සුපිරි වාහනවලට බදු අනුකම්පාව

Saturday, 12 July 2014 20:01

පසුගිය කාලය පුරා ශ‍්‍රී ලංකා රේගුව විසින් නිවේදනය කරන ලද පුවත්වල ප‍්‍රමුඛවම කියවුණේ ප‍්‍රමාණය ඉක්මවා නීති විරෝධීව රන් ආභරණ පැළඳ සිටි පුද්ගලයන්ව අත්අඩංගුවට ගත් බවයි. මේ බොහෝ පිරිස් කොළඹින් ඈත එපිට ප‍්‍රදේශවල සාමාන්‍ය ජනයා වූ බව එම පුවත්වල අන්තර්ගත තොරතුරු පිරික්සීමේදී පැහැදිලි විය.

එසේම සාමාන්‍ය ජනයා විසින් සිදුකරන මහා පරිමාණයේ නොවන එවැනි කටයුතු පිළිබඳව ශ‍්‍රී ලංකා රේගුවේ උකුසු ඇස දැඩිව යොමුවුණද බලවත් පුද්ගලයන් විසින් මහා පරිමාණයෙන් සිදුකරන ජාවාරම් පිළිබඳව ශී‍්‍ර ලංකා රේගුවේ උකුසු ඇස යොමු නොවූ බවක් පසුගිය කාලයේම දක්නට ලැබුණි.

ඊට අදාළ එක් හොඳම උදාහරණයක් වූයේ මහා පරිමාණ කරුංකා ජාවාරමය. නීත්‍යනුකූල නොවන ආකාරයෙන් කාලයක් තිස්සේ සිදුවූ එම කරුංකා ජාවාරම රේගු පරීක්ෂණ කණ්ඩායමක් විසින් හෙළිකර ගත්තද අවසානයේදී සිදුවූයේ රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අණින් එම කරුංකා මුදාහැරීමට සිදුවීමය. මේ සානුකම්පිත අනුකම්පාව රත‍්‍රං පවුමක් දෙකක් වැඩිපුර පැළඳ සිටින සාමාන්‍ය මිනිසුන් වෙනුවෙන් ක‍්‍රියාත්මක නොවීම පුදුමසහගතය.

මේ වනවිටත් සාමාන්‍ය මිනිසුන් නොවන සුපිරි මිනිසුන් වෙනුවෙන් එවැනි පුදුමසහගත අනුකම්පාවක් ශ‍්‍රී ලංකා රේගුව විසින් දක්වමින් සිටින බව අපට වාර්තා වී තිබේ. ඒ මාණ්ඩලික මට්ටමේ රජයේ නිලධාරීන් වෙනුවෙන් ලබාදෙනු ලබන වාහන බලපත‍්‍රවලට අදාළව ගෙන්වනු ලබන සුපිරි වාහන සම්බන්ධයෙන් බදු අයකිරීමේදීය.

මාණ්ඩලික මට්ටමේ රජයේ නිලධාරීන් සඳහා ලබාදෙනු ලබන වාහන ආනයන බලපත‍්‍රයේ තීරු බද්ද 50%ක ප‍්‍රතිශතයකින් කපා හරිනු ලැබේ.

බලපත‍්‍රයක් නොමැතිව ඞීසල් වාහනයක් ගෙන්වීමේදී සාමාන්‍යයෙන් වාහනයේ මිල මෙන් 325%ක පමණ බදු ප‍්‍රමාණයක් අයකරනු ලබන අතර රජයේ මාණ්ඩලික මට්ටමේ නිලධාරීන් සඳහා දෙනු ලබන බලපත‍්‍රය යටතේ වාහනයක් ගෙන්වනු ලැබුවහොත් ඒ සඳහා වාහනයේ මිල මෙන් 125%ක පමණ බදු ප‍්‍රතිශතයක් අයකරනු ලැබේ.

එමෙන්ම රජයේ නිලධාරීන්ට ලබාදෙන එම බලපත‍්‍රය මගින් ඇමරිකානු ඩොලර් 30,000ක නිෂ්පාදන මිලක් ඇති වාහනයක් ගෙන්වීමේ අවස්ථාව ලැබෙන අතර වාහනයේ අභ්‍යන්තරයේ සිදුකරන අංගෝපාංග වෙනස්කිරීම් සඳහා අවශ්‍ය නම් උපරිම වශයෙන් තව ඇමරිකානු ඩොලර් 5000ක සහනයක් ලබාදෙනු ලැබේ.

