ඔයා දයලෙක්තිකය ඉගෙන ගන්න...නාමල් බේබිගේ ලියුමට උත්තරයක් Featured

Sunday, 17 July 2016 21:17

නාමල් බේබි,

ඔයාගේ ලියුම දැක්කා. ඒ නිසාම ලියන්න හිතුනා.

මම ඉපදෙන්නෙත් අසුව දශකයේ. අපේ සීයා ඔලුවේ පොඩි සාළුවක් ගැටගහගෙන අමුඩේ ගහලා කුඹුරු කොටපු ගොවියෙක් වගේම එයා ඒ වැඩේට කදිම දක්ෂයෙක් බව මං ඇහුවෙ පුංචි කාලෙමයි. 1815න් පස්සේ ලංකාවේ වලව්කාරයෝ බහුතරයක් කියන්නේ සුද්දගේ සපත්තු ලෙවකාලා ඉඩම් ගත්ත හාදයෝ කියලා සීයා කිව්වා කියලා තාත්තා මට කියලා තියනවා. ඔය මැදමුලන පැත්තේ හාමු කෙනෙක් කුරහන් පාට සාටකය කරේ දාගත්තෙ සුද්දගේ සපත්තුවේ පාට ගලප්පගෙන කියලා ස්පිටල් උන්නැහේ මහත්තයගේ පොතක තියේ කියලා අපේ ආච්චි අම්මා කිව්වේ සිංහල අවුරුද්දට ගමේ ගිය වෙලාවක. කොහොමටත් සුද්දා රාජකාරි ක්‍රමය හඳුන්වලා දුන්නේ අපේ මුත්තලා උන්ට කඹුරන එක ප්‍රතික්ෂේප කරපු නිසා. ඒ කාලේ ආර්ථිකයේ පදනම තමයි ඉඩම. අද මුදල් කොතනද තියෙන්නේ එදා සමාජයේ එතැන තිබුනෙ ඉඩම. ඉතින් බේබි හිතන්නකෝ සරල හුවමාරුව ඇතුලේ ඉඩමට තිබුණ වටිනාකම. ඒ වෙනුවෙන් කොහොම කඹුරන්න වෙන්න ඇත්ද බේබිගේ මුත්තලා කිරිකිත්තලාට. ඒ නිසා අපිට ඉස්කෝල හදන්න කියලා දෙන්න ඉඩම් තිබිලා නෑ. ඕවා බේබි දන්නවද මංදා...

මං ඉපදෙනකොට අපේ පවුල ජීවත් වුනේ කුලී ගෙදරක. තාත්තගේ රස්සාව නැතිවෙලා. පස්සේ එයා කුලියට ගෙයක් අරගෙන පොඩි කඩයක් කළේ. තාත්තට හිතවත් මේසන් රස්සාව කරපු සීයා කෙනෙක් තමයි ඒ ගෙදර අඩු මුදලට කුලියට දීලා තියෙන්නේ. අද එතන අපි නැතත් එතනට තාමත් ගමේ අය කියන්නේ අපේ ගෙදර කියලා. ඒ අපේ තාත්තා මිනිස්සුත් එක්ක ජීවත් වෙන කලාව ඉගෙන ගෙන හිටපු නිසා.

