කෙසේ නමුත් මේ දක්වා සෑම ජනාධිපතිවරණයක දී ම ප්‍රධාන සටන් පාඨයක් බවට 'විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම' පත් විය. විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්නේමැයි කියමින් බලයට පත් වුවන්ද සිටී. චන්ද්‍රිකා බණ්ඩාරනායක, මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන එ් අතර සිටි ජනාධිපතිවරුන්ය. යම් තරමකින් හෝ තමන් දුන් පොරොන්දුවට සාධාරණයක් කළේ මෛත්‍රීපාල සිරිසේනයි. එයත් ඔහුගේ ධුර කාලයෙන් පසුව එම බලතල අඩු වෙන ආකාරයටය. ධුරයේ සිටියදී ජනාධිපති බලය අවම කර ගත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ පමණි. මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ තමන්ගේ බලතව වැඩි කර ගැනීමට කටයුතු කළේය.
මෙවර ජනාධිපතිවරණයේ දිත් විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම ගැන පොරොන්දුව සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර විසින් මේ වන විටත් ලබා දී ඇත. නමුත් 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ සාකච්ඡාව ආණ්ඩුව ඉදිරියට ගත් මොහොතේ මේ දෙදෙනාම විධායකය අහෝසි කීරීමට බලවත් සේ විරුද්ධ විය. ඒ එළැඹෙන ජනාධිපතිවරණය ගැන අපේක්ෂා සහිතව බව පැහැදිලිය. එ් මොහොතේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට ආණ්ඩුව ගත් උත්සාහයට විරුද්ධ වූයේ තමන්ටත් මේ විධායක ජනාධිපති ධුරයේ බලය අත් විඳීමට තිබෙන බලවත් කැමැත්ත නිසාය. නැතිනම් බල පෙරේත කම නිසාය. සජිත් අනුර දැන් මෙය අහෝසි කරන බවට පොරොන්දු දෙන්නෙත් තමන් එම තනතුරට පත් වීමෙන් පසුව එය සිදු කරන බව කියමිනි.
නමුත් ලංකාවේ දේශපාලන යථාර්ථයය අනුව මෙම විධායක බලයක් සහිත ධුරය අහෝසි කිරීමට ධුරය හොබවමින් සිටිය දී කැමැත්තක් පහළ නොවේ. තමන්ගේ බලය අත් හැරීමට ලංකාවේ දේශපාලන ඉතිහාසය තුළ කර පෙන්වූ එකම නායකයා රනිල් පමණි. ස්වාධීන කොමිසන් සභා ක්‍රමය, 19 වෙනි සහ 21 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන එ්ම, ව්‍යවස්ථා දායක සභාව පිහිටුවීම ,ආංශික සභා ක්‍රමය ගෙන එම මඟින් විධායකයේ බලතල සීමා කළේ රනිල් වික්‍රමසිංහය. 13 වෙනි සංශෝධනය මුළුමනිනම් ක්‍රියාත්මක කර බලය බෙදාහැරීමට එකඟව සිටින්නෙත් රනිල් පමණි.
නමුත් දේශපාලන බලය තව දුරටත් තමන් අත තබා ගනිමින් බල වුවමණාවන් මත කටයුතු කරන කිසිවකුත් මේ සීමා කිරීම් වලට එකඟ වුයේ නැත. සජිත්ලා අනුරලා බලය අත්පත් කරගන්නේ ඒ අත් හැරීමට නොවේ. මම ආවොත් අරක කරනවා මේක කරනවා යනුවෙන් බෙරිහන් දෙන තරමට මේ අයට විධායක බලය නොමැතිව මේ කියන කිසිවක් කිරීමේ හැකියාවක්ද නැත.
පාර්ලිමේන්තුවට බලය පැවැරීමේ අවංක වුවමණාවකින් පෙළෙනවා නම් විධායකය අහෝසි කිරීම වෙනුවෙන් මේ අයට පසුගිය කාල වකවානුවේදීත් කටයුතු කළ හැකිව තිබිය යුතු විය. ජනාධිපති වික්‍රමසිංහ ඒ සඳහා කැමැත්ත පළ කළ විට සහය දිය යුතු විය. එසේත් නැතිනම් ඒ වෙනුවෙන් පෙළඹවීම, බලපෑම් කිරීම කළ යුතු විය. නමුත් එලෙස සිදු වූයේ නැත.
මෙතැන ඇත්තේ බලයට ඇති කෑදරකමය. විධායකය රස විදීමට ඇති ආසාවය. මේ අනුව කිසිසේත්ම සජිත්ලා අනුරලා විධායකය අහෝසි කිරීමට කටයුතු නොකරනු ඇත. එසේම විධායකය අහෝසි කිරීම යනු ලෙහෙසියෙන් කළ හැකි දෙයක් ද නොවේ. එ් වෙනුවෙන් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දය සහ ජනමත විචාරණයකින් අනුමත වීමද විය යුතුය. එසේම විධායක තනතුර සමඟ බැඳුන අනෙක් ව්‍යවස්ථාමය ප්‍රතිපාදනයන් වෙනස් කළ යුතුය. විශේෂයෙන්ම 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පළාත් සභා ක්‍රියාත්මක වීම ගැන ගැටලු පැන නගී. ඒ සියල්ල විසඳිය යුතුය. එසේම අනෙක් අණ පනත් රැසක්ද එ් අනුව සංශෝධනය විය යුතුය. මෙය සරළ කාරණයක් නොවේ. මේ අනුව මෙය අහෝසි කිරීමට ගන්නා පියවර දීර්ග කාලීනය.මේ දීර්ග කාලය සජිත්ලාගේ අනුරලාගේ ජනාධිපති ධුර කාලය ඉක්මවා යෑමට පෙර සිදු කිරීම ගැන විශ්වාසය තැබිය නොහැක. මන්ද ඔවුන්ගේ පැවැත්ම පවතින්නෙත් මෙම ධුරය මත පමණක් වන නිසාය. නාම මාත්‍රික බලය හොබවන්නෙක් ලෙස ඔවුන්ට දේශපාලනික පැවැත්මක් නැත. මේ අය දේශපාලනය කරන්නේ එය අතර මඟ අත් හැරීමට නොවේ. තවත් බොහෝ කාලයක් මෙහි විරාජමානව රැදීම බලාපොරොත්තුවෙනි. දෙවන වර ද යළි ධුරය අත්පත් කර ගැනීම අපේක්ෂාව වෙයි. මේ නිසා ජනාධිපති ධුරයේ විධායක බලතල අහෝසි කිරීමට සජිත්ට පිස්සු නැත. අනුරට මඤඤං නැත.
