රාජපක්ෂගේ ඒ ජනවාරිය සහ මෛත්‍රීපාලගේ මේ ජනවාරිය - සුනන්ද දේශප්‍රිය

Friday, 30 January 2015 08:56

තමාට නව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ආණ්ඩුව ඉවරයක් නැතිව වද දෙන්නේ යැයි පරාජිත අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතා පසුදාක ලිපියක් ප්‍රසිද්ධ කරමින් කියා සිටියේ ය. එම ලිපිය ලියා ඇත්තේ මාධ්‍ය මගින් ඔහුට එරෙහිව නඟා ඇති චෝදනාවන්ට පිළිතුරු දීමට ය. මහින්ද රාජපක්ෂගේ කපටි ආරක්ෂකයා වන විරවංසට අනුව එම ලිපිය රාජපක්ෂ මහතා ලියා ඇත්තේ කඳුලු පිස දමමිනි.

හරි පව්! දැන් කඳුලුත් හැළෙනවා ද?

අපි පුංචි සන්ධියේ දී නම් බොරුවට අඬන විට විහිලුවට ඇසුවේ ‘ කඳුලු පිහිදාගන්න කටු අත්තක් දෙන්නද කියා ය.’ නමුත් විරවංස නම් ශෂිගෙන් ඉල්ලා හෝ ලේන්සුවක් හෝ දී ඇති පාටක් නැත. සමහර විට ශෂි වීරවංශට තමන්ට වෙන්න යන දේ දැක කඳුලු පිසදා ගන්න ලේන්සු මදි වෙලා ඇති!

රාජපක්ෂ මහතාගේ එම දුක්බර ලිපියේ හරි පුදුම හිල් ටිකක් තිබේ. ඒ හිල් වලින් අරලිය ගහ මන්දිරයේ තිබී හමුවූ රුපියල් කෝටි 1,500, සුරතලයට ඇති කළ සුඛෝපභෝගී බලු සේනාව, යන විට දමා ගිය සිය ගණන් පරිඝණක යනාදී බොහෝ දේ හැලී ගොස් ය!

මේ ගත වන්නේ පශ්චාත් ජනාධිපතිවරණ තෙවන සතිය යි. රාජපක්ෂ ලිපියෙන් කියා සිටින්නේ තම පාලනය ඉතා සාධාරණ වූ නමුත් දැන් නව රජය තමන්ට එරෙහිව අවලාද ව්‍යාපාරයක් ආරම්භ කර ඇති බවයි.

තමා පරාජය වූයේ නම් මෙළහකටත් පස්යට යැයි ජනාධිපති සිරිසේන පසුගිය දා පොළොන්නරුවේදී කළ ප්‍රකාශයෙන් මහත් කණස්සල්ලට පත් වූ බවත් රාජපක්ෂ කිය යි.

 

මෙන්න රාජපක්ෂ 2010 ජනවාරියේ දී කියූ කතා.


ජනාධිපතිවරනයෙන් ජය දිනා දෙදිනකට පසු එනම් ජනවාරි 28දා දිනමිණ පුවත්පත මෙසේ වාර්තා කළේ ය. ‘‘තමා බෝගම්බර සිරගත කිරීමටත්, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ මහතා ගාලු මුවදොර පිටියට ගෙන ගොස් ඝාතනය කිරීමටත් සැලැසුමක් තිබුණු බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (28)මාධ්‍ය ප්‍රධානීන් හමුවේ ප්‍රකාශ කෙළේය.’’

එදිනම මෙම ඝාතන සැලැස්ම කාගේ එකක් දැයි දැන් ඕස්ට්‍රේලියාවට පැන ගොස් සිටින එකළ ගෝඨාභය රාජපක්ෂගේ හඬ බවට පත්ව සිටි ජාතික ආරක්ෂාව සම්බන්ධ මාධ්‍ය මධස්ථානයේ ප්‍රධානී ලක්ෂ්මන් හුළුගල්ල කීවේ ය. ‘‘සරත් ෆොන්සේකා මහතා තමන්ට හිතවත් කණ්ඩායම් දෙකක් යොදවා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඝාතනය කිරීමේ සැලැසුමක් පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇති බව ජාතික ආරක්‍ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් ලක්ෂ්මන් හුළුගල්ල මහතා පැවැසීය. ’’ ( දිනමිණ 2010 ජනවාරි 28)


එනමුත් එවැනි චෝදනාවක් කිසිවකුට එරෙහිව රාජපක්ෂ ආණ්ඩුව අධිකරණය හමුවේ ගොනු කළේ නැත.


