නව රජයේ අභියෝග සහ ඒවා ජය ගැනීමට ඇති බාධා මොනවා ද?   Featured

Tuesday, 19 November 2024 13:30

2024 මහ මැතිවරණ ප්‍රතිඵල අනුව ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුව තුළ තුනෙන් දෙකකට අධික බලයක් හිමි වී තිබේ.

2022 වසරේදී ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එරෙහිව ගොඩනැගුණු මහජන අප්‍රසාදය සහ විරෝධතා වල ප්‍රතිඵලයක් ලෙස ප්‍රබල රාජපක්ෂවරුන් කිසිවෙක් මෙවර මහා මැතිවරණයට තරග නොකළ අතර; දේශපාලන විරෝධතාකරුවන් දුන් අනෙක් පැහැදිලි පණිවිඩය වූයේ, දූෂණය පිටුදැකීම සහ ප්‍රභූ පැළැන්තියේ පාලනය අවසන් කිරීම ය.

ඒ අනුව, පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී ආසන 3ක් පමණක් දිනා ගත් ජාතික ජන බලවේගය මෙවර තුනෙන් දෙකක බලයක් සහිත ආණ්ඩුවක් පිහිටුවීමට සමත්ව තිබීම විශේෂත්වයකි. මෙම ලිපියෙහි අරමුණ, ජාතික ජන බලවේගයේ ආණ්ඩුව හමුවේ ඇති නව අභියෝග සම්බන්ධයෙන් විශේෂඥයින්ගේ අදහස් විශ්ලේෂණය කිරීම ය.

 

ශ්‍රී ලංකා 'ඉතිහාසයේ වැඩි ම අභියෝග සහිත ආණ්ඩුව'

Screenshot 2024 11 19 131940

ශ්‍රී ලංකා "ඉතිහාසයේ වැඩි ම අභියෝග සහිත ආණ්ඩුව" වත්මන් ආණ්ඩුව බව වයඹ විශ්ව විද්‍යාලයේ කළමනාකරණ හා මූල්‍ය පීඨයේ මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ, තුනෙන් දෙක ඉක්මවා ගිය බලයක් ලබා දීම හරහා ජනතාව ඔවුන් කෙරෙහි තබා ඇති විශ්වාසය ආරක්ෂා කර ගැනීම මූලික අභියෝගය බව ය.

“ප්‍රධාන ම දේ තමයි ජනතා විශ්වාසය තහවුරු කර ගන්නෙ කොහොම ද? මෙච්චර බලයක් හම්බ වෙලා තවදුරටත් ඔවුන් කිව්වොත් එහෙම අපිට වෙච්ච පොරොන්දු ඉටු කරන්න බැහැ කියලා, ඒක හරහා රජය විශාල පිරිහීමකට පත් වෙන්න පුළුවන්. ඒ නිසා රජය කෙරෙහි ජනතාව තබපු විශ්වාසය රැක ගන්න එක තමයි ලොකු ම අභියෝගය වෙන්නේ,” මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා පැවසීය.

මේ අතර, කොළඹ විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර සබඳතා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය පවිත්‍රා ජයවර්ධන පෙන්වා දුන්නේ, ජනතා අපේක්ෂා ඉහළ මට්ටමක පවතින අතර, එම අපේක්ෂා ඉටු කිරීමට ඇති හැකියාව සීමිත මට්ටමක පැවතීම විශාල අභියෝගයක් බව ය.

“තුනෙන් දෙකකට වැඩි බලයක් දීලා ඒගොල්ලන්ව පත් කළා ම ජනතාවගේ අපේක්ෂා ඉතා ම ඉහළයි නේ. නමුත්, ඒක ඩිලිවර් කර ගන්න පුළුවන් හැකියාව ඉතා ම සීමිත යි. මේ වෙලාවේ තියෙන ආර්ථික තත්ත්වය සහ ගොඩක් පැතිවලින් අපි ඉන්නේ දුර්වල මට්ටමක. ඒ නිසා ජනතාවගේ අපේක්ෂා මට්ටම යි, ඒවා ඉෂ්ට කරන්න තියෙන හැකියාව යි අතරේ ලොකු පරතරයක් තියෙනවා. ඒ නිසා ලෝක දේශපාලනයේ ගත්තත් එවැනි ආණ්ඩුවලට ජනතා අපේක්ෂා සියල්ල ඉටු කරන්න අමාරු යි. මේ තියෙන තත්ත්වයත් එක්ක අපේක්ෂා භංගත්වයට පත්වෙන්න තියෙන ඉඩකඩ වැඩි යි,” ආචාර්ය පවිත්‍රා ජයවර්ධන සඳහන් කළා ය.