රජයේ නිලධාරීන් බොහොමයක් ඔවුන්ට ලබාදෙන මෙම වාහන ගෙන්වීමේ බලපත‍්‍රය යටතේ වාහන ගෙන්වනු නොලබන අතර බොහෝවිට කරනු ලබන්නේ එම බලපත‍්‍රය වාහන ගෙන්වනු ලබන පුද්ගලයන්ට විකිණීමය. වර්තමානයේදී එම බලපත‍්‍රයක් විකිණිය හැකි මිල රුපියල් ලක්ෂ 8ත් 10ත් අතර පරාසයක පවතී.

මීට පෙර මෙම බලපත‍්‍ර වසර පහක කාලයක් යන තෙක් අන්සතු කිරීම තහනම්ව පැවතියත් මේ වනවිට එම තහනම ආණ්ඩුව විසින් ඉවත් කර තිබේ. ඒ අනුව වර්තමානයේ බලපත‍්‍ර හිමියාට එම බලපත‍්‍රය වාහනයේ (බලපත‍්‍රයට අදාළ) මිලෙන් 10%ක ප‍්‍රතිශතයක් ගෙවා නීත්‍යනුකූලව අන්සතු කළ හැකිය. මෙම තහනම ඉවත් කිරීමට පෙරද මෙම බලපත‍්‍ර විකිණීම සිදුවූ අතර වසර පහක කාලයක් යන තෙක් බලපත‍්‍රයේ හිමිකරු හෙවත් වාහනයේ හිමිකරු වශයෙන් මෝටර් රථ දෙපාර්තමේන්තුවේ සඳහන් වූයේ අදාළ රාජ්‍ය නිලධාරියාගේ නමය.

මෙම බලපත‍්‍ර මගින් සාමාන්‍ය වාහන ආනයනය කරනු නොලබන අතර ආනයනය කරනු ලබන්නේ, අතිසුඛෝපභෝගී වාහනය. මර්සිඞීස් බෙන්ස්, ටොයොටා ප‍්‍රාඩෝ ආදී වාහන ඊට අයත්ය. මෙම වාහනයක් මිලදී ගත හැක්කේ සහ භාවිත කළ හැක්කේ සුපිරි ධනවතුන්ට පමණක් වන අතර ඉහළ මධ්‍යම පාන්තික ජීවිතයක් ගතකරන පුද්ගලයකුට හෝ එවැනි වාහනයක් නඩත්තු කිරීම කළ නොහැකිය. ඒ එවැනි වාහනයක් ඉන්ධන ලීටරයකට ගමන් කළ හැකි දුර බොහෝවිට කිලෝමීටර් 6-7කට සීමාවී තිබීමය.

මුලින් සඳහන් කළාක් මෙන් මෙම බලපත‍්‍ර යටතේ ගෙන්වනු ලබන වාහන සඳහා ශ‍්‍රී ලංකා රේගුවේ පුදුමසහගත අනුකම්පාව ලැබී ඇත්තේ එම වාහනවල නිෂ්පාදිත මිල තීරණය කිරීමේදීය. වාහන සඳහා සියලූ බදු අයකිරීම් එම නිෂ්පාදිත මිල අනුව සිදුකරනු ලබන අතර නිෂ්පාදිත මිල අඩුවෙන් ලබාදීම මත ගෙවිය යුතු බදු ප‍්‍රමාණයන්ද අඩුවේ. අනෙක් අතට බලපත‍්‍රයේ ඇති සීමාව ඉක්මවා යන මිලක් ඇති වාහන අඩු මිලක් දැක්වීම මගින් ගෙන්වීමෙන්ද විශාල බදු ආදායමක් රටට අහිමි වේ.

තවද අදාළ බලපත‍්‍රයක් යටතේ ගෙන්වනු ලබන වාහනයක නිෂ්පාදිත මිල ඩොලර් 35,000 සීමාව ඉක්මවා යන්නේ නම් එම වාහනය අදාළ බලපත‍්‍රය යටතේ ගෙන්වනු ලැබූ වාහනයක් ලෙස නොසැලකෙන අතර වත්මන් රේගු පටිපාටියට අනුව ඒ සඳහා සියලූ බදු අය කළ යුතුය.

මේ කියන කරුණට අදාළව සුපිරි මිනිසුන්ට අනුකම්පාව දැක්වීම සඳහා ශ‍්‍රී ලංකා රේගුව විසින් අලූත්ම කොමිටියක් පත්කර ඇති අතර ඊට නම් තබා ඇත්තේ වාහන මිල තක්සේරු කිරීමේ උපකමිටුව යනුවෙන්ය. ශ‍්‍රී ලංකා රේගුවේ සාමාන්‍ය පටිපාටිය වන්නේ ඒ ඒ ආනයනික භාණ්ඩ සඳහා අයකරගත යුතු බදු පිළිබඳව කලින් කලට ගැසට් මගින් ප‍්‍රකාශයට පත්කරනු ලබන බදු අනුප‍්‍රමාණයන් අදාළ භාණ්ඩ සම්බන්ධයෙන් අයකිරීමය.

