පාර්ලිමේන්තුවේ පිරිසිදුම සහ සුවඳමත්ම මන්ත්‍රී හර්ෂ ! Featured

Tuesday, 16 July 2024 12:48

වත්මන් පාර්ලිමේන්තුවේ ඉන්න වඩාත් පිරිසිදු මන්ත්‍රීවරයා කවුද කියලා ඇහුවොත් මගේ උත්තරේ හර්ෂ. වඩාත්ම සුවඳ හමන මන්ත්‍රීවරයාත් ඔහු.

ඒ මොකද ඔහු තරම් නාගන්න මන්ත්‍රීවරයෙක් පාර්ලිමේන්තුවේ තවත් නැති නිසා. සමහර දවස්වලට හත්අට පාරක් ම නානවා... නිකන් නෙවෙයි...වෙලාවකට ඇදගෙන. ඇදගෙනම නාගන්නවා.

ඔන්න ඔහොම අපූරු නෑමක් හර්ෂ පහුගිය සතියෙත් නෑවා. ඒ ඔහු සභාපතිත්වය දරන කෝප් කමිටුවේ විමර්ශනයට ලක් කරපු කාරණාවක් ගැන ඒකමතිකයි කියපු වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න ගිහිල්ලා...

පස්සේ බැලින්නම් වාර්තාව ඒකමතික වෙලා නෑ. හර්ෂගේ වාර්තාව ඉදිරිපත් කළ පසු පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කළ පොහොට්ටු මන්ත්‍රී ප්‍රේමණාත් සී දොළොවත්තගේ පැහැදිලි කිරීමෙන්ම ඒ බව පැහැදිලියි.

ඒ විතරක්ම නෙවෙයි, ඊට පස්සේ ඔන්න කෝප් කමිටුවේ සාමාජික මන්ත්‍රීවරු 12 දෙනෙක්ම හර්ෂගේ වාර්තාව තමන් නොපිළිගන්නා බවට ප්‍රකාශයකුත් නිකුත් කරලා. කල්ලියක් නෙවෙයි. දෙපැත්තෙම කට්ටිය එතන ඉන්නවා. ෂෙහාන් සේමසිංහ, මහින්දානන්ද, සුරේන් රාගවන්, දුමින්ද දිසානායක, ප්‍රේමනාත් දොළවත්ත, සීතා අරබිපොළ, අනූප පැස්කුවල්, ජෝන්ස්ටන් ප්‍රනාන්දු, මදුර විතානගේ වගේ මන්ත්‍රීවරු දොළහක්.

එතකොට හර්ෂ මොන විකාරයක්ද මේ කරන්නේ. තමන් සභාපතිත්වය දරන කමිටුවේ සාමාජින්කයින්ගේ අභිමතය පවා පාර්ලිමේන්තුව නොමග යවන්න භාවිත කරමින්...

ඉස්සර ඉඳලම හර්ෂ ඔය වගේ විකාර වැඩවලට දක්ෂයා. මතකනේ එකපාරක් විභාගයක් පවතින වෙලාවක බස් කාරයෝ ටික ස්ට්‍රැයික් කරාම හර්ෂ තමන්ගේ වාහනේයි වීඩියෝ කැමරාවයි එක්ක පාරට බැහැලා තනි වාහනෙන් දරුවෝ පාසැල්වලට ඇදලා ලංකාවේ විභාගෙ ලියන දරුවන්ගේ ප්‍රවාහන ප්‍රශ්නය විසඳපු හැටි. ඒකයි අපි කිව්වේ හර්ෂ නාන්න හරි හපන කියලා.

මාර්ගගත ක්‍රමය ඔස්සේ සංචාරකයන්ට වීසා නිකුත් කිරීම සම්බන්ධයෙන් පහසුකම් සැලසීමේ කටයුත්ත VFS හා IVS - GBS global services ආයතනයට පැවරීම සම්බන්ධයෙන් දැන් කලෙක පටන් රාජ්‍ය මුදල් කාරක සභාවේ පරීක්ෂණයක් පැවැත්වෙනවා. මෙන්න මේ පරීක්ෂණය පිළිබඳ තමයි හර්ෂ පසුගිය සතියේ පාර්ලිමේන්තුවට වාර්තාව දුන්නේ. හැබැයි එතෙන්දි කෝප් කමිටුවේ අනිත් සාමාජිකයින්ට දැඩි විවේචන කීපයකුත් එල්ල කළා. ඒ තමයි හර්ෂගේ හැටි. තමන් සුදනා. අනිත් අය ඔක්කොම ලෙඩ්ඩු...

"ගැටලු ආවා කතානායකතුමනි, අපි මේ වාර්තාව සකස් කරනකොට. එක් අවස්ථාවක පාර්ලිමේන්තු මහ ලේකම් තුමියව මගේ විරෝධය මත කාරක සභාවට කැඳවීමක් පවා සිද්ධ වුණා...

