යුධ හමුදා ප්‍රතිසංස්කරණවලට ජනාධිපති ගේ මැදිහත්වීම ඇරඹේ - නිලන්ත ඉලංගමුව

Thursday, 12 February 2015 07:37

“ සුරක්ෂිත දේශ සීමාවකට වඩා සුරක්ෂිත හමුදාවක් වඩාත් හොඳය” 

– බී. ආර්. අම්බෙඩ්කාර්

දේශපාලනය වූ කලී රටේ හැම අස්සක් මුල්ලකටම ඇඟිලි ගසා ඇති, බොහොමයක් වෘත්තීමය ක්ෂේත්‍රයන් විකෘති කරනු ලැබූ අසමත් සහ හානිකර මිනිසාගේ මෙවලමක් වූ බවට වූ හොඳම උදාහරණය අපේ මාතෘ භූමියය. දේශපාලනය නිසා වෘත්තීමය ගරුත්වයක් දිනාගෙන සිටි බොහොමයක් නිලධාරීන්ට තම වෘත්තීමය ආස්ථානය අහිමි වීම පමණක් නොව, ඇතැම් දක්ෂ නිලධාරීන් තම පෞද්ගලික ගරුත්වය කෙළසා ගනු ලැබුහ.

ආමාත්‍යංශ විදිවිධාන අමු අමුවේ උල්ලංඝණය කරමින් තම සහෝදරයාගේ දේශපාලන අවශ්‍යතා වෙනුවෙන් රටේ රාජ්‍ය ක්ෂේත්‍රය ව්‍යාකූල කරනු ලැබූ ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් ධූරය හොබවනු ලැබූ ගෝඨාබය රාජපක්ෂ මහතාගේ සේවා කාලය දෙස බැලීමෙන් අදාළ කාරණය මනාව පැහැදිලි වේ. සැබවින්ම ඔහු කළ හොඳ දෑ තිබුණු නමුත් රටේ ආරක්‍ෂක අංශ මුළුමනින්ම දේශපාලනීකරණය කොට ඊට හිමිව තිබු ස්වාධීන බලය කඩා බිඳ දැමීම සඳහා කටයුතු කළ ආකාරය අප්‍රසන්න ස්වභාවයක් ගත්තා පමණක් නොව එය යළි නිවැරදි කිරීමට කෙතරම් කාලයක් මෙන්ම ශ්‍රමයක් සහ ධනයක් අවශ්‍ය වේද යන්න දැනටමත් මතු වී ඇති මුලික ගැටලුවකි.


ජනාධිපති මෛත්‍රී පසුගිය බදාදා එනම් පෙබරවාරී 10 වැනි දින සවස 4.30 ට පමණ විශේෂ හමුවීමක් සූදානම් කොට තිබුණි. එය සංවිධානය කොට තිබුනේ ජනරාල් සරත් ෆොන්සේකා විසිනි. ජනාධිපති මෛත්‍රීගේ පළමු විදෙස් සංචාරයේ සගයෙකු ලෙස සම්බන්ධ වීමට නියමිත ජනරාල් ෆොන්සේකාගේ මැදිහත්වීමෙන් සිදු කළ මෙම හමුව සුවිශේෂී එකකි. වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම එය නව ආරම්භයකි.ඒ සඳහා පසුගිය ආණ්ඩුව සමයේ දේශපාලන පළිගැනීම් වලට ලක් වූ නිලධාරීන් 31 දෙනෙකු සම්බන්ධ වූ බව පැවසේ. යුධ හමුදා නිලධාරීන් 30 දෙනෙකු සහ එක් නාවික හමුදා නිලධාරියෙකු ඊට සම්බන්ධ වූහ. කෙසේ වෙතත් පසුගිය සතියේ මෙම තීරුව ඔස්සේ පල කළ නිලධාරීන්ගේ ලයිස්තුවේ සිටි නිලධාරීන් 14 දෙනාගෙන් පස් දෙනෙකු මීට සහභාගී නොවුහ.


ගෝඨාගේ යුද්ධය (ගෝඨාස් වෝ(ර්)) නමැති “ඉතිහාස” ප්‍රබන්ධ කතාවේ දේශපාලන යථාර්තය එයයි. එමඟින් මුලික ගැටලුව තව දුරටත් සංකීරණ කරනු ලැබූ අතර සත්‍ය තත්වය විකෘති කරනු ලැබීය. අභ්‍යන්තර බෙදීමකට මාර්ගය විවර කරනු ලැබීය. රටක අභ්‍යන්තර ආරවුල් මත බෙදී ගිය හමුදාවක් පවතින්නේ නම් එම රටේ දේශ සීමා කෙතරම් සුරක්ෂිත වුවද ඉන් ප්‍රයෝජනයක් නැත.

