“අපි ඉදිරියට යන විට, භාණ්ඩාගාරයේ තිබෙන අරමුදල් ඉදිරි වසරවලදී ප්‍රමාණවත් නොවන බව මට ඔබට කියන්න පුළුවන්. විශාල රාජ්‍ය අංශයක් පවත්වාගෙන යාමට අපට හැකියාවක් නෑ. ඒ නිසා අපි රාජ්‍ය සේවාවන් තාර්කික කර, සේවකයින් ගණන අඩුකර ඩිජිටල්කරණය කරා ගමන් කළ යුතුයි,
අපට අවශ්‍ය වන්නේ මිලියන 1.3ක් වන සේවකයන් අවම වශයෙන් 750,000 දක්වා අඩු කර කාර්යක්‍ෂමතාවය සඳහා ඉතිරි කාර්ය මණ්ඩලයේ තරඟකාරී වැටුප් ගෙවීමටයි. අපි මෙම සේවාවන් ඩිජිටල්කරණය කිරීම ආරම්භ කළ යුතු අතර බදු ගෙවන්නන්ගේ අරමුදල් ඵලදායි ලෙස භාවිතා කිරීමට වග බලා ගතයුතුයි.
රාජ්‍ය සේවකයන්ට අකාර්යක්ෂම සේවාවන් හඳුනා ගැනීමටත්, ඒවා වළක්වා ගැනීමට සහ කාර්යක්ෂම කිරීමටත් හැකි ආකාරය බැලිය යුතුයි. අපි කියන්නේ නැහැ පුද්ගලීකරණය කරන්න කියලා. අපි කියන්නේ වැඩි ලාභයක් උපයා ගැනීමටත් වඩා හොඳ කාර්යක්‍ෂම සේවාවක් සමඟින් මහජනතාවට සේවය කරන්න කියලයි.”
පෞද්ගලික අංශයේ ව්‍යපාරිකයකු ලෙස ඔහු සතු ප්‍රවීණතාවය අනුව ඔහුට මෙරට රාජ්‍ය අංශය මේ රටට කෙතරම් විපතක් සිදු කරමින් තිබෙනවා ද යන්න හඳුනා ගැනීමට අපහසුවක් නැත.
මෙරට රාජ්‍ය අංශය යනු සෙසු රටවලට සාපෙක්ෂව ජනගහනයට අනුව වැඩිම ප්‍රතිශතයක් නියෝජනය කරයි. එය සියයට 15 ක් පමණ වේ රාජ්‍ය බදු ආදායමෙන් අඩක් පමණ රාජ්‍ය අංශයේ වැටුප් වෙනුවෙන් වැය කරයි. නමුත් මේසා විශාල රාජ්‍ය අංශයක් පවත්වාගෙන ගියද එහි අලාබයක් මිස ප්‍රතිලාභයක් රටට නැත.
වත්මන් ආණුඩුව බලයට පත්වන්නේ මේ රට පුනරුද යුගයක් කරා ගෙන යන පොරොන්දුව මතිනි. මෙරට පුනරුදය ඇති කරන්න නම් පළමුව කළ යුත්තේ පුනරුදයට බාධා කරන ක්‍රමවේදයන් ඉවත් කිරීමය. එය පොඩි තැන සිට පටන් ගත යුතුය.
කක්කුටු බෙන වහන් නැතුව වක්කඩ බැඳලා වැඩක් නැහැ කියන්නේ පොඩි පොඩි වැරදි ටික නිවැරදි නොකර ලොකු වැරදි හදන්න යෑමෙන් වැඩක් නොවෙන බවය. මන්ද පසුව මේ පොඩි පොඩි වැරදි ලොකු වැරදි බවට පත්වෙනවා කියන එකය.