සමහර නිලධාරීන් ආවෙ නෑ කාරකාරකසභාවට. කාරක සභාවේ සභාපතිවරයාව සමච්චලයට ලක් වෙන විදියට සමහර නිලධාරීන් වැඩ කළා. හැසිරුණා. ඒ කෙසේ වෙතත් සියලු බාධක මැද අපි මේ වාර්තාව පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කරනවා. කාරක සභාවේ සියලු මන්ත්‍රීවරු අවසානයේදී එක නිගමනයකට ආවා. අවසානයේ සියල්ල ස්ටඩි කරන්න සති තුනක් ඔවුන් කාලය ඉල්ලුවා. මම ඒක ලබා දුන්නා. සමහර මන්ත්‍රීවරු ඔවුන්ගේ අදහස් නිර්දේශ හැටියට ඉදිරිපත් කළා. ඒ සියල්ල මේ වාර්තාවේ වෙනම අමුණලා තියෙනවා. මෙන්න වාර්තාවේ සයිස් එක. ඒක පිටු දාහක් විතර ඇති.... සාකච්ඡා වෙච්චා, ඒ පිළිබඳ ලේඛන සියලු දේ මේ වාර්තාවේ තියෙනවා. අපි ඒක සභාගත කරනවා.."

අන්න ඒ විදිහට හර්ෂ වාර්තාව කියලා පොතක් වගේ එකක් සභාගත කරමින් පෙන්නුවේ ඔහුගේ හීනමානය. හොඳටම නා ගත්තේ සභාපති හැටියට මං කියන දේවත් මෙතන ඉන්න අනිත් සාමාජිකයෝ අහන්නේ නෑ කියලා කරාපු අඩෝවැඩියාවෙන්... හර්ෂ කිසිම ප්‍රහර්ෂයක් නැතුව තමන්ට කිසිම පෞරුෂයක් නෑ කියන එක සභාවට කිව්වා... ඇත්ත තමයි. ඔහුගේ පෞරුෂය ගැන අහගන්න ඕන හිටපු බිරිඳ ඩොක්ට ජානකී කුරුප්පුගෙන්. mother sri lanka ෆවුන්ඩේෂන් එකේ ඔය දැන් ඉන්නේ.

Hon. Dr. Harsha de Silva

ඉවර නෑ. ඉවර නෑ.... තව තියෙනවා... හර්ෂ මෙහෙමත් කියනවා...

"VFS කොම්පැනිය රටවල් 145 වැඩ කරනවා කිව්වට, ඔවුන්ට මේක දීමේ ගැටලුවක් නෑ කියලා කිව්වට මේකෙ ප්‍රධාන කොන්ත්‍රාත්කරු GBS ටෙක්නොලොජි සර්විසස් ඇන්ඩ් IVS ග්ලෝබල් FCCO කියන කොම්පැනිය. ඒකට එකතු වෙලා තියෙනවා VF වර්ල්ඩ්වයිඩ් හෝල්ඩින්ග්ස් කියනඑක, සාමාන්‍යයෙන් VFS කියල සදහන් වන. මේ ආයතන තුන අත්සන් කරලා තියෙනවා එග්රිමන්ට් එක. ඒ ආයතන ව්‍යුහය සම්බන්ධයෙන් නොයෙකුත් දේවල් සඳහන් වෙනවා.

මේ ආයතන සමූහයෙන් සේවාවන් ලබා ගැනීමේදී තරගකාරී ලන්සු තැබීමේ ක්‍රියාවලියක් නොතිබීම ආගමන විගමන දෙපාර්තමේන්තුවට මුදල් සඳහා හොඳම වටිනාකම ලබාගැනීමට බාධාවක් වූ බව තමයි අපේ කාරක සභාවේ වාර්තාව."

එහෙම කියලා හර්ෂ ගණන් මිනුන් ගැනත් කතා කරනවා. තරගකාරී ලංසු කැඳවීමක් කළා නම් මේ සේවාවට සංචාරකයෙක් ඩොලර් 25ක් ගෙවනවා වෙනුවට ඊට වඩා අඩුවෙන් ගෙවන්න තිබුණා කියලයි හර්ෂ කියන්නේ. ඒක කාරක සභාවේ මතයලු.

ඔන්න ඕක කිව්වට පස්සේ හර්ෂ ගේ බළලා මල්ලෙන් එලියට පනිනවා... මේ සේවාව ම නොවුණත් මීට සමාන සේවාවක් ඩොලරයකට ලබා දෙන්න mobitel ආයතනය අවුරුදු දොළහක් තිස්සේ ක්‍රියා කරද්දි ඉදිරියටත් එම සේවාව ලබාදෙන්න ඉදිරිපත් වෙලා ඉඳිද්දී ඇයි මේ සේවාව ඩොලර් 25කට දෙන්න ආගමන විගමන දෙපාර්තමේන්තුව පෙළඹුණේ කියන එකයි ඔහු අහන්නේ. ඒ කියන්නේ ඇයි මොබිටෙල් එකට නොදුන්නේ කියන එක.

