ක්‍රීම් විකුණලා පියුමිට මෙච්චර සල්ලි කොහෙන්ද? Featured

Saturday, 22 June 2024 11:41

නිරූපිකාවක් වන පියුමි හංසමාලි පිළිබඳව සමාජයේ බොහෝ දෙනාගේ කතා බහට ලක්වූයේ ඇගේ නිරූපණ ශිල්පයට අදාළ වූ යම් යම් හේතු කාරණා නිසාය.

එහෙත් මේ වන විට ඇය සම්බන්ධයෙන් සමාජයේ කතිකාවතක් මතුව ඇත්තේ ඇගේ ඒ ජනප්‍රියත්වය නොවන හතු පිපෙන්නාක් මෙන් හදිසියේ ප්‍රකෝටිපතිනියක් වීමේ රහස පිළිබඳවය.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා භාවිත කළ නවීන පන්නයේ සුපිරි ජීප් රිය ඇය මිලට ගත් පුවතත් සමඟ අන්තර්ජාල වෙබ් අඩවි මෙන්ම සමාජ මාධ්‍ය ඡාලා ඔස්සේ මේ පිළිබඳව දිගින් දිගටම කරුණු ප්‍රචාරය වන්නට විය.

එපමණක් ද නොව පියුමි හංසමාලි කොළඹ 07 ප්‍රදේශයේ අති සුඛෝපභෝගී මහල් නිවාසයක හිමිකාරිනිය වීම පිළිබඳව ද ඒ පුවත් දිගින් දිගටම නොයෙක් ආකාරයේ ප්‍රවෘත්ති මවන්නට විය. එය එසේ තිබියදී හදිසියේම ධනවතියක් වූ පියුමි ගැන විමර්ශනයක් පවත්වන ලෙසට සිවිල් සංවිධාන නීතිය කරවන්නන්ට පැමිණිලි කළේ ඉන් අනතුරුවය.

මැද්දේගොඩල ගුරුබැවිලාගම බලංගොඩ ලිපිනයේ පදිංචි ‘මගෙන් රටට‘ සංවිධානයේ සභාපති සංජය මහවත්ත යන අය නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා වෙත කරන ලද ලිඛිත පැමිණිල්ලකට අනුව පට්ටියගේ පියුමි හංසමාලි ගෝමස් පිළිබඳව 2011 අංක 40 දරන පනතින් සංශෝධිත 2006 අංක 05 දරන මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත ප්‍රකාරව විමර්ශනයක් ආරම්භ කිරීමට සංවිධානාත්මක අපරාධ මඟින් උපයා ගන්නා වත්කම් විමර්ශන ඒකකය කටයුතු කර තිබිණ.

මෙම විමර්ශනය සම්බන්ධයෙන් ඉකුත් 19 වැනිදා නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ මඟින් උපයාගන්නා වත්කම් විමර්ශන ඒකකය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක ඉදිරියේ කරුණු වාර්තා කළේය.

ඒ අනුව නිරූපන ශිල්පිණී පියුමි හංසමාලි යන අය රුපියල් ලක්ෂ 780කට රේන්ජ් රෝවර් වර්ගයේ ජීප් රථයක් මිලදී ගැනීම, රුපියල් මිලියන 148කට කොළඹ 07 ග්‍රෑන්ඩ් නිවාස සංකීර්ණයේ නිවසක් මිලදී ගැනීම සහ සැක සහිත ගනුදෙනු සහිත බැංකු ගිණුම් 20ක් පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි.

අංක 15 නව කොළොන්නාව පාර රාජගිරිය ලිපිනයේ පදිංචි පට්ටියගේ පියුමි හංසමාලි ගෝමස් යන අය නිරූපිකාවක් වශයෙන් පෙනී සිට ඉතා කෙටි කාලයක් තුළදි නවීන පන්නයේ මෝටර් රථ හා මහල් නිවාස මිලදීගෙන විවිධ දේශපාලනඥයින් ඇසුරුකරමින් සුඛෝපභෝගී ජීවිතයක් ගත කරන බවත්, මෙලෙස වත්කම් මිලදී ගැනීම සඳහා මුදල් උපයාගත් ආකාරය සහ මෙකී තැනැත්තිය යම් නීති විරෝධී ක්‍රියාවක් සිදු කර මෙම මුදල් උපයාගැනීමක් සිදුකර තිබේද යන්න සම්බන්ධයෙන් මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත ප්‍රකාරව විමර්ශනයක් ආරම්භ කරන ලෙසත් සඳහන් කරමින් ‘මගෙන් රටට’ සංවිධානයේ සභාපති සංජය මහවත්ත සිය පැමිණිල්ලෙන් ඉදිරිපත් කර ඇත.