බහතෝරන කාලේ මට මතක නෑ බේබි. ඒත් 88`89 භීෂණ කාලේ මට මතකයි අපේ තාත්තා ශ්‍රී ලංකා කාරයා වුණත් අම්මට කියලා බත් හට්ටියක් උයවලා ගේ පිළිකන්නේ තියනවා ජේවීපී අයට ගෙනියන්න. ඒ මිනී මැරුවට, කඩ වහන්න අණ කළාට උන්ටත් බඩගිනි ඇති , ඒ අයත් අපි වගේ මිනිස්සුනේ කියලා. ඒ වගේම තමයි 89න් පස්සේ ජේවීපී කරපු අයට කඩේකින් හාල් සේරුවක් නොදෙනකොට තාත්තා ණය පොතේ ලියාගන්නෙ නැතුව පුළු පුළුවන් විදිහට ඒ අයට බඩු දුන්නා. නැතිවෙච්ච පුතාව හොයා ගන්න අම්මලා දේවාල වල භාර ඔප්පු කරන්න යනකොට අපේ අම්මා ඒ අයට පුජ කරන්න කොඩි මහලා දුන්නා. ඒ කොඩි වල දේව රූප ඇන්දෙත් අපේ තාත්තා. වැස්සකටවත් සිල් ගත්තෙ නැති අපේ තාත්තාට ඒ අය පිං දෙනකොට තාත්තා කිව්වා ඒ පිං ටිකත් දරුවට දෙන්න, අපිට වෙන දෙන්න දෙයක් නෑ කියලා. ඉතින් අපේ තාත්තා මිනිස්සුන්ට රස්සා නොදුන්නට කිරන්නේ මනින්නේ නැතුව මිනිස්සුන්ට පිහිට වුණා. ඒ කාගේවත් දරුවෝ ආයේ ගෙදර ආවේ නෑ. ඒත් අපිව බලන්න පස්සෙ කාලෙක එයාලගේ ඥාතීන් ආවේ රඹුටන් කාලෙට රඹුටන් අරගෙන, අවුරුදු කාලෙට කැවිලි අරගෙන. අපේ අම්ම හොඳට මහන්න දැනගෙන හිටියට කැවිලි හදන්න තාමත් දන්නෙ නෑ. ඉතින් අපේ ගෙදර අවුරුදු කැවිලි මේසේ හැදෙන්නෙ අදටත් ඒ අය ගේන කැවිලි වලින්. ඒවා දකිද්දී පොඩි කාලේ මටත් හරි සතුටුයි ඉතිං. නෑදෑයෝ ළඟ නැතත් මනුස්සකම් දන්න ඒ මිනිස්සු අතර ගෙවුණු හරිම සුන්දර ළමා කාලයක් මටත් තිබුනෙ.

මං මුලින්ම ඉස්කෝලේ ගියේ ටවුමේ තිබුණ පොඩිම එකට. පස්සේ මං 5 ශිෂ්‍යත්ව විභාගය පාස් වෙලා කොළඹ ඉස්කෝලෙකට ආවා. ලොකු කඩි කුලප්පුවක් නොතිබුණත් මං 13න් පහල හොකී කණ්ඩායමේ ක්‍රීඩා කළා. 15න් පහළ පුහුණුවීම් වලදී ආබාධයකට ලක්වෙලා ක්‍රීඩාවෙන් සමුගත්තත් පස්සේ පාපන්දු ක්‍රීඩා කළා. 17`19 න් පහළ පාපන්දු කණ්ඩායමේ මං ලේෆ්ට් හාර්ෆ් විදිහට ක්‍රීඩා කළා. මන්තී‍්‍ර කෙනෙක්ගේ පුතෙක්ට වගේ නෙවෙයි බේබී සාමාන්‍ය පොඩි කඩයක් කරන තාත්තෙක්ගේ පුතෙකුට පාපන්දු ගහලා අනාගතයක් ගැන හිතන්න අමාරුයි. ඒ නිසා කථික, රචනා, විවාද ,නාට්‍ය, වගේ තරග වලින් දිස්ත්‍රික් සහ ජාතික ජයග්‍රහණ හැර ක්‍රීඩා වලින් ජාතික තලයට යන්න අපි හිතුවෙ නෑ. ඔයා යෝග කරනකොට අපි කළේ ගමේ පුස්තකාලෙට වෙලා පොත් කියවපු එක. අනික තාත්තගේ ආභාෂයෙන් අපිට ආවේ කලාව.

පාසල් අධ්‍යාපනය නිමවීමත් සමඟ ඔයා කාර්ඩිෆ් | සිටී (අධිරාජ්‍යවාදී, බටහිර ගැති?) වගේ විශ්ව විද්‍යාලයට යනකොට අපි ට වුණේ උසස් පෙළ සමත් නිසා මෙහෙ විශ්ව විද්‍යාලයට (ජාතික චින්තන, සිංහල බෞද්ධ? )යන්න. විශ්ව විද්‍යාලයට යන්න සමත් වුණත් අවුරුදු දෙකක් අපිව ගෙදර තියලා තමයි විශ්ව විද්‍යාලයට ගත්තෙ. ඒ කාලේ රටේ අගමැති ඔයාගේ අප්පොච්චා. සුනාමිය ආව නිසා තවත් මාස කිහිපයක් ගෙදර ඉන්න වුණා. ඒ ඇවිල්ලත් අපිට යන්න වුණේ සුනාමි සහන කටයුතු වලට. ලන්ඩන් වල වගේ නෙවෙයි බේබී අපි යනකොටත් ඒ බිම් වලින් මිනී කුණුවුන ගඳ එනවා. දස අතේ විලාප. තාමත් ඒ පුළුටු ගඳ දැනෙනවා. බිග් බෙන් ඔරලෝසුව එදා ඔයාට වෙලාව කියන්න ඇති. බේබි නොහිටියත් ඔයාගේ තාත්තා අපුරුවට සුනාමිය වෙලාවේ යුතුකම් කොටස ඉටුකළා. හෙල්පින් හම්බන්තොට කියන ගිණුමට ආව සල්ලි වලින් සුනාමියෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් කොහොම කිරිල්ලක් අප්පොච්චා කළාද කියනවා නම් තව පොඩ්ඩෙන් ඒ උත්තමයට හිරේ ලගින්න වෙනවා.