එහෙම බැලුවම නම් ඇත්ත තමයි. ඩොලර් 1ට ගන්න තිබිච්ච සේවාව ඇයි අපි ඩොලර් 25කට ගන්නේ...

හරි හොඳයි... කියමුකෝ බලන්න දොස්තර හර්ෂ මහත්තයා පෙන්වල දෙන විදිහට mobitel ආයතනය අවුරුදු දොළහක් තිස්සේ සපයලා තියෙන්නෙත් ඉන් ඉදිරියට සපයන්න එකඟ වෙලා තියෙන්නෙත් අපේ රට VFS හා IVS - GBS global services සමාගම තුළින් බලාපොරොත්තු වන සේවාවමද කියලා... ඇයි මේ බොරු කියන්නේ? කාවද නොමග හරින්නේ? බොරු කියන එක නොමඟ යවන එක දොස්තර හර්ෂ මහත්තයගෙ පුරුද්ද ද. එහෙම නැත්තං ඒ පරම්පරාවේ හැටියක්ද.

හොඳයි අපි එහෙනම් විමසලා බලමු මේ ආයතන දෙක සපයන්න එකඟ වෙලා තියෙන සේවාවන්හි ඩිෆරන්ස් එක.

හර්ෂ කියන කතාවේ පොඩි ඇත්තක් තියෙනවා. මොබිටෙල් සමාගම 2012 දි තමයි මාර්ගගත වේදිකාව ඔස්සේ (online flatform) විදේශිකයන්ට විසා නිකුත් කරන්න ආගමන විගමන දෙපාර්තමේන්තුවට විද්‍යුත් සංචරණ අනුමැතිය හෙවත් ETA පහසුකම (electronic travel autorization) සලසලා දෙන්නේ. එමගින් ලෝකවාසී සංචාරකයන්ට හා වෘත්තිකයන්ට ලෝකයේ ඕනෑම තැනක සිට මෙරටට පැමිණීමේදී වීසා බලපත් ලබා ගැනීම පහසුවක් වුණා.

මොබිටෙල් කරපු සේවාව හර්ෂට මහාකජ්ජක් වුණාට පහු පහු වෙද්දි ඒ සිස්ටම් එක දියුණු වෙන නව ලෝකයත් එක්ක අප්ටුඩේට් වුණේ නෑ. එහි තිබුණු ලොකුම දුර්වලකම තමයි එමගින් ලබා ගන්නා වීසාව දින 30කට පමණක් සීමා වීම. දින 30ට වඩා සංචාරකයකුට ලංකාවේ ඉන්න අවශ්‍ය නම් නැවතත් ගෙවීම් කර නැවතත් වීසා ලබා ගැනීමට අයදුම් කරන්න සංචාරකයන්ට සිදුවුණා. පිටරටින් ඇවිල්ලා මෙහේ රැකියා කරන විදේශිකයෝ, ලංකාවේ ඉගෙන ගන්න ඇවිත් ඉන්න විදේශිකයෝ, පර්යේෂණ කරන්න ඇවිල්ලා ඉන්න බුද්ධිමතුන් විතරක් නෙවෙයි, අපට ඩොලර් ලබාදෙන සංචාරකයොත් මේ දින 30 සීමාව නිසා අප්‍රමාණ පීඩාවට පත්වුණා. ඒකයි ඔවුන් නිතරම යෝජනා කළේ වෙනත් රටවල මෙන් ETA පහසුකම ඔස්සේ වීසා ලබා ගැනීමට තිබෙන පහසුකම් තව තවත් පුළුල් කරන්න. අද ලොවට ගැලපෙන පරිදි uptodate කරන්න.

අනිත් එක මේ කියන ටෙලිකොම් වේදිකාවේ දුර්වලකම් ගොඩයි. සංචාරකයාගේ ඡායාරූපයක් වත් මාර්ගගතව යවන්න බැරි, පාස්පෝට් එකේ කොපියක්වත් මාර්ගගතව යවන්න බැරි, වෙනත් වැදගත් ලියකිල්ලක්වත් මාර්ගගතව යවන්න බැරි මේ පරණ සිස්ටම් එක අලුත් ලෝකයත් එක්ක යාවත්කාලීන නෑ කියලා හර්ෂ දන්නේ නෑ.

2012 ඉඳන් ඩොලර් එකකට ලබා දුන්න ඒ දුප්පත් දුර්වල සේවාව අනාගත ලෝකෙටත් ලබාගන්න කියලයි හර්ෂ යෝජනා කරන්නේ. හැබැයි ඉතින් අද ලෝකය හා ලෝකයේ අවශ්‍යතාවය හර්ෂ හිතන දුරට වඩා ගොඩක් දුර ගිහින්.

