මාදු ගඟට මොකද මේ වෙන්නේ?

Tuesday, 08 July 2014 08:55

බළපිටියේ මාදු ගඟ පරිසරවේදීන් හට මෙතෙක් කියවා හමාර කළ නුහුණු ග්‍රන්ථයකි. දෙස් විදෙස් සංචාරකයන්ට සෞන්දර්යය නිකේතනයකි. උද්භිද හා සත්ත්ව විද්‍යාඥයන්ට පර්යේෂණාගාරයකි. සැදැහැතියන්ට දම් කඳ පහස ලත් සිරි දළදා සමිඳුන් වැඩ සිටි පුණ්‍ය තීර්ථයකි. දේශපාලනඥයන්ට තවමත් නෙත් විවර නොවූ කඩතිරයකි.

දූපත් සමූහයකින් හෙබි මාදු ගඟ කළපුවේ නිර්මාණය පිළිබඳව විමසීමේදී පරිසරවේදීන්ගේ මතය වන්නේ භූ චලනයක (භූමි කම්පාවක) ප්‍රතිඵලයක් ලෙස දූපත් නිර්මිත බවයි. එයින් මාදු ගඟේ පෞරාණික තොටුපළ ද වෙනස් වී ඇත. වැලිතොට පැරැණි තොටමුණ පැවැතියේ රන්‍ෙදාඹේ හා වලගෙදර අතර බළපිටියේ වත්මන් අධිකරණ ගොඩනැඟිලි හා කච්චේරි ගොඩනැඟිල්ල අතර බව පැවැසේ.

කොළඹ සිට ගාල්ල දෙසට කිලෝමීටර් අසූදෙකක් පමණ බළපිටිය පුරවරය පසු කළ කල්හි මාදුගඟ මුණගැසෙයි.

කඩොලාන මූකළානෙන් දෑලවර ඉවුරු වැසුණු මාදුගඟ වන තිරපටින් මුව වසා දියවර දෑසින් සිනාසෙනු වැන්න.

කඩොලාන මූකළානෙන් මතුවී අහසට නැඟුණු උකුස්සෙක් විසල් තටු විදහා ලතාවකට පියාසර කරන්නට විය. ඊගහක වේගයෙන් දියඹ කිමිඳුණු දියකාවෙක් මාළුවකු තුඩින් ගෙන මතු විය. වදුලෙන් වදුලට වදින වඳුරු රංචු නිදැල්ලේ ලඳු අතරෙහි සැරිසැරූහ. කබරගොයෙක් දිය මතුපිට පීනා ඇදුණේය. යාත්‍රාව අසල වරල් සලන මින් රළ රැඟුම් මිහිරක් දැනවීය. තැන තැන තැනුණු ජා කොටු ඉස්සන්ට මරු කපොලු විය.

ජලචර, උරග, පක්ෂි, සිවුපා සහ උභය ජීවී යන පංච සත්ත්ව වර්ගය එකම පරිසර කලාපයකදී හෝරා දෙකක් ඇතුළත මේ ඉසව්වේදී හමුවන්නට පිළිවන.

මේ වූකලි වැලිතොට වැලි නදියයි. වඩාත් ප්‍රචලිත පරිද්දෙන් බළපිටියේ මාදු ගඟයි. එය නදියක් නොවූ නදියකි. ගඟකැයි නම් ලද ජලාශයකි. සයුරට මුව‍ෙදාර විවර කළ කළපුවකි. පොල් අතු කන්දෙන් එක්වන සිහින් දිය දහරක් හැරුණු විට ගඟක ඇරැඹුම මෙතැන යැයි කිව හැකි උල්පත් අහුරක් නැත්තේය.