දැන් රාජපක්ෂ මහතාට අතීතය කොතරම් අමතක වි තිබේ ද යන්න හරි පුදුමය. ඔහු සූදානම් වන්නේ යළිත් වතාවත් ජනයාගේ ඇස් බදින්නට ය‍.
කඳුලු පිස දමමින් ලියූ එම ලිපියෙහි රාජපක්ෂ මහතා කියන්නේ තමා ජන්දය පැරදුණූ සාමකාමීව වහාම හම්බන්තොට බලා ගිය බවයි. කොයිතරම් හොඳද? තමාට එළෙස ඉවත්ව ගියේ හෙළිකොප්ටර දෙකකින් බව රාජපක්ෂ මහතා සිය ලිපියේ ලියා නැත. ඔහුට 09 දින උදෑසන කිසිදු කරදරයක් සිදු නොවූ අතර අනතුරුව ගෙවුනු දින කිහිපයෙහි ඔහු සොයා හම්බන්තොට ගිය රාජපක්ෂවාදී පිරිස්වලටද කිසිදු කරදරයක් වූයේ නැත.

 

2010 ජනාධිපතිවරණය පැවැති අවසන් වූ රාජපක්ෂ ජනවාරියේ 27, 28, 29 දවස් කෙසේ වී ද?

ජනාධිපතිවරණය පැවැති 26දා රුයෙහි ආරක්ෂාව පතා සියලු විපක්ෂ නායක කණ්ඩායම කොළඹ සිනමන් ගාර්ඩන්ස් හෝටලයේ නවාතැන් ගෙන තිබුණි. එම තත්වය වාර්තා කිරීමට පැමිණි ජනමාධ්‍යවේදී පිරිසක් ද හෝටලයේ ආලින්දයේ රුස්ව සිටියහ. රාත්‍රී 11 වන විට හමුදා සන්නද්ධ රථ කිහිපයක් හෝටලය ඉදිරිපිට පේලි ගස්වන ලදී. ඒ අතරම යුද හමුදා පිරිස් මාර්ග බාධක ඉදි කිරීමට අවශ්‍ය යකඩ වැටවල් ද ගෙනැවිත් තිබුණි.

එම රාත්‍රියෙහිම විපක්ෂ ජනාධිපති අපේක්ෂක ජෙනරල් පොන්සේකා සේවය කල සිංහ රෙජ්මේන්තුව නිරායුධ කිරිමට නියෝග දි තිබුණි. එමෙන්ම ඔහුට පක්ෂපාතී යැයි සැළකුණූ හමුදා නිලධාරින්ගේ නිවෙස් ඉදිරිපිව විශේෂ යුද හමුදා මුර සංචාරයන් ආරම්භ කරවන ලදී.

මෙම යුද හමුදා ක්‍රියාන්විතය සඳහා කැඳවා තිබුනේ ගෝඨාභය රාජපක්ෂ සේවය කල ගජබා රෙජ්මේන්තුවේ තෝරාගත් භට පිරිස් ය. ක්‍රියාන්විතය බාරව සිටියේ ජෙනරල් පොන්සේකාගේ විරුද්ධවාදියකු ලෙස නම් දරා සිටි මේජර් ජෙනරල් සුමිත් මානවඩු ය. දින කිහිපයකට පසුව පොන්සේකා බලහත්කාරයෙන් අත් අඩංඟුවට ගැනීමට ජනාධිපති රාජපක්ෂ එවූයේ ද මෙම මානවඩුමය.

සිනමන් ගාර්ඩන්ස් හෝටලය ඉදිරිපිට මේජ්ර් ජෙනරල් සුමිත් මානවඩු කඳවුරු බැන්දේ ය. සරත් පොන්සේකාගේ ආරක්ෂකයින් පොළවේ ගසා මරා දමන බවට තර්ජනය කළ ඔහු පිටතට ගිය ජනමාධ්‍යවේදීන්ට ජයාරූප නොගන්නා ලෙස තර්ජනය කළේ ය.