ඔන්න ඕක නිසා තමයි 2021 දී ආගමන විගමන දෙපාර්තමේන්තුව ටෙලිකොම් ආයතනයෙන් නැවත ඉල්ලීමක් කලේ ETA පහසුකම සඳහා පුළුල් වේදිකාවක් තනා දෙන්න. අලුත් වීසා කාණ්ඩ ඇති කරන්න. 2021 කරපු ඉල්ලීමට ටෙලිකොම් ප්‍රතිචාර දක්වන්නේ 2023 වසරේ. අවුරුදු තුනක්ම ඇද්දා. ඒකත් තනියම නෙවෙයි. ඔන්න ඒගොල්ල 2023 අගෝස්තු මාසෙදි (SAYCOM) කියලා මැලේසියානු සමාගමක් එක්ක අලුත් යෝජනාවක් ඉදිරිපත් කරනවා. ඒක මොකක්ද දන්නවද. ඒකත් අරකමයි.

අවධානය යොමු කරල තිබුනෙම දින 30 වීසා කාණ්ඩය වැඩි දියුණු කිරීමට අදාළ යෝජනා විතරමයි කියලා හර්ෂ දන්නේ නැතුව ඇති. කමක් නෑ ඒ තමයි හර්ෂ.

ඔන්න ඔය අතරේ තමයි ආගමන විගමන දෙපාර්තමේන්තුවේ වගකීම මහජන ආරක්ෂක අමාත්‍යංශය යටතට ඇවිල්ලා ටිරාන් අලස්ගෙ විෂය පථයට එකතු වෙන්නේ. ඒක වෙන්නේ 2022 ඔක්තෝබර් 5 අලුත් ගැසට් එකෙන්.

හර්ෂලා මොනවා කිව්වත් ටිරාන් තමයි දින 30ක වීසාකාන්ඩ පහසුකම් ඔස්සේ පමණක් තිබූ ලංකාවේ වීසා නිකුතුව කාණ්ඩ 16 ක් යටතේ වර්ග කර නිකුත් කරන්න ක්‍රමවේදය හදන්නේ. දින 30ට, මාස 3ට, මාස 6ට, අවුරුද්දට, අවුරුදු 2ට, 3ට, 5ට, 10ට වශයෙන් වීසා ඛාණ්ඩ 16කට යෝජනා සකස් වෙන්නේ එහෙම.

ඒ යෝජනාව 2023 අවසාන කාර්තුවේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වෙනවා. කැබිනට් මණ්ඩලය ඒක අනුමත කිරීමෙන් පසුව කාටද මේ වැඩේ භාර දෙන්නේ කියලා. අමාත්‍යාංශය කල්පනා කරන්න පටන් ගන්නවා. ඊට පසු සයිකොම් - මොබිටෙල් දින 30 වීසා ඛාණ්ඩ යෝජනාවත් එනවා.

මාර්ගගත වේදිකාව ඔස්සේ මෙම පහසුකම් පුළුල්ව සකසන ලෝකයේ ප්‍රමුඛම ආයතන අතරින් VFS සමාගම ගැන රජයේ අවධානය යොමු වෙනව. ලෝකයේ ව්‍යවහාරික භාෂා 49කින් රාජ්‍යයන් 67ක් වෙනුවෙන් රටවල් 151ක ආගමන විගමන සේවාවන් පවත්වාගෙන යන VFS සමාගමට මෙම වගකීම පවරන්න රජය තනියම ක්‍රියා කළේ නෑ...

ආගමන විගමන විෂය පථය මහජන ආරක්ෂාව භාර අමාත්‍යාංශයට පැමිණෙන්නටත් පෙර VFS සමාගම කෙරෙහි රජයේ අවධානය යොමු කරලා තිබුන බව සමහර විට හර්ෂ පඩිතුමා දන්නේ නැතුවත් ඇති. දන්නැත්තං අහන්නකෝ ඒ ගැන හිටපු අමාත්‍යාංශ ලේකම් චූලානන්ද පෙරේරා මහත්තයාගෙන්...

ඇත්තම කියනවනම් 2022දී ඒ සඳහා ව්‍යාපෘති යෝජනාවකුත් සැකසිලා තිබුණා. සංචාරක හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයේ ලේකම් චූලානන්ද පෙරේරා ඇතුළු කමිටුවක් මගින් එම යෝජනා අධ්‍යයනයට ලක්කර තිබුණු බව හර්ෂයට රහසක් වුණාට පාර්ලිමේන්තුවේ අනිත් මැති ඇමැතිවරුන්ට රහසක් නොවන බව සහතිකයි.

