ථේරවාද වෙළඳ ආර්ථිකය ගැන රනිල් කිව්වේ බොරුවක් ද? මෙන්න ඇත්ත   Featured

Friday, 30 August 2024 13:05

ජනාධිපති රනිල් වික්‍රමසිංහයන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව ඔහුගේ ආර්ථික ප්‍රතිපත්තිය වශයෙන් දක්වා ඇත්තේ, ථේරවාද වෙළඳ ආර්ථිකය යන්නය. මෙය මීට කලින් අසා නැති සංකල්පයකි. මේ නිසා නොදන්නා දෙයට නොතේරෙන දෙයට උසුළු විසුළු කරමින් යන අය සමාජ මාධ්‍ය තුළ දකින්නට ඇත.


නමුක් ජනාධිපති රනිල් මෙම සංකල්පය යොදා ගන්නේ බරපතල තේරුමක් ඇතිවය.

ථේරවාද වෙළඳ ආර්ථිකය යන්න තේරුම් ගැනීමට ප්‍රථම රනිල් වික්‍රමසිංහ ආණ්ඩුකරණයේ ආර්ථික ප්‍රතිපත්තිය වූයේ කුමක් ද යන්න ගැන මූලික හඳුනාගැනීම වැදගත් වේ.

රනිල් වික්‍රමසිංහ අගමැති ධුරය දැරූ 2015 යහපාලන ආණ්ඩුව තුළ ක්‍රියාත්මක කළ ආර්ථික ප්‍රතිපත්තිය වූයේ සමාජ වෙළඳපොල ආර්ථික ක්‍රමවේදයයි.

ලිබරල් ආර්ථික ක්‍රමවේදය සහ සමාජ සුබසාධනවාදී ආර්ථික ක්‍රියාමාර්ග එකතුකොට ගත් මෙම නව සමාජ වෙළඳපොල ආර්ථිකය තුළ හඳුනාගත හැකි විශේෂිතම ලක්ෂණය වනුයේ, වෙළඳපොළ ක්‍රමය තුළ පීඩාවට හෝ ඊට අනුගතවීමට නොහැකි වන පුරවැසියන් සමාජය තුළ සුරක්ෂිත කරන නැතහොත් රැකවරණය සපයන සමාජ ආරක්ෂණ දැලකින් යුක්ත වීමය.

මෙම සමාජ ආරක්ෂණ දැල හඳුනා ගැනීම සඳහා උදාහරණයක් ලෙස අස්වැසුම, වැටුප් වර්ධක, රාජ්‍ය සේවක දීමනා වැඩි කිරීම වගේම ගොවි ණය, පොහොර සහනාධාර, සහල් බෙදීම වැනි සුබසාධන ක්‍රියාමාර්ග පෙන්වා දිය හැකිය.

සමාජ වෙළඳපොල ආර්ථිකයෙන් ථේරවාද වෙළඳ ආර්ථිකයට විතැන් වෙද්දී එහි ඇති වෙනස කුමක්ද යන්න සමාජය දැනගත යුතුව තිබේ.

ථේරවාදයේ මූලික අදහස (සරලව) දෙව් මිනිස් සැප කෙළවර නිවන යන්නය.


මෙහි මූලික අර්ථය නම්, නිවන් අවබෝධයට පෙර මිනිසුන් සිය ජිවත කාලය තුළ ලෞකිකවත් ආධ්‍යාත්මිකවත් තෘප්තිමත් විය යුතු බවය. නැතහොත් ජීවිතය වින්දනය කළ යුතු බවය. ඒ වෙනුවෙන් බොහොමයක් කරුණු බුදුන් වහන්සේ සිය මූලික දේශනාවන් තුළ මැනවින් පැහැදිලි කොට තිබෙන අයුරු බෞද්ධ මූලාශ්‍ර ඇසුරින් හඳුනාගත හැකිය. සූත්‍ර පිටකයෙහි දීඝ නිකායෙහි එන චක්කවත්ති සීහනාද සූත්‍රය හා කූට දත්ත යන සූත්‍ර දේශනාවන් ප්‍රධාන මූලාශ්‍ර කොට ගත හැකිය.

එසේම චක්කවත්ති සීහනාද සූත්‍රයේ එන චක්‍රවර්ති රාජ්‍ය පරම්පරා ප්‍රවෘත්තිය තවත් උදාහරණයකි.


සිඟාලෝවාද සූත්‍රය මඟින් පෙන්වා දෙන බෞද්ධ ආර්ථික න්‍යායේ මූලික ඉගැන්වීම් අනුව පරිභෝජනය, ආයෝජනය, ඉතිරි කිරීම් යන මූලික සංකල්පයන් පෙන්වා දෙයි.