ජනාධිපතිවරනයේ ප්‍රකාශිත ප්‍රතිපල අනුව විපක්ෂ අපේක්ෂක පොන්සේකා පරාජය වෙමින් පැවැති තත්වය යටතේ මෙම හමුදා ක්‍රියාන්විතය එළි පිටම මර්දනකාරී වන්නට පටන් ගත්තේ ය. උදෑසන අට වනවිට හොටලයට ඇතුලුවීම සහ පිටවීම සංචාරකයිනට සහ හෝටල් සේවකයිනට සීමා කරන ලදී. හෝටලයේ නතර වි සිටි විදේශිකයින් පවා මහත් සේ තැති ගැනුණි.

හෝටලය ඉදිරිපිට මහා මාර්ගය වසා දමා ඒ අසළ වූ අනෙක් මාවත් ද හමුදා පාලනයට ගන්නා ලදී. ජනාධිපතිවරණයෙන් රාජපක්ෂ මහතා ජය ගත් බව ප්‍රකාශ කිරීමත් සමඟම වාගේ ජෙනරල් පොන්සේකාගේ ආරක්ෂාවට සිටි සොල්දාදුවන් මේජර් ජෙනරල් සුමිත් මානවඩු විසින් අත් අඩංඟුවට ගන්නා ලදුව බසයක නංවා එහි වහළළෙහි සවිකර තිබූ අත්වාරු පොල්ලට මංචු දමා ගෙන යනු ආණ්ඩුවේ රූපවාහිනියෙන් විකාශනය කරන ලදී. මේ සඳහා හෝටලය ඉදිරිපිට ආණ්ඩුවේ රූපවාහිනී කණ්ඩායමක් ස්ථාන ගත කර තිබුණි.

මෙම සමස්ත ක්‍රියාවලියේම අරමුණ වූයේ විපාක්ෂික ආධාරකරුවන් දරුණූ ලෙස බිය ගැන්වීමයි. දැන් රාජපක්ෂ මහතාට තමා විසින් එදා පරාජිත ජනාධිපතිවරණ අපේක්ෂකයාට පමුණුවන ලද ගැහැට අමතක වි කඳුලු සලමින් ලිපි ලියන්නට පටන් ගෙන තිබේ.

 

කටු අත්තක් දෙන්නද?

වැඩි දිනක් නොයා ජෙනරල් පොන්සේකාට හිතවත් බවට සැක කරන ලද යුද හමුදා නිලධාරින් අඩුම වශයෙන් 22දෙනෙකු අත් අඩංඟුවට ගන්නා ලද අතර ඒ කිසිවකුට නඩු පැවරිමක් සිදු නොවුණි. ජනවාරි 30 දින උසස් හමුදා නිලධාරීන් 12 දෙනෙකු විශ්‍රාම ගන්වන ලදී, අත් අඩංඟුවට ගත් සමහරෙක් වසරකට ආසන්න කාලයක් අත් අඩංඟුවේ තබා ගන්නා ලද්දේ කිසිදු සාධාරන හේතුවකින් තොරව ය. නිදහස් කිරීමෙන් පසු ඉන් බොහෝ දෙනෙකු ද යුද හමුදාවෙන් ඉවත් කරන ලද්දේ දේශපාලන පළිගැනීම් ලෙස ය.

ඒ තමයි රාජපක්ෂ යහ පාලනය.

බොරු චෝදනා මත ජනාධිපතිවරණයෙන් දෙසතියක් ගිය තැන පරාජිත ජනාධිපති අපේක්ෂක පොන්සේකා නීති විරෝධී ලෙස අත් අඩංඟුවට ගන්නා ලදුව රාජපක්ෂවාදී දේශපාලනඥයකු වූ ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ තනි සාක්ෂිය උඩ දෙවසරක සිර දඩුවමකට යටත් කෙරුණි. පොන්ස්ටන් ප්‍රනාන්දුගේ සාක්ෂිය තහවුරු කැරෙන ව්‍යාජ සාක්ෂියක් දීම ප්‍රතික්ෂේප කළ ජනමාධ්‍යවේදී රුවන් වීරකෝන් චෝදනා නොමැතිව මාස තුනක් අත් අඩංඟුවේ තබා ගැනුනි.