කෝප් සභාපති හර්ෂ සිල්වා කිසිම ප්‍රසම්පාදන ක්‍රියාවලියක් නෑ කියලා චෝදනා නගන මේ ගනුදෙනුව වෙනුවෙන් ඇත්තටම ප්‍රසම්පාදන ක්‍රියාවලියක් වෙලා නැද්ද. අපි දැන් ඒ ගැනත් කතා කරමු.

අදාළ යෝජනා සම්බන්ධ කැබිනට් පත්‍රිකාවත් VFS හා IVS - GBS ග්ලෝබල් ආයතන එකමුතුව ඉදිරිපත් කළ ව්‍යාපෘති යෝජනාවත් අධ්‍යයනය කර සසඳා බලා එකඟතා ඇතිකර ගන්නටත් නිරීක්ෂණ ඉදිරිපත් කරන්නටත් අදාල නිලධාරීන් ඇතුළත් කමිටුවක් ඇමතිවරයා විසින් පත් කළේ 2023 වසරේ අවසාන කාර්තුවේ. ආවට ගියාට ඒ කමිටුව පත් වුණේ නෑ. ආගමන විගමන පාලක, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම්, රාජ්‍ය පරිපාලන සුදේශීය කටයුතු අමාත්‍යාංශයේ හා පළාත් පාලන අමාත්‍යංශයේ සහකාර ලේකම්, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ මූල්‍ය නිලධාරි, මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් යන රජයේ වගකීම් දරන ඉහළ පරිපාන නිලධාරීන්ගෙන් ඒ කමිටුව සමන්විත උනා.

ලංකාවට පැමිණෙන විදේශිකයන්ට ලංකාවෙන් පිටරටවල් වලට යන ස්වදේශිකයන්ට යන දෙගොල්ලන්ටම ඔවුන්ගේ සේවාව අවශ්‍ය වුණා. ඒගොල්ලන්ගේ තොරතුරු මෙහාට ගෙන්වලා වීසා සඳහා ඉදිරිපත් කරන එකත් ලංකාවෙන් පිටට යන සංචාරකයන්ගේ තොරතුරු අදාළ රටවල වීසා නිකුත් කරන ආයතන වලට යවා සම්බන්ධීකරණය කරන එකත් ලේසි පාසු කටයුත්තක් නම් නෙවෙයි. ඔන්න ඔය විෂය පථ දෙක මුල් කරගෙන දෙගොල්ලො අතර සාකච්ඡා මාස තුනක් තිබුණා.

මෙන්න මේ එක සේවාවක් වෙනුවෙන් අදාළ සමාගම් එකමුතුව ඉල්ලා සිටි ගාස්තුව ඩොලර් 25ක්. දෙගොල්ලා අතර සාකච්ඡාවේදී මේ ගාස්තුව ඩොලර් 18. 50 දක්වා අඩු කරගන්නට කමිටුව සමත් වුණා. ඒ සියලු අධ්‍යයනයන්ට පසුව යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබුණා. ජනාධිපතිවරයාගේද නිර්දේශ සහිතව එම යෝජනාව නීතිපතිවරයාගේද අවධානයට ලක් වුණේ නැහැ කියන්න බැහැ. හැබැයි හර්ෂ කතා කලේ ඒ කිසිවක් වුනේ නැති විදිහට.

පසුගිය දෙසැම්බරයේදී ලැබුණ කැබිනට් අනුමැතියෙන් පස්සේ සමාගම ඩොලර් මිලියන 200ක් වටිනා ව්‍යාපෘතියක් ලංකාවේ ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා. හැබැයි මේ ජාලගත ක්‍රියාන්විත අවසන් වී හරියට වැඩ පටන් ගත්තේ පසුගිය අප්‍රේල් 17 වෙනිද කිව්වොත් වැරදි නෑ. හර්ෂ කියනවා ඩොලර් මිලියන 200ක් තබා රුපියල් මිලියන 200ක් වත් සමාගම මේකට ආයෝජනය කරලා නැහැලු. ඒ තියන්නේ සමාගම සියඹලා ගෙනල්ලම නෑ...

Harsha de Silva 1200px 22 11 30 2

එහෙම බලනකොට අපේ කෝප් සභාපති හර්ෂාචාරී කොතරම් බොළදද... කොතරම් ළාමකද. භාෂා 40 කින් රාජ්‍යයන් 67ක් වෙනුවෙන් රටවල් 151ක ආගමන විගමන සේවාවන් සම්භන්ධිකරණය කරමින්පවත්වාගෙන යන online සේවාව රුපියල්වලින් ජාලගත කරන්න පුලුවන් කියලද හර්ෂාචාරීතුමා කියන්නේ. ඇහැට පේන්න දැවැන්ත දැතිරෝද කැරකෙන කර්මාන්න ශාලාවක් වගේ එකක්ද හර්ෂාචාරිගේ හිතේ තියෙන්නේ. හරියට අර කයිවාරු ඩඩ්ලිගේ පොලොන්නරුවේ මෝල් වගේ.... හලෝ හර්ෂ. මතක තියාගන්න. දැන් ඒවා පවා ඩිජිටල්. නොමේරූ ළදරු ඒකකයේ තබන්න ඕන මට්ටමේ අල ගෙඩියක් තරම් මොල ගෙඩියක් තියන හරිෂාචාරී.... ඔය පී එච් ඩී එක දෙන්න ළමයෙකුට...

