හර්ෂ ගේ විරෝධය අනුව මෙම ‘ආරෝපිත කුලී ආදායම් බද්ද‘ ලෙස ක්‍රියාත්මක වීමට නියමිත, යෝජිත දේපොළ බද්දට එරෙහි වීමට පෙර දශක ගනනාවක සිට දැනටත් ක්‍රියාත්මක වරිපණම් බද්දට එරෙහි වීම විය යුතුය.
මන්ද වරිපනම් ගෙවීමේදී සෑම නිවාස හිමියෙක්ම හෝ නිවාස වල පදිංචිව සිටින අය හෝ එම ගෙවීම් සිදුකළ යුතුව ඇති බැවිනි. යොජිත කුලී ආදායම් බද්ද අදාල වන්නේ අමතර නිවසකින් කුලී පදනම මත යම් ආදායමක් ලබා ගැනීමට අදාලව ගෙවිය යුත්තක් පමණක් වන නිසාය. එසේම යම් ආදායම් සීමාවකට යටත්ව ක්‍රියාත්මක වන්නකි.
හර්ෂලා මහ ජනතාව නොමඟ යවා අයුතු දේශපාලන වාසි වෙනුවෙන් දඟලන පහත් දේශපාලනයක් යෙදෙන බව මෙම ප්‍රකාශයෙන් පැහැදිලිය.
අනෙක් කාරණය ලිබරල් ආර්ථික ප්‍රතිසංස්කරණයන් වෙනුවෙන් පෙනී සිටිනවා කියන හර්ෂ වැන්නෙකු මෙම ධන බද්දට එරෙහි වන්නේ ඒ කවර පදනමකින්ද යන්න ගැටලු සහගත වීමය. මෙය සජිත් ප්‍රේමදාස වැන්නෙකුගෙන් අනුර කුමාර වැන්නෙකුගෙන් ප්‍රකාශ වූවා නම් මේ ඔවුන්ගේ ගොබ්බකම තක්කඩිකම කියා නොසලකා හැරිය හැකිය. දේපොළ ආදායම් මත බදු අය කිරීම ලෝකයේ සාමාන්‍ය දෙයකි. එමෙන්ම ධන බද්ද කිසිසේත්ම සමාජයට නරකක් අයහපතක් කරන්නක් නොව සමාජ සාධාරණත්වය වෙනුවෙන් ක්‍රියාත්මක ප්‍රගතිශීලී බදු ක්‍රමයකි. ගැටළුව වන්නේ මෙතුවක් කල් මෙය විධිමත්ම මෙරට ක්‍රියාත්මක නොවීම පමණි.
දේපොළ වටිනාකම් මත බද්දක් නැතිනම් ධන බද්දක් පැනවීමෙන් අපේක්ෂා කෙරෙන්නේ සමානාත්මතාවය සාක්ෂාත් කරගනිමින් ධනවතුන් සහ දුප්පතුන් අතර පරතරය සමනය කිරීම බව ලොව පිළිගත් අර්ථකථනයයි. මෙම බද්ද මඟින් ධනවත් පවුල් වෙත බදු බර මාරු කරන අතර, පුද්ගලගේ ශුද්ධ ධනය මත බදු අය කරනු ලබයි.
එය යමකුගේ සම්පූර්ණ හිමිකාරී වත්කම්වල වෙළඳපෙළෙ වටිනාකම වේ. එය ධනය යම් තැනක එකතුවීමේ ගැටලුවට විසඳුමක් යෝජනා කරන බැවින් ආදායම්, ඉඩකඩම් හෝ ආයතනික බදු හා සසඳන විට වඩා බලවත් බදු ක්‍රමයක් වේ.
කුලී නිවාස බද්දට බය ද?
කෙසේ නමුත් රජය යෝජනා කර ඇත්තේ මෙම ධන බද්ද නොවේ. රජය විසින් ප්‍රකාශ කරන්නේ නව බදු ක්‍රමයක් ලෙස කුලි නිවාස ආදායම් වෙනුවෙන් බදු අය කරන බවය. කෙසේ නමුත් මෙම බද්ද මුලින් තීරණය කර තිබුණේ ලෝකයේ බොහෝ රටවල ක්‍රියාත්මක ධන බද්දක් ලෙස ක්‍රියාත්මක කරන බවටය. නමුත් ප්‍රායෝගික ගැටළු කිහිපයක් නිසා ධන බද්ද ක්‍රියාත්මක කිරීම නවතා දමා ඇත. ඒ වෙනුවට කුලී ආදායම් මත පමණක් නව බදු ක්‍රමය සැකසීමට තීරණය කර ඇත.