පියුමි හංසමාලි මිලදී ගෙන ඇති බවට අනාවරණය වූ අංක සීබීඑම් 1949 දරන රේන්ජ් රෝවර් වර්ගයේ ජීප් රථයට අදාළව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මඟින් වාර්තා කැඳවා ඇති බවත්, එය ඇය විසින්ම මිලදී ගෙන ඇත්දැයි යන්න සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා එම වාහනයේ හිමිකරු ලෙස සඳහන්ව ඇති වික්‍රමරත්න පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂවරයකු වූ හේවා තොන්ඩිලාගේ ජනක ජයදිනුම් යන අයගෙන් ඉකුත් 2024 අප්‍රේල් මස 18 වැනි දින ප්‍රකාශයක් සටහන් කර ගත් බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර ඇත.

ගල්පොත්ත පාර, නාවල පදිංචි වික්‍රමරත්න පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂවරයකු වූ හේවා තොන්ඩිලාගේ ජනක ජයදිනුම් සිය ප්‍රකාශයෙන් දක්වා තිබුණේ 2023 මාර්තු මස 07 වැනි දින පියුමි හංසමාලි යන අය පැමිණ රථය පරීක්ෂා කර රුපියල් ලක්ෂ 05ක මුදලක් අත්තිකාරම් වශයෙන් ලබාදී පසුව රුපියල් ලක්ෂ 400ක් ෆිනෑන්ස් පහසුකම් යටතේ රුපියල් ලක්ෂ 780ක එම රථය මිලදීගත් බවත්ය

“මම 2018 වසරේ ඉඳලා කොළඹ 12 ප්‍රදේශයේ වික්‍රමරත්න පුද්ගලික සමාගම නමින් වාහන ව්‍යාපාරයක් පවත්වාගෙන යනවා. මා එහි අධ්‍යක්ෂවරයා . මදුර වික්‍රමරත්න කියන්නේ මගේ ඥාති සහෝදරයෙක්.

ඔහු වසර හතළිහක පමණ කාලයක සිට ශ්‍රී ලංකා යුද හමුදාවට ආහාර සැපයීමේ කොන්ත්‍රාත්තුව සිදුකරනවා. එ් නිසා ඔහු විවිධ ව්‍යාපාරිකයින් මෙන්ම දේශපාලනඥයින් හඳුනනවා. මේ ජීප් රථය 2019 වසරේදී එංගලන්තයේ සිට මෙරටට ගෙන්නුවා. ඊට පස්සේ ඒක විකුණන්න බැරිව වාහන අංගණයේ නවත්තලා තිබුණා. ඒ දවස්වල හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ වාහනයේ කාර්මික දෝෂයක් ඇති වුණා කියලා කිව්ව නිසා මේ වාහනය 2020 වර්ෂයේදී එතුමාගේ පරිහරණයට ලබා දුන්නා. ආපහු ඒක 2021 වර්ෂයේදී ලබා ගත්තා. ඊට පස්සේ ඒක විකුණන්න වෙබ් අඩවි දෙකක දැන්වීම් දැම්මා.

ඊට පස්සේ පියුමි සහ ප්‍රගීත් 2023 මාර්තු මාසේ 07 වැනිදා වාහනය බලන්න ආවා. ඒ ගොල්ලෝ වාහනය පරීක්ෂා කරලා රුපියල් ලක්ෂ 05ක මුදලක් අත්තිකාරම් ලෙස දුන්නා. ඊට පස්සේ රුපියල් ලක්ෂ 50 බැගින් ලක්ෂ 100ක මුදලක් මගේ බැංකු ගිණුමට බැර කළා.

ඉතිරි මුදල වරින් වර මගේ ගිණුමට දැම්මා. ඒ වගේම ලක්ෂ 400ක මුදලක් වැලිබල් ෆිනෑන්ස් ආයතනයෙන් කල්බදු පහසුකමක් ලබාගෙන රුපියල් ලක්ෂ 780කට වාහනය මිලට ගත්තා.”