'වේදිකාවේ දුන් ආකර්ෂණීය පොරොන්දු ඉටු කිරීම දැවැන්ත අභියෝගයක්'

e6c38270 a2ce 11ef bdf5 b7cb2fa86e10

ජාතික ජන බලවේගයේ මැතිවරණ වේදිකාවලදී ජනතාවට දුන් ආකර්ෂණීය පොරොන්දු ඉටු කිරීම ද වත්මන් රජය මුහුණ දෙන දැවැන්ත අභියෝගයක් බව ආචාර්ය අමින්ද මෙත්සිල පෙරේරාගේ අදහස යි.

එම පොරොන්දු ඉටු කිරීම දැවැන්ත අභියෝගයක් බවත්, පොරොන්දු ඉටු නොකළහොත් ජනතාව අපේක්ෂාභංගත්වයට පත්වන බවත් මහාචාර්යවරයා පෙන්වා දුන්නේ ය.

“ඊළඟට රජය මුහුණ දෙන ප්‍රධාන ම අභියෝගය තමයි, ආර්ථික අභියෝගය. මේ රට තාම බංකොලොත් මට්ටමේ තියෙන්නේ, ණය ගන්න විදිහක් නෑ, ඒ වගේ අර්බුද ගොඩක් තියෙන තැනක මේ රට තියෙන්නේ. ඒ නිසා දැනටත් බංකොලොත්භාවයේ ලේබල් එක යටතේ තියෙන ශ්‍රී ලංකාව ඒකෙන් මුදව ගන්නේ කියන එක අභියෝගයක්. ඒකෙන් මිදෙන්න නම් ඔවුන්ට අනිවාර්යයෙන් සිද්ධ වෙනවා රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් 15%ක් දක්වා වැඩි කර ගන්න. ඒක අතිවිශාල අභියෝගයක්. මොක ද අපි දැනටත් බදු ගහලා ගහලා බදුවලින් මිරිකිලා ඉන්නෙ ජනතාව. අනික් පැත්තෙන් ජනතාවට බදු අඩු කරන බවට දුන්න පොරොන්දු ඉටු කරන්නත් වෙනවා.”

“අනික් පැත්තෙන් පාඩු ලබන රාජ්‍ය ආයතන පෞද්ගලික අංශයට දෙන්නෙ නෑ කිව්වා. සමහර බදු කපා හරිනවා කිව්වා. බදු පදනම වෙනස් කරනවා කිව්වා. ඒවා ඔක්කොම දේශපාලන වේදිකාවේ හරි ම ආකර්ෂණීය කරුණු. ඒවාට තමයි ජනතාව ඡන්දය දුන්නේ."

ඊට අමතරව, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ආදී විවිධ පොරොන්දු ඉටු කිරීමට ද මෙම දැවැන්ත ජනවරම හරහා හැකියාව ඇතැයි අචාර්යවරයා සඳහන් කළේ ය.

බදු අඩු කිරීම සහ රාජ්‍ය ආදායම වැඩි කිරීම අතර ගැටුම

අධික බදු බර හේතුවෙන් පීඩාවට පත්ව සිටින ජනතාව බදු බරින් නිදහස් කරන බවටත්, 6% සිට 36% දක්වා පනවා ඇති ආදායම් බදු සංශෝධනය කරන බවටත් ජාතික ජන බලවේගය මැතිවරණ වේදිකාවල ජනතාවට ප්‍රතිඥා දී තිබේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කර ඇත්තේ, සිය ආණ්ඩුවක් යටතේ රුපියල් ලක්ෂ දෙකක් දක්වා ආදායම් බද්දෙන් නිදහස් කරන බව ය. එතැන් සිට 4% සිට 24% දක්වා ආදායම් බද්ද සංශෝධනය කිරීමට ද ඔහු ප්‍රතිඥාවක් දී තිබේ. ඒ අනුව, බුද්ධිගලනයට බෙහෙවින් බලපා ඇති මෙම බද්ද සංශෝධනය කිරීම ජාතික ජන බලවේගය මුහුණ දෙන තවත් අභියෝගයකි.

කෙසේ වෙතත්, බදු කප්පාදු කළහොත් රජයේ ආදායම විශාල ලෙස පහළ යන බව ආචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා අවධාරණය කරයි.