2010 ජනාධිපතිවරණය අවසන් වූ වහාම ලංකා ඊ නිව්ස් ඇතුලු විපක්ෂ අපේක්ෂකයාට සහාය දැක්වූ ජනමාධ්‍ය වෙත විවිධ තර්ජන ගර්ජන මුදා හරින ලදී. ජාතික රූපවාහිනී සංස්ථාව ජනාධිපතිවරණ සමයෙහි ස්වාධීනව කටයුතු කළ යුතු බවට උද්ඝෝෂණයක් ගෙන ගිය එහි ජේෂ්ඨ ජනමාධ්‍යවේදීන් පස් දෙනෙකුගේ සේවය තහනම් කරන ලදී. අනතුරුව වෙබ් අඩවි ගණනාවක්ම තහනම් කෙරුණි.

150ක් ඉක්මවා වාර්තා වූ පශ්චාත් ජනාධිපතිවරණ ප්‍රචන්ඩ ක්‍රියා වැළැක්වීමට රාජපක්ෂ කිසිදු පියවරක් නොගත් අතර පෙබරවාරි 10 දින පාර්ලිමේන්තුව විසිරුවා හැර විපක්ෂයට එරෙහි මැතිවරණ ප්‍රචන්ඩ ක්‍රියා ඉහළ නංවන ලදී.

මේ වනාහී රාජපක්ෂ මහතා 2010 ජනාධිපතිවරණයෙන් ජය දිනා දියත් කළ මර්දනකාරී පාලනයේ මූලාරම්භය විය. දැන් පරාජය වූ තමාට ජනමාධ්‍ය මගින් අවලාද නගන්නේ යැයි රාජපක්ෂ මහතා හඬ වැටෙයි. ඔහුගේ පාලන කාලයෙහි තරම් තුච්ච ජඩ මාධ්‍ය කලාවක් මෙරට තිබී නැත.

2010 රාජපක්ෂගේ ජනවාරිය මෙන් නොව 2015 මෛත්‍රීපාලගේ ජනවාරිය ජනමාධ්‍ය නිදහස සඳහා දැනටමත් දොරටු හැර තිබේ. ජනමාධ්‍ය ඝාතන සෙවීම මූලිකත්වයක් වී ඇති අතර තොරතුරු නිදහසේ පනත යතාර්ථයක් වීමට නියමිතය. විධායක ජනාධිපති අධිකාරය අහෝසි වී රාජ්‍ය කොමිසන් සභා ස්වාධීන කිරීම ඉදිරියට යයි.

පශ්චාත් ජනාධිපතිවරණ ප්‍රචන්ඩ ක්‍රියා නතර කිරීමට සහ සොයා බැලීමට වහා පියවර ගෙන තිබේ. උතුරු නැගෙනහිර මිලිටරි ආණ්ඩුකාරයින් ඉවත් කර ඇත. සිවිල් ක්‍රියාකාරිත්වයන් මර්දනකාරි හස්තයන්ගේ බල පෑමෙන් නිදහස් වී තිබේ.

රාජපක්ෂ පාලනයට හෙළිවැල්ලෙන්ම කඩේ ගිය කිසිදු පොලිස් හෝ හමුදා නිලධාරියකු හෝ අත් අඩංඟුවට ගෙන නැත. ඒ වෙනුවට සිදු වන්නේ රාජපක්ෂ භීෂනය සහ දූෂණය මෙහෙයෙවූ අපරාධකරුවන් සම්බන්දයෙන් නීති ප්‍රකාර පිණිස කටයුතු කිරීම රාජ්‍ය නිලධාරීන්ට පවරා තිබීම ය.

2015 මෛත්‍රීපාල ජනවාරිය ප්‍රජාතන්ත්‍රවාදී ඇරඹුමක සාධනීය ලක්ෂණ වලින් පිරී තිබේ. ඊට සහමුළින්ම වෙනස්ව 2010 රාජපක්ෂ ජනවාරිය සටහන් කළේ මර්දනයක ආරම්භය යි.

රාජපක්ෂ කදුලු සලමින් ලිපි ලියන්නේ මේ යථාර්තය වසං කිරීමට ය.

 

Last modified on Friday, 30 January 2015 09:08

Leave a comment

Gossip

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස හදුන්වන waterfall rope swing jump ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව ලංකාවේ පළම...

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

දුශේනි කියනනේ තරුණ රංගන ශිල්පිනියක් වගේම ලෝක රූ රැජිනියක් වශයෙන් කිරුළු පැළඳ සිටින සුරුපිනියක්.

Connet With Us