ලංකාවේ දේශපාලනයේ නිතර ඇසෙන කතාවක් වී ඇත්තේ රාජ්‍යයේ නාස්තිය වංචා දූෂණ ආදිය නැති කිරීම වෙනුවෙන් ඒවාට වගකිව යුතු දේශපාලකයන් අල්ලා හිරේ දමන බවය. හොරකම් කළ සල්ලි ආපහු අරගෙන රජයේ ආර්ථික ගැටලු විසඳන බවය. රාජ්‍ය අංශය කාර්යක්ෂමකර ශක්තිමත් කරන බවය. මේවා ලොකු වැඩය.. කල් ගත වන වැඩය. නමුත් පොරොන්දු වෙන්නේම මේ වගේ ලොකු ලොකු වැඩය. වේදිකා දෙවනත් කරගෙන මේ කතා කියපු අය රට බාරගත්තේ මාස හයෙන් අවුරුද්දෙන් මේ වැඬේ කරලා රට ගොඩ දමන බව කියාගෙනය. මේවා කියන්න ලෙහෙසිය. නමුත් කරන්න ලෙහෙසි නැත.
කොහොම නමුත් රාජ්‍ය සේවය නැතිනම් රාජ්‍ය යාන්ත‍්‍රණයම රටට බරක් වී ඇති බව අද සෑම සියලූ දෙනාම පිළිගන්නා සත්‍යයකි. ඒ අත්දැකීමෙන්ම විඳගෙන දන්නා දෙයකි. රජයේ වියදම් අධිකය ආදායම් අඩුය, ආකාර්යක්ෂමතාවය, නාස්තිය, දූෂණය, වංචාව රාජ්‍ය සේවය හා ආත්මියව බැඳී තිබෙන තරම් සමීපය. මේ තත්වයන් හා රටේ රාජ්‍ය යන්ත‍්‍රණයේ විශාලත්වය අනුව රට බංකොලොත් වීමට එය හොඳටම ප‍්‍රමාණවත්ය. හුලංගමුව මහතාට අවබෝධ වී ඇති සත්‍යය එයය. ඔහු කියන්නේ මෙහෙම ගියොත් නැවත කෙලවෙන බවය.
එහෙත් මේ ජරාජීර්ණ තත්වයන් වෙනස් කිරීමට යෝජනා කරන වුන් ඒ වෙනුවෙන් ගන්නා පියවර මොනවාද? යාන්ත‍්‍රණය කාර්යක්ෂම කරන්නේ ඔළුව අතගා හුරතල් කරලාද ? බලහත්කාරයෙන්ද? රාජ්‍ය සේවය කප්පාදු කර අඩු පිරිසකට වැඩි වැඩ ගොඩක් පැටවීමෙන්ද? රාජ්‍ය යාන්තුණයෙන් රාජ්‍ය ආදායම ඉහළ දමන්න පුළුවන්ද ? අලුත් රාජ්‍ය ව්‍යාපාර ආරම්භ කරනවාද? අධික වියදම් කපා හරින්නේ නාස්තිය අවසන් කරන්නේ කොහොමද? අකටයුතුකම්, වැරදි වලට වගකිව යුතු අය අල්ලා නීතිය ක‍්‍රියාත්මක කිරීමෙන්ද ? අලූතෙන් නීති රීති දමා හොරු අල්ලන්න පුළුවන්ද? මේක මාස 6න් නැතිනම් අවුරූද්දෙන් කරන්න පුළුවන්ද? මේ පවතින රාජ්‍ය සේවා ක‍්‍රමවේදය තුළ එහෙම කරන්න ඉඩක් අවස්ථාවක් ලැබෙයිද? මේ තත්වයන් ඇති වීමට වගකිව යුත්තේ ආණ්ඩු කරපු පාලකයන් කියා ඒවුන්ට තඩි බෑමෙන් මේ ගැටලූ විසඳිය හැකිද? මේ ආදී ප‍්‍රශ්න ගනනාවක් පැන නැගීම මෙහිදී සිදුවෙයි.