“අපි වියදම් කරන ප්‍රමාණයෙන් 60%ක් විතර බදු තමයි ගෙවන්නේ. රාජ්‍ය ආදායමෙන් 95%ක් තියෙන්නේ බදු. ඒ බදු අඩු කළොත් ආයෙත් සැරයක් අර 2019 ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කරපු දේ ම කරලා ආර්ථිකය කඩා වැටෙන්න පුළුවන්. එතකොට බදු සහන දෙන ගමන් රාජ්‍ය ආදායම වැඩි කර ගන්නෙ කොහොම ද?, විදේශ විනිමය වැඩි කර ගන්නෙ කොහොම ද?, ජනතාවට දුන්න පොරොන්දු ඉටු කරන්නෙ කොහොම ද? ඒ වගේ ඉතිහාසයේ වැඩි ම අභියෝග තියෙන ආණ්ඩුව බවට මේ ආණ්ඩුව පත්වේවි.”

 

'මේ කිසි ම අභියෝගයක් ජය ගන්න බැරි නැහැ'

ජාතික ජන බලවේගය රජය මුහුණ දෙන තවත් දැවැන්ත අභියෝගයක් වන්නේ, ස්ථාවර ආර්ථිකයක් ගොඩ නැගීම ය. මෙතෙක් ලබාගෙන ඇති ණය ගෙවීම, ජනතාව මුහුණ දෙන ආර්ථික අර්බුදය කළමනාකරණය කර ගැනීම, දේශීය නිෂ්පාදන ඉහළ දැමීම, කෘෂිකර්මාන්තය නගා සිටුවීම, සංචාරක කර්මාන්තය දියුණු කිරීම ආදී අභියෝග රැසක් නව රජය හමුවේ පවතී.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ විශ්වාස කරන්නේ, මෙකී අභියෝග ජය ගත නොහැකි ඒවා නොවන බව ය.

"මේ කිසි ම අභියෝගයක් ජය ගන්න බැරි නැහැ. ආණ්ඩුවත් ජනතාවත් යම් කැප කිරීමක් කරන්න සූදානම් නම් මේවා ජය ගන්න පුළුවන්. හැබැයි යම්කිසි කැප කිරීමක් කරන්න වෙයි. ජනතාවට සහන දීම වෙනුවට ඔවුන්ගේ ආදායම් වැඩි කර ගන්න අවශ්‍ය මග පෙන්වීමක් කළොත් ආර්ථිකය ගොඩ නගන්න පුළුවන්.”

මේ අතර, ආචාර්ය ඩබ්ලිව්.ඒ. විජේවර්ධන පෙන්වා දෙන්නේ, දූෂණය අවම කර, නාස්තිය වළක්වා ගැනීමත්, රට තුළ නිෂ්පාදන ඉහළ දැමීමත්, සංචාරක කර්මාන්තය දියුණු කිරීමත් හරහා ආර්ථික කඩා වැටීමට පිළියම් සෙවිය හැකි බව ය.

 

'සුද්ද කිරීම'

ජාතික ජන බලවේගය ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය ජය ගැනීම ම දැවැන්ත අභියෝගයක් බව ආර්ථික සහ දේශපාලන විශ්ලේෂකයෙකු වන ශ්‍රී ලංකාවේ මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ආචාර්ය ඩබ්ලිව්.ඒ. විජේවර්ධන පෙන්වා දෙයි.

“ජාතික ජන බලවේගය මහ මැතිවරණයේදී තේමා පාඨය කර ගත්තේ, ‘පාර්ලිමේන්තුව සුද්ද කරමු - මාලිමාවෙන් පුරවමු’ කියන එක. ඒ නිසා ඔවුන්ට ජනතාව මූලිකව ඡන්දය දුන්නේ රටේ දූෂණයට එරෙහිව ක්‍රියා කරයි කියන බලාපොරොත්තුව ඇතිව. මේ ජනතා අපේක්ෂාව මාලිමාවට තියෙන ලොකු ම අභියෝගය කියලයි මට හිතෙන්නේ. මොක ද, ජනතාව අපේක්ෂා කරන සුද්ද කිරීම කර ගන්න මේ ආණ්ඩුව අසමත් වුණොත් ජනතාවගේ විශ්වාසය බිඳ වැටෙනවා.”

පෙර පැවති රජයන්හි දූෂිත දේශපාලනඥයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වන්නේ ද යන්න පිළිබඳව ද ජනතාව අවදියෙන් සිටින බව ආචාර්ය විජේවර්ධන පැවසීය.