කෙසේ නමුත් දේපොළ මත බදු ලෙස හඳුන්වන බද්ද වුව අමුතු බදු ක්‍රමයක් නොවේ. එය මීට පෙර යුගයකදී ත්‍රියාත්මක වූවකි.
සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා ධන බද්ද පිළිබඳ මුල්ම යෝජනා ඉදිරිපත් කළ අයෙකු වූයේ පශ්චාත් යුද සමයේ (1908-1986) කේම්බි්‍රජ් ආර්ථික විද්‍යාඥයෙක් වූ නිකලස් කල්ඩෝර් ය. ඔහුගේ නිර්දේශය මත ආදායම් බද්ද, වියදම් බද්ද සහ තෑගි බද්ද සමග ධන බද්දක් 1958 දී ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන ලදී. නමුත්, බදු පදනම තීරණය කිරීමේ දුෂ්කරතා සහ පරිපාලනයේ ගැටලු හේතුවෙන් මෙම නව බදු රජයට ලබාදුන්නේ අඩු ආදායමකි. අවසානයේ, 1990 දී බදු කොමිසමේ නිර්දේශය අනුව, රජය විසින් 1992/1993 තක්සේරු වර්ෂයේ සිට ධන බද්ද අහෝසි කරන ලදී. 2006 දීද මෙවැනි බදු ක්‍රමයක් ගෙන ආ නමුදු අසාර්ථක විය.
එමෙන්ම දැනටත් මෙරට ක්‍රියාත්මක වරිපනම් බදු ලෙස හැඳින්වෙන ගාස්තු ගෙවීම ක්‍රමයේම දිගුවක් ලෙස ධන බද්ද හැඳින්විය හැක්කකි.
වර්තමානයේ වරිපනම් ගෙවීම කිසියම් පළත් පාලන ආයතනයක් යටතේ වන යම් නිශ්චල හෝ නිශ්චල දේපොළ වර්ගයකට අයත් දෙපොළකට, එම දේපොළෙහි අයිතිකරු හෝ පදිංචිකරු හෝ මෙම වරිපනම් ගෙවීමට යටත් විය යුතුය. එනම් අදාල පාළාත් පාලන ආයතනය විසින් සපයනු ලබන සේවාවන් මගින් ප්‍රයෝජනයක් ලබන තැනැත්තන් වරිපනම් ගෙවීමට යටත් විය යුතු ය. වරිපනම් ගාස්තුව අදාල පාළාත් පාලන ආයතනය විසින් තීරණය කරන අතර එය එම ආයතනය විසින් එම පළාත තුළ සපයන සේවාව වෙනුවෙන් දරන වියදම සහ එම ප්‍රදේශයේ ඇති එක් එක් දේපොළෙහි වාර්ෂික වටිනාකම් අනුව ගනනය කර සකසන ගාස්තුවකි. කෙසේ නමුත් මෙය බද්දක් ලෙස නොසැලකේ. එය අනිවාර්ය ගාස්තුවකි.
ධන බද්ද යනුවෙන් හඳුන්වන්නේ මෙවැනිම ගාස්තුවක් බදු පදනමකින් අය කරගැනීමේ ක්‍රමවේදයකි. කෙසේ නමුත් මේ වන විට යෝජිත, කුලී ආදායම් මත බදු අයකිරීම සම්බන්ධයෙන් විපක්ෂය ලොකු බිල්ලකු මවා ඇත. හර්ෂලා පෙන්වා දෙන්න උත්සහ ගන්නේ මෙය තමන් පදිංචිව සිටින නිවසටත් මහා විශාල බදු මුදලක් ගෙවීමට සිදු වන බවය.
එහෙත් පුද්ගලයෙකු සතු පළමු දේපළ යෝජිත කුලී ආදායම් බද්දෙන් නිදහස් කෙරෙන බවත්, එසේම මෙම බද්ද සාමාන්‍ය ආදායම් ලබන්නන් වෙත නොව ඉහළ ශුද්ධ ආදයම් ලබන්නන් වෙත පැනවෙන බවත් ජනාධිපතිවරයා ද පාර්ලිමේන්තුවේදී පැහැදිලිව ප්‍රකාශ කර තිබිණි.