පියුමි හංසමාලි අදාළ ලිසිං පහසුකම ලබා ගැනීම සම්බන්ධයෙන් එහි අලෙවි විධායක නිලධාරී එළුවාවගේ ගිහාන් බුද්ධික යන අයගෙන්ද නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය ප්‍රකාශ සටහන් කරගෙන තිබුණු අතර අදාළ රථය සඳහා අවස්ථා තුනකදී ෆිනෑන්ස් පහසුකම ලබාගෙන තිබූ බවත්, ඒ සඳහා ඇපකරුවන් වශයෙන් අගම්පොඩි ප්‍රගති තනුෂ්ක මැන්දිස් ජයසිංහ ආරච්චිගේ චන්දිම නුවන් යන අය අත්සන් තබා ඇති බවට ඔහු ප්‍රකාශ කර තිබිණ.

“පළමු අවස්ථාවේදී එනම් 2023 මාර්තු මස 07 වැනිදා රුපියල් ලක්ෂ 400ක මුදලක් ස්පීඩ් ඩ්‍රාෆ්ට් යටතේ අප ආයතනයෙන් ලබා ගත්තා. ඒ වන විට එම වාහනයේ තක්සේරු වටිනාකම රුපියල් ලක්ෂ 800ක්. මේ කල්බදු පහසුකමෙන් දිනකට රුපියල් 33,425 බැගින් මාසිකව පොලී මුදල් ගෙවීමේ පොරොන්දුව සහිතව අවුරුදු 01ක කාලයක් සඳහා ලබා දුන්නා. පසුව එය 2023 ජූනි මස 30 වැනිදා අවසන් කළා. දෙවන අවස්ථාවේදී එනම් 2023 ජූලි මස 24 වන දින රුපියල් ලක්ෂ 450ක් ස්පීඩ් ඩ්‍රාෆ්ට් පහසුකම යටතේ ලබාදුන්නා. එය 2023 දෙසැම්බර් මස 18 වැනිදා ගෙවා අවසන් කළා. තුන්වන අවස්ථාවේදී එනම් 2023 දෙසැම්බර් මස 19 වැනි දින රුපියල් ලක්ෂ 450ක මුදලක් ලබා ගත්තා.

එම මුදල තම ආයතනය මඟින් ගොනු 02ක් වශයෙන් රුපියල් ලක්ෂ 250ක මුදලක් ෆිනෑන්ස් පහසුකමක් යටතේ දළ ලක්ෂ 200ක මුදලක් ස්පීඩ් ඩ්‍රාෆ්ට් යටතේ ද ලබා ගත්තා. මේ ලක්ෂ 250 ලබා ගැනීම සඳහා මාසිකව රුපියල් 2,327,847ක් බැගින් වාරික 12කින් ගෙවා අවසන් කිරීමට හා රුපියල් ලක්ෂ 200 සඳහා දිනකට රුපියල් 11,507 බැගින් මාසිකව වර්ෂයක් සඳහා ගෙවීම් කටයුතු සිදුකර අවසන් කිරීමට ලබාගත්තා. මේවා තාම සක්‍රීය මට්ටමේ තියෙන්නේ. මුල් අවස්ථාවේදී ලක්ෂ 400ක චෙක්පත වාහනය මිලට ගත් ආයතනයට දුන්නා. අනෙක් අවස්ථාවලදී පියුමි හංසමාලි ගෝමස් යන අයගේ නමින් චෙක්පත් නිකුත් කළා.

මේ ෆිනෑන්ස් පහසුකම ලබාගන්නා අවස්ථාවේදී පියුමි හංසමාලි යන අය ලොලියා ස්කින් කෙයා පුද්ගලික සමාගම යන ආයතනයක් පවත්වාගෙන යන බවට සඳහන් කළා. එම ව්‍යාපාරයේ නමින් ආරම්භ කරලා තිබුණ බැංකු ගිණුම් පරීක්ෂා කරලා තමයි මේ පහසුකම ලබා දුන්නේ. අදාළ වාරික මුදල් වැඩියෙන් ඇය ගෙවා තිබුණා. ඒ වගේම ඇතැම් අවස්ථාවල ඇගේ නිවසට ගොස් එම මුදල් ලබා ගැනීම සිදුවුණා.

