එසේම මේ රටේ බහුතරයක් දෙනා දූෂණයෙන් තොර රටක් පැවතිය හැකි බව විශ්වාස කරයි. රටක දූෂණය නැති කළ හැකි බව විශ්වාස කරයි. එසේම රටක දූෂණය නැති කළ විට රට දියුණු වේ යැයි දැඩිව විශ්වාස කරයි. මේ නිසා දුෂණ විරෝධී සටන් පාඨයට හැමදාම ජනප්‍රියත්වයක් තිබේ.
වර්තමාන දේශපාලනය තුළත් මේ දූෂණ විරෝධය ජනප්‍රිය මාතෘකාවකි. මේ වන විට ජනාධිපතිවරණය වේදිකා හමුවේත් මේ දූෂණ විරෝධය ජනප්‍රිය මාතෘකාවකි ඇතැම් දේශපාලන පක්ෂ බලය ඉල්ලන්නෙම දුෂණය අහෝසි කිරීමටය. අරූ හොරා මූ හොරා කියමින් මේ හොරුන්ගෙන් තොර ආණ්ඩුවක් බිහි කර ගැනීමට වරම් ඉල්ලති. තමන් ගොඩනගන ආණ්ඩුවේ හෝ එම පාලන සමය තුළ දූෂණ කිසිවක් සිදු නොවන බවටත් සහතික ලබා දෙයි.
මෙතනදී අවධාරණය කළ යුතු කරුණ නම් මේ බොහෝ අය දූෂණය කියන්නේ බලයේ සිටින දේශපාලකයන් විසින් සිදු කරන හොරකම් වංචා ආදියට පමණක් වීමය. පසුගිය කාලයේ එය මීට වඩා පුළුල් වී 225 ම හොරු බවට ද සමාජ මතයක් නිර්මාණය වී තිබිණි. නමුත් දූෂණය යන්නෙත් අදහස් වන්නේ දේශපාලකයා විසින් සිදුකරන දෑ පමණක් නොවේ. එය ඊට වඩා පුළුල් වපසරියක් ආවරණය කරන්නකි.
කෙසේ නමුත් ඇත්තම කතාව ලෝකයේ කිසිදු රටක දුෂණ වංචා හොරකම් ආදිය මුළුමනින්ම වලක්වා ගැනීමට සමත්ව නැති බවය. සෑම රටකම දුෂණය අඩු වැඩි වශයෙන් එ් ඒ මට්ටම වලින් සිදු වේ. ඇත්ත එයය. නමුත් මෙය වලක්වා ගැනීමේ හෝ සීමා කිරීම වෙනුවෙන් දැඩි නීති රීති හා ක්‍රමවේද සකසා, ඒවා යාවත්කාලීන කිරීම සිදු කරන ප්‍රමාණය අනුව දුෂණය අවමකර ගැනීමට සමත්කම් පාන රටවල් ඇත.
දූෂිතයන් කවුද ?
ලංකාව හමුවෙත් ඇති අභියෝගය වූයේ දුෂණය අවම කිරීම වෙනුවෙන් ගන්නා පියවරයන් සම්බන්ධයෙනි. විශේෂයෙන්ම දුෂණ චෝදනා එල්ල වන්නේ දේශපාලකයන් ඉලක්ක කරගෙන නමුත් මේ දුෂණකාරී සිදුවීම් කෙරෙහි රාජ්‍ය නිලධාරී තන්ත්‍රයේ දායකත්වයද සිතනවාට වඩා බරපතලය. දේශපාලකයන් දුෂණයේ යෙදීම සිදු වන්නෙත් ඊට රාජ්‍ය නිලධාරීන්ගෙන් ලැබෙන සහයෝගය නිසාය. එසේ නොමැතිව ඔවුන්ට පෑනක් කොලයක් හොරකම් කරනවාට වඩා දෙයක් කළ නොහැකි තරම්ය. ඒ අතර රාජ්‍ය සේවකයා, තම කාර්යාලයෙන් හොරකම් කරන පෑනත් කොළයත් වැටෙන්නේ දූෂණ ගනයටය. තමන්ගේ පෞද්ගලික අවශ්‍යතාවයකට කාර්යාලයේ දේපොළ පාවිච්චි කිරීමත් දුෂණයකි. පොටෝ කොපියක් ගසා ගත්තත් එය දූෂණයකි. වැඩ නොකර අතිකාල පැයක් දෙකක් දමා පොත අත්සන් කිරීමත් දූෂණයක්ය. 14 ලක්ෂයක් වන රාජ්‍ය සේවකයන් අතරින් මෙවැනි හෝ දූෂණයක නොයෙදෙන්නෙක් ඇති නම් ඒ ඉතා සුළු පිරිසකි. මේ නිසා සත්‍ය ගනනයක් කළහොත් දේශපාලකයාට වඩා සිය දහස් ගුණයකින් රාජ්‍ය සේවකයා මේ රටේ දූෂණයට වගකිව යුතු බව අනාවරණය වනවාට සැක නැත.