පසුගිය සතියේ මෙම තීරුව ඔස්සේ සඳහන් කළ ආකාරයට දේශපාලන පළිගැනීම් වලට ලක් වූ නිලධාරීන් රාශියකට මුහුණ දීමට සිදු වූ කටුක යතාර්ථය හමුවේ යුක්තිය ඉටු වීම කාලයට තල්ලු වූ සහ හිතා මතාම ඇහැ කන පියාගෙන සිටි කාරණයක් බවට පත් විය. ඇතැමෙක් එය දැක අසීමිත සතුටක් ලැබුවේය. තවකෙක් තම පළිගැනීම් නිලධාරීන්ට පමණක් නොව ඔවුන්ගේ පවුල් වල සාමාජීකයින්ද ඉලක්ක කරගත්හ.

අඳුර පවතින කාලයේදී නොදන්නා මල් රාශියක් පිපෙති. ඒවායේ සුවඳ දැනෙන නමුත් පැහැය මෙන්ම ඒවා කළ හැකි හානිය ගැන අපට කළ හැක්කේ කල්පිත මත පිහිටා තීරණය ගැනීම පමණි. අඳුර නිමා වී එළිය ලබන විට එකී නොදන්නා පුෂ්ප වල නොදන්නා පැතිකඩ අපට අවබෝධ වනු ඇත. එම අවබෝධය තීරණාත්මකය. දේශපාලනයේදී පමණක් නොව සෑම ක්ෂේත්‍රයකම වැදගත් හෝරාව එළඹෙන්නේ එම මොහොත මතය. වැරදි දෙයක් නිවරදි කළ හැක්කේ එම මොහොතේදීය.

ජනරාල් සරත් ෆොන්සේකාගේ දේශපාලන ආගමනයත් සමඟ යුධ හමුදාවේ සිටි ඇතැම් නිලධාරීන්ගෙන් දේශපාලනික වශයෙන් පළිගැනීම සඳහා ඔවුහු අනිවාර්ය නිවාඩු යැවීමද, අඳුර ඇති කාලයේ සිදු වූ දෑය. මෛත්‍රිපාල සිරිසේන මහතා බලයට පැමිණීමත් සමඟ එම අන්දකාරය නිමා වී ආලෝකය උදා වූ බව බොහෝ දෙනෙකු සිතති. එනම් තීරණාත්මක මොහොත උදා වී තිබේ.

ජනාධිපති මෛත්‍රී මෙම කාරණය මැනවින් අවබෝධ කරගෙන සිටින සැටියෙකි. ඒ අනුව ඔහු පසුගිය බදාදා එනම් පෙබරවාරී 10 වැනි දින සවස 4.30 ට පමණ විශේෂ හමුවීමක් සූදානම් කොට තිබුණි. එය සංවිධානය කොට තිබුනේ ජනරාල් සරත් ෆොන්සේකා විසිනි. ජනාධිපති මෛත්‍රීගේ පළමු විදෙස් සංචාරයේ සගයෙකු ලෙස සම්බන්ධ වීමට නියමිත ජනරාල් ෆොන්සේකාගේ මැදිහත්වීමෙන් සිදු කළ මෙම හමුව සුවිශේෂී එකකි. වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම එය නව ආරම්භයකි.

ඒ සඳහා පසුගිය ආණ්ඩුව සමයේ දේශපාලන පළිගැනීම් වලට ලක් වූ නිලධාරීන් 31 දෙනෙකු සම්බන්ධ වූ බව පැවසේ. යුධ හමුදා නිලධාරීන් 30 දෙනෙකු සහ එක් නාවික හමුදා නිලධාරියෙකු ඊට සම්බන්ධ වූහ. කෙසේ වෙතත් පසුගිය සතියේ මෙම තීරුව ඔස්සේ පල කළ නිලධාරීන්ගේ ලයිස්තුවේ සිටි නිලධාරීන් 14 දෙනාගෙන් පස් දෙනෙකු මීට සහභාගී නොවුහ. ඉන් එක් අයෙකු වන මේජර් ජනරාල් සමන්ත සූරියබණ්ඩාර මහතා මේ වන විටත් ජීවතුන් අතර නැත. අනෙක් සිව් දෙනාගෙන් එක් කපිතාන් වරයෙකු මේ වන විට ඇෆ්ගනිස්ථානයේ සේවය කරන්නේය. එක් බ්‍රිගේඩියර්වරයෙකු ඕස්ට්‍රේලියාවේ සේවය කරන්නේය. අනෙක් මේජර් ජනරාල්වරයා සහ බ්‍රිගේඩියර්වරයා ජීවත් වන්නේ අමෙරිකා එක්සත් ජනපදයේය. ඔවුහුට මීට සභාගී වීමට නොහැකි වූහ.

