කරන කලට පව් මිහිරිය මීසේ

Friday, 16 January 2015 10:39

කරන කලට පව් මිහිරිය මීසේ

 

කරන   කලට පව් මිහිරිය          මීසේ

විදින    කලට දුක් දැඩිවෙයි       ගිනිසේ

ඇඳින   එපව් දුරලන                  උපදේසේ

නුදුන    මැනවි තුන් දොර          අවකාසේ

ලෝවැඩ සඟරාව 37 වන කවිය

(පව් කරන විට ඒවා මී පැණි මෙන් රසවත් ය. නමුත් එහි විපාක විඳින විට එය ගින්දර මෙන් රුදුරු ය. ඒ පව් බැහැර කරන උපදෙස් හොදින් හඳුනාගෙන සිත, කය, වචනය නමැති තුන්දොර පාපය වෙනුවෙන් විවර නොකරනු මැනවි)

මෙ’කවෙහි අර්ථය යථාර්ථයක් කරමින් දැන් දැන් ඊනියා දේශප්‍රේමීන් බියේ වෙවුලන්ට පටන් ගෙන ඇත; මරු විකල්ලෙන් දොඩවන්නට පටන් ගෙන ඇත; කළ පව් කමා කරගන්නට උත්සුක වන්නේ ය. එහි ආරම්භයක් ලෙස විමල් විරවංශගේ මාධ්‍යය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් කැඳවූ මාධ්‍යය සාකච්ඡාව සඳහන් කළ හැකි ය.

 

එම මාධ්‍යය සාකච්ඡාවේ දී මොහොමඩ් මුසම්මිල් පවසා තිබුණේ; විමල් වීරවංශ අත්අඩංගුවට ගැනීමට සැරසෙන බවත්, මෙවැනි වැඩ යහපාලනයට සුදුසු නැති බවත්, විරුද්ධ පක්ෂ දේශපාලකයන්ට තමන්ගේ අදහස නිදහසේ ප්‍රකාශ කරමින් දේශපාලනයේ යෙදීමට ඇති අයිතිය තහවුරු කිරීම වැදගත් බව යි.

 

විමල් විරවංශ අත්අඩංගුවට ගන්නට සැරසෙන්නේ අදහස් ප්‍රකාශ කිරීමට විරුද්ධව නම් ඒ සඳහා අප ද තරයේ විරුද්ධ වෙමු. එහෙත් එය එසේ නොවන බව අප දන්නා හෙයින් විමල් විරවංශ පමණක් නොව පසුගිය සමයේ හිටපු ජනාධිපති පර්සි මහේන්ද්‍ර රාජපක්ෂගේ බලයෙන් ඔද වැඩී, මහජන මුදල් කොල්ල කා, කෝටි ප්‍රකෝටි ගණනින් වංචා දූෂණවල නිරත වූ ඕනැම පුද්ගලයෙක්/කණ්ඩායමක් නීත්‍යානුකුලව අත්අඩංගුවට ගන්නේ නම්, ඔවුන්ට එරෙහිව නඩු පවරා දඬුවම් පමුනුවන්නේ නම් ඊට එරෙහිවන්නට කිසිවකුටත් අයිතියක් නැති බව ද මෙහි දී සඳහන් කළ යුතු ය.

 

2014 නොවැම්බර් 19 වන දින සිට 2015 ජනවාරි පස්වන දින දක්වා පමණක් නොව අටවන දින සවස් කාලය දක්වා ම පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ ඇතුළු ඔහුගේ බත්බැලයෝ එවකට ජනාධිපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට කළ අපහාස අවලාද මෙතෙකැයි කියා නිම කළ නොහැකි ය. විමල් විරවංශ ප්‍රමුඛ මේ බත්බැලයන් රැල යහපාලනය අනුමත කරන්නේ නම් තමන් එදා කළ කී දැ පිළිබඳව වත්මන් ජනාධිපතිතුමාගෙන් පමණක් නොව සමස්ත රටවැසියාගෙන් ම සමාව ගත යුතු ය. මුසම්මිල් ඉල්ලා සිටින යහපාලනය නොතිබෙන්නට පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ ප්‍රමුඛ ඊනියා දේශප්‍රේමින්ට අත්වන ඉරණම කුමක් ද යන්න සිතාගැනීමටත් අපහසු ය. අද මේ බත්බැලයෝ මාධ්‍යය ඉදිරියට පැමිණ නැවතත් තමන්ගේ මුඛරි කට අරින්නේ ඒ යහපාලනයට පින්සිදුවන්නට බව මොවුන් සිහිතබාගත යුතු ය.