මේ අනුව තවත් පැහැදිලි සත්‍යයක් නම් රටක රාජ්‍ය යාන්ත්‍රණය විශාල වන තරමට දුෂණ වංචා හොරකම් නාස්තිය, අකාර්යක්ෂමතා බහුල වන බවය. ලංකාව අද මුහුණ දී ඇති දුෂිත තත්වයන්ට රාජ්‍ය යාන්ත්‍රයේ විශාලත්වය සහ දුෂිත නිලධාරීන්ගේ සහභාගිත්වය විශාල බලපෑමක් කර තිබෙන බව කිසිවකුට ප්‍රතික්ෂේප කළ නොහැක. මේ වලක්වා ගැනීම වෙනුවෙන් කාලයෙන් කාලයට නීති රීති පැනවීම් ආදියද සිදු තිබෙන නමුත් රාජ්‍ය යාන්ත්‍රණය තුළ ආවේනිකව පවතින දූෂිත සංස්කෘතිය වෙනස් කිරීමේ හැකියාව සීමා වී ඇත. ඇතැම් විට මේ නීති පැනවීම් ක්‍රමවේද හඳුන්වා දීම් වලට එරෙහිව මේ රාජ්‍ය සේවකයන් වෘත්තීය ක්‍රියාමාර්ග ගනිමින් ඒ කඩා කප්පල් කළ අවස්ථාද බහුලය. බොහෝ රාජ්‍ය වෘත්තීය සමිති මේ දූෂිත යාන්ත්‍රණය වෙනස් කිරීමට ඉඩ නොදේ.
කොහොම නමුත් රාජ්‍ය සේවය තුළින් දුෂණය වැලක්වීම සිදු වන්නේ නම් දේශපාලකයන්ට රුපියලක්වත් හොරකම් කිරීමේ හැකියාක් ලැබෙන්නේ නැත. රජයේ මුල්‍ය ගනුදෙනු සියල්ලට වගකිව යුත්තේ එම ගනුදෙනු සම්බන්ධයෙන් වගකීම භාර නිලධාරීන් මිසක දේශපාලකයන් නොවේ. දේශපාලයකු දුෂණයකට සම්බන්ධ වේ නම් අනිවාර්යෙන්ම ඒ සඳහා අවම වශයෙන් රාජ්‍ය නිලධාරීන් සිව් දෙනෙකුගේවත් සෘජු සහයෝගය තිබිය යුතු බව මෙරට රාජ්‍ය යාන්ත්‍රණයේ ක්‍රමවේද හා පිළිවෙල සකසා තිබෙන ආකාරය අනුව පැහැදිලි වේ.
පාලකයෝ හොරු
කොහොම නමුත් මෙරට දුෂණ වංචා වලක්වා ගැනීම හෝ සීමා කිරීම වෙනුවෙන් දන්නා කාලයේ සිට විවිධ අණපනත් රෙගුලාසි ආදිය ක්‍රියාත්මක විය. නමුත් ඒ නිති රීති අතරෙනුත් රිංගා ගොස් දුෂණයෙ හි යෙදීමේ දක්ෂයෝද සිටිති.