“ඒකේන භෝගෙ භුඤේජෙය්‍ය
ද්විහි කම්මං පයෝජයේ
චතුත්ථංච නිධාපෙය්‍ය
ආපදාසු භවිස්සති”

දුක් මහන්සියෙන් උපයාගත් ධනයෙන් කොටසක් එදිනෙදා ප්‍රයෝජනය සඳහාත් (පරිභෝජනය), කොටස් දෙකක් තමන් කරනු ලබන වෙළෙඳාම ආදී කර්මාන්ත හෝ ව්‍යාපාර දියුණුව පිණිසත් (ආයෝජන), ඉතිරි කොටස කරදරයක් විපතක් සිදුවුවහොත් ප්‍රයෝජනයට ගැනීම සඳහාත් (ඉතිරි කිරීම) යෙදවිය යුතුය.

පරිභෝජනය ලැබීම වෙනුවෙන් ආයෝජනයට මූලිකත්වය දිය යුතු බව බුදුන් වහන්සේ පෙන්වා දුන් කරුණ මෙහිදී වැදගත් ය.

දීඝ නිකායේ කූටදන්ත සූත්‍රයෙහි යම් රාජ්‍යයක් සුරක්ෂිත රාජ්‍යයක් බවට එනම් සංවර්ධිත රාජ්‍යයක් බවට පත් කරන්නේ කෙසේද යන්න පිළිබඳ සඳහන් වන පැරැණිම සටහන් හමුවෙයි.

යහපත් ආර්ථික ප්‍රතිපත්තියක් නොමැති වීම තුළ රටවැසියෝ නොසන්සුන්භාවයට පත් වෙති. (සකණ්ඨකො සඋප්පීළො). එයට හේතුව ඔවුන්ට ජීවත් වීමට ක්‍රමයක් නැති වීමයි (නහි දෙව ජීවාමි). ජීවත් වීම සඳහා කරනු ලබන අරගලයන් හේතුවෙන් සමාජයක ඇතිවන අවුල්සහගත තත්ත්වය ‘දස්සුඛීල’ ලෙස හදුන්වයි. එම තත්ත්වය නැති කිරීමට ආර්ථිකමය වූ සංවිධානයක් අවශ්‍ය බව පෙන්වයි (ඉදං සංවිධානං ආගම්ම එවමෙතස්ස දස්සුඛීලස්ස සමුග්ගතො හොති). (දීඝ නිකාය – කූටදන්ත සූත්‍රය)

එම සැලැස්ම අදියර තුනකින් ක්‍රියාත්මක කළ යුතු බව එම සූත්‍රයේදීම විග්‍රහ කොට ඇත.

කෘෂි නිෂ්පාදන අංශයේ නිරත අය දිරිගැන්විය යුතුය. (යෙ භොතො රඤෙඤා ජනපදෙ උස්සහන්ති කසීගොරක්ඛේ, තෙසං භවං බීජභත්තං අනුප්පදෙතු)
 ව්‍යාපාරික අංශයේ නියුක්ත අයට අරමුදල් දිය යුතුය. (යෙ භොතො රඤෙඤා ජනපදෙ උස්සහන්ති වාණිජ්ජාය, තෙසං භවං රාජා පාභතං අනුප්පදෙතු)
 රාජ්‍ය සේවයේ නියුක්ත අයට ආහාර හා වේතන ප්‍රදානය කළ යුතුය. (යෙ භොතො රඤෙඤා ජනපදෙ උස්සහන්ති රාජපොරිසෙ, තෙසං තෙසං භවං රාජා භත්තවෙතනං පකප්පතු)

මෙම කෘෂි ව්‍යාපාරික හා රාජ්‍ය සේවය හැරුණු කොට සමාජය තුළ සහනාධාර ලබාදිය යුතු පිරිස කවුරුන්ද යන්න බුදුන් වහන්සේ අංගුත්තර නිකායේ ව්‍යග්ගපජ්ජ සූත්‍රය තුළ විග්‍රහා කොට ඇත.

ආර්ථික සංවර්ධන අංශයන්හි උනන්දුවක් හා දක්ෂතාවක් ඇති පිරිසට ආර්ථිකමය සහනාධාර සැපයීම තුළින් රටක ශ්‍රම බළකාය ඉහළ නංවා ඒ තුළින් සමස්ත නිෂ්පාදන ක්‍රියාවලියෙහි ප්‍රගමනයක් අත්පත් කරගත හැකිය. එසේ සහනාධාර ලබාදිය යුත්තේ කවරාකාර දක්ෂතාවන් ඇති පිරිසටද යන්නත් ව්‍යඝ්ඝපජ්ජ සූත්‍රයේදී අපට පෙන්වා දෙයි.