කෙසේ වෙතත් ජනාධිපති මෛත්‍රී අදාළ නිලධාරීන්ට ලබා දුන් විනාඩි 30 කට ආසන්න කාලය තුළදී පළිගැනීම් වලට ලක් වූ සියලුම නිලධාරීන්ට සදාරණය ඉටු කරණ බව දැඩි ලෙස අවධාරණය කළ බව පැවසේ. තමන් ජනාධිපති ලෙස පත් වීමට පෙර සිටම මෙම නිලධාරීන් ගැන කතා බහ කළ බව ජනාධිපතිවරයාම අදාළ නිලධාරින් හමුවේ මතක් කොට ඇත.

නිලධාරීන්ගේ මුලික ඉල්ලීම්, වූයේ තමන්ට සහ තම පවුලේ අයවලුන්ට සාදාරනය ඉටු කිරීමත්, යුධ හමුදාව දේශපාලනීකරණය නොකිරීමට මැදිහත් වන ලෙසය. තම අවශ්‍යතාවයද එය බව ජනාධිපතිවරයා අවධාරණය කොට ඇත.

ජනාධිපති මෛත්‍රී එම නිලධාරීන්ට වැඩිදුරටත් කියා සිටියේ මීළඟ පියවර ගැනීමට පෙර අදාළ නිලධාරීන්ට ඇපෑලක් ඉදිපත් කළ යුතුව ඇති බවයි. ඒ අනුව අදාළ හමුවට සහභාගී වූ මෙන්ම නොවූ නිලධාරින්ද ඊයේ දිනයේදී ඒ සඳහා වහාම කටයුතු කරනු ලැබූ බව පැවසේ. මේ වන විටත් අදාළ ඇපෑල ජනාධිපතිවරයාවරයා වෙත යැවූ බව පැවසේ. වැඩි දුරක් යෑමට පෙර මෙම කාරණය විසඳීමට නියමිතය.

දක්නට ලැබෙන ලක්ෂණ අනුව සුභවාදී බලාපොරොත්තු තබා ගැනීමේ වරදක් නැත. නමුත් ලංකාවේ දේශපාලනය සහ එහි අවශ්‍යතාවයන් වූ කලී මොහොතින් මොහොත වෙනස් වන දෑ බව යළි යළිත් මතක් කළ යුතු නොවේ. මෙම නිලධාරීන්ගේ අනාගතය තීරණය වන්නේද ඒ අනුවය. සෑම දෙනෙකුටම මහුණ දීමට ඇති පොදු යථාර්ථයක් තිබේ. එනම්, ඇමෙරිකානු සීල් නාවික හමුදාවේ ආදර්ශ පාඨය වන “පහසු දිනය වන්නේ ඊයේ දිනය පමණි” ( ද ඊසි ඩේ වොස් යෙස්ටේර් ඩේ). මෙම නිලධාරීන්ටද එය පොදුය.

මේ අතර නව හමුදාපතිවරයා පත් වීමට තවත් ඇත්තේ දින කිහිපයක කාලයකි. එය ජනාධිපති මෛත්‍රීගේ අභිනව ඉන්දීය සංචාරයෙන් පසු සිදු වනු ඇත. ඒ සඳහා මේ වන විට තිදෙනෙකුගේ නම් පෙරමුණට පැමිණ තිබේ. එනම් මේජර් ජනරාල් ක්‍රිශාන්ත ද සිල්වා, මේජර් ජනරාල් ජගත් සී. රඹුක්පොත සහ මේජර් ජනරාල් මහේෂ් සේනානායක යන නිලධාරීන්ය.

මේජර් ජනරාල් ක්‍රිශාන්තද සිල්වා මේ වන විට මොස්කව් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා ( ඩිෆෙන්ස් ඇටැචේ) ලෙස කරයුතු කරන අතර මේජර් ජෙනරාල් ජගත් සී. රඹුක්‌පොත ආරක්‍ෂක මාණ්‌ඩලික ප්‍රධානි මූලස්‌ථානයේ මාණ්‌ඩලික ප්‍රධානි ලෙස කටයුතු කරන්නේය.

මෙජර් ජනරාල් ක්‍රිශාන්තද සිල්වා වත්මන් හමුදාපතිවරයාගේ මිත්‍රයෙකු ලෙස පිළිගැනෙන අතර හෙතම මීළඟ හමුදාපති ධූරය සඳහා සුදුසු බව හමුදාපතිවරයා කැමැත්ත පළකොට ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. නමුත් ඔහුගේ පත්වීමට හමුදාවේ බොහොමයක් නිලධාරීන්ගේ ප්‍රසාදයක් නැති බව සඳහන් වේ.

මේ අතර මේජර් ජෙනරාල් ජගත් සී. රඹුක්‌පොත යුධ හමුදාවේ කීර්තිමත් නිලධාරියෙකු ලෙස පිළිගැනෙන අතර බොහෝ දෙනෙකුගේ ප්‍රසාදය දිනාගත් නිලධාරියෙකු ලෙස පිළිගැනේ.

