වවිද්‍යාලවලින් ඉහළින්ම උපාධි ලැබූ ජෝන් ඩොයිලි වැනි අතිශයින් බුද්ධිමත් එහෙත් කපටි-බුද්ධියෙන් අනූන පුද්ගලයන් යොදවා ගත් හ. ඔවුන් එක් පසකින් එබඳු චරපුරුෂයන් ද, පහතරටින් ආ සංස්කෘතික විපරිතකරණයට ලක් ව සිටි මුදලි මුහන්දිරම්වරුන් විසින් ද, උඩරට ප්‍රධානීන් භේද භින්න කිරීමට දරූ ප්‍රයත්න සුළුකොට තැකිය යුතු නොවේ. විශේෂයෙන් අවසන් රජතුමන් ජීවග්‍රහයෙන් අල්ලා ගැනීමට ‘තෝම්බු’ මුදලි සහ ‘තෝල්ක’මුදලි වරුන්ගෙන් වූ මෙහෙය පසුව මැක්ඩොනල් සෙනෙවි විසින් මැනවින් වර්ණනා කොට ඇත. (Madras Gazette 1827) 1815 උඩරට ගිවිසුමට එළඹෙන්නට වූයේ මෙවන් පසුබිමක බව කුමන අයුරකින්වත් අවතක්සේරු කළ යුතු නොවේ.

ඩොයිලි වැනි චරපුරුෂයන්ගේද, පහතරටින් ආ මුදලි මුහන්දිරම්වරුන්ගේද, නොමද සහායෙන් බ්‍රිතාන්‍ය යටත් විජිත හමුදාපන්න මඟින් අවසන් රජතුමන් ජීවග්‍රහයෙන් අල්ලා ගත්පසු, රජුන් නැති රටක පරිපාලන ක්‍රියාදාමයන් සියල්ල බෙහෙවින් බිඳ වැටී තිබුණි. අනෙක් අතින් බ්‍රිතාන්‍ය යටත් විජිත හමුදාවලට යුදමය වශයෙන් නිහීන ලෙස යටත් වීමේ තර්ජනයට උඩරට වැසියන් හා ප්‍රධානීන් මුහුණ දී සිටියහ. එම හමුදාවන් සමඟ ඒ අවස්ථාවේ දී සටනට එළඹීම අතිශයින් අමනෝඥබව ඔවුන්ට සක්සුදක්සේ පැහැදිලිව වැටහී තිබිණි. මෙවන් තීරණාත්මක අවස්ථාවක දී පළපුරුදු රාජ්‍ය තාන්ත්‍රිකයන් වශයෙන් අනුගමනය කිරීමට ඉතිරිව තිබූ විකල්පය කුමක් ද? ඒ අනුව ජාත්‍යන්තර වශයෙන් පිළිගැනෙන ගිවිසුමකට එළඹීම එම විකල්පය වීම දක්වන්නේ රාජ්‍යතාන්ත්‍රීක පරිණත භාවයක් නොවේ ද?. උඩරට ගිවිසුම පිළිබඳ සාවඥ දෘෂ්ඨියකින් සැලකු මෑත කාලීන නායකයින් දෙදෙනෙකුටම, ඉන්දු-ලංකා ගිවිසුම සහ කොටිත්‍රස්තවාදීන් සමඟ ඇතිකරගත් අවබෝධතා ගිවිසුම්වලට කඩිමුඩියේ සහ රහසිගතව එළඹිමට සිදුවීම ඉතිහාසයේ එක්තරා සරදමක් බඳුවිය.

ගිවිසුමට එළඹිම සහ එහි බුදුසමයට හිමිතැන

ගිවිසුමේ මුළු අන්තර්ගතය සලකා බලන විට එය වගන්ති 12කින් සමන්විතය. මෙහි දී විශේෂයෙන්ම එහි 5 වැනි වගන්තියට අනුව බුදුසමය ආරක්ෂා කිරිමට එකඟ වු අයුරු පහත සඳහන් පරිදි විය.