මෙරට මෑත කාලීන අත්දැකීම් අනුව මේ කිසිවක් සිදු කිරීම ලෙහෙසියෙන් කළ නොහැකි බව අත්දැකීමෙන්ම මෙරට ජනතාවට අවබෝධයක් තිබේ. රාජ්‍ය සේවයේ ප‍්‍රතිසංස්කරණයක් ගැන කතා කරනකොටම ඒවට එරෙහිව රාජ්‍ය සේවයෙහි වෘත්තිකයන්ගේ උද්ඝෝෂණ විරෝධතා වැඩ වැරුම් ඇති වීම සිදුවෙයි. එදා ජවිපෙ වෘත්තීය සමිති දේශපාලනයේ ප්‍රධාන ක්‍රියාකාරකමක් වුවෙත් මෙයය.
මෑතක දී සිදුවූ දුම්රිය සේවකයන්ගේ වැඩ වැරුමට හේතුව වී තිබුණේ දුම්රිය සේවකයන් සේවයට වාර්ථා කිරීමේ කාලය සටහන් කිරීමට ඇඟිලි සළකුණු යන්ත‍්‍රය යොදා ගැනීමට ගත් තීරණයත්, නීති රීති උල්ලංඝණය කරමින් කටයුතු කරන සේවකයන් සම්බන්ධයෙන් විනය ක‍්‍රියාමාර්ග ගැනීමටත් පාලනාධිකාරිය ගත් තීන්දුවට එරෙහිවය. මේ දුම්රිය වැඩ වරුම නිසා එදින දසදහස් ගනක ජනතාව ප‍්‍රවාහන අපහසුතාවයන්ට මුහුණ දුන් අතර රජයට ආර්ථිකමය අලාබයක්ද සිදු කරන ලදී. මේ තත්වය මත පැවැති ආණ්ඩුවට සිදුවූවේ දුම්රිය සේවය විධිමත් කිරීමට ගත් පියවරයන් අකුලා ගැනීමටය.
පසුගිය ගෝඨා පාලනය බිහිවන්නත් සිස්ටම් චේන්ජ් කළ යුතු බව කියමිනි. නමුත් සිස්ටම් චේන්ජ් කිරිල්ල හදිස්සියේ හිතුමනාපේ කළ නොහැකි බව එම පාලනය විසින් පෙන්වා දෙනු ලැබීය. මොටර් රථ දෙපාර්තමේන්තුවට කඩා පැන අරම කරපන් මෙහෙම කරපන් කියා ගෝර නාඩු කළද ඒක එහෙම වෙනස් වුණේ නැත. රේගුව දුෂිතයයි කියා රේගුවට කඩා පැන ඒක සුද්ද කරන්න ගියාම වුණේ රේගුව වැඩ වර්ජනයකට සූදානම් වීමය. මේ නිසා සිස්ටම් චේන්ජ් කිරීම කළයුතු සිස්ටම් එකක් තිබේ. එය නොදැන මැතිවරණ වේදිකාවල කෑමොර ගහනවා මෙන් දවසෙන් දෙකෙන් කළ හැකිවන්නේ නැත.
පසුගිය අරගල සමයේදීත් නිතර ඇසුණු වචන කිහිපයක් වූයේත් සිස්ටම් චේන්ජ් කිරීම ගැනය. ජවිපේ ප්‍රමුඛ වත්මන් මාලිමා ආණ්ඩුව බලයට පත් වූයේත් මේ සටන් පාඨම කරතියාගෙනය. මාස 6 න් අවුරුද්දෙන් රට ගොඩදාන බව මේ අය කිව්වත් දැන් ඒ කියපු විදිහ ගැන හිතන්නවත් බැරි තැනකට මාලිමා ආණ්ඩුව පත්ව ඇත. පවතින සහ සංවර්ධනය වන, වෙනසක් කිරීමට නම් පවතින තත්වයන් ගැන පැතිරුණු අවබෝධයක්, දිගුකාලීන අරමුණක්, ඉවසීමක් මෙන්ම උපක‍්‍රමශීලී භාවිතයන් අවශ්‍යය. මන්ද මේ සියළු සෙල්ලම් කරන්න වන්නෙ පණ ඇති මිනිස්සුන් සමඟ මිස යන්ත‍්‍ර සූත‍්‍ර සමග නොවන නිසාය. මල නොතලා රොන් ගන්නා සේ සියුම්ව මේ සිදු විය යුතුය.
