උදාහරණයකට බදු අහෝසි වෙනවාට ජනතාව කැමතියි. මේ බදු බරෙන් ජනතාව නිදහස් කරන්න මැදිහත් වෙනන් පුළුවන් නම් ඕනෑම දේශපාලන පක්ෂයක් කැමතියි. එමගින් ඔවුන්ටත් ජනතාවගේ කැමැත්ත පහසුවෙන් දිනාගන්න පුළුවන්.
ඒත් ඇත්ත ප‍්‍රශ්නය, එහෙම බදු නිදහස් කරන්න බැහැ. රාජ්‍ය ආදායම රැඳිලා තියෙන්නේ බදු මත. බදු ආදායමෙන් රජයට කරන්න පැවරුණ වගකීම රැසක් තියෙනවා. රාජ්‍ය සේවයේ පඩි නඩි, ජනතා සුබ සාධනයන්, සුළු සංවර්ධන කටයුතු, රජයේ ණය පොලී ගෙවීම වගේ සෑහෙන දේවල් තියෙනවා.
බදු ඉවත් කරනවා කියන්නේ මේ කිසිවක් රජයට කර ගන්න බැරි වෙන එක. මේක දේශපාලනය ගැන දැනුමක් තියෙන ඕනෑම අයෙක් දන්නවා. ඒත් ජනතාවගේ කැමැත්ත ලැබෙන්නේ බදු අහෝසි කළොත් නිසා, තමන් බලයට ආවොත් බදු අහෝසි කරනවා කියන සටන් පාඨය සෑහෙන ජනප‍්‍රිය වෙනවා. නමුත් රජයේ ආදායම් වියදම් නිසි පරිදි කළමනාකරණය කරගෙන ස්ථාවර කරගැනීමෙන් පස්සේ බදු අඩු කරගැනීමකට යන්න පුළුවන්. ඒත් ඒකට නිවැරදි ප‍්‍රතිපත්තියක්, වැඩ පිළිවෙලක් තියෙන්න ඕන. මේ දවස්වල බදු අහෝසි කිරීම වගේ ජනප‍්‍රිය කතන්දර මැතිවරණ වේදිකාවල නිරන්තරයෙන් ඇහෙනවා. හිතා ගන්න බැරි තරම් පොරොන්දු දෙනවා. ඒත් ඇත්තටම ඒ බොහොමයක් ඒ කියන හැටියට කරන්න බැරි දේවල්.
මේ ජනප‍්‍රියවාදී දේශපාලනය තුළ වෙන්නේ යම් දෘෂ්ටියක් මත පදනම්ව ජනතාව තමන්ට අවශ්‍ය විදිහට මෙහෙයවීම. මේවා තුළ සංලේෂණ විශ්ලේෂණ නැහැ. කරන්නේ කොහොමද කියන එක කියන්නේ නැහැ. බොහෝ විට ජන කොටස් මේවා තාර්කික බුද්ධියෙන් විමසන්නෙත් නැහැ. තමන් අහන්න කැමති දේවල් එක්ක මැතිවරණයේදී තීන්දු තීරණ ගන්න තැනටම පත් වෙනවා. මේ තත්වය අපේ වගේ රටවල විතරක් නෙවෙයි දියුණු යුරෝපීය රටවලත් සිදුවන සාමාන්‍ය දෙයක්. බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වෙන්නේ එලෙස වෙන් විය යුතු බවට හදපු ජනප‍්‍රිය රැල්ල නිසා. කම්කරු සහ කොන්සවේටිව් කියන ප‍්‍රධාන පක්ෂ දෙකම මේ ජනප‍්‍රිය මතවාදයට එරෙහි වුණා. ඒත් කුඩා ජනපදනමක් සහිත බ්‍රිතාන්‍ය ස්වාධීන පක්ෂයේ (UKIP) නායක නයිජල් ෆරාජෙ ගෙන ආ මතය ජනප‍්‍රිය වුණා. එහි දී යුරෝපා සංගමය තුළ සිටීමෙන් බ්‍රිතාන්‍යයට සිදුවන අවාසි ගනනාවක් ගැන කියවුණා.