‘‘මුලාදෑනීන් සහ වැසියන් විසිනුත් අදහන්නාවූ බුද්ධ ශාසනය ද, දේවාගම ද, කඩකළ නොහැකි අයුරින් පවත්වන්ඩ ඕනෑවා සහ එහි කටයුතුද, සංඝයාද, විහාරස්ථානද, දේවාලද, පවත්වන්ඩ සහ සුරක්‍ෂා කරන්ඩ ඕනෑය.’’

මේ වගන්තිය ගිවිසුමට ඇතුළත් කිරීම, මහාවිහාරයීය භික්‍ෂූන් වහන්සේලාගේ දැඩි අභිලාෂය මත සිදු වූ බව නිසැකය. එහි ‘දේවාගම’ යනුවෙන් අදහස් වූයේ පෙරහැරට සම්බන්ධ සතර දේවාල වූ බව ද නිසැකය. එය මේ ප්‍රදේශවල මුලාදෑනීන් සහ ජනයා ඇදහූ දේවාගම වූ හෙයිනි. මේ වගන්තිය ඒ අයුරින්ම, නැවත ප්‍රතිෂ්ඨාපනය කිරිමට, නූතනයේ කලින් කල කරළියට ආ ව්‍යවස්ථාදායක සම්පාදකයන්ට අද දක්වාත් හැකි වී නැත.

ඇත්ත වශයෙන්ම බ්‍රිතාන්‍ය යටත්විජිත පාලකයන්ට පවා මහත් හිසරදයක් වූ ද, උඩරට මහකැරැල්ලට පවා හේතු පාදක වූ ද, මෙම පස්වැනි වගන්තිය ඉදිරිපත් කළ, 1815 ගිවිසුම සකස් කළ, උඩරට ප්‍රධානීන් සහ භික්‍ෂූන් වහන්සේලාට වඩා, රට පාවාදී ඇත්තේ මෑතකාලීන ව්‍යවස්ථා සම්පාදකයන් බව මෙහි දී මැනවින් පැහැදිලි වේ. ඔවුන් ඉංග්‍රීසීන් ලබා දුන් පොරොන්දුවක් ඉෂ්ට කර ගැනීමටවත් නොහැකි අබ්බගාත මානසිකත්වයකින් පෙළුන අයවලුන් වූහ. මේ වග සුසන්ත ගුණතිලකයන් විසින් රචිත, "Crippled Minds" නම් කෘතියෙන් මැනවින් විස්තර කරයි. උඩරට ගිවිසුමේහි අන්තර්ගතය පූර්ණ වශයෙන් සාකව්ජාවට මෙහිදි ගත නොහැකි අතර, එම විෂය ඓතිහාසික පමණක් නොව වර්තමාන රාජ්‍ය පාලනයටද වැදගත් වන්නාවු දෙයක් ලෙස සැලකිය යුත්තේ, උඩරට ගිවිසුම බ්‍රිතාන්‍ය පාර්මේන්තුව හරහා ගිය, අදත් වලංගු අන්තර්ජාතික සම්මුතියක් වශයෙන් සැලකිය යුතු හෙයිනි.

සම්මානිත මහාචාර්ය
සී. එම්. මද්දුම බණ්ඩාර
පේරාදෙනිය විශ්වවිද්‍යාලය

silumina

Leave a comment

Gossip

රනිල්ගේ දරුවෝ ගේම ඉල්ලලා

රනිල්ගේ දරුවෝ ගේම ඉල්ලලා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභා රැස්වීමක් පසුගිය 27 වෙනිදා පැවැත්විලා තිබුණා. ඒ, හිටපු ජනාධිපති...

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

උමාලි තිලකරත්න කියලා කියන්නේ හැමෝම ආදරය කරන රංගන ශිල්පිණියක්. ඇය ඉතාම ආදරෙන් විවාහා වී සිටියේ සාරංග...

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

"පාස්කු ප්‍රහාරය සැබෑ ලෙසම කළේ කවුරුන්ද කියලා තවම කිසි කෙනෙක් කියලා නෑ. ඒක මම දන්නවා කවුද කළේ කියලා"

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

මෙරට පිහිටි සියලුම මැක්ඩොනල්ඩ් අවන්හල් ශාඛාවන් නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.

Connet With Us