කඩොලාන යැයි කී සැණෙකින් සිතට නැඟෙන්නේ කඩොල් ගස් සමූහයකින් සමන්විත වනරොදකි. එහෙත් කඩොලාන යනු කඩොල් පමණක් නොව වෙනත් තුරුලතාදියෙන්ද සැදි පරිසර පද්ධතියක් හඳුන්වන සමූහවාචී පදයක් බව පසක් වූයේ මාදු ගඟ අසබඩදීය. වැල් කඩොල්, කීර කඩොල්, ගිංපොල්, කිරළ, රතමිල්ල, කැරන්කොකු, වල්බෙලි, වෙල්ආත්ත, දාංග, තෙලකීරය, හෝමැදිරිය ආදී ගහකොළ සමූහයකින් සමන්විත පරිසර පද්ධතියක් එයින් විස්තර කෙරේ.

කඩොලාන සමඟ සිහියට නැඟෙන තවත් නාමයක් වනුයේ කඩොලානය. එළාරගේ විජිතපුර බලකොටුව බිඳින්නට ගැමුණු කුමරුන්ට පිහිට වූ කඩොල් ඇතාය. කඩොලැතු හමුවූයේද දකුණු වෙරළබඩ කඩොලානකදීය.

මාදු ගඟ අසිරිය විඳිනු වස් එහි පිවිසිය හැකි තොටමුණු අතර බළපිටිය නව පාලම අසලින් ඇරැඹෙන ජලයාත්‍රා සේවාව එක් මංපෙතකි. එය වඩාත් ජනප්‍රිය පිවිසුම වී ඇත්තේය.

මාදු ගඟේ දූපත් හැට හතරක් (64) ගැන අතීතයේ සඳහන් වී ඇතත් දැන් එයින් ශේෂ වී ඇත්තේ දූපත් දහහතක් (17) පමණක් බව 1995දී අධ්‍යයනයක් කළ රුහුණ විශ්වවිද්‍යාලයේ උද්භිද විද්‍යා අංශයේ ආචාර්ය මෞලි සිල්වා සඳහන් කරයි.

කොක්දූව, දික් දූව, මා දූව, මීවන දූව, දිමිදූව, එරවනදූව, කයිදූව, මුවන්දූව, මිරලදූව, ගලිමංදූව, කටදූව, මාද්දූව, ගෝනදූව හා නීතියදූව ආදී වශයෙනි. මේ ශේෂපත්‍රයද තව තවත් ලුහු වන ලකුණුමතු වී ඇත්තේය.

බළපිටිය නව පාලම අසබඩ පිවිසුමෙන් ඇතුළු වී මාදු ගඟ දියවර මතින් ඉදිරියට ඇදෙත්ම කඩොලාන තුරු වියනින් සැදි කපොල්ලක් මුණගැසෙයි. ඒ 'සීත මාලිගයේ' මඳක් රැඳී සිට දියඹට පිවිසෙත්ම ඇති වන්නේ සෞන්දර්ය ප්‍රාන්තයකට පිවිසියාක් බඳු ප්‍රහර්ෂයකි.

ශ්‍රී ලංකාවේ සමස්ත කඩොලාන ව්‍යාප්තිය හෙක්ටෙයාර් දසදහසක් (10,000) පමණ වේ. ශාක විශේෂ විසිතුනක් ඒ වපසරියට අයත් කඩොලාන ප්‍රජාව අතර පවතින්නේය. ඉනිදු කඩොලාන විශේෂ පහළොවක් පමණ මාදු ගඟ ආශි්‍රත කඩොලාන පද්ධතියෙහි දක්නට වෙයි. රතමිල්ල (ලම්තිසෙරා ලිටොරියා) නමැති කඩොලාන විශේෂය මාදු ගඟ පරිසර පද්ධතියටම ආවේණික වූවෙකි. රතමිල්ල ඇස ගැටෙනුයේ මාදු ගඟ ඉසව්වේදී පමණකි. එහිදී ඇත්තේ ශාක පනහක් හැටක් තරම් වන දුලබ ගණනකි.