එම උපකමිටුව විසින් ආනයනය කරනු ලබන වාහන සම්බන්ධයෙන් ලබාදෙන නිෂ්පාදිත මිල අනුව වාහන සඳහා බදු අයකිරීම මේ වනවිට සිදුවෙමින් පවතින අතර එහි ඇති පුදුමසහගත කරුණවන්නේ බලපත‍්‍ර යටතේ ගෙන්වන මෙම සුපිරි වාහන සඳහා වූ නිෂ්පාදිත මිල නිෂ්පාදිතයාගේ මිලට වඩා අඩුවෙන් තක්සේරු කර තිබීමය.

උදාහරණයකට ටොයොටා ලෑන්ඞ්කෲසර් ප‍්‍රාඩෝ Invisible වර්ගයේ ආසන 7ක් ඇති වාහනයක නිෂ්පාදිත මිල බි‍්‍රතාන්‍ය පවුම් 47960ක් හා එහි ෂබඩසිසඉකැ වර්ගයේ ආසන 7ක් ඇති වාහනයක නිෂ්පාදිත මිල බි‍්‍රතාන්‍ය පවුම් 52960ක් වශයෙන් බලයලත් නියෝජිතයන් සඳහන් කරද්දී අදාළ බලපත‍්‍ර යටතේ ගෙන්වන මෙම වර්ගයේ වාහන මිල තීරණය කිරීමේ කමිටුවේ අඩු මිල තක්සේරුව යටතේ අඩු බදු මුදලක් ගෙවා රේගුවෙන් පිටකිරීම සිදුකරනු ලබයි.

එසේම මෙම වාහන බලපත‍්‍ර යටතේ ගෙන්වන මර්සිඞීස් බෙන්ස්, හයිබි‍්‍රඞ් වර්ගයේ නවතම මාදිලියේ වාහනයක නිෂ්පාදිත මිල යුරෝ 48499ක් වශයෙන් එහි බලයලත් නියෝජිතයන් සඳහන් කරද්දී ඩොලර් 35000 සීමාවට වඩා අඩු මිලකට එම වාහන අදාළ උපකමිටුව තක්සේරු කිරීම හා වාහනය අභ්‍යන්තරයේ සුළු වෙනස්කමක් ඇති එකම වර්ගයේ වාහන සඳහා ඇදහිය නොහැකි එකිනෙකට වෙනස් මිල තක්සේරු කිරීම් සිදුකිරීමද සිදුවේ.

මේ ආකාරයට බලපත‍්‍ර යටතේ ගෙන්වනු ලබන වාහනයක් වෙළෙඳපොළේ විකුණනු ලබන්නේ රුපියල් මිලියන 18ක් හෝ ඊට වඩා වැඩි මිලකටය. එමෙන්ම මේ ආකාරයට ගෙන්වනු ලබන්නේ වාහන එකක් හෝ දෙකක් නොවීමද තව තවත් බරපතළය. ශ‍්‍රී ලංකා රේගුවේ ආරංචි මාර්ග ප‍්‍රකාශ කරන ආකාරයට මේ ආකාරයේ වූ වාහන බලපත‍්‍ර 5000ක් පමණ වසරකට නිකුත් කරනු ලබයි. නිෂ්පාදිත මිල අඩුවෙන් තක්සේරු කිරීම නිසා එම එක් වාහනයකින් ශ‍්‍රී ලංකා රේගුවට රුපියල් ලක්ෂ 20ක පමණ බදු ආදායමක් අහිමි වී යයි. එම අහිමිවී යන බදු ආදායම වාහන 5000ක් සම්බන්ධයෙන් ගත් කල රුපියල් කෝටි 400කි. ආසියාවේ සිදුවූ දැවැන්තම බදු වංචාව වශයෙන් සැලකෙන ශ‍්‍රී ලංකාවේ වැට් බදු වංචාවේ අගය හා සැසª කලද (වැට් බදු වංචාව කෝටි 396කි) වාහන බදු වංචාව ඊට වැඩිය.

