පළමු කාරණය මේ කියන කිසිවක් හෝ ඉටු කිරීමට රජය ආදායම් සොයා ගන්නෙ කෙසේද? යන්න කිසිවක් පැහැදිලිව සඳහන් කර නැති වීමය. ඒ සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය ස්ථාවරය සදහන් කර නැත.
එම තත්වයන් යටතේ අනෙක් කාරණය නම් දැනට රාජ්‍ය ආදායම් මාර්ග ලෙස පවතින බදු ආදායම් කපා හැරීමක්ද මේ තුළ යෝජනා වී තිබීමය. එ් අනුව උපයන විට ආදායම් බදු සීමාව මාසිකව ලක්ෂයේ සිට ලක්ෂ දෙක දක්වා වැඩි කිරීමට යෝජනා කර ඇත. ඒ අනුව එක් ලක්ෂ විසිදහසක පමණ බදු ලිපි ගොනු වසා දැමීම සිදුවේ. නමුත් මෙහිදී අහිමි වන ආදායම් සපුරා ගන්නා ක්‍රමවේදය සදහන් කර නැත. දැනට උපයන විට ආදායම් බද්දෙන් ලක්ෂයේ සිට ලක්ෂ දෙක දක්වා වන සීමාව තුළ සපුරා ගන්නා බදු ආදායම මේ අනුව අහිමිවේ.
මෙම අහිමි වන ආදායම ලබා ගැනීමට, උපයන විට බදු ගෙවන අනෙක් පිරිසෙන් ඒ හිඟය අය කරගන්නේ නම් එම පිරිසගෙන් වැඩි බදු ප්‍රතිශතයක් අය කිරීමට සිදුවේ. එමෙන්ම ඊට අදාල බදු ප්‍රතිශතයන් මොනවාද යන්නත් සඳහනක් නැත. කෙසේ නමුත් අනුරගේ විසඳුම එයද යන්න පැහැදිලි නැත.
එමෙන්ම අධ්‍යාපනය, සෞඛ්‍ය සහ ආහාර මත පනව ඇති සියයට 18 වැට් බදු මුළුමනින්ම අහෝසි කරන බව සදහන් කර ඇත. නමුත් රජය එම කාණ්ඩ සඳහා වැට් බදු පැනවීමක් සිදු කර නොමැත. ඒ අනුව මෙය ජනප්‍රිය වීම වෙනුවෙන් කිව් ප්‍රලාපයක් පමණක් වේ.
කූමක් නමුත් තවත් බදු ලිහිල් කිරීම් කිහිපයක් ගැන ද සදහන් කර ඇති අතර මෙම ප්‍රකාශනය තුළ බදු ආදායම් වැඩි කර ගැනීම ගැන සදහන් වන්නේ, බදු පදනම පුළුල් කිරීම ගැනත් හිඟ බදු එකතුකර ගැනීමත් අනුව ඒ සපුරා ගන්නා බවය.
බදු පදනම පුළුල් කිරීම මේ වන විටත් ක්‍රමක්ර්මයෙන් වැඩි කරමින් ඇත. මෙතෙක් බදු ගෙවිය යුතු නමුත් බදු නොගෙවා සිටින කාණ්ඩ මේ සඳහා එකතු කරමින් පවතී. නමුත් මේ රජයේ ආදායම් මට්ටම් ඉහල දමා ගැනීම වෙනුවෙන් සැලකිය යුතු කාලයක් ගත වන සහ විරෝධතා වලට මුහුණ දෙමින් සිදු කිරීමට වන අපහසු කටයුත්තකි. ඒ අනුව බදු ලිහිල් කිරීමක් සිදු වන්නේ නම් මෙම බදු පදනම පුළුල් කර ගැනීමට සාපේක්ෂව විය යුතු දෙයකි.
එමෙන්ම ගෙන එන අනෙක් තර්කය වන, පැහැර හැර ඇති බදු ආදායම් එකතු කර ගැනීම මඟින්, බදු ලිහිල් කිරීමෙන් අහිමි වන ආදායම සපුරා ගත හැකි බවය. එ් අනුව වුවත් එම පැහැර හැරි බදු එකතු කර ගැනීමේ ප්‍රමාණය සලකා බැලීමෙන් අනතුරුව බදු ලිහිල් කරගැනීම විය යුතුය. නමුත් එලෙස හෝ කළමනාකරණයක් ගැන මේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සදහනක් නැත. එසේම මේ හිඟ බදු එකතුකර ගැනීම ද පහසු කාරණයක් නොවේ.
