වෘත්තීය සමිති ත්‍රස්තතවාදයෙන් රාජ්‍ය සේවකයා පරිස්සම් විය යුතුය   Featured

Wednesday, 10 July 2024 12:11

වෘත්තීය අයිතිවාසිකම් සටන් පාඨ කරගත් වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට වෘත්තිකයන්ට අයිතියක් තිබේ.

ඒ අනුව වැඩ වර්ජනය කිරීමත් ඔවුන්ගේ අයිතිවාසිකම් අතර වේ. ඒ ගැන විවාදයක් නැත. නමුත් මේ අයිතිවාසිකම් දඩමීමා කර ගනිමින් මේ අයිතිවාසිකම් වලට මුවා වී කරන ජඩ දේශපාලනයක්ද ක්‍රියාත්මක වෙමින් ඇත. බාහිර පාර්ශ්වයක් ක්‍රියාත්මක කරන කුමන්ත්‍රණයන්ද වේ. නමුත් මේ බව මෙම වෘත්තීය ක්‍රියාමාර්ග වලට අවංකව සම්බන්ධ වන බොහෝ පිරිස නොදනී.

උදාහරණයකට පසුගිය කාලයේ ඇති වූ ගාලු මුවදොර අරගලය තුළද මේ කුමන්ත්‍රණකාරී වුවමනාවන් අනුව සිදු වූ මෙහෙයුම් තිබිණි. ඒ බව දැන් රහසක් නොවේ. මේ අකාරයට රටක වෘත්තීය සමිති සහ දේශපාලන පක්ෂ විවිධ බාහිර පාර්ශ්ව වල වුවමනාවන් ඉටු කරගැනීම වෙනුවෙන් පාවිච්චි වු අවස්ථා ඇත.

මේ පහතින් සටහන් වනුයේ, ප්‍රවීණ දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කුසල් පෙරේරා සිය ෆේස්බුක් ගිණුමේ 2024 ජූලි 07 දා දැමු සටහනකින් ගත් උපුටනයකි.

''....ආණ්ඩු මාරු කිරීමේ “කුමන්ත්‍රණ කතා” අපගේ වැනි බොහෝ රටවල නිතර අසන්නට ලැබෙන්නකි. ආර්ථික හා භූ-දේශපාලනික වුවමනාවන් මත සිදුවන ආණ්ඩු පෙරැළි ගැන කෙරෙන කුමන්ත්‍රණ කතා හැම විටම හිතලු නොවේ. ඇමෙරිකානු රජයේ තීන්දුවක් මත මැතිවරණයෙන් පත් කෙරුණු චිලියේ සල්වදෝර් අයන්ඩෙ ගේ වාමවාදී සභාග ආණ්ඩුව 1973 දී කුරිරු කුමන්ත්‍රණයකින් පෙරැළීම, හිස් කතාවක් නොවුනි. ඒ ගැන කෙටි සටහනක් තැබීම එනිසා වැදගත් යැයි සිතමි.

චිලියේ සල්වදෝර් අයන්ඩෙ ගේ වාමවාදී සභාග ආණ්ඩුව 1973 දී කුරිරු කුමන්ත්‍රණයකින් පෙරැළීම, හිස් කතාවක් නොවුනි.

ආරම්භයේදීම කිව යුත්තේ මෙහි ඉදිරිපත් කෙරෙන උපුටා ගැනීම් සියල්ල “තොරතුරු දැනගැනීමේ නිදහස” නම් ඇමෙරිකානු පනත සහ “රාජ්‍ය රහස් වර්ගීකරණය” යටතේ ආරක්ෂක වාර්තා මුදා හැරීමේ පනතට අනුව ප්‍රසිද්ධ කෙරුණු නිල වාර්තා ඇසුරෙන් සහ එවැනිම වෙනත් නිල වාර්තා මගින් ලබා ගත් තොරතුරු වන බවය.