ආර්ථික අර්බුදයට පිළියමක්
ලංකාව මුහුණ දෙමින් තිබෙන ආර්ථික අර්බුදය හමුවේ යළි රට ස්ථාවර කර සංවර්ධනාත්මක ගමනකට පියවර තැබීමට නම් 2022 වසරේදී දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 8.3 කට කඩා වැටුණු රාජ්‍ය ආදායම් 2025 වන විට සියයට 15 ක් දක්වා වර්ධනය කරගැනීමේ අභියෝගය පවතී. රාජ්‍ය ආදායම් කඩා වැටීමට හේතු වුයේ එවකට බදු ලිහිල් කිරීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම මත ඇතිවු විසිරුණු අර්බුද රැසක ප්‍රතිපල නිසාය. එය යළි බදු පැනවීමෙන් පමණක් සකස්කර ගැනීමේ හැකියාව ඉක්මවා තිබිණි. දීර්ග කාලීන වැඩපිළිවෙලක් සහ පැවැති ක්‍රමවේදයෙහි බරපතල වෙනසක් කරා යෑමට සිදුව තිබෙන්නේ එබැවිනි.
මේවන විට ක්‍රියාත්මක බදු යටතේ ලබන දදෙනියෙන් සියයට 12 ක පමණ රාජ්‍ය ආදායම ඉලක්ක සපුරා ගැනීමට ප්‍රමාණවත් නැත.
එම නිසා නව ආදායම් උපදවා ගැනීමේ ක්‍රමවේද ගනනාවක් වෙත රජය යොමුව සිටී. විශේෂයෙන්ම බදු අය කළ යුතු නමුත් මෙතෙක් නොකෙරුණ ක්ෂේත්‍රයන් වෙත යොමු වීම සිදුව තිබේ. ධන බදු අය කිරීම ඒ එක් පියවරකි. මෙම පියවර ගැන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගීතාව සහිතව ක්‍රියාත්මක වන විස්තීර්ණ මූල්‍ය පහසුකම වැඩසටහන ආරම්බයේදීම ප්‍රකාශයට පත් කර තිබිණි. ධන බද්ද ක්‍රියාත්මක කිරීමේ දී අවශ්‍යකරන, දේපොළ පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු හෝ දත්ත ගබඩාවක් රජය සතු නොවීම වැනි තත්වයන් මත රජය සමඟ කළ සාකච්ඡාවලින් අනතුරුව මේ සම්බන්ධව මෑත දී ප්‍රකාශයට පත්කළ ලියවිල්ලෙහි ‘ආරෝපිත කුලී ආදායම් බද්ද‘ ලෙස මෙම නව දේපොළ බද්ද පිළිබඳ සඳහන් කර ඇත.
කෙසේ නමුත් මෙම බද්ධ යෝජනා කර ඇතත් මෙතෙක් අදාල බදු අනුපාතයන් එහි සීමාවන් හො ක්‍රමවේදයන් ගැන මෙතෙක් රජය තීරණයක් ගෙන නැත. එසේම කවර තත්වයක් යටතේ වුව මෙය බලපාන්නේ ඉහළ ආදායම් ලබන ධනවතුන්ට පමණි. එසේම ඔවුන්ටද අසාධාරණයක් නොවන ලෙස ද්විත්ව බදුකරණයට සහ ආර්ථික සහන නොලැබී යාමේ තත්වයන් වලකාලමින් මෙම කටයුත්ත සිදු වෙනු ඇත.
ඒ අනුව මෙමගින් දළ දේශීය නිශ්පාදනයෙන් 2025 දී සියයට 0.2 ක් ආදායමක්ද 2026 දි 0.4 පමණ වන රුපියල් බිලියන 100 ක පමණ ආදායමක් සපුරාලනු ඇත.
විපක්ෂයේ විරෝධය මතු වන්නේ මේ ගැන කරුණ කාරණ කිසිවක් නිශ්චිතව නැති මොහොතක ආණ්ඩුවට විරුද්ධ වීමේ තම එකම කාර්යභාරය ලෙස සලකා කරන ජඩකමක් ලෙසය.
ධන බද්ද ශ්‍රී ලංකාවට කෙතරම් ප්‍රායෝගික වෙයි ද?
කෙසේ නමුත් ධන බද්ද ශ්‍රී ලංකාවට කෙතරම් ප්‍රායෝගික වෙයි ද? ඉන් රජය අරමුණු කර ඇත්තේ කුමක්ද ? යන්න සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය සමග අදහස් පළකළ කොළඹ විශ්වවිද්‍යාලයයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ පවසා සිටියේ මෙවැන්නකි.