අද මුහුණ දෙන මූලික ගැටළුවක්ව තිබෙන්න රජය සේවය, නියමිත කාල වකවානු වල රටේ ආභිවෘද්ධිය වෙනුවෙන් ප‍්‍රතිසංකරණය නොවීමේ ගැටළුවය. සුද්දාගේ කාලයේ සිට අටුවම් බැහැපු ක‍්‍රමවේදයක් වෙනස් කිරීම අද අතිදුෂ්කර කටයුත්තක් ව තිබේ. නමුත් මෙය සිදු කළ යුතුය. කොතැනින් හෝ පටන් ගත යුතුය. ඒ සඳහා ධෛර්ය සම්පන්නව මුහුණ දීමට දෘඩ දේශපාලන නායකත්වයක් ද අවශ්‍යය.
ජවිපෙ නායකයා ද වන වත්මන් ජනාධිපති අනුර කුමාරට ඒ සඳහා හැකියාවක් තිබෙනවාද නැද්ද යන්න ගැන ඔහු තවම පෙන්වා නැත. හැකියාවක් ලැබුණ ද එය සාර්ථක වීම හෝ අසාර්ථකවීම තීරණය වන්නේ මේ රටේ ජනතාවගෙන්, රාජ්‍ය අංශයෙන් ලැබෙන සහයෝගය මතය. නමුත් මෙය විප්ලවීය වර්ගයේ කඩිතුලප්පු වෙනස් කිරීමක් නොවී ක‍්‍රමක‍්‍රමයෙන් සීරුමාරුවට වන කටයුත්තක් ලෙස සිදු විය යුත්තකි.
විශේෂයෙන්ම සිය ගනනක අණපනත්, දහස් ගනක් චක‍්‍රලේඛ , නීති රීති, සම්ප‍්‍රදායන් සමඟ ඝනීභූතව තිබෙන දෙයක් නැවත හැඩගැස්සවීම පහසු නැත. එසේම වෘත්තීය සමිති බලපෑම, විපක්ෂයේ අවස්ථාවාදී දේශපාලනය පරාජය කළ යුතුය.
එසේම රාජ්‍ය අංශයේ ව්‍යවසායක ලෙස පවතින ප්‍රධාන ආයතන පනස් ගනනක් තිබේ. මේවා නඩත්තුව සිදු වන්නේ රාජ්‍ය ආදායම් තුළනි. කාලයකට යම් ආයතන ලාබ ලැබුවත් ඉතිහාසය තුළම මේවා නිරන්තරයෙන් පාඩු ලබමින් රාජ්‍ය ආදායම් නැති භංගස්ථාන කිරීමට වැඩිම දායකත්වයක් සපයා ඇත.
තවදුරටත් රජය ව්‍යාපාර නොකළ යුතුය කියන රාජ්‍ය ප්‍රතිපත්තිය යටතේ 2022 අතුරු අයවැය මෙන්ම 2023 වර්ෂය සඳහා වන අයවැය ඉදිරිපත් කිරීමේදී ද රාජ්‍ය ව්‍යවසායයන් ප‍්‍රතිව්‍යූහගත කිරීම සඳහා වන යෝජනාව ඉදිරිපත් කර තිබු අතර යම් ක්‍රියා මාර්ග වලටද අවතීරණය වී තිබිණි.