චිලියේ සල්වදෝර් අයන්ඩෙ බලයට පැමිණියහොත් චිලිය තවත් කියුබාවක් නැතිනම් තවත් සෝවියට් ලැදි රටක් විය හැකි යැයි නික්සන් පාලනය විශ්වාස කළේය. එනිසා ඔහු බලය ගැනීම වැලැක්වීමටත් බලය ගතහොත් ඉවත් කිරීමටත් ඇමෙරිකාව තීන්දු කරන්නේ 1970 සැප්තැම්බර 04 වන දින චිලියේ ජනාධිපතිවරණයටද කලින් ය. ඒ මැතිවරණයෙන් අයන්ඩෙට අවශ්‍ය අවම ඡන්ද ප්‍රමාණය නොලැබුණෙන් වැඩිම ඡන්ද ලබා ගත් අපේක්ෂකයා ලෙස ඔහු පාර්ලිමේන්තුවේ බහුතර ඡන්දයක් ලබා ගත යුතු විය. එබැවින් වොෂිංටනයේ සැළසුම් දෙකක් විය.

එකක් වූයේ පාර්ලිමේන්තුවෙහි අයන්ඩෙ විරෝධයක් හැදීම ය. ඒ වෙනුවෙන් වියදම් කිරීමට චිලියේ ඇමෙරිකානු තානාපති එඩ්වඩ් කෝරිට ඩොලර් මිලියන 10 ක් ලබා දී තිබිණ. දෙවැන්න වූයේ අයන්ඩෙ ජනාධිපති ලෙස පත් වුවහොත් ඔහුගේ පාලනයට එරෙහි ජනතා විරෝධයක් සමග හමුදා කුමන්ත්‍රණයක් සංවිධානය කිරීමය. ඒ තීන්දු ක්‍රියාත්මක කෙරුණේ රාජ්‍ය ලේකම් හෙන්රි කිසිංග ගේ සභාපතිත්වයෙන් ජනාධිපති රචඩ් නික්සන් පත් කළ “40 කමිටුව” මගින් ය.

අයන්ඩෙ පාලනය කෙසේ හෝ අවසන් කිරීමේ ඇමෙරිකානු අවශ්‍යතාව වූයේ සෝවියට් ඇසුරක් ඇති තවත් රටක් බිහි වීමේ අවදානමට වඩා ඔවුන්ගේ ව්‍යාපාරික ආධිපත්‍ය පවත්වා ගැනීම ය. ලොව විශාලම තඹ නිෂ්පාදකයා චිලියයි. ඒ සමාගම් වල බහුතර අයිතිය ඇමෙරිකානු සමාගම් සතු විය. එවගේම ඇමෙරිකානු යෝධ නිෂ්පාදන සමාගමක් වන අයි.ටී.ටී සමාගම චිලියේ දුරකතන සමාගමවූ “චිටෙල්කො” සමාගමේ සියයට 70 ක් කොටස් හිමිකර ගෙන තිබුණි. අයන්ඩෙ පාලනයක් යටතේ ඒවා ජනසතු කෙරෙනු ඇතැයි නික්සන් පාලනය අනුමාන කළේය. එනිසා ඇමෙරිකානු මධ්‍යම ඔත්තු සේවාව වසර දෙකක් තිස්සේ අයන්ඩෙ බලයෙන් ඉවත් කිරීමට අවශ්‍ය පසුබිම සකස් කළේය.

“නිව් යෝක් ටයිම්ස්” පුවත් පත, 1974 සැප්තැම්බර 20 වන දින “ජනාධිපති සල්වදෝර් අයන්ඩෙ ගොසෙන් බලයෙන් පහ කෙරෙන තෙක් ඇමෙරිකානු මධ්‍යම ඔත්තු සේවාව වර්ජනය කළ වෘත්තීය සමිති හා වෙළඳ සංගම් මාස 18 ට වැඩි කාලයක් රහස්‍ය ලෙස නඩත්තු කළ බැව්, බුද්ධි අංශ අද පිළිගත්හ” යනුවෙන් වාර්තා කළේය.

බොහෝ විශ්ලේෂකයින්ගේ මතය වූයේ ප්‍රචණ්ඩ බල මාරුවක් වැළැක්විය නොහැකි වූ බවකි.