ඔන්න ඕකයි ඇත්ත කතාව. හැබැයි මේකට කීයක් නම් දේවල් හර්ෂ පාර්ලිමේන්තුවේ එදා කිව්වද.

මේ පරීක්ෂණයට සහයක් ලැබුණේ නෑ කිව්වා. මට විශාල මානසික පීඩාවක් දැනුනා කිව්වා. මට ස්ට්‍රෙස් එක කිව්වා. මට පිස්සු කියලා විතරයි කිව්වේ නැත්තේ...

ඇත්ත තමයි බලාගෙන යනකොට. ඔය මානසික පීඩාව එයාට කෝප් කමිටුවේ පරීක්ෂණය නිසා නෙවෙයි. මේ දවස්වල එයා ගහන ඩබල් ගේම් එක හෘදසාක්ෂියට දරාගන්න බැරි නිසා. රෑට රෑට රනිල් හමු වෙනවා. සජිත්ව පාවා දෙනවා. ඉඳලා හිටලා බැසිලුත් හමුවෙනවා. සමගි ජන බලවේගය ඇතුලාන්තයේ සැලසුම් කැත නැතිව හෙළි කරනවා.

ඔන්න ඔය අස්සේ සජිත් ළඟට ඇවිල්ලාත් පොරක් වෙන්න ලොරි ටෝක් දෙනවා. දැන් මේ ඩබල් ගේම් එක සජිත් හොඳට දන්නවා. ඉස්සර සජිත්ගේ ආර්ථික න්‍යායාචාර්ය වගේ හිටපු හර්ෂාචාරි කැපෙන්න මේ දේවල් හොඳටම ඇති.

ඇරත් දැන් හර්ෂට වඩා සජිත්ට කිට්ටු නාලක. නාලක ගොඩහේවා කොහොමත් මේ රටේ බැංකු පද්ධතියේ හා ආර්ථික මර්මස්ථාන රැසක වගකීම් දරපු ප්‍රායෝගික මොලයක් තියෙන මිනිහෙක්. හර්ෂ වගේ පොතේ ගුරෙක් නෙවෙයි කියලා සජිත් තේරුම් අරන්. ඒක නිසා දැන් හර්ෂ හිටපු ආර්ථික න්‍යායාචාර්ය තනතුරේ සජිත් තියන් ඉන්නේ නාලකව.

හර්ෂට දැන් නාලකව පේන කොට නයාට අඳු කොළ ගානයි. ඔන්න ඔයාස්සේ රනිලුත් දුන්නා සජබේ ඉන්න ගෙම්බො සෙට් එකට හොද ගේම් එකක්. එයා පහුගිය කාලේ සජබයෙන් මන්ත්‍රීවරු 19 දෙනෙක් තෝරා ගෙන විමධ්‍යගත අරමුදලින් මුදල් බෙදුවා. ඕකෙන් හර්ෂාචාරීටත් මිලියන 50 යෝද කුට්ටියක් ලැබුනා. හොඳයි නැහැ කියනවද. කිව්වොත් අපි ඔප්පු කරනවා.

මෙන්න මේ ඩබල් ගේම් ඔක්කොම එක පිට එක එළිවුන තැන දැන් හරියට කාටවත් මුහුණ දෙන්න බෑ. ඔන්න හිසේ කැක්කුමට හේතුව. ඔන්න ස්ට්‍රෙස් එකට හේතුව. තමන්ගේ ඇහේ පොල් පරාල තියාගෙන අනුන්ගේ ඇස් වල තියෙන රොඩු ඉවත් කරන්න යනකොට කුණු කටවල් වලින් කුණු නාම අහගන්න වෙන එක පුදුමයක් නෙවෙයි හර්ෂාචාරි තුමෝ...

කෝප් එක ඇතුලේ තමන්ගේ නායකත්වයට ගරු නොකරන්නේ අන්න ඒක නිසා. රජයෙ නිලධාරින්, ආයතන ප්‍රධානීන් කෝප්පෙකට ඇවිල්ලත් තමන්ව හාස්‍යයට ලක් කරන්නේ අන්න ඒක නිසා නෙවෙයිද... දැන් ඉතින් හර්ෂාචාරී ඉන්නේ බැබිල ගහ උඩ මොකක්ද කරපු කවුද වගේ... හා හොඳයි නැද්ද...