 ශිල්පීය දක්ෂතාවක් ඇති අයට (තත්ථ දක්ඛො හෝති)
 අලස නොවෙන අයට (අනලසො)
 සුපරීක්ෂාකාරී වන අයට (වීමංසා සමන්නාගතො)
 කළමනාකරණ හැකියාවක් ඇති අයට (අලං සංවිධාතුං)

මෙවැන්නන් ආර්ථික සංවර්ධනය අංශයෙහි උනන්දු කරවීමෙන් නිෂ්පාදකයාත්, ව්‍යාපාරිකයාත් රටේ ආර්ථිකය සංවර්ධනය කිරීමට දායක වේ. එසේම එකී කාර්යයෙහිලා නොමඳ සහයෝගයක්ද තෘප්තිමත් රාජ්‍ය සේවකයාගෙන් ලැබේ. වැඩිවන ජනගහනයට සරිලන ආර්ථික සංවර්ධනයක් ඇති වීම හේතුවෙන් රට වැසියෝ විවෘත කරන ලද ‍දොර ජනෙල් ඇතිව තම නිවෙස්හි සතුටින් ජීවත් වෙති. එසේම මේ ජාතික සංවර්ධන ව්‍යාපාරය සාර්ථකව ක්‍රියාත්මක වීමෙන්,

 රටේ රැකීරක්ෂා සුලභ කිරීමක් සිදු වීමත්
 පවුල් ජීවිතය සාමකාමී හා ප්‍රීතිමත් වීමත්
 දුප්පත්කම නැති වීමත්
 පුරවැසියන් සදාචාරාත්මක පිරිසක් බවට පත් කිරීමත්
 රාජ්‍ය තන්ත්‍රයේ පැවැත්මට අවශ්‍ය බදු අයකිරීම ක්‍රමානුකූලව සිදුවීමත් ඉටු වෙයි.

එවිට රටක් වශයෙන් උපයාගත් ධනය තමන් සතුව තිබේය කියන සතුට ඇතිවේ (අත්ථි සුඛය).
තම රට තුළ උපයාගත් ධනය පරිහරණය කිරීමෙන් සතුටට පත් වේ (භෝග සුඛය).
රට තුළ ගොඩනඟා ගත් ආර්ථිකමය පදනම මත අන් රටවලට ණය නොවී ජීවත් වීමේ සතුට භුක්ති විඳිය හැකිය (අනණ සුඛය).
යහපත් චර්යාවන් මත ගොඩ නඟා ගත් ආර්ථිකයක් ඇති නිසා එයද සතුටු විය හැකි කරුණක් බවට පත්වේ (අනවජජ සුඛය).
නිෂ්පාදනය කරන්නේ පරිභෝජනය සඳහාය. පරිභෝජනය තමන් සඳහාද, අන්‍යයන් සඳහා ද වන නිසා නිරතුරුවම අංශ 04ක් ගැන සැලකිලිමත් වීමට සිදුවේ.

 ධාර්මිකව එක්රැස් කිරීම හෙවත් නිෂ්පාදනය (ධම්මේන භෝගේ පරියේසති)
 පරිභෝජනය (අත්තානං සුඛේති පීණෙති)
 බෙදාහැරීම (සංවිභජති)
 පරිභෝජනය දැක්ම හෙවත් සිතුවිලි අකුසල් සහග නොවීම. (ලෝභ ද්වේශ මොහයෙන් තොර වීම.) (නිස්සරණ සඤ්‍ඤෝ පරිභුඤ්ජති)

මෙවැනි සමාජ සංවර්ධන ආර්ථික රටාවක් පවත්වාගෙන යාමේ දී අවශ්‍ය ණය ගැනීමට සිදුවනු ඇත. එසේ ණය ගැනීමේ කාර්යය සිදුකළ යුත්තේ කෙසේ ද යන්න බුදුන් වහන්සේ සාමඤ්ඤඵල සූත්‍ර දේශනාව තුළ මැනවින් පැහැදිලි කොට තිබේ.

puluwan

සාමඤ්ඤඵල සූත්‍ර දේශනාව පිළිබඳව රනිල් වික්‍රමසිංහගේ පුළුවන් ශ්‍රී ලංකා ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන්ව තිබිණි. නමුත් ඇතැම් විවේචකයන් මෙම සුත්‍රයෙහි මෙවැනි දෙයක් අඩංගුව නැති බව කියන්නට පෙළඹ තිබිණි. සත්‍ය කාරණය ඔවුන් මේ සුත්‍රය කියවා නැති බවය.