මේ නිසා නිති රීති ආදිය යාවත්කාලීන කරමින් මේ දුෂණ සිදුවීමට ඇති ඉඩ කඩ අහුරාලීම වෙනුවෙන් නව නීති රීති පැනවීම් ද සෑම කාලයක දීම සිදුවත් තිබේ. එමෙන්ම යම් යම් දේශපාලකයන් විසින් දුෂණයන් සිදු කිරීම වෙනුවෙන් රටේ නීති රීති වෙනස් කරමින් කටයුතු කළ අවස්ථාවන්ද සිදුව තිබේ. දූෂණයට එරෙහිව රටේ මහජනතාවගේ අවංක වුවමණාවක් තිබේ නම් මේ තත්වයන් වුව වලක්වා ගැනීමට හැකිය. නමුත් බහුතරයක් මහජනතාවත් තමන්ගේ පෞද්ගලික වුවමණාවන් වෙනුවෙන් හෝ මේ දූෂිත රාජ්‍ය යාන්ත්‍රණය පාවිච්චි කරන බවත් ප්‍රතික්ෂේප කළ නොහැකි ඇත්තකි. රාජ්‍ය සේවකයකුට ජරාවක් නො දී වැඩක් කර ගත් අය නැති තරම්ය.
මෙරට ඉතිහාසය තුල රාජ්‍ය අංශයේ දූෂණ වැලැක්වීම වෙනුවෙන් වඩාත්ම බරපතල නීති පැනවීමක් සිදු කරනු ලැබ ඇත්තේ මේ ගෙවුණු වසර දෙක තුළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාලන කාලය තුළය. එසේම දුෂණය වලක්වාලීම මෙන්ම දුෂණ චෝදනා එල්ල වූ දේශපාලනඥයින්ට හා රාජ්‍ය සේවකයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වීමද මේ කාලවකවනුවේ සිදුව තිබීමත් දකින්න ලැබී තිබේ.
නමුත් ඉතිහාසය තුළ දේශපාලන මැදිහත් වීම් මත නැතිනම් දේශපාලන බලය මත දේශපාලකයන් බොහෝ අවස්ථාවල දුෂණ චෝදනාවන්ගෙන් ගැලවී සිටීමට සමත්ව තිබිණි. විමර්ශකයන්ට හෝ ඇතැම් විට අධිකරණයට හෝ බලපෑම් සිදු කරමින් චෝදනාවලින් ගැලවුණු අවස්ථා ගැනද වාර්තා වී ඇත. මේ නිසා වත්මන් පාලනය දූෂණ විරෝධී කවර පියවරක් ගත්තත් විපක්ෂ දේශපාලන කණ්ඩායම් විසින් ගෙන යන ප්‍රචාරයන් හමුවේ රජයේ ක්‍රියාමාර්ග විශ්වාස කිරීමේ මැලිකමක් පුරවැසියා තුළත් පවතී.
රනිල් මොනවද කළේ?
කොහොම නමුත් අද වත්මන් ජනාධිපතිවරයා විසින් මෙරට ඉතිහාසය තුළ දුෂණ වැලැක්වීම වෙනුවෙන් වූ වඩාත්ම දැඩි නීති රීති හඳුන්වා දීම සිදු කර තිබේ. විශේෂයෙන්ම 'දුෂණ විරෝධී පනත' ඉන් සුවිශේෂීය. මෙය මේ වන විට ලෝකයේ ඇති බලගතුම නීති පැනවීමක් ලෙස සැලකේ. මෙම පනත සැකසීමට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල, එක්සත් ජාතින්ගේ සංවිධානය වැනි ආයතන වල දායකත්වය හිමිව තිබිණි. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ගිවිසුමට ද මේ ඇතුලත්ව තිබිණි. මේ ජාත්‍යන්තර මැදිහත් වීම සිදු වන්නේ මේ රටේ දේශපාලකයන්ගේ හොරා කෑම වැලැක්වීම කියන පටු අදහසින් නොවේ. අති විශාල රාජ්‍ය අංශයක් නඩත්තු කිරීම සහ රාජ්‍ය අංශයේ කළමණාකරණය විධිමත් නොවීම තුළ සිදු වන සුවිශාල දුෂණය නාස්තිය ඇතුළු සමස්තය ගැන සලකා බැලීම අනුවය. රාජ්‍ය ආදායමට වඩා වියදම් වැඩි වීම කෙරෙහි මේ දුෂණ තත්වයන් බලපා තිබිණි.