සමහර අවස්ථාවල පානදුර, ගල්කිස්ස, වත්තල යන ශාඛාවලින්ද ගෙවීම් කර තිබුණා.” යනුවෙන් ද අලෙවි නිලධාරියා සිය ප්‍රකාශයෙන් දක්වා තිබිණි.

මෙම තැනැත්තිය ඉකුත් 2023 අප්‍රේල් මස 21 වැනිදා වෝඩ් පෙදෙස කොළඹ 07 පිහිටි ග්‍රෑන්ඩ් නිවාස ව්‍යාපෘතියට අදාළ 23 වන තට්ටුවේ බී 2 දරන රුපියල් මිලියන 148ක් වටිනා නිවස මිලදීගන්නා බව සඳහන් කරමින් වාරික වශයෙන් අවස්ථා 15කදී එම මුදල ලබාදුන් බවත් අදාළ නිවාස ව්‍යාපෘතියේ ප්‍රධාන ගණාකාධිකාරිවරිය ප්‍රකාශ මඟින් කරුණු ඉදිරිපත් කළ බව නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය අධිකරණයට දැනුම් දුන්නේය.

කොළඹ 08 ප්‍රයිම් ගෲප් පුද්ගලික සමාගමේ ප්‍රධාන ගණකාධිකාරී සුද්දත්චාරිගේ කුමාරි කාංචනා ප්‍රනාන්දු මේ සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා දෙමින් සඳහන් කර තිබුණේ මෙම නිවස මිලදී ගැනීමේදී ආයතනයෙන් ලබා දී ඇති කේවයිසී පෝරමයට අනුව ස්ථීර ලිපිනය ලෙස කලපළුවාව රාජගිරිය ප්‍රදේශයෙන් ලිපිනයක් දළ නිවස මිලදී ගැනීම සඳහා වන මුදල් විකිණීමෙන් සහ වෙළෙඳාමෙන් ලැබෙන ආදායම ලෙස සඳහන් කර ඇති බවත්ය .

මුල් අවස්ථාවේදී එනම් 2023 අප්‍රේල් මස 25 වැනි දින රුපියල් ලක්ෂ 50ක මුදලක් අපේ ආයතනයේ බොරැල්ල බැංකු ශාඛාවකට ගෙව්වා. ඊට පස්සේ රුපියල් ලක්ෂ 87ක මුදලක් ගෙව්වාට පස්සේ අයතනය සමඟ එකගතා ගිවිසුමක් අත්සන් කළා.

සියලු ගනුදෙනු අවසන් කිරීමට තිබුණේ 2023 සැප්තැම්බර් මස 07 වැනිදා. නමුත් මේ සියලු මුදල් ගෙවා අවසන් කළේ 2023 දෙසැම්බර් මස 27 වැනිදා.

මේ නිවසේ ලියාපදිංචිය තවමත් පියුමි හංසමාලි යන අයගේ නමින් ලියාපදිංචි කරලා නැහැ. ඇය අවස්ථා 15කදී මිලියන 148ක මුදලක් ගෙව්වා” යනුවෙන් අදාළ පුද්ගලික සමාගමේ ප්‍රධාන ගණකාධිකාරීව සිය ප්‍රකාශවලින් සඳහන් කර තිබුණි.

පියුමි හංසමාලි යන අය මෙම වත්කම් මිලදී ගැනීම සඳහා ඇයගේ ප්‍රධාන ආදායම් මාර්ගය ලෙස සඳහන් කර ඇති රූපලාවණ‍යය ආලේපන ආයතනය සම්බන්ධයෙන් සමාගම් රෙජිස්ට්‍රාර් කාර්යාලය මඟින් අදාළ ව්‍යාපාරයේ ලියාපදිංචිය සම්බන්ධයෙන් වාර්තා ලබා ගෙන ඇති බව නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය අධිකරණයට දැනුම් දී තිබිණි.

ඒ අනුව එම ආයතනය මඟින් සිදුකරනු ලබන ව්‍යාපාර කටයුතු ආදායම් බදු ගෙවීම් ව්‍යපාරයේ ගිණුම් සම්බන්ධයෙන් හා මෙම ව්‍යාපාරය මඟින් විදේශ ආනයන අපනයන කටයුතු සිදුකර ඇත්ද යන්න සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන සිදුකරන බව ද එම කොට්ඨාසය අධිකරණයට දැනුම් දී තිබිණි.