 

එදා ජනාධිපති අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රමුඛ විපක්ෂය දින සියයේ වැඩසටහන ඉදිරිපත් කරද්දී එදෙස අපහාසයෙන්, අපහාසයෙන් බැලූ මේ බත් බැලයෝ අද එය රටේ බහුතරයක් ජනතාව පිළිගෙන ඇති බව ප්‍රකාශ කරති; එමතු නොව එය කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස බලකර සිටිති. ඒ අතරතුර මුසම්මිල් විසුළු සහගත ප්‍රකාශ ද කරයි. එනම්, උතුරු පළාතේ හිටපු ආණ්ඩුකාර ජී. ඒ. චන්ද්‍රසිරි මහතා ඉන් ඉවත් කරන බවට එම දින සියයේ වැඩසටහනේ අන්තර්ගතව නොතිබුණ බවයි. මොහුට අන්ව අභිනව ජනාධිපතිවරයා බහුශ්‍රාවීය කටයුත්ත කළ යුත්තේ ද දින සියයේ වැඩසටහනට එය ඇතුළත්ව තිබුණේ නම් පමණි. මොවුන් දැන් කැසකවන්නේ ඌරාගේ මාළු ඌරාගේ පිටේ ම තබා කපන්න ය.

 

එමෙන් ම දැනට නිත්‍යානුකූල නොවන අන්දමින් ධුරයේ රැඳී සිටින අගවිනිසුරු ඉවත් කිරීමට කටයුතු කරන බව ද මුසම්මිල් පවසයි. ඔව්... මුසම්මිල් මහත්මයෝ රටේ නීතිය අගයන, නීතියට ගරුකරන, නීතිය පිළිබඳ විශ්වාසයක් තිබෙන හැම පුරවැසියකුම  පස්සා දොරෙන් අගවිනිසුරු පදවියට පැමිණි ඒ පුද්ගලයා ඉවත් කිරීම සඳහා ගතහැකි සැම පියවරක් ම ගන්නා බව අප නොබිවය පවසන්නෙමු. මඳක් සිතන්න එදා අගවිනිසුරු පදවිය දැරූ ශිරාණි බණ්ඩාරනායක මහත්මිය ඒ අසුනෙන් පලවා හැරියේ නීත්‍යානුකුල අන්දමින් ද? නැත. එදා එතුමිය පලවා හැරියේ ඉතාමත් පහත්, නීච අන්දමිනි. නමුත් අද එසේ නොකරන්නට මෛත්‍රි පාලනය වගබලාගනු ඇත. මහජනතාවගේ කැමැත්තට අනුව වත්මන් අගවිනිසුරුවරයා සේවයෙන් ඉවත් කිරීම අභිනව ජනාධිපතිතුමා ප්‍රමුඛ ආණ්ඩුවේ වගකීමක්ව පවතී. එය ඉටු කිරීම යහපාලනයට වලංගු නොවන්නේ ද?

 

මුසම්මිල් මහත්මයෝ ඔබට වැරදී ඇත. නැත! ඔබ ඇතුළු එදා පර්සි මහේන්ද්‍ර රාජපක්ෂගේ ජයග්‍රහණය වෙනුවෙන් අන්ත දූෂිත, නිහීන මැතිවරණ ක්‍රියාදාමයක නිරත වු සැවොම වරද්දාගෙන ඇත. මෛත්‍රී පාලනය යනු හොරුන්ට, මංකොල්ලකරුවන්ට, දූෂිතයන්ට, වංචාකරුවන්ට සහ කොමිස් කාක්කන්ට තමන්ට රිසි පරිදි කටයුතු කිරීමට ඉඩහසර ලබා දීම නොවේ; එසේ ඉඩ ලබා දී ඒ මුදලින් කොටසක් රටේ නායකයා ඇතුළු පවුලේ උදවියගේ බැංකු ගිණුමට බැර කරගැනීම නොවේ. යහපාලනය යනු රටේ සැම පුරවැසියකුට ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ස්ථාපිත කර ඇති පරිදි නිදහස් නිවහල් ජිවිතයක් ගතකිරීමට ඉඩ සලසා දීම ය. එමෙන් ම එම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ම සඳහන් පරිදි දණ්ඩනීති සංග්‍රහයට අනුව වැරදිකරුවන්ට උපරිමයෙන් දඬුවම් පැමිණවීම ය. එසේ නොකොට මහජනයාගේ දේපළ කොල්ලකමින්, මහජනයා පීඩනයට පත්කරමින්, මහජනයාගේ අදහස් ප්‍රකාශ කිරිමේ අයිතිය උල්ලංඝනය කරමින් රට පාලනය කිරීම නොවේ.