මේ වන විට දූෂණ විරෝධී පනත ප්‍රකාරව සිදු විය යුතු වෙනස් කම් සිදු වෙමින් තිබේ. එ් සඳහා ද ජාත්‍යන්තර මැදිහත් වීමක් සිදු වෙමින් තිබේ. මෙම පනත මඟින් පිහිටුවනු ලැබු නව අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසම, මින් පෙර පැවැති කොමිසමට වඩා ස්වාධීනත්වයක් සහ බලතල සහිත පුළුල් වපසරියක් ආවරණය කරන ක්‍රියාකාරිත්වයකින් යුතු එකකි.
මේ අනුව දුෂණ විරෝධී පනත යටතේ ගෙන තිබෙන පියවරයන් ඉදිරියේදී ක්‍රියාත්මක වීම මඟින් දුෂණ වංචා ආදියෙහි පාලනයක් සහ වරදකරුවන්ට එරෙහිව නිත්‍යනුකූල පියවරයන් ගැනීම වඩා සක්‍රීයව සිදු වෙනු ඇතැයි කල්පනා කළ හැකිය. එමෙන්ම ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහය ලැබීම අඛන්ඩව සිදු වීමටත් රජයේ දුෂණ සිදුවීමට ඇති ඉඩකඩ ඇහිරීමත් ප්‍රමුඛ කොන්දේසියක් වන නිසා මෙම නීති වඩා සක්‍රීයව ක්‍රියාත්මක වීම ගැන විශ්වාසයත් තැබිය හැකිය.
එසේම රාජ්‍ය අංශයේ මුල්‍ය හැසිරවීම ගැන පැවැති නීති රීති රැසක් වෙනස් කරමින් නව නීති පැනවීම මඟින්ද දූෂණය සඳහා ඇති ඉඩකඩ තවදුරටත් අවම කිරීම සිදු විය. විශේෂයෙන්ම 'රාජ්‍ය මුල්‍ය කලමනාකරණ පනත', 'රාජ්‍ය ණය කලමනාකරණ පනත', 'රාජ්‍ය වත්කම් කලමනාකරණය පිළිබඳ පනත' ආදී නව නීති පැනවීම් හරහා රජයේ ආදායම් වියදම් සහ වත්කම් සම්බන්ධයෙන් වඩා නිවැරදි සහ විනිවිද භාවයෙන් යුතුව කටයුතු කිරීමට රාජ්‍ය නිලධාරීන්ටත් දේශපාලන අධිකාරියටත් සිදුවෙනු ඇත. එමෙන්ම 'ආර්ථික පරිවර්තන පනත' මඟින් ලබා දී ඇති ඉලක්ක සම්පූර්ණ කිරීම රටේ නීතියක් බවට පත් වීමත් ඒ ඉලක්ක වෙත යෑම, අදාල වගකීම් දරණ අමාත්‍යංශ වලටත් පැවැරීම නිසා පෙර කාල වල මෙන් දේශපාලකයන්ට හිතුමතේ කටයුතු කළ නොහැක.