ගලේ පහරපු බළලා වගේ... මොකද වැල්ලෙ පැහැරුවාම ඒක වහන්න බළලාට හැකියාව වැඩියි. ඒත් ගලේ පහරලා වහන්නේ කොහොමද...

ඔන්න ඔය ටික හොඳට දන්න නිසා තමයි ප්‍රේමනාත් සී දොළවත්ත කියන ළාබාල මන්ත්‍රීවරයා හර්ෂට පාර්ලිමේන්තුව ඇතුළේ අනුකම්පා විරහිතව දීලා ඇරියේ... මෙන්න මෙහෙමයි ඔහු කිව්වේ...

"කොප් කමිටුවේ සභාපතිතුමා අද පාර්ලිමේන්තුවට VFS ආයතන සම්බන්ධ වාර්තාවක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒක කෝප් කමිටුවේ සාමාජිකයින්ගේ අනුමැතියට යටත්ව ඒකමතිකව කියලයි කිව්වේ. කරුණු දක්වද්දී එතුමා කාරණා කීපයක් කියනවා. මේ පරීක්ෂණය කරගෙනයි අද්දී එතුමාට අර්බුද ගණනාවකට මුහුණ දෙන්න වුණා කියලා කියනවා. ඔය හැම වෙලාවෙම අපි එතුමත් එක්ක හිටගෙන තියෙනවා. අපි හැම වෙලාවෙම එතුමගෙන් ඇහුවා මොනවද මේ කියන අර්බුද කියලා... ඒ හැම වෙලාවෙම එතුමා කිව්වේ එහෙම අර්බුදයක් නෑ කියලා. ඒ උනාට පාර්ලිමේන්තුවට ඇවිල්ලා එතුමා කියනවා මේ නිසා එතුමට විශාල මානසික පීඩනයක් ඇතිවුණා කියලා. ඒ වගේම මේ නිසා තර්ජනයක් වුණා කියලත් කිව්වා. හැබැයි අපි ඇහුවා. ඒ වගේ පීඩනයක් ඒ වගේ තර්ජනයක් කිසිම කමිටුවක සභාපතිවරයකුට ඇතිවෙන්න බැහැ. ඒ වෙලාවේ එතුමා පිළිගත්තා කමිටුව ඇතුලෙදි එහෙම දෙයක් නෑ කියලා. අපි ඉල්ලීමක් කලා එහෙම දෙයක් නැත්නම් කරුණාකරලා ගිහිල්ලා ඔබතුමා ප්‍රසිද්ධියේ පාර්ලිමේන්තුවේදීත් මේක කියන්න කියලා. හැබැයි එතුමා ඒක කළේ නෑ.

අද කතාවේදීත් එතුමා කියනවා ඔය විශාල මානසික පීඩනය හිරිහැරය ගැන. අපි ඇහුවා කමිටුවේ සාමාජිකයින්ගෙන්ද මේක උනේ කියලා. ඒ මොකද ගරු සභාපතිතුමනි පාර්ලිමේන්තුවේ තියෙන කෝප් එක කෝපා එක කොෆ් එක ආදී හැම කමිටුවකම අපි ඉන්නවා. අපිව තෝරගෙන තියෙන්නේ යම් ආකාරයේ විභවතාවයක් තුළ අපි එහෙම හැසිරෙන නිසා. හැබැයි ඔය වගේ චෝදනා කිරීම තුළ අපිට විශාල ගැටළුවක් තියෙනවා.

එතුමා ඒක කමිටුව ඇතුලේ පිළිගත්තත් එතුමා අවංක වුණේ නෑ පාර්ලිමේන්තුවට ඇවිල්ලා ඕක කියන්න. නෑ මට එහෙම පීඩනයක් අපේ මන්ත්‍රීවරුන්ගෙන් නැහැ කියලා.

අවාසනාවකට VSF එක සම්බන්ධයෙන් විගනකාධිපති දෙපාර්තමේන්තුවෙන් වාර්තාව අවසන් කරලත් නෑ. එහෙම පරිසරයක අපි සියලු දෙනාම ඒකමතිකව මේ වාර්තාව ඉදිරිපත් කරනවා කියලා කියන එක කොච්චර වැරදිද... අපි මේ රටේ චෝදනාලත් කිසිම ගනුදෙනුවක් වෙනුවෙන් අපි පෙනී සිටි නෑ සභාපතිතුමනි...."

ආධුනිකයෙක් වුණත් දොළවත්තට පාර්ලිමේන්තුවේ එහෙම කියන්න කොන්දක් තියෙනවා. ඒත් තමන්ගේ දේශපාලන ප්‍රතිරූපය අතනින් මෙතනින් නාය යනකොට අතිශයින් වැදගත් කාරක සභා කමිටුවක සභාපතිත්වයට මුවාවෙලා හර්ෂාචාරී මේ කරන ප්‍රකාශ ගැන එයාට සීයට සීයක් වගකියන්න වෙනවා. ඕක තමයි එයාගේ හිසේ කැක්කුමට හේතුව. එහෙම නැත්නම් වෙන මොනවද...