සුපිරි ධනවතුන්ට අනුකම්පා කරමින් ලබාදෙන මේ නීත්‍යනුකූල නොවන බදු සහනය බද්දක් වශයෙන් එකතු කරගතහොත් එය රටේ පොදු අධ්‍යාපනයට, පොදු සෞඛ්‍යයට වැය කළ හැකිය. නැතිනම් ධීවරයාට, ගොවියාට සහන සැලසීම සඳහා යෙදවිය හැකිය. එසේත් නැතිනම් මේ සුපිරි පැලැන්තියට වාහන ගෙන්වීම සඳහා අවශ්‍ය ඩොලර් උපයා ගැනීම සඳහා සිය ජීවිත කැපකරන ගෘහ සේවිකාවන්ගේ ඇඟලූම් කර්මාන්තශලා සේවිකා වන්ගේ හෝ වැවිලි ක්ෂේත‍්‍රයේ සේවක සේවිකාවන්ගේ සුබ සාධනය සඳහා යෙදවිය හැකිය.

 

රේගුවේ පිළිතුරු

ආනයනය කරන ලද වාහන සඳහා බදු අයකිරීමට අදාළව එම වාහනවල නිෂ්පාදිත මිල තීරණය කිරීමේ රේගු අනුකමිටුව ගැන විමසීමේදී රේගු මාධ්‍ය ප‍්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා එම අනුකමිටුවේ ප‍්‍රධානී පී.එච්. ලියනගේ මහතාට අපව යොමු කරන ලද අතර ලියනගේ මහතා පැහැදිලි කරනු ලැබූයේ මුදල් අමාත්‍යාංශය විසින් පසුගිය අපේ‍්‍රල් මාසයේදී නිකුත් කරනු ලැබූ අතිවිශේෂ ගැසට් නිවේදනයක් අනුව මෙම අනුකමිටුව පිහිටුවා ඇති බවත් එහි ඇති නිර්දේශයන් අනුව වාහන සඳහා නිෂ්පාදිත මිල තීරණය කරනු ලබන බවත්ය.

ඒ අනුව අප මුදල් හා ක‍්‍රමසම්පාදන අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා විසින් 2014 අපේ‍්‍රල් මස 07 දින නිකුත් කර ඇති අංක 1857/3 දරන අතිවිශේෂ ගැසට් පත‍්‍රය නිරීක්ෂණය කිරීමේදී පෙනී ගියේ ආනයනික වාහන සඳහා නිෂ්පාදිත මිල තීරණය කිරීමේ රේගු අනුකමිටුවක් පත්කිරීමට එම ගැසට් නිවේදනයේ උපදෙස් ලබාදී නැති බවයි. එමෙන්ම එම ගැසට් පත‍්‍රයේ පැහැදිලිවම සඳහන් කර ඇත්තේ වාහනයේ නිෂ්පාදිත මිල තීරණය කිරීම සඳහා ත්‍ධඊ වටිනාකම හෙවත් නිෂ්පාදකයා විසින් ප‍්‍රකාශිත නැව තෙක් නොමිලේ මිල උපයෝගී කරගන්නා ලෙසයි.

ඒ අනුව අප නැවත වරක් රේගු මාධ්‍ය ප‍්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා අමතා වාහන සඳහා නිෂ්පාදිත මිල තීරණය කිරීම සඳහා අනුකමිටුවක් පත්කරන ලෙස අදාළ ගැසට් පත‍්‍රයේ සඳහන්ව නැති බවත්, එවැනි අනුකමිටුවක් පිහිටුවනු ලැබූයේ කිනම් නීතියක් යටතේද යන්නත්, ඒ සඳහා උපදෙස් දෙනු ලැබූයේ කවුරුන්ද යන්නත්, අදාළ ගැසට් පත‍්‍රයේ සඳහන් ක‍්‍රමවේදයෙන් බැහැරව වාහනවල නිෂ්පාදිත මිල තීරණය කරන්නේ ඇයිද යන්නත් විමසුවෙමු.

එම ප‍්‍රශ්න සඳහා පිළිතුරු ලබාදීමට අතිරේක රේගු අධ්‍යක්ෂ ජෙනරාල් එස්. රාජේන්ද්‍රන් මහතාගෙන් විමසිය යුතු බවත්, රේගු අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සමග ඔහු විදේශගතවී ඇති බවත් ඔවුන් ආපසු පැමිණීමෙන් පසු පිළිතුරක් ලබාදිය හැකි බවත් රේගු මාධ්‍ය ප‍්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා අවසන් වශයෙන් පැවසීය.

(රාවය - ලසන්ත රුහුණගේ)

Last modified on Sunday, 13 July 2014 01:32

Leave a comment

Gossip

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us