”යම් පුද්ගලයකුට අයිති ඉඩකඩම්, ගෙවල්, යාන වාහන, බැංකු ගිණුම්, කොටස් සහ විශ්‍රාම යෝජනා ක්‍රම වගේ සියලුම දේවල් දේපළ මත ධන බද්දක් අය කළොත් අදාළ වෙනවා. දේපළ කියන්නේ පුද්ගලයෙක් සතුව තියෙන වත්කම්. මේ වත්කම්වලින් උපයන ආදායම හරියට හොයාගන්න බැරිවෙන්න පුළුවන්. බදු අයකිරීමේ දී ‘සාධාරණභාවය පිළිබඳ මූලධර්මයට‘ අනුව වැඩි වත්කම් තියෙන අයගෙන් ඉහළ බද්දක් අයකළ යුතු යි කියන එක තමයි මෙතන ක්‍රියාත්මක වෙන්නේ. එම මූලධර්මය මත තමයි ධන බද්ද සාධාරණීකරණය කරන්නේ. සියලුම දෙනා ධන බද්දකට යටත් වෙනවා කියන එක මෙතැන දී අදහස් වෙන්නේ නැහැ. ආදායම් බදු ගෙවනකොටත් යම් සීමාවකට උඩින් ඉන්න පිරිසක්නේ ගෙවන්නේ. ඒ වගේ, වත්කම්වලටත්, යම් වෙළඳපොළ වටිනාකමක් සඳහන් කරලා, ඒ වටිනාකමට උඩින් තියෙන වත්කම්වලට විතරයි මේක අදාළ කරන්නේ.”
ශ්‍රී ලංකාව වැනි රටක ධන බද්දක් අයකිරිමේ දී ඊට පක්ෂව සහ විපක්ෂව කවර ආකාරයේ තර්ක මතුවිය හැකිද? විශේෂයෙන් වත්කම් සහිත පුද්ගලයන්ගෙන් බදු අය කිරීමේ දී රජය විසින් කුමන ආකාරයේ සාධාරණීකරණයක් සිදුකරනු ඇද්ද? ඒ සම්බන්ධයෙන් මහාචාර්ය දුනුසිංහ දරන්නේ මෙවැනි අදහසකි.
”ලංකාව වගේ රටක, වත්කම්වල වටිනාකම තක්සේරු කිරීම ඉතාම සංකීර්ණ කාරණාවක්. ඒ සඳහා අපිට හොඳ සිස්ටම් එකක් තියෙන්නේ ඕනේ. පුද්ගලයෙක්ට තියෙන වත්කම් සහ එම වත්කම්වල වටිනාකම නිවැරදිව ගණනය කළ යුතුයි. සාමාන්‍යයෙන් කෙරෙන්නේ, පුද්ගලයකුගේ වත්කම්වලින් ඔහුගේ තියෙන ණය ප්‍රමාණය අඩුකරලා, ශුද්ධ වත්කම් මත තමයි මේ බද්ද අයකිරීම සිදුවෙන්නේ.
”මේ සඳහා පක්ෂව තියෙන තර්කයක් තමයි, ලංකාවේ පුද්ගල වත්කම්වල වටිනාකම් වැඩිකරන්න රජයේ ආයෝජන හේතුවෙලා තියෙනවා කියන එක. අධිවේගී මාර්ගයක පිවිසුමක් ආසන්නයේ ඉඩමක් තියෙනවා කියල හිතන්න. අධිවේගී මාර්ගය හදන්නේ රජය විසින්. එතකොට ඒ ඉඩමේ වටිනාකම ඉහළ යනවා. හැබැයි ඒ වෙනුවෙන් ආයෝජනය කරලා තියෙන්නේ රජය. ඒ වගේ රජයේ සංවර්ධන කටයුතු නිසා, ඒ අවට සිටින පුද්ගලයන්ගේ වත්කම්වල වටිනාකම් විශාල ලෙස ඉහළ යනවා. ඒ වගේ වත්කම්වලින් යම් බදු මුදලක් අයකරගැනීම ගැටලුවක් නැහැ කියලයි මම හිතන්නේ. මොකද රජය සෘජු හෝ වක්‍ර විදිහට ඔවුන්ගේ වත්කමේ වටිනාකම ඉහළ දැමීමට දායක වෙලා තියෙනවා.