මෙයද අපට වැදගත් ය. “තතු දත් අය කියූ පරිදි විශාල වශයෙන් වැය කරණු ලැබුවේ 1972 සරත් සෘතුවේ දින 26 ක් ජාතික ප්‍රවාහන වර්ජනයක නිරත වූ ලොරි හිමියන් වෙනුවෙන්ය.” එය චිලියානු ආර්ථිකය බරපතල ලෙස අඩාල කළ, ජනාධිපති අයන්ඩෙ මුහුණ දුන් පළමු දැවැන්ත කම්කරු විරෝධතාව වූයේ යැයිද වාර්තාවෙහි සඳහන් විය. ඒ සමග එහි සඳහන් වූයේ “1973 දී ඒ වර්ජන රැල්ලේ උච්චතම අවස්ථාව වන විට, එය වර්ජනය කළ ලොරි රියැදුරන් සමග සාප්පු සේවකයින් සහ වෙනත් වෘත්තිකයින් 2,50,000 ට වැඩියෙන් හවුල් වූ, මැදපංතික සමාජ ව්‍යාපාරයක් විය. ඒ සමග බොහෝ විශ්ලේෂකයින්ගේ මතය වූයේ, ප්‍රචණ්ඩ බල මාරුවක් වැළැක්විය නොහැකි වූ බවකි.”

එවැනි නිල වාර්තා සියල්ල සම්පිණ්ඩනය කළ විට කතාව වන්නේ,

(1) නාගරික මැදපංතික අයන්ඩෙ විරෝධය, ඇමෙරිකානු මුදල් මත හැදුවකි

(2) නාගරික විරෝධතා පාරට ගෙන එන්නට මාධ්‍ය, වෘත්තීය සමිති සහ වෘත්තිකයින්ගේ සංවිධාන වලට ඇමෙරිකානු ඩොලර පොම්ප කරනු ලැබිණ

(3) චිලියානු හමුදාවෙහි අයන්ඩෙ විරෝධි නායකත්වයක් හදනු ලැබිණ

(4) ඒ සියල්ල සන්තියාගෝ නුවර ඇමෙරිකානු තානාපති කාර්යාලයේ විශේෂ නිලධාරියෙකු මගින් සම්බන්ධීකරණය කරනු ලැබිණ.

“චිකාගෝ බෝයිස්”

ඔගුස්තො පිනොචෙ බලයට එන්නේ ලේ වැකි හමුදා මර්දනයක් සමග සැප්තැම්බර 11 වන දින අයන්ඩෙ ඝාතනය කිරීමෙනි. මේ මෘග ආණ්ඩු මාරුවෙන් පසු පිනොචෙ, “චිකාගෝ බෝයිස්” යනුවෙන් ප්‍රසිද්ධ වූ ආර්ථික උපදේශන කමිටුවක් පත් කළේය. ඒ ආර්ථික කමිටුව සමග ජා.මූ.අරමුදල චිලියේ ආර්ථිකය නිදහස් වෙළඳපල ආර්ථිකයක් ලෙස ස්ථාපිත කළේය. ඒ වෙනුවෙන් පළමු වරට 1974 දී ජා.මූ.අරමුදල ඩොලර මිලියන 79 ක ණය ආධාරයක්ද චිලියට ලබා දුන්නේය...''

මෙයින් කියවෙන්නේ රටක වෘත්තීය සමිති, රටෙන් පිටත බාහිර බලවේග වල වුවමණාවන් වෙනුවෙන් යොදාගත් එක් අවස්ථාවකි. නමුත් බොහෝ විට මෙවැනි මෙහෙයුම් සම්බන්ධයෙන් චෝදනා එල්ල වන්නේ ඇමරිකාව හෝ එම බටහිර බලවේග වලට එරෙහිවය. නමුත් එම කාලයට අදාලව මෙම බටහිර ධනවාදී කඳවුර ලෝක පාලන බලය වෙනුවෙන් ක්‍රියාත්මක වූ යුගයකි. ඊ‌ට එරෙහිව සෝවියට් සමාජවාදී කඳවුර ක්‍රියාත්මක වූ අතර ඔවුන් ද විවිධ ආකාර වලින් රට රටවල පාලනය තමන්ට පක්ෂපාත තබා ගැනීම වෙන්වෙන් කුමන්ත්‍රණකාරීව කටයුතු කළේය.

නමුත් පසු කාලීනව මෙම ද්වි ධ්‍රැවීය කඳවුරු වල බලය වෙනුවට බහු ධ්‍රැවීය බල ලෝකයක් බිහි විය. අද චීනය එලෙස බලවත් වූ රාජ්‍යයකි. එසේම ඉන්දියාව වැනි රාජ්‍යයක්ද මේ ගෝලීය භු-දේශපාලනය තුළ ගොඩනැගෙමින් තිබෙන නව ධ්‍රැවයක් ලෙස හැඳින්විය හැකිය. මේ අනුව මෙම මහා බලවතුන් කුඩා රාජ්‍යයන් කෙරෙහි බරපතල මැදිහත් වීමක් සිදු කරයි. ශ්‍රී ලංකාවට ද මෙම සියළුම බාහිර බලවේග වල බලපෑම් වලින් මිදීමට හැකියාවක් ලැබී නැත.