බදු ගෙවීම පැහැර හැර ඇති අයගෙන් හිඟ බදු එකතු කරගැනීම ඔළුවට පිස්තෝලය තබා කර ගත හැකි දෙයක් නොවන බව හෝ එම කණ්ඩායමට අවබෝධයක් නැති බවත් හැඟේ. මන්ද මේ හිඟ බදු අය කරගැනීම පිළිබඳ ගැටලු ගනනාවකට රජය මුහුණ දී ඇති නිසාය. රු. බිලියන 1000කට ආසන්න මෙම හිඟ බදු අතරින් වැඩි ප්‍රමාණයක් සම්බන්ධයෙන් අදාල බදු ගෙවන්නන් තමන්ට අසාධාරණක් වී ඇති බව පවසා අභියාචනා ඉදිරිපත් කිරීම සහ අධිකරණ ක්‍රියාමාර්ග ගෙන ඇත. මේ තාක් කාලයට හිඟ බදු ඇති සමස්ත පිරිස 4,500 ක් පමණ වේ. එය කාලාන්තරයක් තිස්සේ එකතුව ඇති ඇති ප්‍රමාණයකි. ඒ අතර සුරාබදු දෙපාර්තමේන්තුවේ හිඟ බදු ප්‍රමාණය රුපියල් බිලියන 7.9 කි. විපක්ෂ දේශපාලන වේදිකා මත පට්ට ගැසෙන්නේ මේ අය කර නොගත් සුරා බදු ගැන පමණය. ඒ තමන්ගේ දේශපාලනික වුවමණාවන් මතය. කෙසේ වෙතත් මේ අයගේ බදු අය කරගැනීම වෙනුවෙන් බලපත්‍ර අහෝසි කිරීම වැනි පියවරයන් ගත්තද ඒ සාර්ථක වී නැත. සුරා බදු පැහැර හැරි පිරිස් සියළු දෙනාම පාහේ ඒ සම්බන්ධයෙන් අධිකරණයට ගොස් ඇත.එ් අනුව අධිකරණ මඟින් දෙන තීන්දු ප්‍රකාරව එම බදු අය කර ගැනීම හෝ නොගැනීම සිදුවේ.
පවත්නා නීතිය අනුව බදු ගෙවන්නන්ට ඒ වෙනුවෙන් අභියාචනා කිරීමේ අවස්ථා ගනනාවක් තිබීම හා අධිකරණය හමුවට යෑමේ අයිතිය තිබීම තුළ මෙම බදු නඩු වසර දහය පහලොව ඇදෙන නඩු බවට ද පත්ව ඇත. ඒ අනුව අධිකරණය තුළ පවතින නඩුකරයන්ගේ අගය රු. බි. 650 ක් පමණ වේ. මේ අතර මෙම ගැටළුව විසඳා ගැනීමට පවතින නීතිය වෙනස් කර වසර 2ක වැනි කාලයක් තුළ මෙම බදු නඩු අවසන් කිරීමේ නීති ප්‍රතිසංස්කරණයක් සිදු කිරීමටද වත්මන් රජය මේ වන විට පියවර ගෙන ඇත.
එසේම තවත් පිරිසකගේ ව්‍යාපාර බංකොලොත් වී ඇත. ඒ බදු වෙනුවෙන් දේපොළ පවරා ගැනීමකට ගියත් බදු මුදල් ආවරණය කරගැනීමට තරම් දේපොළ වටිනාකම් සහිත නොවේ. තවත් පිරිසක් බදු ගෙවීමට එකඟව ඇත. එ් සඳහා කාලය ලබා ගැනීම සිදු කර ඇත. මේ වන විට ආදායම් බදු දෙපාර්තමේන්තුව බදු පැහැර හැර ඇති පිරිසෙන් 900 කගේ පමණ බැංකු ගිණුම් තහනම් කරමින් මෙම බදු අය කර ගැනීමේ උත්සාහයන්ද දරමින් තිබේ. සත්‍ය වශයෙන්ම බදු පැහැර හැර සැඟව සිටින ප්‍රමාණය ඉතා සුළු පිරිසක් මෙන්ම එම බදු අගයන්ද සුළු වේ. මේ අනුව මෙම හිඟ බදු අය කරගැනීම සිදු කළ හැකි හෝ ඒ සඳහා නිශ්චිත කාලයක් නිර්ණය කළ නොහැකිය. එම නිසා රටක ආර්ථිකය සම්බන්ධ තීරණ වලදී එම හිඟ බදු ගැන විශ්වාසය තබා තීන්දු තීරණ ගැනීම නොවිය යුතු අවදානම් සහගත මෝඩ තීරණයකි.