හොඳ වෙලාවට අර ඉතිහාසයේ හිටපු අපකීර්තිමත්ම අගවිනිසුරු වැඩේ කොරාපු සරත් එන්. සිල්වා තාත්තව බේරුවේ. අන්න ඒ වගේ අප්පොච්චෙක්ගෙන් තමයි බේබී, ඔයා "උපතින්ම පක්ෂ දේශපාලනය" අකුරු කරගත්තෙ. ඒත් අපි අකුරු කළේ මිනිස් ජීවිත වල ඛේදවාචක ජයගන්නේ කොහොමද කියන කාරණය ගැන. 2010 වෙනකොට ඔයා පක්ෂ දේශපාලනය උපතින්ම උරුම වුණු ජීවියෙක් විදිහට පාර්ලිමේන්තුව තෝරා ගන්නකොට අපි මාධ්‍ය වෘත්තීය තෝර ගත්තෙත් ඒ නිසා මයි.

ඒ නිසා බේබි ඔයා නාස්තිය, අල්ලස, දුෂණය,පගාව, බලයේ ඵලයක් ලෙස මිස බලයේ අවභාවිතයක් කියලා දන්නවද මංදා ...

2015 ජනවාරී 08 වෙනිදා අපි ශ්‍රී ලාංකිකයෝ විදිහට තීරණය කළා බේබීගෙ තාත්තා පුටුවෙ හිටියා ඇති කියලා. බේබී කියන්නෙ ඒක දෙස් විදෙස් කුමන්ත්‍රණයක් කියලා නේද, එතනනම් බේබී පොඩි ප්‍රශ්නයක් තියනවා. මොකද ඔයාගේ ජනාධිපති තාත්තට තව අවුරුදු දෙකක් බලයේ ඉන්න තිබුණා. අනික එයා 18 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනත් හැම ගෙවිලා ඇට හැලෙනකම් බලයේ ඉන්න අවශ්‍ය නෛතික වටපිටාව හදාගෙන තිබුණේ. ඔයා ඔය කියන කතාව නිවැරදි වෙන්නෙ කිසියම් හෝ කුමන්ත්‍රණයක් තිබුණා නම් එම කුමන්ත්‍රණකරුවන්ට අපේ තාත්තා අහුවුනා. එයා හිතුවෙ නෑ කුමන්ත්‍රණකරුවන් ඔය විදිහට එයාව බලයෙන් නෙරපයි කියලා. අපේ තාත්තත් ජනතාවට වඩා ජාතික විජාතික කුමන්ත්‍රණකරුවන් විශ්වාස කළා. ඒ කරලා ජන්දෙට ගිහින් තමයි මේ කෙලව ගත්තෙ වගේ කතාවක් කියන්න ඕන. අන්න එතකොට ඔයාට ඉතිරි කොටසත් හරියට කියන්න පුළුවන් වෙනවා. ඒ තමයි තාත්තා කෙළපු ඒ පිස්සුව නිසා අද මමත්, ශ්‍රී ලංකාව රාජපක්ෂලාගේ පෞද්ගලික දේපලක් කියලා හිතාගෙන හිටපු අයත් අඳුරු ආගාධයකට යමින් ඉන්නවා. අපි කෙලිය බොරු අද අපිටම පත්තු වෙනවා. දැන් ඒ කළ කුප්ප වැඩවල මිහිරියාව අපි අත්විඳිනවා කියලා බේබී කියනවා නම් අන්න ඔයා හරියට හරි කියලා අපිත් විශ්වාස කරනවා.