මේවන විට මෙරට ක්‍රියාත්මක වැඩ වර්ජන රැල්ල ද මේ ගෝලීය භූ-දේශපාලනික වුවමණාවන් මත ක්‍රියාත්මක නොවෙතැයි පැවැසිය නොහැක. මන්ද වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් කරන සටන් ලෙස මේවා මතු පිටින් පෙනෙන්න තිබුණත් ඒ වැඩි දුර විශ්ලේෂණාත්මකව විමසා බැලු විට ඊට එහා ගිය කරුණා කාරණ හෙළිදරව් වීම නොවැලැක්විය හැකිය.

වැඩ වර්ජනයේ සැකමුසු තැන්

මුලිකම කාරණය මේ වැඩ වර්ජිතයන්ගේ වැටුප් වරප්‍රදසාද ඉල්ලීම් කෙතරම් සාධාරණ බව කියන්න උත්සහ කළත්, මේ මොහොතේ වත්මන් රජයට තබා අනෙක් ආණ්ඩුවක් යටතේ හෝ ඉටු කිරීමේ හැකියාවක් නොතිබීමය. එමෙන්ම මේ වන විටත් මෙම ගැටලු විසඳීම වෙනුවෙන් අදාල වෘත්තීය සමිති සමග සාකච්ඡා කරමින් රජය යම් විසඳුම් ක්‍රියාවලියකට සුදානම් වෙමින් හෝ පියවර ගෙන ඇති මොහොතක් වීමත්ය. එසේම රජය ඇතැම් ක්ෂේත්‍රයකට ලබා දී තිබෙන විසඳුම් පවා රාජ්‍ය සේවයේම නිලධාරීන්ගේ අකාර්යක්ෂමතා, දූෂිතබව, කුහකකම් ආදී හේතු මත වැලැකී ඇති අතර එම ප්‍රශ්නය මඟ හැර රජයට චෝදනා කිරීමත් සිදුවේ.

එසේම තමන්ගේ වෘත්තීය ක්ෂේත්‍රයට අදාල නොවන අනෙක් වෘත්තීය ක්ෂේත්‍රයක් වෙනුවෙන් කරන මැදිහත් වීම, මේ අයගේ ඒකාබද්ධතාවය සමග ඇතැම් දේශපාලන පක්ෂ සහ ජනමාධ්‍ය ආයතන, මේ වෙනුවෙන් කරන මැදිහත් වීම. ඒ අතරම ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන සහ විදේශ තානාපති කාර්යාලවල මැදහත් වීම.. ආදි කරුණ කාරණ රැසක් නිසා මෙම වැඩ වර්ජන රැල්ල වෘත්තීය ඉල්ලීම් වලට එහා ගිය යම් ක්‍රමන්ත්‍රණකාරී වැඩ පිළිවෙලක කොටසක් බවට වන සැකය වර්ධනයට හේතු වී ඇත.

එමෙන්ම මෙම වැඩ වර්ජනයන් මෙහෙය වන ඊට නායකත්වය දෙන පිරිසේ පෞද්ගලික ජීවන තත්වයන් පරික්ෂා කිරීමේදී ඔවුන්ගේ ඉහල සමාජ ජීවිතය, ඉඩකඩම් දේපොළ වත්කම් සහිත ධනවත් භාවය ද අනාවරණය කර ගත හැක. ඔවුන්ගේ විදේශ ගත සම්බන්ධතා ගනු දෙනුද ගැනද කරුනු සොයාගත හැකිය.

