පාඨලී චම්පික රණවක පසුගියදා සිදු කළ ප්‍රකාශයකින් කියවුණේ රාජ්‍ය සේවයේ වැටුප් වැඩි කිරීම රුපියල් 30,000 න් වුවත් ඉහළ දැමිය හැකි බවය.
එය සිදු කිරීමට මේ වන විට වැට් බද්දෙන් නිදහස් කර තිබෙන භාණ්ඩ ලැයිස්තුව අහෝසි කර වැට් බදු පැනවීම කළ හැකි බව කියයි. රජය එය නොකරන්‌නේ වැට් බදු සහනය ලබා දී ඇත්තේ ආණ්ඩුවේ හිතවතුන් හෝ ජාවාරම් කරයන්ට වන නිසා බවත් හඟවා තිබිණි.
'..මතක තියාගන්න ඕනේ ගිය අවුරුද්දේ 2023 අර ඉදිරිපත් කළා බදු සහන පිළිබඳ මුදල් අමාත්‍යාංශයේ ලේඛනය ගිය කීයක් බදු සහන දීලා තියෙනවද? රුපියල් බිලියන 978 ක් බදු සහන දීලා තියෙනවා. මේකෙන් වැට් ප්‍රමාණය බිලියන 543ක්. මේ රටේ ඉන්නේ දාහතර ලක්ෂයයි රජයේ සේවකයෝ. මේ බදු සහනය නොදුන්නා නම්, මේ වැට් බදු සහනය රාජ්‍ය සේවකයින්ගේ වැටුප් රු. 30,000කින් වැඩි කරන්න පුළුවන් මාසෙකට. ඒක තමයි ඇත්ත. අන්න ඒකයි රාජ් ය සේවකයාගේ ප්‍රශ්නෙ...'
මෙය තනිකර තක්කඩි කතාවකි. තමන්ගේ පටු අවස්ථාවාදී මජර දේශපාලන වුවමණාවන් වෙනුවෙන් රටත් ජනතාවක් නොමග යවන සාහසික ප්‍රකාශයකි.
මේ පහතින් පළවන්නේ මෙම ප්‍රකාශය අනුව යමින් චම්පිකගේ සමාජ මාධ්‍ය ප්‍රකාශකයකු තැබු ෆේස්බුක් සටහනකි.
රුපියල් 30000 කින් රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි කරන්න පුලුවන්.
………………………………………………
රජයේ සේවකයෝ ලක්ෂ 14ක්.
වැටුප් 30000 කින් වැඩි කරන්න නම්,
ලක්ෂ 14 × 30000 = බිලියන 42
ඒ එක මාසෙකට..අවුරුද්දට මාස 12
බිලියන 42 × 12 = බිලියන 504
……………………………………………..
මේ බිලියන 504 කොහෙන්ද හොයාගන්නේ?
මුදල් අමාත්‍යාංශයපහුගිය අවුරුද්දේ බදු සහන ලැයිස්තුවක් නිවේදනය කලා.
ඒ බදු සහන නිසා රජයට බිලියන 978ක් අහිමි උනා.
ඒකෙන් බිලියන 543ක් වැට් බදු සහන.
වැට් බදු සහන දුන්නෙ කාටද?
විවිධ පාරිභෝගික භාණ්ඩ සඳහා ඒකාධිකාරයක් තියාගෙන උන්න ජාවාරම්කාර ව්‍යපාරිකයො කීප දෙනෙකුට..
ඒ අයට අසීමිත ලාබයක් උපයාගන්න.
…………………………………………………
ප්‍රශ්න තියෙනවා. ඒවාට විසඳුම් හොයන්න ඕන.
රටේ අධ්‍යාපනය, උසස් අධ්‍යාපනය, ප්‍රවාහනය, සෞඛ්‍යය හැම එකම වර්ජන නිසා අඩාල වෙලා.
ඔය ප්‍රශ්න විසඳලා..රජයේ සේවකයාට ගෞරවනීය වැටුපක් හදලා දෙන එක ආණ්ඩුවට කරන්න පුලුවන්.
එහෙම නොකරන්නෙ ජාවාරම්කාර හිතවතුන් ටික හුරතල් කරන්න ඕන හින්දා..
නමුත් ඇත්ත කතාව මෙහිදී වුවමණාවෙන් වසං කර තිබේ.
රජය පසුගිය වසරේ වැට් බදු වැඩි කිරීම සිදු කරන විට ඒ වන විටත් තිබු වැට් බද්දෙන් නිදහස් භාණ්ඩ 138 අතරින් භාණ්ඩ 43 න් හැර අනෙක් සියල්ලට බදු අය කිරීමට තීරණය කළේය.