විශේෂයෙන්ම විදේශ සංක්‍රමණිකයන් බ්‍රිතාන්‍යයට පැමිණිම, සුදු මිනිසුන්ගේ වරප‍්‍රසාද අඩු වීම, රැකියා අවම වීම, වැඩි වැටුප් නොලැබීම වැනි ජාතිකවාදී මතයක් ජනප‍්‍රිය වීම සිදු වුණා. එම වෙන් වීම සිදු නොවුණා නම් අද බ්‍රිතාන්‍යය මුහුණ දෙමින් සිටින ආර්ථික අර්බුදය ඒ තරමින් ඇති නොවෙන්න ඉඩ තිබුණා. අද යුරෝපා සංගමයේ රටවල් සමුහිකව ලබන ප‍්‍රතිලාභයන් බ්‍රිතාන්‍යයට ලැබෙන්නේ නැහැ. යුරෝපා සංගමය තුළ සිටීමේ ප‍්‍රතිලාභයක් ලෙස පෝලන්තය, චෙක් ජනරජය, ස්ලෝවැකියාව වගේ රාජ්‍යයන් සෑහෙන සංවර්ධනයක් අත්පත් කර ගනිමින් ඉන්නවා.
විපක්ෂයේ ජනප‍්‍රියවාදී දේශපාලන රැල්ලක් ඉස්මතු වීමෙන් පසුගිය ප‍්‍රංශයේ මහ මැතිවරණයෙන් ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් ගේ පක්ෂය විශාල පසුබෑමකට ලක් වුණා. ඒත් මැක්‍රොන් පාලනය කියන්නේ ප‍්‍රංශයේ අර්බුද ගණනාවක් විසදා විශාල වැඩ කොටසක් සිදු කළ පාලනයක්. ඒත් අද ප‍්‍රංශය මේ ජනප‍්‍රියවාදයේ ආදීනව භුක්ති විඳිනවා. අද මාලදිවයිනෙත් සිදු වෙන්නේ ඒක. අපිට මේ ජනප‍්‍රියවාදය ගැන ලංකාවෙන්ම හොඳ උදාහරණ තියෙනවා. රටට සිදුවුණූ අලාබ හානිත් රැසක් තියෙනවා. අවසානයේ විශාල අර්බුදයකට රට ගොදුරු වුණෙත් ජනප‍්‍රිය රැල්ල අනුව දේශපාලන තීන්දු ගැනීම නිසා.
මේ අර්බුදයෙන් පස්සේ ගෙවුණු අවුරුදු දෙක තුළ රටේ විශාල වෙනස්කම් රාශියක් සිදු කළා. විශේෂයෙන්ම සාර්ව ආර්ථික ප‍්‍රතිසංස්කරණ රැසක් දියත් කරල රට නැවත ස්ථාවර තත්වයකට පත් කළා. අයි.එම්.එෆ්. යන්න බැහැ කියල තිබුණු මතය පරාජය කරලා, ඒ ගත් ක්‍රියාමාර්ග නිවැරදියි කියල අද සියලූ පාර්ශ්වලට පිළිගන්න වෙන තැනට රට වෙනස් වෙලා තියෙනවා. ණය තිරසර භාවය ඇති කරලා තියෙනවා. උද්ධමනය සියයට 5 ක ප‍්‍රමාණයට ගෙනැවිත් තිබෙනවා. දුෂණ වංචා අවම කිරීම වෙනුවෙන් ඉතිහාසයේ ගත්ත ඉහළම පියවර අරගෙන තියෙනවා. රට බංකොලොත් වීම නිසා නැවැති තිබුණු ලෝක බැංකුවේ, ආසියානු සංවර්ධන බැංකුවේ, ජපානයේ ජයිකා ආයතනයේ සහ ණය දෙන රටවල ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමේ පියවරයන් ගෙන තිබෙනවා. ඉදිකිරීම් සහ අනෙක් කර්මාන්ත නැවත සූරුදු ලෙස වර්ධනය වෙලා.
අපනයන ආර්ථිකයක් වෙනුවෙන් පියවර අරන් තියෙනවා. විදේශ අයෝජනයන් කැදවා ගැනීම පහසු කරන්න ආර්ථික පරිවර්තන පනත වගේ නව නීති සහ ක්‍ක්‍රමවේද ගෙනාවා. රට ජය ගත යුතු ආර්ථික ඉලක්ක නීති ගත කරමින් ක්‍රමානුකූලව ඒ ඉලක්ක වෙත යෑමේ වැඩසටහන හදලා තියෙනවා. රාජ්‍ය මුල්‍ය විනය තහවුරු කරන්න මුල්‍ය සහ ණය කළමණාකරණයට නව අණපනත් සම්මත කර ගත්තා. ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා මේ පියවරයන් සාර්ථක කර ගත්තේ රට විශාල අර්බුදයක තියෙන මොහොතකත් ජනප‍්‍රිය නොවන තීරණ අරගෙනයි. මේ පියවරයන් හරිද වැරදි ද කියන එක ඉදිරි ජනාධිපතිවරණයේ දී ජනතාව තීරණය කළ යුතුයි.