“ජාතික ජන බලවේගය අවුරුදු ගාණක් තිස්සේ කියපු දෙයක් තමයි, දූෂිතයින්ට දඬුවම් දෙනවා කියන එක. බලයට ඇවිත් ඉතා කෙටි කාලයක් තුළ දූෂිතයින්ට දඬුවම් දෙනවා කියලා ඔවුන් ජනතාව ඉදිරියේ පොරොන්දු දීලා තියෙනවා. ඒ නිසා ඔවුන් ඒ දේවල් ඉටු කළ යුතු යි.”

“ලී ක්වාන් යූ වගේ දූෂිතයින් දුටු තැන ක්‍රියාත්මක වුණේ නැත්නම් අලුත් රජයට තමන්ගේ අරමුණුවලට යන්න බැරි වෙනවා. ඒක හරියට කරයි කියලා විශ්වාසයක් ජනතාව තුළ තියෙනවා. එහෙම නැති වුණොත් අර මහාචාර්ය සුනිල් ආරියරත්න ලිව්වා වගේ ‘පූජාසනයේ ඔබ හිඳුවා - ඔබට පුදන මේ ලෝකය ම යි හෙට ඔබට එරෙහි වී නැගිටින්නේ’ කියන දේ තමයි ජාතික ජන බලවේගයටත් සිද්ධ වෙන්නේ,” ආචාර්ය ඩබ්ලිව්.ඒ. විජේවර්ධන වැඩිදුරටත් පැහැදිලි කළේ ය.

 

මතභේදාත්මක පනත් සංශෝධනය කිරීම

ඔන්ලයින් ආරක්ෂණ පනත සහ ත්‍රස්තවාදයට එරෙහි පනත ඇතුළු මතභේදාත්මක නීති සංශෝධනය කිරීමට හෝ අහෝසි කිරීමට බල කෙරෙන ඉල්ලීම්වලට නව රජය මුහුණ දෙනු ඇත. නව රජය පශ්චාත් යුද්ධ ප්‍රතිසංස්කරණ කෙරෙහි දක්වන ආකල්පය විශේෂයෙන් ම එක්සත් ජාතීන්ගේ නිර්දේශ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයේ ස්ථාවරය ද සමීපව නිරීක්ෂණය කරනු ඇත.

ජාතික ජන බලවේගය ඉදිරියේ ඇති තවත් කාර්යයක් වන්නේ, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ය. එය අහෝසි කිරීම සඳහා වන ඉල්ලීම් ජාතික ජන බලවේගය වේදිකාවේ ප්‍රධාන තේමාව වී තිබිණි. ඔවුන් පාර්ලිමේන්තුව තුළ තුනෙන් දෙකක බලයක් ලබා ගැනීමත් සමග මෙම ප්‍රතිසංස්කරණ සිදු කිරීමට පීඩනයක් එල්ල වනු ඇත.

විදෙස් රටවල් සමග ඇති කර ගත් ගිවිසුම් ගැන ස්ථාවරය

පැවති රජයයන් විදෙස් රටවල් සමග විවිධ අවබෝධතා ගිවිසුම්වලට එළඹ තිබේ. එම ගිවිසුම් රැසක ඇති අඩුපාඩු ජාතික ජන බලවේග වේදිකාවල දැඩි විවේචනයට ලක් විය. විශේෂයෙන්, අදානි සමාගම සමග ඇති කර ගත් ගිවිසුම් ආදිය සම්බන්ධයෙන් ඔවුන් දැඩි විවේචන එල්ල කර තිබේ. ඒ අනුව, එම ගිවිසුම් නැවත සලකා බැලීමට නව රජයට සිදුවනු ඇත.

ජනතාවට ප්‍රතිඥා දුන් පරිදි එම ගිවිසුම් සංශෝධනය කිරීමට පියවර ගතහොත් ඇතැම්විට ශ්‍රී ලංකාවට ප්‍රශ්න ඇති විය හැකි බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දේශපාලන අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය නිලූකා ප්‍රියදර්ශනී පෙන්වා දෙයි.

“මේ ගිවිසුම් වැරදියි කියලා ඔවුන් පුනපුනා කිව්වා. ඒ නිසා ඒවා වෙනස් කරන්න සිද්ධ වෙන්න පුළුවන්. ඒත් ඒ ගිවිසුම් වෙනස් කරන්න ගියොත් රටක් විදිහට වන්දි ගෙවීමකට යටත් වෙන්න සිද්ධ වෙන්න පුළුවන්. මොක ද අවබෝධතා ගිවිසුම්වල කොන්දේසි තියෙනවා. ඒ නිසා ඒවා පරිස්සමින් තමයි කරන්න වෙන්නේ.”

