බදුල්ලේ අබ්බිකා වත්තේ දළු කඩන කෙල්ලක කියා බොහෝ අය සිතුවේය. නැත, යම් අධ්‍යාපනයක් සහිත, රස්සාවක් කරපු, දෙමළ දරුවන්ට උගන්නපු, හොඳට සිංහල කතා කරන නූතන වතු ප්‍රජාවේ නියෝජනයකි. සහකම්පනයක් සහිත ජීවියෙකි. (ලිපිය පහත අමුණා ඇත) ජවිපෙ කාඩර් කිට්නන් සමන්ත විද්‍යාරත්නට පමණක් දෙවෙනි වෙමින් උඩින්ම දිනා ඇත. සජබ කන්නා පරාජය විය.
‘නිදහසින් පසු බිහිවන අඩුම IQ අගය සහිත සහ අඩුම දේශපාලන අත්දැකීම් ඇති පාර්ලිමේන්තුව බවට පත්වීම නොවැලැක්විය හැකිය‘ යැයි කී කතාව අම්බිකා ප්‍රෙමෝෂන් තරමටම නැගලා ගියේය.
මිත්‍රවරුණි, 2020 පාර්ලිමේන්තුවේ සා.පෙ.න් ඉහළට අධ්‍යාපනය නොලැබූ 6 කි. උසස් පෙල සමත් නැති 52 කි.
නමුත්, ඩිප්ලෝමාව දක්වා උගත් 23 ක්, පශ්චාත් උපාධි තිබූ 32 ක් ද, වෛද්‍යවරු 15 ක් ද, උපාධිධාරීන් 70කට වැඩි ගණනක් ද විය. රනිල් වික්‍රමසිංහ ගේ පළමු කැබිනට්ටුවේ 9 දෙනෙකුම නීතිවේදීන් ය. පාර්ලිමේන්තුවේ නීතිඥයින් 19 කට ආසන්නව සිටියේය.
2020 පාර්ලිමේන්තුවේ රාජ්‍යතාන්ත්‍රිකයින් කී දෙනෙකු සිටියේ ද? කවුරුවත් නොඅසන පැනය යි.
මන්ත්‍රීවරුන්ට ඉහළ IQ (Intelligence Quotient) අගයක් පැවතීමේ වැදගත්ය. IQ කියන්නේ ලබාගෙන තියෙන ඩිප්ලෝමා, උපාධි, පශ්චාත් උපාධි විතරක් නෙවෙයි. හැබැයි විධිමත් අධ්‍යාපනයක් ඉහළ IQ එකකට දායක වෙනවා. IQ වැඩිම වෛද්‍ය, ඉංජිනේරු, නීතිඥ ප්‍රජාව අතරම නොවේ. නමුත්, බහු විධ කුශලතා (Multiple talents) අගයන, එනම්, සිංදු කියන්න, ගිටාර් ගහන්න, පීනන්න, බස් එළවන්න, අය වැදගත් යැයි සිතන පිරිසක් ද සිටී. බහුවිද කුශලතා ඇත්තේ ගැන පාර්ලිමේන්තු සම්ප්‍රදායන් හි වැඩිපුර කියවෙන්නේ සෘණාත්මක දේවල්ය. මහජන නියෝජිතයින්ගේ IQ මට්ටම සාධනීය සාධකයක් ලෙස සැලකෙන්නේ ඒ් නිසාය.
IQ සහ මන්ත්‍රීවරයෙකුගේ භූමිකාව අතර අවියෝජනීය සම්බන්ධයක් ගොඩනැගෙන්නේ සංජානන හැකියාව, විවේචනාත්මක චින්තනය, සන්නිවේදන කුසලතා, දැනුම පදනම සහ තීරණ ගැනීම යන කරුණු 5 මතය. (IQ අඩු පුද්ගලයෙකු වුව ද, මන්ත්‍රීවරයෙකු වී කුශලතා වර්ධනය කර ගත හැකිය) ලොව පුරා භාවිත කරන උපක්‍රම ක්‍රමවේද රැසක් ඇත. ඒ සඳහාම වන ආයතන රැසකි.
IQ ගැන කතා කරනව විට කිචෝක් කරන්නට යොදා ගන්නේ රෝහිත, ජොන්ස්ටන්, චාමර සම්පත් යන නම් තුන ය. බදුල්ල හා කළුතර හොඳටම IQ තියෙන නිමල් සිරිපාල, හරීන්, රාජිත පරදා චාමර හා රෝහිත නැවත පත්වී ඇත. ඔවුන් දෙදෙනාට වෙනස් IQ ඇති බව, හෝ ඡන්දදායකයාට වෙනස් IQ අති බව නම් පැහැදිලිය.
2020 පාර්ලිමේන්තුව වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, නීතිඥයින්ගෙන් පිරී තිබුණි. මෙවර පිරී ඇත්තේ වෛද්‍ය, නීතිඥ, ගුරු වෘත්තීන්ගෙනි. IQ ද, Emotional Intelligence ද? සංවාදය අතිශයින් විවාද සම්පන්න බව දනිමි. කොතරම් අමිහිරි වුවත්, අනාගතයකට වැදගත්ම ප්‍රශ්නයට පිළිතුර සොයා ගැනීමට මේ සංවාදය වැදගත්ය.