කොහොම වුණත් අයි.එම්.එෆ්. එකඟතාවය මත කෙරෙන ආර්ථික ප‍්‍රතිසංස්කරණයන් ඉදිරියටත් සිදු වෙනවාද නැද්ද කියන එක මත රටේ අනාගතය තීරණය වෙනවා. මෙම එකඟතාවයෙන් නිදහස් වෙලා බදු අඩු කරන්න, සහනාධාර බෙදන්න, විදුලි ගෑස් තෙල් මිල අඩු කරන්න පුළුවන් කියල දැන් විපක්ෂය මතයක් ජනප‍්‍රිය කරමින් යනවා. ඒ ජනප‍්‍රිය මතය අනුව මේ එකඟත්වය වෙනස් කරනවා නම් ලබන දෙසැම්බරයේ දී සිදු වෙන අයි.එම්.එෆ්. සිව්වෙනි සමාලෝචනයේ දී ඔවුන් ගිවිසුමෙන් ඉවත් වීම බොහෝ විට සිදු විය හැකියි. ඒත් තවදුරටත් අයි.එම්.එෆ්. සමඟ වැඩ කරන්න සජබ හෝ ජාජබ ආණ්ඩු තීරණය කරලා අලූත් ගිවිසුමක් සඳහා සාකච්ඡාවකට ගියත් තීරණයක් ගන්න මාස ගණනාවක් යනවා. ඒ කාලය තුළ රට මුහුණ දෙන ප‍්‍රශ්න වලට දෙන විසඳුම් මොනවද කියන එක කල්පනා කරන්න වෙනවා.
අයි.එම්.එෆ්. ගිවිසුම නිසාම අද රටට ලැබුණු ප‍්‍රතිලාභ තියෙනවා. ණය ප‍්‍රතිව්‍යුහගත කිරීම ඒ අතරින් විශේෂම දෙයක්. අයි.එම්.එෆ්. ගිවිසුමෙන් ඉවත් වුණොත් ණය ප‍්‍රතිව්‍යුහගත කිරීමත් අර්බුදයකට යනවා. නැවත ණය තිරසාර නොවන රටක් වෙනවා. අපිට ණයවර ලිපියක්වත් විවෘත්ත කර ගන්න බැරි වෙන්න පුළුවන්. ආනයනික භාණ්ඩ අත්පිට මුදලටම ගන්න සිදුවෙන්නත් පුළුවන්. එයින් රටේ විදේශ සංචිත වේගයෙන් අහිමි වීමක් වෙනවා. ඩොලර් හිඟ වෙනවා. උද්ධමනය ඉහළ යනවා. නැවත අතිශය අවදානම්කාරී තැනකට රට ඇද වැටෙන්න පුළුවන්.
ඒත් මේ ගැන සාකච්ඡාවකට ජනප‍්‍රියවාදය තුළ ඉඩක් නැහැ. ජනප‍්‍රිය නොවන තීන්දු තීරණ අරගෙන සිදු කළේ මොනවද කියල කතිකාවක් නැහැ.
ඒ වගේම ජනප‍්‍රියවාදය මඟින් පහසු ජයග‍්‍රහණ ලැබිය හැකි වුණත්, ඒ නිසාම වන හානිය ඒ තරම් පහහසුවෙන් පූර්ණ කරගන්න බැහැ. අද රට තියෙන්නෙත් එහෙම තැනක. අපිට අඩුම තරමින් 2018 තිබුණ තැනටවත් රට හදා ගන්න මේ යන ක්‍රමවේදයටම තව අවුරුදු හතරක් පහක් යනවා.
මේ නිසා ජනප‍්‍රියවාදී දේශපාලනයට යට වී යථාර්ථවාදීව කල්පනා නොකර තීන්දු ගන්න ගියොත් අපි හැමෝටම විශාල විඳවිමකට ලක්වෙන්න පුළුවන් බව මතක තබාගෙන සියල්ලන්ම කටයුතු කළ යුතුයි.
- සාගල රත්නායක
මතාන්තරය
ඉරිදා ලංකාදීප
01 09 2024