එහෙත් මෙම ධුරය අහෝසි කරනවා නම් එ් සඳහා වැඩිම හැකියාව ඇත්තේ ජනාධිපති රනිල්ටය. මෙම ධුරය අහෝසි කළ යුතු බව ඔහු පවසන්නේ දැන් සෑහෙන කාලයක් සිටය. පාර්ලිමේන්තු ක්‍රමය ශක්තිමත් කිරීම වෙනුවෙන් ඔහු නිරන්තරයෙන්ම පෙනී සිටිය අතර එ් වෙනුවෙන් පවතින ව්‍යවස්ථාමය නීති රීති ප්‍රකාරව කටයුතු කිරීමද සිදුකර ඇත.
එසේම වැදගත්ම දේ ඔහුට තවදුරටත් පක්ෂ දේශපාලනයේ හෝ පෞද්ගලික වුවමණාවන් මත රැදී සිටිමින් ලබන්නට තවත් ජයග්‍රහණයක් නොමැති වීමය. ඔහුට ඔහුගේ පවුල් දේශපාලනයක් නැත. පක්ෂ දේශපාලනික වුවමණාවන් අත්හැර ඔහු සමුහික ප්‍රයත්නයක් මඟින් රට ගොඩ නැංවීම සඳහා වෙහෙසෙමින් සිටින්නෙකි. මේ අනුව විධායක ජනාධිපති ධුරය පවත්වා ගැනීම ඔහුට අදාලම නැත. මෙතුවක් කල් ජනාධිපතිවරයා ලෙස ඔහු කටයුතු කළේ තනතුරේ බලතල හිතුවක්කාවර පාවිච්චි කරමින්ද නොවේ. ඔහු ගන්නා තීන්දු තීරණ සියල්ල පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සංවාදයට විවාදයට පත්කර විපක්ෂයෙත් සංශෝධනය යෝජනා ද එකතු කරමින් පාර්ලිමේන්තු අනුමැතියට යටත්ව සියල්ල සිදු කර ඇත.
මේ අනුව විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම ගැන වැඩිම කැමැත්තකින් පසුවන්නේ රනිල් බව පැහැදිලිය. විධායකය අහෝසි කර පාර්ලිමේන්තු ක්‍රමය ශක්තිමත් කරන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කළ යුතු බවට ද ඔහු පසුගිය දා අදහස් පල කර තිබිණි. පසුගිය යහපාලන යුගයේ දිත් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් වෙනුවෙන් ජනතා අදහස්, විපක්ෂයේ අදහස් ගොනු කර ගනිමින් ව්‍යවස්ථාදායක සභාව හරහා මූලික කෙටුම්පත් කිරීමක් ද සිදු කර තිබිණි. මේ අනුව රටට වඩාත්ම අවශ්‍ය වන රටේ අනාගතය අභිවෘද්ධියට අවශ්‍ය වන හොඳම ආණ්ඩු ක්‍රමයක් ගැන පැහැදිලි නිශ්චිත අදහසක සහ වුවමණාවක සිටින එකම දේශපාලන නායකත්වය වන්නේද ජනාධිපති රනිල් පමණි.
සජිත්ල අනුරල විධායකය අහෝසි කිරීම ගැන හුදු පොරොන්දු ලබා දුන්න ද ඉන් පසුව සිදු වන්නේ කුමක්ද යන්න ගැන කතා නොකරයි. නව ආණ්ඩු ක්‍රමය වන්නේ කූමක්ද යන්න ගැන අදහස් පල නොකරයි. සැබැවින්ම ඔවුන්ට එ් ගැන නිශ්චිත පැහැදිලි අදහසක් නොමැත. එහෙම තිබෙන්නටද නොහැක මන්ද යත් මේ අයගේ දේශපාලනික පරිචය තියෙන්නේ සහනාධාර බෙදීම වැනි සිල්ලර වැඩ ගැන පමණක් නිසාය. මේ අනුව විධායකය අහෝසි කළත් ඉන් පසුව සිදුවන්නේ කුමක්ද යන්න ගැන අදහසක් නොමැතිව රටට අත්වන ඉරණම කුමක් විය හැකි ද? යන්න කල්පනා කළ යුතුය.
කොහොම වුවත් පැහැදිලිම කාරණය සජිත්ගේ අනුරගේ විධායකය අහෝසි කිරීමේ කතා ජනාධිපතිවරණය වෙනුවෙන් නිර්මාණය කරගන්නා හුදු ජනප්‍රිය සටන් පාඨයක් පමණක් වන බවය. රටේ ජනතාව නැවැත රැවැටීමකට ලක් කිරීමක් පමණක් බවය.
- සුජය