දේශපාලන පළිගැනීමේ හේතුවෙන් අනිවාර්ය නිවාඩු යැවූ මේජර් ජනරාල් මෙහේෂ් සේනානායකගේ නමද මීළඟ හමුදාපති ධූරය සඳහා ඉදිරිපත් වී තිබේ. මේජර් ජනරාල් මහේෂ් සේනානායකද බොහොමයක් නිලධාරීන්ගේ ප්‍රසාදය දිනාගත් නිලධාරියෙකු ලෙස සඳහන් වේ. පසුගිය ආණ්ඩුව යටතේ අනිවාර්ය නිවාඩු යැවූ නිලධාරියෙකු වන ඔහුගේ නම මීළඟ හමුදාපති ධූරය සඳහා යෝජනා කොට තිබෙන බවට අදාළ පුවත් මීට පෙරද වාර්තා විය.

මේජර් ජනරාල් මහේෂ් සේනානායක පසුගිය සඳුදා ( පෙබරවාරි 9) උදෑසන දිවයිනට පැමිණියේය. ඔහු බ්‍රිගේඩියර් කැප්පෙටිවලාන ඇතුළු ප්‍රධාන පෙලේ නිලධාරීන් හමු වූහ. ජනධිපති මෛත්‍රී හමුවීමට ඔහුද පැමිණියේය. අදාළ හමුවීමේදී මීළඟ හමුදාපතිවරයා ගැන කිසිඳු කතාබහක් ඇති නොවුණද මෛත්‍රීගේ දැඩි අවධානයට මෙම නිලධාරීන් පාත්‍ර වූ බව පැවසේ.

මේජර් ජනරාල් මහේෂ් සේනානායක මහතා, ශ්‍රී ලංකාවේ යුධ හමුදාවේ මීළඟ තීරණාත්මක බලවේගය බවට පත් වුවහොත් පුදුම විය යුතු නොවේ. එසේම මේජර් ජෙනරාල් ජගත් සී. රඹුක්‌පොත මහතාගේ මීළඟ පියවරද ඉතා තීරණාත්මක එකක් වනු ඇත.

කෙසේ වෙතත් හිටපු ජනාධිපතිවරයාගේ පරාජයත් සමඟ හමුදාපතිධූරය සඳහා සිහින මවමින් සිටි ඇතැම් නිලධාරීන්ට එම සිහිනය බොඳ වී ගොස් තිබේ. ඒ වෙනුවට, ඇතැම් නිලධාරීන්ට නීතිමය ගැටලු වලට පවා අනාගතයේදී මුහුණ දීමේ අවධානමක් ඇතැයි සඳහන් වේ.

ජනරාල් සරත් ෆොසේකා පසුගියදා මාධ්‍ය ඉදිරියේ කියා සිටියේ වත්මන් හමුදාපතිවරයා වහාම ඉවත් කරණ ලෙසය. ඔහු එම මාධ්‍ය හමුව පැවැත්වූයේ ජනාධිපති මෛත්‍රී සමඟ පැවති හමුවීමෙන් පසුය.

කාලය ගෙවමින් තිබේ, උග්‍රලෙස දේශපාලනීකරණය වී ඇති යුධ හමුදාවට හිමි ස්වාධීන බලය යළි ලබා දීම සඳහා මුලික පියවර සකස් වෙමින් තිබේ. එය අතිශය බැරෑරුම් කටයුත්තකි. විවෘත සතුරන් මෙන්ම සංවෘත සතුරන්ද එමට සිටිති.

බ්‍රිතාන්‍ය නාවික හමුදාවේ සේවය කළ කීර්තිමත් අණදෙන නිලධාරියෙකු ලෙස සැලකෙන හොරටියෝ නෙල්සන් සඳහන් කළ පරිදි, “පළමුව ජයග්‍රහණය ලබා ගැනීම පසුව එම ජයග්‍රහණය වඩාත් වැදගත් ලෙස ප්‍රයෝජනයට ගැනීම,” යන කාරණය මේ මොහොතේ තීරණාත්මක ක්‍රමෝපාය බවට පත් වී තිබේ. පළමු අභියෝගය වූ කලී ගැඹුරට විහිදී ගිය අභ්‍යන්තර ආරවුල් විසඳීම සහ තම ස්ව-ශක්තිය සහ ගරුත්වය ලෝකය හමුවේ පෙන්වීමය. යමක් නිවැරදි කිරීමට අවස්ථාව උදාවීම වූ කලී තම වගකීම් පුළුල් වීම සහ ඒවා පෘතුල ලෙස ක්‍රියාවේ යෙදවීමය.

 

 

Last modified on Thursday, 12 February 2015 07:52

Leave a comment

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us