සිංහල ගැමියන් අතර ජනප්‍රිය ආහාරයක්ව පැවැති කැරන් කොකුද අවභාවිතයෙන් අභාවයට ගිය සෙයකි. ප්‍රණීත එළවළුවක් වූ කැරන් කොකු මාදු ගඟ අබියස කඩොලාන පද්ධතිය සරසමින් සිටී.

කොකුන් වර්ගද කිහිපයකි. කණ කොකා, මාන කොකා, කළු කොකා, කොළ කොකා, කුඩා ඇලි කොකා අෑ විසිනි. නන්විද කොකුන් රෑන් රෑන් හාත්පස කඩොලාන තීරයේද, අහස් තලයේද දිස්වන්නේ විසිතුරු සිත්තමක් පරිද්දෙනි. මුහුදු ළිහිණි, රාජාලියන්, වටුවන් හා දියකාවන්ද ඔබ මොබ සරනු දිස් වෙයි.

අවට වන බූටෑවල කළු වඳුරා, කොළ දිවියා, හාවා, මාවවුලා ආදී සත්තු වෙසති. පිඹුරන්, නිදිමාපිලුන්, පොළඟුන් ආදී විසකුරු උරගයන් මාදු ගඟ පරිසර කලාපයේ හිමිකරුවන් වෙතත් දියඹ සරන ජල යාත්‍රාවලට උන්ගෙන් ගැහැටක් නැත. මාදු ගඟ දූපත් ගොන්න තැන තැන ඔබ මොබ දිස්වන්නේ නන්විද හැඩතලයෙනි. ලොකුම දූපත වූ මාදූවේ පටන් පුංචිම සතපහේ දූව තෙක් ඒ හැම දූපතකටම ආවේණික ස්වරූපයක්ද සාමාන්‍යයක්ද ඇත්තේය. බිම් වපසරියත් හැඩතලයත් එකිනෙකට වෙනස්ය.

මහබෝ වන්නම සිහිගන්වමින් බෝ පත් අතු ඉති නටා සැලෙන කොත්දූවෙහි බෝ රදුන් හා සුදෝ සුදු සෑ රදුන් ඈත එපිට සිට දිස්වනුයේ පහන් සංවේගය දනවමිනි. කොත්දූවෙන් නැඟෙන ගාථා හඬ, සෙත් පිරිත් නද සුළි දෙන දියරැලි හා මුහුව මන්දමාරුතයේ වෙළී අෑතින් අෑතට පාවී යයි. දම් කඳ පහස ලද සිරි දළදා සමිඳුන් වැඩ විසූ, එමෙන්ම සිරිමා බෝ සමිඳුන්ගේ ඵලරුහ බෝධීන් රෝපිත කොත්දූව අතීතය වත්මනට ගෙනෙන සොඳුරු පුද බිමකි.

හේමමාලා හා දන්ත කුමරුන් දළදා වහන්සේ රැගෙන ලක්දිවට සැපත්ව අනුරාධපුරය තෙක් ගමන්මඟට පිළිපන්නේ වැලිතොට තොටමුණෙන් බව පැවැසේ. ලංකාදීප වර්ණනා නමැති ග්‍රන්ථයෙහි සඳහන් පරිදි දළදා වහන්සේ වීදිය බණ්ඩාර සමයෙහි පෘතුගීසි ආක්‍රමණිකයන් අතට පත්වීම වැළැක්වීම පිණිස උන්වහන්සේ වඩා හිඳුවන ලද්දේ කොත් දූවෙහිය.

මාදු ගඟ ප්‍රදේශය ඓතිහාසික සංසිද්ධීන්ට පාදක වූ ජනශ්‍රැති ප්‍රචලිතව පවත්නා පෙදෙසකි.

සුවිසල් ස්වාභාවික ජලාශයක් වූ මාදු ගඟ හා බැඳෙන ඇළ මාර්ග දහසක් පමණ හඳුනාගෙන ඇත. එයින් හයක් බළපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටද, දහයක් කරන්දෙණිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටද අයත් වෙයි.