රාජ්‍ය ව්‍යවසායයන් ප‍්‍රතිව්‍යූහගතකරණ ක‍්‍රියාවලියට අවශ්‍ය පහසුකම් සැලසීම සඳහා මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප‍්‍රතිපත්ති අමාත්‍යාංශය යටතේ රාජ්‍ය ව්‍යවසායයන් ප‍්‍රතිව්‍යූහගත කිරීමේ ඒකකය ස්ථාපිත කරනු ලැබීය. රජය සතු ව්‍යවසායයන් ප‍්‍රතිව්‍යූහගතකරණ වැඩසටහන කඩිනම් කිරීමට හැකි වන පරිදි 100%ක කොටස් හිමිකාරිත්වය භාණ්ඩාගාරයේ ලේකම් සතු වන අයුරින් මහා භාණ්ඩාගාරයට අනුබද්ධිත මව් සමාගමක් ස්ථාපිත කිරීමටත්, ප‍්‍රතිව්‍යූහගතකරණය සඳහා හඳුනාගනු ලබන රාජ්‍ය ව්‍යවසායයන් එකී මව් සමාගමට අනුබද්ධිත සමාගම් ලෙස ලියාපදිංචි කර ඉදිරි ක‍්‍රියා මාර්ග ගැනීමට ද පියවර ගෙන තිබිණි. එම ක්‍රියා මාර්ග ඉදිරියට ගෙන යනවාද නැද්ද යන්න ගැන වත්මන් ආණ්ඩුවේ ස්ථාවරය තවමත් පැහැදිලි නැත. ඔවුන්ගේ මැතිවරණ පොරොන්දු කුමක් වුවත් මේ රට තවදුරටත් බංකොලොත් තත්වයේ පවත්වාගෙන යෑම නොකළ යුතු නම් වත්මන් ආණ්ඩුවට පසුගිය ආණ්ඩුව ආරම්භ කළ මෙම ප්‍රතිසංස්කරණ වැඩ සටහන ඉදිරියට කරගෙන යෑම සිදු විය යුතුය.
සිස්ටම් චේන්ජ් කළ හැක්කේ ඒ අනුවය. පුනරුද යුගයකට යා හැක්කේ ඒ අනුවය. කක්කුටු බෙන වහන්නේ නැතුව වක්කඩ වැහුවාට වැඩක්වෙන්නේ නැතිවා සේම ආණ්ඩු මාරු කළාට, පාලකයන් පැන්නුවාට, හොරු අල්ලා හිරේට දැම්මාට අවශ්‍ය දේ වන්නේ නැත. ගැටළුවට මූලික හේතු සොයා මුලින් පිළියම් කළ යුතුය. බාධාවන් ඉවත් කර මාර්ගය පැහැදිලි කර ගත යුතුය.
එසේ නොමැතිව ආණ්ඩු බලය ගත්තා කියා කිසිවකුට රට වෙනස් කිරීම තබා, රාජ්‍ය දෙපාර්ථමේන්තුවක් වෙනස් කිරීමත් කටේ හයියෙන් හෝ තුවක්කුවේ බලයෙන්වත් කළ නොහැක. ජනාධිපති රනිල් සමයේ ආරම්භ කළ ප්‍රතිසංස්කරණ යෝජනා සම්පූර්ණ කිරීම රට හදන්න අවශ්‍ය පදනම, නැතිනම් ඒ මාර්ගයට රට ගෙනත් දැමීමක් වන අතර ඉන් පසුව අවශ්‍ය නම් මාලිමාව කතා කරන පුනරුද යුගයට යා හැකි වෙනු ඇත. නමුත් ඒ සඳහාත් ඇත්ත අධිෂ්ඨානයක් මෙන්ම හරි මාර්ගයේ යෑමේ හැකියාව සහිත විය යුතුය. රනිල්, 2048 දී සංවර්ධිත රාජ්‍යයක අපේක්ෂාව ජය ගත හැකි බව කිව්වේ මේ මාර්ගයේ යන්නට අනාගත නායකයන්ට හැකියාවක් තිබෙනවා නම් පමණි. එනම් වත්මන් මාලිමා නායකත්වයටත් එය හැකියාව පෙන්වීමට සිදු වන බවය.
- සුජය