නීරීක්ෂණය වන තවත් වැදගත් කරුණක් නම් මේ වෘත්තීය සමිති මෙහෙය වන්නන් විසින් මේ වැඩවර්ජන, විරෝධතා උද්ඝෝෂණ සඳහා අනෙක් සේවකයන් බලහත්කාරයෙන් තර්ජනයෙන් ගර්ජනයෙන් යොදාගැනීමට පෙළඹීමය. මන්ද මෙවා සාර්ථක වන තරමට ඔවුන්ට ලැබෙන ප්‍රතිලාබ වර්ධනය වන බැවිනි. එසේම අනෙක් පොදු ලක්ෂණය නම් මේ වෘත්තීය සමිති නායකයන් තම සමිතියේ නායකත්වය ජීවිත කාලය පුරාවටම රඳවාගැනීමය. එය සාමාජික කැමැත්තේන යෝජනාවෙන් වෙනස් කිරීමට කිසිසේත් ඉඩ නොදීමය. ඒ වෙනුවෙන් නායකත්වයේ සංතෝසම් ලබන පිරිසක්ද නඩත්තු කරයි.

මේ ආදි කරුණ කාරණ මත මේ සිදුවන වැඩ වර්ජන රැලල් කවුරු කුමක් අරඹයා ක්‍රියාත්මක කරනවාද යන්න ගැන විමසුම් සහගතව බැලිය යුතුය. කොහොම නමුත් මේ මොහොතෙත් ක්‍රියාත්මක වැඩ වර්ජනයන් තුළ පෙන්නුම් කරන්නේ වෘත්තීය අරගලයනට වඩා රහසිගත දේශපාලනික වුවමණාවක් මේ තුළ පවතින බවය. මෙය පැහැදිලිවම රට අරාජික කරන කුමන්ත්‍රණයක් විය හැකිය.

රටක් ලෙස කල්පනා කරන විට මේ රටකට එරෙහි ත්‍රස්තවාදයක් ලෙස විග්‍රහ කිරීමත් වැදි නැත. මන්ද මේ හරහා සමස්ත ජනතාවම පීඩාවට පත් කිරීම සිදු වන බැවිනි. රටේ නිශ්පාදන කාර්යය කඩාකප්පල් කරන බැවිනි. රටේ ආදායම් වලක්වන බැවිනි.රටේ සංවර්ධනය අඩාල කරන බැවිනි. සාමාන්‍ය ජන ජීවිතය අවුල කරන බැවිනි.

මේ නිසා විශේෂයෙන්ම රාජ්‍ය සේවකයා මේ ගැන මනා අවබෝධයක් සහිත විය යුතුය. මන්ද මේවාට මුලින්ම ගොදුරු වන්නේ රාජ්‍ය සේවකයා වන වන බැවිනි. එමෙන්ම යම් අනර්ථකාරී දෙයක් වු පසුව මේ වෘත්තීය සටන මෙහෙයවන නායකයන් යළි දකින්වත් නොලැබෙන බවත් අතීත සිදුවීම් උදාහරණ සපයා ඇති බවත් රාජ්‍ය සේවකයන් මතක තබා ගත යුතුය..

Last modified on Wednesday, 10 July 2024 12:15

Leave a comment

Gossip

ඉන්න බැරි සේරම යන්න... රාජපක්ෂලාට රනිල් දන්වයි !

ඉන්න බැරි සේරම යන්න... රාජපක්ෂලාට රනිල් දන්වයි !

මෙවර ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය නොදෙන ආණ්ඩු පාර්ශ්වය නාමිකව නියෝජනය කරන සියලු...

තැපැල් ඡන්දයේ වාසිය රනිල්ට.. සජිත් හාන්සියි.   

තැපැල් ඡන්දයේ වාසිය රනිල්ට.. සජිත් හාන්සියි.  

අද සවස මහව පැවැති ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ජන රැළියක දී ඔහු පවසා සිටියේ අද දින පැවැති තැපැල් ඡන්...

සජිත් - හර්ෂ ගැටුමෙන් සජබය ඇවිළේ ! හර්ෂට බැරි නම් යන්න කියයි

සජිත් - හර්ෂ ගැටුමෙන් සජබය ඇවිළේ ! හර්ෂට බැරි නම් යන්න කියයි

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා අතර බරපතල මත ගැටුමක...

පාඨලීව සජබයට එව්වේ රනිල්.. සජිත් නැව් කඹයක් ගිලලා දෙලොවක් අතර..

පාඨලීව සජබයට එව්වේ රනිල්.. සජිත් නැව් කඹයක් ගිලලා දෙලොවක් අතර..

මේ වන විටත් සජිත් ප්‍රේමදාසව යට කරගෙන පාඨලී චම්පික සජබය තුළ බලවත් වී ඇති බව, සජබයේ කුරුණෑගල පළමු ‍රැ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

ක්‍රීඩා

Connet With Us