මේ ලෙසම තවත් මතක කළ යුතු දෙයක් නම් මෙවර ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ නව ්මැතිවරණ වියදම් නියාමන පනත්' යටතේය. මැතිවරණ මෙහෙයුම් වෙනුවෙන් අපේක්ෂකයන්ගේ වියදම් සඳහා සීමාවක් මෙන්ම එම මුදල් ලැබුණු ආකාරය හෙළිදරව් කිරීම අනිවාර්ය කිරීම තුළින් ද දුෂණයන් සිදුවීමේ ඉඩකඩ තවදුරත් ඇහිරීමට රුකුලක් වී ඇත. සාමාන්‍යයෙන් මැතිවරණ සඳහා වියදම් කරන පාර්ශ්ව, එම වියදම් කිරීමට සාපේක්ෂව ඉන් හත් අට ගුණයකවත් ලාබයක් බලපොරොත්තුවෙන් එය සිදු කරන බව නොරහසකි. ඒ අනුව බලයට පත්වන පක්ෂයකට තමන් දුන් පොරොන්දු අනුව ඔවුන්ට ලාබයක් උපයා දීමට රජයේ මුදල්, දේපොළ වත්කම් පාවිච්චි කිරීමට සිදුවේ. ටෙන්ඩර්, කොමිස්, කොන්ත්‍රාත් ආදිය නිති විරෝධීව ලබා දීම ආදි අකටයුතුකම් සිදු වෙයි. නව මැතිවරණ පනත නිසා එ් සඳහා ඇති අවස්ථාවන් සීමා වී ඇත. එසේම මෙවර ජනාධිපති අපේක්ෂකයන්ට සිය වත්කම් බැරකම් හෙළිදරව් කිරීමට ද සිදු විය. මෙම නව නීති ප්‍රතිපාදනයන් මඟින් පැවැති නීතිය තවදුරටත් දැඩි කරමින් 'දුෂණ විරෝධී පනත'ට එකතු කර ඇත. මෙයද වංචා දූෂණ වීමට ඇති ඉඩකඩ ඇහිරීමක් වේ.
මේ අතර රාජ්‍ය ආයතන වල ආදායම් වියදම් සම්බන්ධයෙන් හැම රුපියලකටම වගකියන ක්‍රමවේදයක්ද මේ වන විට අමාත්‍යංශ 10 ක නියමු ව්‍යපෘතියක් ලෙසින් සිදු කරමින් පවතින අතර එය සාර්ථක වී ඇති අතර ඒ අනුව අනෙක් සියළුම රාජ්‍ය ආයතනයන් වලටද මෙම ක්‍රමවේදය හඳුන්වා දීමට පියවර ගනිමින් ඇත.
මේ අනුව මෙම දෙවසර තුළ ගත් ක්‍රියාමාර්ග නිසා රාජ්‍ය අංශයේ දුෂණ වංචා අකාර්යක්ෂමතා විශාල ප්‍රමාණයකින් වලක්වා ගැනීමට හැකිව තිබේ. වැදගත්ම දේ දූෂණ චෝදනා සම්බන්ධයෙන් නීතිය නියමාකාරයෙන් ක්‍රියාත්මක වීමය. මේ තත්වයන් යටතේ මෙතුවක් කල් පාඩු ලබමින් තිබු රාජ්‍ය ආයතන ගනනාවක් ලාබ ලැබීම ද වාර්තා වී තිබිණි. රජයේ වියදම්, ආදායම ඉකමවා යන ලෙස පාලනය කර ගැනීමට සමත්ව තිබේ. රජයේ ප්‍රාථමික ගිණුමේ ශේෂයක් පවතින්නේ ඒ නිසාය.
මේ සියල්ල මෙම දෙවසර තුළ ජනාධිපති රනිල් යටතේ වූ පාලනයේ ප්‍රතිඵලය. මෙම කාලය තුළ දුෂණ ක්‍රියා සඳහා දේශපාලන අධිකාරියේ අනුග්‍රහයක් ලැබී තිබු බවට චෝදනා එල්ල කිරීමේ හැකියාවක් විපක්ෂයට නැත. එවැනි චෝදනාවක් නගන්නේ නම් ඊට එරෙහිව පවතින නීති රීති යටතේ කටයුතු කිරීමේ හැකියාව සම්පූර්ණයෙන්ම විවෘත්තව තිබේ. ආණ්ඩුව වෙතින් කිසිදු බාධාකිරීමක් සිදුව නොමැති අතර එම නීතිමය ක්‍රියා මාර්ග නිසි පරිදි සිදුවේ. අධිකරණයට ස්වාධීනව කටයුතු කිරීමේ නිදහස සහතික කර ඇත.
