වර්තමාන අමාත්‍ය මණ්ඩලයේ කාර්යක්ෂමතාවය අඩු බව යන්න සියළු දෙනාටම පාහේ එකඟ විය හැකි කරුණකි. මීට පෙර තිබුණු අමාත්‍ය මණ්ඩල ගැනද එම කතාවම කිව හැක. එය එසේ නොවේ නම්, අමාත්‍ය මණ්ඩලය සංශෝධනය කිරීමේ අවශ්‍යතාවයක් ජනාධිපතිවරයාට ඇති නොවනු ඇත. අමාත්‍යවරුන් ලෙස සිය රාජකාරිය හරිහැටි ඉටු කරන්නේ ය යන විශ්වාසය ඇති නම්, මේ රටේ, දේශපාලනය ජීවිතය කර ගෙන සිටින කණ්ඩායමේ වැඩි දෙනෙක් අමාත්‍ය මණ්ඩල සංශෝධනය වන්නේ කවදාදැයි බලා ඉන්නට හේතුවක් නැත.
ජනාධිපතිවරයා කිසියම් නිර්මාණාත්මක දෙයක් නොකළහොත්, ඊළඟට පත් වන අමාත්‍ය මණ්ඩලයේ ඵලදායීතාවය (හෝ වැදගැම්මකට නැති කම) ද මෙතෙක් කල් තිබූ අමාත්‍ය මණ්ඩලය වලට සම වනු ඇත. දැනට ක්‍රියාත්මක වනුයේ ජාතික ආණ්ඩුවක් වන හෙයින්, මේ ප්‍රගතිශීලී කර්තව්‍ය සඳහා අග්‍රාමාත්‍යවරයා ද සම්බන්ධ කර ගත්තොත් හොඳය.
නව අමාත්‍ය මණ්ඩලය පත් කිරීම සාමාන්‍ය ආකාරයටම සිදු කළ හැක. මෙහි දී කළ යුතු වන එකම වෙනස වනුයේ කිසියම් දේශපාලඥයකුට, දිවුරුම් දීමට දින දෙකකට පෙර, තමන්ට ලැබෙන නව අමාත්‍ය ධූරය පිළිබඳව දැනුම් දීමයි. මෙම දින දෙක තුල, නව ඇමති ධුරය සමග තමන්ට ලැබෙන වගකීම් (තමන් වගකිව යුතු නීති සහ තමන් යටතට වැටෙන රාජ්‍ය ආයතන වැනි) පිළිබඳව අධ්‍යයනය කර, කාල සීමාවන් සහිත කාර්යසාධන දර්ශක ඔවුන් විසින් ඉදිරිපත් කළ යුතු වේ. අමාත්‍ය ධූර පිළිබඳ කරනු ලබන දැන්වීමත් සමග එම කාර්යසාධන දර්ශක අඩංගු කිරීම සඳහා සම්මත ගිවිසුම් ආකෘතියක් ඔවුන්ට ලබා දිය හැක. ඉහත කී දින දෙක ලබා දිය යුතු වන්නේ එකඟතාවයකට එළඹීම පිණිස ය.
සිය අමාත්‍ය ධූරයේ ඵලදායී ලෙස කටයුතු කරන්නේ කවුද එසේ නොකරන්නේ කවුද යන්නට තීරණය කිරීමට මිණුම් දණ්ඩක් මෙයින් සැපයේ. එමෙන්ම, කිසියම් දෙයක වරද අනෙක් පාර්ශවයක් පිට පැටවීම සහ වගවීමක් නොමැති කම ද මින් නිමාවනු ඇත. සෑම වර්ෂයක් අගදී ම ඉහත සඳහන් කළ ගිවිසුම මත පිහිටා, කාර්යසාධන සමාලෝචනයක් සිදුකිරීමට ජනාධිපතිවරයාට හැකි වේ. එහි දී, ප්‍රධාන කාර්යසාධන දර්ශක සාක්ෂාත් කර ගැනීමට නොහැකි වන සහ එසේ නොවීමට සාධාරණ හේතු ඉදිරිපත් කිරීමට අසමත් වන ඇමතිවරුන් පසු පෙළට යවා වෙනත් අයෙකුට එම තනතුර භාර දීමට ජනාධිපතිවරයාට හැක. ඇමති තනතුරු සමග එන වරප්‍රසාද භුක්ති විඳීමට අවස්ථාව ලැබීමට එකම සුදුසුකම දේශපාලන ජ්‍යෙෂ්ඨත්වය පමණක් වීම මෙයින් අවසාන වනු ඇත. දක්ෂ තරුණ මන්ත්‍රීවරුන්‌ට තැනක ලැබෙනු ඇත. බැරි උදවිය විශ්‍රාම ගැන්වීම ඉක්මන් කල හැකි වනු ඇත.
මෙම ක්‍රමය නිසි ආකාරයෙන් ස්ථාපනය වන තුරු අමාත්‍ය ධූර වලට අදාල කාර්යසාධන ගිවිසුම් ප්‍රසිද්ධියට පත් කිරීමෙන් වැලකීමෙන් සිටීම වඩා හොඳ වනු ඇත්තේ දේශපාලකයින් බිය නොවැද්දිය යුතු හෙයිනි. එහෙත්, තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබඳ පනත දැන් ක්‍රියාත්මක වන හෙයින් එසේ කිරීමට නොහැකි වනු ඇත.
මේ ක්‍රමය ක්‍රියාත්මක වන රටවල් ලෝකයේ අන් තැන් වල පවතී. මට මේ ක්‍රමය පිළිබඳව අසන්නට ලැබුනේ නයිජීරියාවේ සංනිවේදන තාක්ෂණ ඇමතිවරිය වෙතිනි. ඇගේ විෂයය පිළිබඳව ප්‍රදර්ශනය කළ උද්යෝගීමත් ප්‍රවේශය පිළිබඳව පැන නැගුනු සංවාදයක දී ඇය පවසා සිටියේ තමා කාර්යසාධන ගිවිසුමක් සාක්ෂාත් කළ යුතුව ඇති බවයි. මා දැනගත් අන්දමට මෙවැනි ගිවිසුම් වලින් බැඳී අමාත්‍ය තනතුරු භාර ගත් ඇමතිවරු අනෙක් අතට හැරී සිය ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමග ගිවිසුම් අත්සන් කර තිබේ. මේ ආකාරයෙන්, තමන්ගෙන් අපේක්ෂා කෙරෙන කාර්යය කුමක්දැයි සියළුදෙනාට ම නිවැරදි අවබෝධයක් ලැබේ. වගවීම ඇතිවීමේ මූලය එයයි.
අපට ද මේ ආකාරයේ කාර්යසාධන ගිවිසුම් අවශ්‍ය ය. එකම ආකාරයකින් අමාත්‍යවරුන් පත් කරමින් ඔවුන් ගෙන් වෙනස් ප්‍රතිපල අපේක්ෂා කිරීම සමාන වන්නේ අයින්ස්ටයින් විසින් අර්ථ දක්වා ඇති ආකාර වූ උමතුවකට මිස අන් කිසිවකට නොවේ.
රොහාන් සමරජීව
රාවය (21/05/2017)