සෙය්‍යථාපි මහාරාජ පුරිසෝ ඉණං ආදාය කම්‌මන්‌තේ පයෝජෙය්‍ය. තස්‌ස තේ කම්‌මන්‌තා සමිජ්ඣෙය්‍යුං. සෝ යානි ච පෝරාණානි ඉණමූලානි තානි ච බ්‍යන්‌තීකරෙය්‍ය සියා චස්‌ස උත්‌තරිං අවසිට්‌ඨං දාරභරණාය. තස්‌ස ඒවමස්‌ස. අහං ඛෝ පුබ්‌බේ ඉණං ආදාය කම්‌මන්‌තේ පයෝජේසිං. තස්‌ස මේ තේ කම්‌මන්‌තා සමිජ්‌ක්‍ධිංසු. සෝහං යානි ච පෝරාණානි ඉණමූලානි තානි ච බ්‍යන්‌තිං අකාසිං අත්‌ථි ච මේ උත්‌තරිං අවසිට්‌ඨං දාරභරණායාති. සෝ තතෝනිදානං ලභේථ පාමොජ්‌ජං අධිගච්‌ඡෙය්‍ය සෝමනස්‌සං

පින්වත් මහාරාජ, එය මෙවැනි දෙයක්. පුරුෂයෙක් ණයක් අරගෙන කර්මාන්තයක යොදවනවා. ඔහුගේ ඒ ව්‍යාපාරය සාර්ථක වෙනවා. එතකොට ඔහු යම් පරණ මුල් ණයක් ඇද්ද, එය සම්පූර්ණයෙන්ම ගෙවලා දානවා. එයින් පසු ඔහුට අඹුදරුවන් පෝෂණය පිණිස ලාභයක් ඉතිරිත් වෙනවා. එතකොට ඔහුට මෙහෙම හිතෙනවා. “මං කලින් ණයක් අරගෙනයි ව්‍යාපාරයක යෙදෙව්වේ. ඒ මගේ ව්‍යාපාරය සාර්ථක වුනා. ඒ මං යම් පරණ මුල් ණයක් ඇද්ද එය සම්පූර්ණයෙන්ම ගෙව්වා. අඹුදරුවන් පෝෂණයටත් මට ආදායම ඉතිරි වුනා” කියලා. ඒ හේතුවෙන් ඔහු මහත් සතුටක් ලබනවා. මහත් සොම්නසක් ලබනවා.

puluwan 1

මෙහි පෙන්වා දී ඇත්තේ, සිය පරිභෝජනය සඳහා ණය ගැනීම නොව ආයෝජන අවස්ථා හෝ ව්‍යාපාරික කටයුතු වෙනුවෙන් ණය ගැනීම වඩා වැදගත් බවය.

මේ අනුව බුදුන් වහන්සේගේ දේශනා තුළ මැනවින් පැහැදිලි කොට ඇති කරුණු පෙළ ගැස්වීමක් සිදුකළහොත්,

මිනිසුන් ජීවිතය වින්දනය කළ යුතුය. (ලෞකිකව වගේම ආධ්‍යාත්මිකවත්)
 සිය ආදායම් වියදම් කළ යුත්තේ එදා වේල පිරිමසා ගැනීමට නොව අනාගතය වෙනුවෙන්ද යමක් තබාගෙනය.
 පාලකයා සමාජය තුළ සුරක්ෂිත කළ යුතු පුරවැසියා රැකගැනීම වෙනුවෙන් කටයුතු කළ යුතුය. (සදාකාලික සහනාධාර දීමක් නොව බුදුන් වදාල ආකාරයට ආර්ථික සංවර්ධන ගමනට හවුල්කාරී වන පිරිසට වගේම ඉලක්ක සහගතව සිය ස්වශක්තියෙන් නැගීසිටිය හැකිවන තුරු රැකගැනීම සිදුකළ යුතුය. )
 ණය ගැනීම පරිභෝජනය පිණිසම නොවිය යුතුය.

මේ අනුව ථේරවාද වෙළඳ ආර්ථිකය යන්නෙන් අදහස් කරනුයේ සමාජ වෙළඳපොළ ආර්ථිකයෙන් ඔබ්බට “සමාජ සුරක්ෂිතභාවය“ රජය වගේම සමාජය වගකීමක් කොටගත් ආර්ථික ක්‍රමවේදයකි. එය නීතියකට එහා ගිය සමාජ වගවීමකි.

Leave a comment

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us