 

මුසම්මිල් දැන් සුදු රෙදි පොරවාගෙන පෙනී සිටිය ද එදා 2010 ජනාධිපතිවරණයේ දී රඟදැක්වූ නාටකය මෙරට ජනතාවට තවමත් අමතකව ගොස් නැත. තමන්ට අල්ලස් ලබාදීමට සැරසුණා යැයි පවසමින් එදා දැවැන්ත නාටකයක් කරළියට රැගෙන ආවේ මේ මුසම්මිල් ම ය. නමුත් අද වන විට ඒ සියල්ල අමතක කොට ඇත. මුසම්මිල් මහත්මයෝ මේ කරුණත් හොදින් සිහි තබාගන්න. අල්ලස් දීම මෙන් ම අල්ලස් ලබාගැනීම ද  දඬවම් ලැබිය හැකි වරදකි. ඔබ එදා නීතියට පිටුපා අල්ලස් ලබාගෙන තිබිණ. එසේ නම් ඔබ ද නීතිය ඉදිරියේ වරදකරුවෙකි. ඔබට යම් පුද්ගලයකු අල්ලස් දීමට සැරසෙන්නේ නම් හෝ ඔබෙන් කිසිවකු අල්ලස් ගැනීමට සැරසෙන්නේ නම් ඔබ කළ යුත්තේ ඒ පිළිබඳව අල්ලස් කොමිසම දැනුවත් කොට අදාළ පුද්ගලයා සම්මුඛ වීමට යනවිට අල්ලස් කොමිසමේ විලධාරින් ද කැටුව යාම ය. එහෙත් එදා ඔබ ඒ කිසිවක් තුට්ටුවකට මායිම් නොකොට අල්ලස් ලබාගෙන ඇත. ශ්‍රි ලංකා දණ්ඩනිති සංග්‍රහයේ 211 වන වගන්තියට අනුව අල්ලස් දීම දඬුවම් ලැබිය යුතු වරදක් වන අතර ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 210 වන වගන්තියට අනුව අල්ලස් ලබාගැනීම ද දඬුවම් ලැබිය යුතු වරදකි. එසේ නම් ඔබ එදා කළ වරදට අනාගතයේ දඬුවම් විඳීමට නියමිතව ඇත.

 

තම හිසෙහි අසුචි රඳවාගෙන මම සුදනා යැයි පවසන ඉස්සා මෙන් මුසම්මිල් ද අමාත්‍යය චම්පික රණවක මහතාගෙන් සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුරකුමාර දිසානායක මහතාගෙන් ඉල්ලා සිටින්නේ වෛරය වැපීරීමෙන් වැළකි සිටින ලෙසයි. එදා ජනතා විමුක්කිපෙරමුණේ සිටි විමල් විරවංශ ද අද ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් විරවංශ ද 2005 වසරේ සිට කළේ ජාතින් අතර වෛරය වැපිරවී ම ය. එසේ නොවන්නට 2005 වසරේ රටේ ජනාධිපතිධුරයට පත්වන්නේ රනිල් වික්‍රමසිංහ මහතා ය. ඒ ආකාරයෙන් වෛරය වපුරවා උතුරේ සිවිල් වැසියන් හැට දහසකට අධික ප්‍රමාණයක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් විමල් වීරවංශ ද වගකිව යුතු ය. එසේ තිබිය දී ය මුසම්මිල් වෛරය වපුරන්න එපා යැයි අනෙක් අයගෙන් ඉල්ලා සිටින්නේ.

සැබැවින් ම දැන් වෛරය අවසන් කළ යුතු කාලය පැමිණ ඇත. එහෙත් වැරදිකරුවන්ට දඬුවම් පැමිණවිය යුතු ය. එහෙයින් දැන් වැඳවැටි ඵලක් නැත. කල වැරදිවලට දඬුවම් ලැබිය යුතු ය. ඒ සදහා සුදානම් වෙන්න; හිත හදාගන්න; කළ පවු ගෙවන්නට සිදුවීම පිළිබඳ නොතැවෙන්න. ඔබ ඇතුලු සියලු වැරදිකරුවන්ට මෛත්‍රිය ම වේවා!!!

 

ජයසිරි අලවත්ත - This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

Leave a comment

Gossip

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස හදුන්වන waterfall rope swing jump ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව ලංකාවේ පළම...

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

දුශේනි කියනනේ තරුණ රංගන ශිල්පිනියක් වගේම ලෝක රූ රැජිනියක් වශයෙන් කිරුළු පැළඳ සිටින සුරුපිනියක්.

Connet With Us