ඇත්තටම ඔතන තියෙන්නේ ඔයාලා නිතරම අනෙකාගේ විනාශය මත තම පැවැත්ම ස්ථාවරයි කියලා විශ්වාස කිරීමේ වැරද්ද. ඔයාලා දැනගෙන හිටියෙ නෑ උතුරේ ප්‍රභාකරන් හිටියොත් තමයි දකුණේ මහින්ද ට පැවැත්මක් තියෙන්නේ කියලා. උතුරේ ත්‍රස්තවාදීයා ඉන්නවා කියන තැනින් විතරයි දකුණට රජෙක් ඕන කියලා. ඇත්තටම බේබි පොලිටික්ස් ඇඟ තිබුණට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. එතැන තියන දයලෙක්තිකයත් දැනගන්න ඕන. බේබි ඕවා දන්නවද මංදා ...

ඒ නිසා තමයි ඔයා හිතන්නේ මිනිස්සු තාත්තව ගෙදර යැව්වේ ගොබෙල්ස් තියරි වලට අහුවෙලා කියලා. ඔය විදිහට ඔයාගේ අවිඥානය ලියුම ඇතුලේ අපුරුවට අපිට කියවගන්න ලැබෙනවා. අඬන්න ඕන කාරනා ගැන හිනා යනවා කියලා ලියවෙන්නෙ දන්නෙම නැතුව අවිඥානය එළියට පැන්නාම. ඔයාගේ මානසික රෝග ලයිස්තුවම ඔයාගේ ලියුමේ ඔය කොටස හරහා එළියට ඇවිත්. ඔය කොටස ලිව්වේ ඇත්තටම නයිට් රේස් ආතල් ඒක ප්‍රසිද්ධියේ ගන්න තරම් ගටක් තිබුණු ඔයාද නැත්නම් වෙන ඇරියස් ගොඩක් එක්ක දන්නෙම නැතුව වයසට ගිය හාදයෙක්ද කියලා මට නම් සැකයි. ඒ තරම් මේ කොටස මානසික අවරෝධනවල රෝග වාර්තාවක හැඩය අරගෙන තියනවා. ඔයා ප්‍රොයිඩ් ගැනවත් අහලා නැති නිසා ලෙඩේ නම කියලා ඔයාගේ රෝගය වැඩිකරන්න අපිට ඕන නෑ. ඒ නිසා පොඩි උදාහරණ ටිකක් කියන්නම්. නමට හරි නීතිඥ නිසා තර්ක බුද්ධියෙන් තේරුම් ගන්න.

ඔයාට හිතෙනවද ඔයාගේ ඇඟට මේ රටේ තරුණයෝ ඉරිසියා කළා කියලා. ඔයාට දැනෙනවද ඔය ඇඟ මාර එකක් කියලා. බේබීට එහෙම හිතෙන්නේ කන්නාඩියෙන් ඇඟ දිහා බලාගෙන ඉන්නකොට නම් ඔයාගේ ඔය වයසට රෝග මට්ටම බරපතලයි. වහාම රට ගිහින් මානසික සායනයකට ගොඩවෙන්නම වෙනවා.මොකද ඔයාගේ ලිංගික ජීවිතය ස්වරුපරාගී තැන හිරවෙලා. ඔය කතාව කිව්වේ ඔයත් එක්ක භූ ගත මාලිගාවේ ඇඳන් උඩ සෙල්ෆි ගත්ත අය නම් උන් ඔයාව රවට්ටලා. ඒ අය කියන්න ඇති හොර ගෙඩියා ඔයා හරිම දඟ කොල්ලෙක් ෆට්ට බොඩිය මාර සෙක්සි කියලා. ඒත් බේබි ඔය වගේ කතා කියන එක ඒ අයගේ රස්සාවේ කොටසක්. ඔයාට නෙවෙයි කාටත් එයාලා එහෙම කියනවා.