 

ජනතා විශ්වාසය රැකගැනීම

anura

බලයට පත්වීමට පෙර දුන් පොරොන්දු ඉටු කිරීමට නව රජයට සිදු වන බවත්, එසේ නොවුණහොත් පැවති රජයයන්ට සිදුවූ ආකාරයට ම ජනතා විරෝධයක් නව රජයටත් එල්ල විය හැකි බවත් ආචාර්ය ඩබ්ලිව්.ඒ. විජේවර්ධන පවසයි. ඊට අමතරව, පැවති රජයයන් සම්බන්ධයෙන් එල්ල කළ චෝදනා සම්බන්ධයෙන් නව රජය නිසි ක්‍රියාමාර්ග නොගතහොත් ජනතා විශ්වාසය බිඳ වැටෙනු ඇතැයි ආචාර්ය නිලූකා ප්‍රියදර්ශනී ප්‍රකාශ කළේ ය.

මේ අතර, ජනතා විශ්වාසය රැකගෙන රජයට ඉදිරියට යාමේ හැකියාවක් ඇති බව ද බීබීසී සිංහල සේවයට අදහස් දැක්වූ විශේෂඥයින් තිදෙනා ම පැවසූහ.

ඔවුන් පෙන්වා දුන්නේ, විනිවිදභාවයෙන් යුතුව, කාර්යක්ෂමව සහ යුක්තිගරුක ලෙස පාලනයක් ගෙන ගියහොත් ජාතික ජන බලවේගය රජය සාර්ථකත්වයට පත්වනු ඇති බව ය. මෙතෙක් ජනාධිපතිවරයා සහ තිදෙනෙකුගෙන් යුත් රජය ක්‍රියා කර ඇති ආකාරය සැලකිල්ලට ගැනීමේදී ඉහත කී අභියෝග ජය ගැනීම දුෂ්කර නොවනු ඇතැයි මහාචාර්ය වසන්ත අතුකෝරළ අවධාරණය කළේ ය.

 

'ආණ්ඩුව අභියෝග වටහාගෙන ඉන්න බව පේනවා'

ආචාර්ය පවිත්‍රා ජයවර්ධන පවසන්නේ, වත්මන් රජය තමන් ඉදිරියේ ඇති අසීරු අභියෝග මොනවා ද යන්න වටහාගෙන ඇති බව පෙනී යන බව ය.

“මට හිතෙනවා මේ ආණ්ඩුව ඒ තත්ත්වය තේරුම් අරගෙන ඉන්නවා කියලා. ඔවුන් තමන්ට කළ හැකි සහ නොහැකි දේවල් ජනතාවට සන්නිවේදනය කරන බවක් පේනවා. ඒක ඉතා හොඳ දෙයක්. මං හිතන්නෙ ඒගොල්ලො උත්සහ කරනවා විනිවිදභාවය පවත්වාගෙන යන්න ජනතාවත් එක්ක.”

රජයට ලැබී ඇති දැවැන්ත බලය හමුවේ ඔවුන් පොරොන්දු වූ සියල්ල ඉටු කිරීමට හැකියාව ලැබී ඇතැයි ද ආචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා පෙන්වා දුන්නේ ය.

“ඔවුන්ට තුනෙන් දෙකක බලයක් ලැබුණ එක හොඳ යි. මොක ද, ජනාධිපතිතුමා ම කියපු වචනවලින් කතා කළොත් එහෙම ආයෙ කෙඳිරි ගාන්න, අඬන්න අවශ්‍ය නෑ, ඔවුන්ට අවශ්‍ය සියලු දේ කරන්න පුළුවන්. මං විශ්වාස කරනවා, ඔවුන් ජනතාවට අහිතකර දේ නොකර යි කියලා. ඒ අනුව, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම හෝ වෙනත් ඕන ම දෙයක් වෙනුවෙන් ඔවුන්ට ප්‍රමාණවත් බලයක් ලැබිලා තියෙනවා. ඒක ම තමයි අනික් පැත්තෙන් ඔවුන්ට අභියෝගයක් වෙන්නේ.”

ඉෂාරා ධනසේකර සහ කුමුදු ජයවර්ධන
බීබීසී සිංහල

Leave a comment

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us