මේ අනුව අනුර කුමාර තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් පොරොන්දු වන වැඩ කන්දරාව සිදු කිරීමට තරම් රාජ්‍ය ආදායමක් උපයා නොගන්නා බව හා පවතින ආදායම් අහිමි කරගන්නා බව පැහැදිලිය.
මේ යෝජනා රජය මඟින් සිදු නොකෙරුවත් අන් ආකාරයකින් පෞද්ගලික ආයෝජකයන්ගෙන් හෝ සිදු කර ගන්න බව ද පැහැදිලි නොවේ. පෞද්ගලික අංශයෙ සහ විදේශ අයෝජන ගැන සඳහන් වෙතත්, නිශ්චිතවම එම ආයෝජන මේ කියන වැඩ වෙනුවෙන් යොදවනවාද යන්නත් පැහැදිලි නැත.
මේ අනුව රාජ්‍ය ආදායම, රාජ්‍ය ආයෝජන සහ පෞද්ගලික අංශයේ ආයෝජන ගැන පැහැදිලි ප්‍රතිපත්තියක් යෝජනා නොකරන කණ්ඩායමකට රටක් බාර දීමේ ආවදානමක් ඇත.
කෙසේ නමුත් මෙම ගැටලුව අනුරගේ පාලනය විසින් විසඳා ගනු ඇතැයි සිතුවත් මෙහි අලුතෙන් යෝජනා කර තිබෙන බොහෝ දේ ඔහුගේ වසර පහක ධුර කාලය තුළ සපුරා ගැනීමේ හැකියාවද ප්‍රශ්න සහගතය. ඒ බොහෝ යෝජනා දීර්ග කාලීන ව්‍යාපෘතීන්ය. එම යෝජනා අධ්‍යනය කර, සැලසුම සකස් කර, අනුමැතියන් ලබා, ප්‍රතිපාදන සපයාගෙන ආරම්භ කිරීමේ තීරණ ගැනීමටත් බොහෝ කාලයක් ගත වෙනු ඇත. නමුත් රට හමුවේ පෙන්වා දීමට උත්සහ ගෙන ඇත්තේ ඉතා කඩිනමින් වන සංවර්ධනයන් ලෙසය.
ඇතැම් විට වත්මන් රජය මේ වන විටත් ආරම්භ කර ඇති ව්‍යාපෘති නම් ඉදිරි පසු අවුරුදු කාලය තුළ අවසන් කර ගැනීමේ හැකියාවක් තිබිය හැකිය. අනුරගේ ඇතැම් යෝජනා රනිල් වික්‍රමසිංහ 2015 දී ආරම්භ කර හෝ යෝජනා කර මුලික පියවර තැබු ඒවා වේ. අනුරගේ අධ්‍යාපන ප්‍රතිපත්තිය තුළ 1981 දී රනිල් ඉදිරිපත් කළ අධ්‍යාපන ධවල පත්‍රිකාවේ යෝජනා කිහිපයක්ද අඩංගුව ඇත. 2003 යළි පුබුදමු ශ්‍රී ලංකා වැඩ සටහනේ යෝජනාවන්ද වේ.
කොහොම නමුත් පොදුවේ ගත් කළ අනුරගේ යෝජනා මාලාව යථාර්ථයක් වීමේ ඉඩ කඩක් නැති ප්‍රලාපයක් බව පැහැදිලිය. එමෙන්ම රටක බලය අත්පත් කර ගැනීමේ විශ්වාසය අනුරට සත්‍ය ලෙසම තිබෙනවා නම් මෙවැනි මනෝරාජික සිහින මවන්න තරම් ඔහු දේශපාලනික නොදරුවෙක් නොවන බවත් සඳහන් කළ යුතුය. මන්ද බොරු පොරොන්දු දේශපාලනය තවදුරටත් වලංගු නැතිවා සේම ජවිපෙ තමන් මෙතුවක් කල් ගොඩ නඟ ගත් දේශපාලන ප්‍රතිරූමය මුළුමනින්ම බිඳ වැටීමට ලක් වන නිසාය. මෙවැනි ප්‍රකාශන අවශ්‍ය වන්නේ තමන්ගේ උන්නතිකාමී පාක්ෂිකයා තවදුරටත් තමන් කෙරෙහි ඇඳබැඳ තබා ගැනීම වෙනුවෙන් පමණකි. ඒ අනුව පැහැදිලිම කතාව තමන්ට බලය නොලැබෙන බව දැනගෙන මේ සිහින මවන බවය.
- භාෂණ වීරතුංග