වර්තමානයේ IQ කියන්නේ යල් පැනගිය සංකල්පයකි, වඩා වැදගත් චිත්තවේගීය බුද්ධිය (Emotional Intelligence - EQ) යැයි කියන පිරිසක් ද වේ. මේ පාර්ලිමේන්තුව IQ අඩු - වැඩි ද, චිත්තවේගී බුද්ධිය ඉහළ පිරිසකගෙන් පිරී ඇත. 2020 දී ද, IQ සහිත විද්වතුන් රැසක් පාර්ලිමේන්තු සිටි නමුත්, ඔවුන් බහුතරයකට චිත්තවේගී බුද්ධිය තිබුණේ නැත. ගිය පාර්ලිමේන්තුවේ සිටි රාජ්‍යතාන්ත්‍රිකයින්ට කතා කරන්නට වත් නොදී, කුණුහරුප ඇසුනේ ඒ නිසාය.
අනුර කුමාර සහ මහින්ද රාජපක්ෂ මෑත යුගයේ බිහිවූ චිත්තවේගීය බුද්ධියෙන් ඉහළම නායකයින්ය. ඉහළම IQ තිබූ රනිල් වික්‍රමසිංහ, ජේ.ආර්.ජයවර්ධන ට වඩා ඔවුන්ගේ වෘත්තීය සාර්ථකත්වයේ ඉහළ අවස්ථාවේ චිත්තවේගීය නායකයින්ට මිනිසුන් ලෙන්ගතුය. සෙනෙහෙවන්තය.
ජේ.ආර්. සහ ආර්.ප්‍රේමදාස IQ සහ චිත්තවේග බුද්ධිය වෙනස හා ස්වභාවය පෙන්වන්න කදිම උදාහරණයන් දෙකකි.
තාක්ෂණිකව ගත් විට, චිත්තවේගී බුද්ධිය ඉහළ මන්ත්‍රීවරුන් සබඳතා ගොඩනැගීමේ රුසියන්ය. අනුකම්පාව (ඡන්දදායකයින්ගේ හැඟීම් සහ අදහස් තේරුම් ගැනීම), පොදු කතාව (කථා හෝ පොදු රැස්වීම්වලදී ශ්‍රාවකයින් සමඟ සම්බන්ධවෙයි), වෙනස්කම්වලට අනුගත වීම (දේශපාලන භූමි දර්ශන ගතිකත්වය), ආසන ප්‍රදේශ සම්බන්ධතා ඉහළ පිරිසකි. මේ පාර්ලිමේන්තුවට නැවත තේරී පත් වී ඇති 45 කටත් වඩා මේ ගුණයෙන් පිරිපුන් ය.
බදුල්ලේ දෙවනියට මනාප ලැබූ කිට්නන් සෙල්වරාජ් ගේ රස්සාව කිරි ගොවිතැන හෙවත් හරක් ඇති කිරීමයි. චාමරට පුවක්/වඩේ විකුණුවා යැයි අපහාස කරන සමාජයක, කිට්නන් ට හරක් බලන්නා ඡන්ද කටේ උපහාස කරනු දක්න්නට අවශ්‍ය වූයේ නැත. මා හොඳින් දන්නා කිට්නන් ජීවිතය කාලයම ජවිපෙ 3% සිට උඩට ගේන්නට හපුතලේ, බණ්ඩාරවෙල, හාලිඇළ සීතලේ ඇවිද ගිය ‘සැබෑ මිනිසෙකි‘. නුවරඑළියේ මන්ත්‍රී ක්‍රිෂ්ණන් කලෙයිචෙල්වි ගැන සිංහල සමාජය දන්නේම නැති තරම්ය.
නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ ඉහළම ස්ථානය, පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය යි. එහි නායකයින් වන්නේද, පක්ෂ නායකයින් වන්නේ ද, ජනතාවගේ ම නිරූපනයක්, ආදර්ශයක් ලෙසිනි. ජනතාවගේ IQ මට්ටම විසින් තීරණය කළ පිරිසක් තේරී පත් වී ඇත. එබැවින් මේ සියල්ලම අපේය. ජපුරම්මා - කැලණිඅම්මා සංවාදය විකාරයකි. ඉතිහාසයේ පළමු වරට රාජකීය - ශාන්ත තෝමස් පාසල් ආධිපත්‍ය බිද වැටී ඇත. (රනිල් ගේ පළමු කැබිනට්ටුවේ ද ඉතිහාසයේ පළමු වතාවට ශාන්ත තෝමස් කිසිවෙකු සිටියේ නැත) මේ මැතිවරණයේ දී ත් ජනතාව කුල මල බලා ඡන්දය දී ඇති ආකරය වෙනම කතා කරමු.
රටකට අවශ්‍ය IQ ද, EI ද නොව රාජ්‍යතාන්ත්‍රකයින් ය. 2020 පාර්ලිමේන්තුවේ රාජ්‍යතාන්ත්‍රකයින් කී දෙනෙකු සිටියා ද, ඔවුන්ගේ බහුතරය පරාජයට පත් කර චාමර - රෝහිත නැවත පත්වූවේ ඇයි සෙවීම වැදගත්ය.
නැවත පත්වී ඇති පරණ මන්ත්‍රීවරු 70 ක් අතර රාජ්‍යතාන්ත්‍රිකයෝ (Statesman) කී දෙනෙකු ඇති දැයි විමසීම ඔබට බාරය.
නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට රාජ්‍යතාන්ත්‍රිකයින් බවට පත්වීමට අත්දැකීම් හා පුහුණුව ලබා දිය යුතුව ඇත. පාර්ලිමේන්තුවත්, ජනාධිපති කාර්යාලයත් හමුවේ ඇති අභියෝගය නම්, ලෝකයේ ඇති සියළු සම්පත් යොදා ගනිමින්, අපේ අලුත් මහජන නියෝජිතයින් සැබෑ රාජ්‍යතාන්ත්‍රිකයින් බවට පරිවර්තනය කර කරන්නේ කෙසේ ද? යන්නය.
රජිත් කීර්ති තෙන්නකෝන්