දැන් ඔන්න සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් ආසන සංවිධායකකම සම්බන්ධයෙනුත් හර්ෂට ගැටලු ඇතිවෙලා... කොළඹට අලුත් මුහුණු පත් කරන්න සජිත් පියවර අරන්. පහුගිය දවසක කැලණිය ආසන සංවිධායක කමත් ස්ථිරවම නාලකට දෙන්න සජිත් පොරොන්දු වෙලා. ඒක තිබුනේ ෆොන්සේකාට. පොන්සේකා දැන් ඉන්නේ ෂුවර් නැති ගොඩේ. හර්ෂත් දැන් ඉන්නේ ඒ ගොඩේ නෙවෙයි කියලා කාටද කියන්න පුළුවන්....

පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරිය කෝප් කමිටුවට කතා කරපු ඒක මහා ලොකු පවක් හැටියටත් හර්ෂ කරුණු දැක්වුවා. දොළවත්ත ඒ කාරණාවත් පැහැදිලි කළා. ඕනෑම වෙලාවක පාර්ලිමේන්තු මහ රේකම්වරියත් කෝප් කමිටුවට ගෙන්නන්න බැරි නැහැ කියලා ඔහු පෙන්නුවා...

ඔව් ඇත්ත. ඒකෙ තියෙන වරද මොකක්ද... දැන් බලාගෙන යනකොට අර දොස්තර රංජිත් බණ්ඩාර මෙච්චර අවුල් නෑ... කොහොමත් එයා ඩබල් ගේම් ගැහුවේ නෑනේ. දිගටම හිටියේ බැසිල් එක්ක. ඒ ආචාරීතුමා එහෙම උනාට මේ ආචාරීතුමා...? අනේ මන්දා...

දොලොවත්ත තම කතාවේ අන්තිමට කිව්වේ මේ වාර්තාව සඳහා අපි දන්නේ නැතුව අපේ එකඟතාවය ගත්තා කියන කතාව වැරදියි කියන එක. කෝප් කමිටුවේ සභාපති ඇයි එහෙම වගකීම් විරහිත තත්ත්වයකට පත්වුණේ කියන එක ලොකු ප්‍රශ්නයක්...

සමහරවිට හෙට අනිද්දා දේශපාලනයමය වශයෙන් ඒගොල්ලා ඉන්න තැන් සහ ආස්ථානයන් ගැන ඇත්ත කතාව එළියට එනකොට කාට කාටත් ඔය ප්‍රශ්නවල ඇතුලාන්තය මොකක්ද කියන එක පැහැදිලි වේවි...

අදට ඔච්චරයි... හර්ෂ ආචාර්යතුමාගේ තමන්ගේ බුද්ධි මට්ටමට ගැලපෙන්නෙ නැති ලාමක ටින් ටින් තව කාරණාවක් අරගෙන ආයෙත් වෙලාවක අපි හමුවෙමු මෙන්න මෙහෙම....

 

x

Last modified on Tuesday, 16 July 2024 12:58

Leave a comment

Gossip

ඉන්න බැරි සේරම යන්න... රාජපක්ෂලාට රනිල් දන්වයි !

ඉන්න බැරි සේරම යන්න... රාජපක්ෂලාට රනිල් දන්වයි !

මෙවර ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය නොදෙන ආණ්ඩු පාර්ශ්වය නාමිකව නියෝජනය කරන සියලු...

තැපැල් ඡන්දයේ වාසිය රනිල්ට.. සජිත් හාන්සියි.   

තැපැල් ඡන්දයේ වාසිය රනිල්ට.. සජිත් හාන්සියි.  

අද සවස මහව පැවැති ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ජන රැළියක දී ඔහු පවසා සිටියේ අද දින පැවැති තැපැල් ඡන්...

සජිත් - හර්ෂ ගැටුමෙන් සජබය ඇවිළේ ! හර්ෂට බැරි නම් යන්න කියයි

සජිත් - හර්ෂ ගැටුමෙන් සජබය ඇවිළේ ! හර්ෂට බැරි නම් යන්න කියයි

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා අතර බරපතල මත ගැටුමක...

පාඨලීව සජබයට එව්වේ රනිල්.. සජිත් නැව් කඹයක් ගිලලා දෙලොවක් අතර..

පාඨලීව සජබයට එව්වේ රනිල්.. සජිත් නැව් කඹයක් ගිලලා දෙලොවක් අතර..

මේ වන විටත් සජිත් ප්‍රේමදාසව යට කරගෙන පාඨලී චම්පික සජබය තුළ බලවත් වී ඇති බව, සජබයේ කුරුණෑගල පළමු ‍රැ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

ක්‍රීඩා

Connet With Us