එසේම මෙරටින් සොරකම් කර විදේශයන්ගේ සඟවා ඇතැයි කියන ධනය යළි රටට අත්පත් කර ගැනීම වෙනුවෙන් වන නව නීති පද්ධතියක් කෙටුම්පත් කිරීම ද මේ වන විට සිදු වෙමින් ඇත. මෙතෙක් එවැනි නීති ප්‍රතිපාදන මෙරට තිබුණේ නැත. මේ සඳහා වන ජාත්‍යන්තර සංවිධාන සමඟ සම්බන්ධ වෙමින් මෙම කටයුත්ත සිදු වෙමින් පවතී. 'මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත' ද සංශෝධනය කිරීමට පියවර ගෙන ඇත.
ජනාධිපති වික්‍රමසිංහ මේ දෙවසර තුළ පමණක් නොව මීට පෙර අවස්ථා ගනනාවකදිත් දුෂණ පිටු දැකීම වෙනුවෙන් ගත් පියවරයන් රැසක් තිබේ. ඔහු ගෙන ආ 'ස්වාධීන කොමිසම් සභා' ක්‍රමය ද දුෂණය වැලැක්වීමට සහය වන්නෙකි. දේශපාලකයන්ගේ හිතුවක්කාරකම් අනුව වැඩ කිරීමට ඇති හැකියාව මෙම ස්වාධීන කොමිසම් සභා ක්ර්මය නිසා අවහිර විය. එසේම 'තොරතුරු දැන ගැනීමේ පනත' ද ඔහුගේ මැදිහත් වීමෙන් සිදු වූවකි. රජයේ ගනුදෙනු මේ අනුව පුරවැසියාට විමසා දැන ගත හැකිය. මෙම පනත ද දැනට ලෝකයෙ තිබෙන ශක්තිමත්ම පනත් වලින් එකකි.
පාර්ලිමේන්තු 'ආංශික කාරකසභා ක්ර්මය' ද ජනපති රනිල්ගේ වැඩක් වන අතර. ඒ හරහා රජයේ සෑම ගනුදෙනුවක්ම ව්‍යාපෘතියක්ම පාර්ලිමේන්තුවට විමසා බැලීමේ හැකියාව සහ වැරදි අඩුපාඩු හමුවේ නිර්දේශ ඉදිරිපත් කිරීමද සිදු කළ හැකිය.
රනිල්ට ඇති චෝදනා
ජනාධිපති රනිල්ට මේ මොහොතේ ඇති චෝදනාවක් වන්නේ දුෂිතයන් යැයි හංවඩු ගැසුන වුන් සමඟ ආණ්ඩු කරනවාය යන්නය. ජනාධිපතිවරයාට ආණ්ඩු කරන්න වන්නේ මෙරට ජනතාව විසින් වැඩිම මනාපයෙන් පත් කර එව් පාර්ලිමේන්තු නියෝජිතයන් සමඟය. ඔවුන් සියළු දෙනා දූෂිතයන් නම් එ් දූෂිතයන් සමඟ වැඩ කිරීමට සිදුවේ. තමන් දූෂිතයන් නොවන බවට සහතික දෙන කිසිවකුත් ජනපතිට සහ නොදෙයි නම් ඔහු හමුවෙ ඇති එකම විකල්පය දුෂිතයන් සමග හෝ මේ රට ගොඩදැමීම සිදු කළ යුතු වීමය. මේ ගෙවුනු වසර දෙක තුළ ජනාධිපති රනිල් මේ කියන අය සමග ආණ්ඩුව නොකරන්න මේ රට තවම බංකොළොත්ය. එමෙන්ම කිසිදු දුෂණයක් නොවීමටත් එවැන්නක් සිදු වුනා නම් එයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමත් කටයුතු සිදු කර තිබේ. දේශපාලන බලය යොදා ගනිමින් කිසිවකුත් බේරා ගැනීමට කටයුතු කර නොමැත.