එම තීරණය ගනු ලැබුවේ මෙම නිදහස් කිරීම නිසා රජයට වාර්ෂිකව ද.දේ.නි. යෙන් සියයට 2ක පමණ බදු ආදායමක් අහිමි වීම සලකා බලාය. ඉන් වැඩි කොටසක් අත්පත් කරගැනීමට රජය මේ අනුව පියවර ගෙන ඇත.
වැට් බදු වැඩි කිරීම සහ වැට් බදු සහන එතෙක් හිමිව තිබු භාණ්ඩ ගනනාවකට ද අලුතෙන් ඇතුළත් කරගැනීම ගැන එදා චම්පිකලා ඊට දැඩිව විරුද්ධ විය.
විපක්ෂයේ සියළු පක්ෂ ද විරුද්ධ විය.
එපමණක් නොව අද වැඩි පඩි ඉල්ලන රාජ්‍ය සේවක වෘත්තීය සමිති ද විරුද්ධ විය.
නමුත් දැන් මේ අය කියන්නේ ඒ බද්දෙන් නිදහස් කළ භාණ්ඩ වලටත් බදු අය කර රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීම සිදු කළ යුතු බවය. සිදු කළ හැකි බවය.
වෘත්තීය සමිති ඉල්ලා සිටින රු. 25,000 දීමනාව ලක්ෂ 14 ක රාජ්‍ය සේවකයන්ට ලබාදීම සඳහා වාර්ෂිකව රු.බි. 420 ක පමණ මුදලක් රජය අමතරව වැය කළ යුතුය. මේ අනුව වැට් බදු නිදහස අහෝසි කිරීමෙන් මෙම දීමනාව ගෙවිය හැකි බව පෙන්වා දිය හැකිය.
එහෙත් මෙහිදී රජය මේ වැට් බදු නිදහස් භාණ්ඩ ලැයිස්තුවක් පවත්වාගෙන යෑමේ අරමුණ නොසලකා හැරිය යුතුය.
රජය වැට් බද්දෙන් භාණ්ඩ 43 ක් තවදුරටත් නිදහස් කරනු ලැබුවේ පාරිභෝගිකයාට වාසියක් වනු පිණිසත් ඇතැම් කර්මාන්ත පවත්වාගෙන යෑමට පහසුවක්, සහනයක් වෙනුවෙනුත්ය.
නිදහස් භාණ්ඩ ලැයිස්තුව දෙස බැලීමෙන් මේ බව තේරුම් ගත හැකිය.
අනෙක් කාරණය වැට් බදු වැඩි කිරීමට හා නිදහස් ලැයිස්තුව කෙටි කිරීමට හේතු වූයේ රාජ්‍ය සේවකයන්ට රු 10,000 ක දීමනාව සහ රජයේ එදිනෙදා අත්‍යාවශ්‍ය වියදම් කොටසක් පියවා ගැනීම වෙනුවෙන් රාජ්‍ය ආදායම් ලබා ගැනීම වෙනුවෙනි. එමෙන්ම සියයට 15 ක තිබු බදු ප්‍රතිශතය සියයට 18 දක්වා වැඩි කළේ රජය මුහුණ දෙන දැඩි ආර්ථික අපහසුතාවය කෙටිකාලීනව ලිහිලි කර ගැනීම වෙනුවෙන් තාවකාලික පිළියමක් ලෙස බවත් රජය දන්වා තිබිණි.
ජාවාරම්කරුවන්ට සහන දුන්නද?
වැට් බදු පැනවීම හෝ සහන දීම මඟින් ව්‍යාපාරිකයන්ට අත්පත් වන විශේෂ ලාභයක් හෝ අලාබයක් නැත. මන්ද මේ වැට් බදු මුළුමනින්ම පාහේ ගෙවනු ලබන්නේ පාරිභෝගිකයා විසින් පමණක් වීමය.
එය බදු වැඩි වීම නිසා භාණ්ඩ මිළ ඉහළ යාමෙන් භාණ්ඩ ඉල්ලුම තරමක් අඩු වී එය ව්‍යාපාරිකයාට සුළු බලපෑමක් විය හැකිය. නමුත් එය තාවකාලික තත්වයකි.
මන්ද රටේ ආර්ථික තත්වයන් ස්ථාවරව වර්ධනය වන විට ජනතාවගේ ආදායම් ඉහළ යන විට නැවත ඉල්ලුම ඇතිවන නිසාය. රටේ උද්ධමනය අඩු වෙමින් පවතින තත්වයන් තුළ පාරිභෝගිකයාට මේ බදු වැඩිවීම දරාගැනීමේ හැකියාවත් ලැබේ.
දැනට වැට් බදු සහන ලබා දී ඇති භාණ්ඩ ලැයිස්තුව මෙසේය.