වැඩේ කියන්නේ ඔයා අරාබි නිසොල්ලාසය ලියන්න පදනම් වුණු කොටස අහගත්තට ඒ ගෑනිත් කලේ රජාව අන්දපු ඒක කියන කාරණේ තේරුම් අරගෙන නෑ. ඕක ඔයා විතරක් නෙවෙයි ඔයාගේ අප්පොච්චා ඒ වටේ ඉන්න බත් බැලයෝ කවුරුත් තේරුම් අරගෙන නෑ. දැන් ඔයා කිව්වට ඔයාව ඇතුළු පවුලේ අයව ඉස්සර උදව් ගත්ත අය පාවා දෙනවා, උන් මුල අමතක කරලා කියලා...ඒ කතාව 100%ක් හරි නෑ. ඇත්තට වුණේ ඔයාගේ තාත්තා බලයෙන් මත්වෙලා පිස්සු නටනකොට ඔයා සල්ලි වලට පිස්සු වැටුණා. තාත්තා තමන් ළඟට දේශපාලන ගණිකාවෝ ලං කර ගන්න කොට ඔයා ව්‍යාපාරික ජාවාරම්කාර ගණිකාවන් ලං කර ගත්තා. තාත්තා බලයට ඇති ආදරේට කරන දේ පුතා සල්ලි වලට ඇති ආදරේට කළා. කොහොමත් බේබී ගණිකාවෝ අදාරේ පාවා දෙනවා. ඔයාලා මේ අත්විඳින්නේ ඒ ගණිකා සේවේ පාවාදීමේ රස. ගණිකාවකට ආදරය කරන මොහොතේ සතුට උපරිම වෙන්න පුළුවන් ලොවෙත් නැති ආශ්වාදයක් වෙන්න පුළුවන් නමුත් පශ්චාත් මොහොත හරිම කටුකයි. මේ මොහොත කියන්නේ ඒ කටුව ඔයා උරණ මොහොත. බලය වගේම මුදල් වෙනුවෙන් ඔයාලා කර කී දේවල් ටිකක් හිතලා බලන්න. එතකොට තේරේවි ඔයාට මේ විඳින්න වෙලා තියන දේවල් ඔයාලගේ කෙරුවාව එක්ක බලද්දී කොච්චර චුටිද කියලා. අඩුම ගානේ තාජුදීන්ගේ ගෙදර කෙනෙක්ගෙන් වත් අහලා දන ගන්න ඒක වටිනවා.

යුද්ධය කියන එක ඔයාට ජාතික වැදගත් කමක් ඇති කාරණයක් වුණාට යුද්ධය කියන්නෙ ශිෂ්ට සමාජයට ශාපයක්. මානව හිමිකම්, ජාතීන්ගේ සමගිය, සමාජ සංස්කෘතික සංහිදියාව සහ වඩාත් සාධාරණ සමාජයක් වෙනුවෙන් තමයි අපි වෙහෙසෙන්නෙ. අන්න ඒ ගමනට බාධාවක් විදිහට ඔයාගේ තාත්තාගේ රෙජීමය කටයුතු කළ නිසා තමයි තාත්තාව ගෙදර යවන සටන අරඹන්නේ. ඊට තාත්තගේ රෙජීමය දැක්වූ ප්‍රජාතන්ත්‍ර විරෝධී අශ්ලීල ප්‍රතිචාරය ඇතුලේ තමයි ඒ සටන පන්නරය ලැබුවේ. අදටත් ඒ සටනේ අපි ඉන්නවා. සෙබළු මාරු උනාට උණ්ඩ එකසේ මාරාන්තික බව අපි දන්න නිසා. ඒ නිසා හෙට මේ ඉන්න අයටත් අද ඔයාට බෙදන හැන්දෙන් අපි බෙදනවා.

ඉතින් ඔයාගේ තෙරුවන් සරණ වගේම තිස්තුන් කෝටියක් දෙවිවරුන්ගේ පිහිටත් ඔයාම තියා ගන්න. අපි ඔයා එක්ක වගේම එයාලා එක්කත් ගනු දෙනු කළේ නෑ සහ ඉස්සරහටත් නෑ.

ඒ නිසාම බොරු හිතවත් කම් නැතුව මේ ලිපිය නවත්තනවා.

මං සෝර්බා

Leave a comment

Gossip

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස හදුන්වන waterfall rope swing jump ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව ලංකාවේ පළම...

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

දුශේනි කියනනේ තරුණ රංගන ශිල්පිනියක් වගේම ලෝක රූ රැජිනියක් වශයෙන් කිරුළු පැළඳ සිටින සුරුපිනියක්.

Connet With Us