ජනපති රනිල්ට ඇති අනෙක් චෝදනාවක් වන්නේ මහ බැංකු බැඳුම්කරයෙන් වංචා කළාය යන්නය. නමුත් සත්‍ය කාරණය විපක්ෂය වේදිකා මත එවැනි චෝදනා කළද සත්‍ය ලෙසම ඔහුට එරෙහිව එවැනි චෝදනාවක් නැත. මේ චෝදනාව බරපතලව සිදු කරන ජනතා විමුක්ති පෙරමුණ වන නමුත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්තිගේ සභාපතිත්වයෙන් යුතු කෝප් කමිටුව මේ බැඳුම්කර පිළිබඳ විමර්ශනයේ දී එවකට අගමැති රනිල්ව නිදහස් කර තිබිණි. ඒ නිසා එතැනින් එහාට ඒ ගැන කතා කරන්න දෙයක් නැත.
රාජපක්ෂලා ආරක්ෂා කිරීමට රනිල් කටයුතු කළා යැයිද මේ දින වල පවතින් චෝදනාවකි. නමුත් මහින්ද රාජපක්ෂ යුගයේදී සිදුව ඇතියි කියන දුෂණ සම්බන්ධයෙන් යහපාලන යුගයේ දි අවශ්‍ය නෛතික පියවරයන්ගනු ලැබීය. ඒ වෙනුවෙන්ම දුෂණ මර්දන ලේකම් කාර්යාලයක්, මුල්‍ය පොලිස් ඒකකයක්, ත්‍රි පුද්ගල මහාධිකරණයක් පිහිටුවනු ලැබීය. නඩු පැවැරීම් විශාල ප්‍රමාණයක් සිදු කර තිබිණි. එම නඩු විභාගයන් අඛන්ඩව සිදු වු නමුදු ආණ්ඩු පාලනය වෙනස් වීමෙන් ඒ සියල්ල වලකනු ලැබිණි. එයට රනිල් වගකිව යුතු නැත. එමෙන්ම මෙම නඩු නැවත පැනවීම වෙනුවෙන් ඇති අවස්ථා සොයා බලා ක්‍රියා මාර්ග ගැනීමටත් පියවරය ගන්නා බවත් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම ද පවසා තිබිණි.
තව මොනවද කරන්න තියෙන්නේ ?
කෙසේ නමුත් දුෂණයෙන් තොර රටක් හදනවා කියන අය මේ වෙනුවෙන් තවත් කරන්නේ මොනවාද යන්න පවසනවා නම් මේ සාකච්ඡාව ඉදිරියට ගෙන යාමට පහසුය. අපි ආවොත් කරලා පෙන්වනවා කියන්නේ මොනවාද? පවතින නීති තවත් දැඩි කරනවාද? ඒ මොනවාද? නැතිනම් රටේ පවතින නීතියට පිටින් ගොස් චෝදනා ලැබුවන්ට දඩුවම් කරනවාද ?
තමන්ගේ පාලන සමය තුළ රාජ්‍ය අංශයේ නිලධාරීන් වෙතින් කිසිදු හොරකමක් වංචාවක් දූෂණයක් සිදු නොවෙනවා කියා සහතික කරනවාද? තමන්ගේ මැති ඇමැතිවරු වෙතින් කිසිදු හොරකමක් වංචාවක් දූෂණයක් නොවෙනවා යැයි සහතිකයක් දිය හැකිද? මේ ආදි දේ ගැන මේ අය පැහැදිලි නිශ්චිත කරුණු දැක්වීමක් කළ යුතුය.
-Sj