මෙම තැනැත්තිය සහ ඇගේ සමීපතමයින් ශ්‍රී ලංකාව තුළ පවත්වාගෙන යනු ලබන මූල්‍ය පහසුකම් සම්බන්ධයෙන් කරුණු අනාවරණය කර ගැනීම සඳහා 2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ 15 :1 වගන්තිය ප්‍රකාරව ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය මඟින් වාර්තා ලබාගෙන ඇති බවත්, ඒ අනුව ඇයගේ සහ ඇගේ සමීපතමයින්ගේ ජාතික හැඳුනුම්පත් අංකයන්ට අදාළව ගිණුම් 20ක් ආරම්භ කර ඇති බවට කරුණු හෙළිවී ඇතැයි ද එම කොට්ඨාසය අධිකරණයට දැනුම් දුන්නේය.

ඒ අනුව සම්පත් බැංකුවේ ගිණුම් දෙකක්, කොමර්ෂල් බැංකුවේ ගිණුම් 04ක්, ජාතික සංවර්ධන බැංකුවේ ගිණුම් දෙකක්, ලංකා බැංකුවේ ගිණුම් තුනක්, සෙලාන් බැංකුවේ ගිණුම් හතරක්, ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ගිණුම් දෙකක් සහ නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ ගිණුම තුනක් වශයෙන් ගිණුම 20ක් නිරූපණ ශිල්පිනියගේ සහ ඇගේ සමීපතමයින්ගේ නමින් පවත්වාගෙන ගොස් ඇති බවට එහිදී හෙළිවූ බව වත්කම් විරෝධී විමර්ශන කොට්ඨාසය අධිකරණයට කරුණු වාර්තා කර ඇත.

ඒ අනුව මෙම තැනැත්තියගේ සහ ඇගේ සමීපතමයින් සතු බැංකු ගිණුම් සම්බන්ධයෙන් වාර්තා කැඳැවීමට අදාළ බැංකු හා මූල්‍යායතනවලට නියෝගයක් නිකුත් කරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලීය.

එම ඉල්ලීම්වලට නියෝග ලබාදුන් අධිකරණය විමර්ශන කඩිනමින් අවසන් කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසට එම කොට්ඨාසයට නියෝගයක් නිකුත් කළේය.

මේ වන විට නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මගින් 2011 අංක 40 දරන පනතින් සංශෝධිත 2006 අංක 5 දරන මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත ප්‍රකාරව පියුමි හංසමාලිට එරෙහිව ආරම්භ කර අැති විමර්ශනයේ ප්‍රගතිය අධිකරණයට දැනුම් දුන්නේ එලෙසිනි. තවමත් විමර්ශන අවසන්ව නොමැති මෙම සිද්ධිය පිළිබඳව අනාගතයේදී තව තවත් කරුණු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය අධිකරණයට ඉදිරිපත් කරනු ඇත.

මේ නිරූපිකාව ඉතාමත් කෙටි කාලයකදී මේ ආකාරයෙන් ධනවත් වූයේ කෙසේද යන්න සම්බන්ධයෙන් සමාජයේ නොයෙක් නොයෙක් කතාන්දර පැතිර ගියද එහි ඇත්ත නැත්ත පිළිබඳව නීතිය ඉදිරියේ කරුණු කීමට දැන් ඇයට සිදුවනු ඇත.

නිමන්ති රණසිංහ

Leave a comment

Gossip

චම්පික පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකත්වය ඉල්ලා

චම්පික පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකත්වය ඉල්ලා

හිටපු කැබිනට් අමාත්‍යවරයෙකු වන සහ දැන් අලුතින් පිහිටුවන ලද එක්සත් ජනරජ පෙරමුණේ (URF) නායක පාඨලී චම්ප...

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

අනං මනං

අගහරු පසේ වවන්න පුළුවන් ශාකයක් සොයා ගනියි

අගහරු පසේ වවන්න පුළුවන් ශාකයක් සොයා ගනියි

අඟහරු මත වියළි නිසරු කර්කශ පරිසරයේ වගා කළ හැකි සහ එවැනි පරිසරයක හොඳින් වැවිය හැකි ශාකයක් පෘථිවියේ ඇත...

Connet With Us