මාදු ගඟ දෙස් විදෙස් සංචාරකයන්ගේ මතු නොව කතරගම වන්දනාවේ යන සැදැහැවතුන්ගේද නෙත් සිත් බඳන ජනකාන්ත නිකේතනයක් බවට පත්ව ඇත්තේය. එහෙත් මාදු ගඟ අලළා පරිසර හිතකාමී සංචාරක සැලැස්මක් මෙතෙක් දියත් නොවීම නිසා පත් විපත් අපමණය. මීරලදූව බඳු සුන්දර අඩවියක් පොලිතීන් පරිහරණයෙන් හා තැන තැන විසිරුණු බිඳුණු බඳුන් හා බෝතල්වලින් කිලිටි වී ඇති සැටි දුටිමු. පොලිතීන් වසංගතයට මාදු ගඟ පරිසර පද්ධතිය බිලි වී හමාරය.

අනෙක් විපත අධිවේගී බෝට්ටු ධාවනයයි. දූපත්වල ඉවුරු කැඩී බිඳී බිඳෙන් බිඳ කළපුවට බිලිවීමේ අභියෝගය එන්න එන්නම උත්සන්න වෙයි. හැටහතරෙන් දාහතට බැස ඇති දූපත් සමූහය ද කාලයාගේ ඇවෑමෙන් මාදු ගඟට දිය වී නාමමාත්‍රික තත්ත්වයට පත්වීමට ඇති ඉඩකඩ බෙහෙවි. දියවර මත පතිත ඩීසල්, ලිහිසි තෙල් හා අපද්‍රව්‍ය නිසා ජලජ ජීවීනට කඩොලාන ශාකවලට හා පරිසර පද්ධතියට පැමිණෙන හානි නිම් හිම් නැත. අධිවේගී ජලයාත්‍රා ධාවනයෙන් නිරන්තරව දියදහර කැලඹෙයි. රොන්මඩවලින් ආකූල වෙයි. මේ නිසා මත්ස්‍යයනට ස්වාභාවික අන්දමින් ශ්වසන පද්ධතිය ක්‍රියාත්මක කරන්නට නොහැකි වී ඇත. එය ජලජ ජීවීන් වඳ වී යෑමේ තර්ජනයකට මූල බීජ වී ඇත්තේය. දෑලවර ඉවුර සේදී යෑමෙන් කඩොලාන තීරයට මරණ සහතිකය ලියැවෙයි.

දැව අවශ්‍යතා පිරිමසා ගැනීම් වස් කඩොලාන කපා හෙළ පිරිස් නිසා දුලබ ශාක විනාශයෙහි මුවවිටට පැමිණ ඇත. මාදු ගඟ අසබඩ ඇතැම් කර්මාන්ත පරිසර ඝාතක කර්මාන්තයෝය. මුව‍ෙදාර ආසන්නයේම පවත්නා ලී මෝලකින් බැහැරලන අපද්‍රව්‍ය ලී කුඩු එක්වන්නේ මාදු ගඟටය.

මාදු ගඟ අපට පමණක් නොව ජගත් සෞන්දර්යයට අයත් ස්මාරකයකි. එය මතු උපනූපන් පරපුරේද උරුමයකි.

මධ්‍යම පරිසර අධිකාරියත්, දකුණු පළාත් සභාවත්, බළපිටිය ප්‍රාදේශීය සභාවත් මැදිහත්ව හා ඒකාබද්ධව කඩිනම් පියවරක් නොගතහොත් මාදු ගඟ මියැදෙන දිනය වැඩි අෑතක නොවේ. අධිවේගී ජල යාත්‍රා පාලනය කෙරෙන, පරිසරය සුරකින වැඩපිළිවෙළක් ලහිලහියේ දියත්විය යුත්තේය.

මාදු ගඟ දේශපාලනඥයනට තවමත් නෙත් වැසුණු කඩතිරයකියි මුලදී කීයේ එබැවිනි.

(රංජිත් අමරකීර්ති)

Leave a comment

Gossip

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us