”මේ බද්දේ තියෙන එක අවාසියක් විදිහට හුගක් වෙලාවට ඉස්මතු කරලා පෙන්වන්නේ, වත්කම් මත බදු පැනවුණහම මිනිස්සු වත්කම් රැස්කරන්න උනන්දු වෙන්නේ නැහැ කියන එක. උදාහරණයක් විදිහට, ඉඩකඩම් මිලදී ගැනීම, ගෙවල් සහ ගොඩනැගිලි හදන එක. හැබැයි වත්කම් රැස්කිරීම ආර්ථිකයට හොඳ දෙයක්. වත්කම් ගොඩනැගීම ආර්ථික වර්ධනයට හුගක් වැදගත් වෙනවා. මේ වගේ බද්දක් පැනවුණොත් පුද්ගලයෝ වෙනත් කාරණා සඳහා පමණක් වියදම් කරයි වගේ අදහසක් තියෙනවා. එක තමයි මේ බද්දට විරුද්ධව තියෙන තර්කය.”
ශ්‍රී ලංකාව වැනි රටක, සමස්ත රට පුරාම එකවර මෙවැනි බද්දක් ක්‍රියාත්මක කිරීමට හැකියාවක් ලැබෙනු ඇතැයි තමන් නොසිතන බව ද මහාචාර්ය දුනුසිංහ පෙන්වා දෙයි.
”මම හිතන විදිහට රජය ආරම්භයේ දී විවිධ ප්‍රදේශ තෝරගනියි. විශේෂයෙන් නාගරිකකරණය වෙච්ච ප්‍රදේශ තෝරාගෙන, ඒ ප්‍රදේශවල පුද්ගලයන් සතුව තියෙන වත්කම් ප්‍රමාණය සහ ඒවා මිලකිරීම ආරම්භ කරයි. මෙවැනි බද්දක් අයකිරීම හොඳයි, මොකද ආදායම් ප්‍රවාහ එන විදිහ නොපෙනුණාට, ඒවා සඟවලා පුද්ගලයෝ වත්කම් රැස්කරලා තියෙනවා. එවැනි වත්කම් මත බද්දක් අයකිරීම සාධාරණභාවයේ මූලධර්මයට ගැලපෙනවා.”
ආදායම මත බද්ද මේ වන විට ශ්‍රී ලංකාවේ විශාල ලෙස විරෝධයට තුඩුදී ඇත. ඊට හේතුව එය අයකෙරෙන ඉහළ ප්‍රතිශතය යි. එහෙත් ධන බද්දක් එවැනි ඉහළ ප්‍රතිශතයකින් අය නොකෙරෙන බව මහාචාර්ය දුනුසිංහ පෙන්වාදෙයි.
”මෙතැනදී සුළු ප්‍රතිශතයකින් තමයි ධන බද්දක් අයකෙරෙන්නේ. ආදායම මත බද්ද සියයට තිස්හයක් දක්වා අයකළාට, වත්කම් මත බද්දක් අයකෙරෙන්නේ සියයට දශම පහක වගේ ඉඳලා සියයට දෙකක් වගේ වගයක් දක්වා පමණයි. ඒක, අදාළ පුද්ගලයාට වසර පුරාම ගෙවන්න පුළුවන් විදිහේ සිස්ටම් එකක් හදනවා. ලංකාවේ ආදායම් හඳුනාගැනීමත් දුෂ්කර වෙලා තියෙන තත්ත්වයක් තුළ, පුද්ගලයන්ගේ වත්කම් හඳුනාගන්න පුළුවන් ද කියන ගැටලුව මතුවෙනවා. මොකද පුද්ගලයෝ බොහෝවිට වත්කම් තමන් සතුව තියාගන්නේ නැහැ. ඥාතීන්ගේ සහ හිතවතුන්ගේ නමින් බොහෝවිට වත්කම් තියාගන්නවා. ඒ නිසා, වත්කම් බද්දක් අයකිරීමට අදාළ යාන්ත්‍රණය සකස් කිරීම ලොකු අභියෝගයක් වෙනවා.”
ඒ අනුව ධන බද්දක් අයකිරීම රජයට යම් ආකාරයක අභියෝගයක් වනු ඇති බවත් ධන බද්ද වෙනුවෙන් රජය දැන් සිටම සූදානම් වියයුතු බවත් පෙන්වා දී තිබිණි.
”ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියල තියෙන්නේ 2025 වෙනකොට ධන බද්ද හඳුන්වාදෙන්න කියලා. ඒ කාලය ඇතුළත වත්කම් හඳුනාගැනීම, ඒවායේ වටිනාකම් තක්සේරු කිරීම සිදුකළ යුතුයි. විශාලම අභියෝගය තමයි, ලංකාවේ ආදායම් බද්දත් නිවැරදිව අයකරගැනීමේ ගැටලු තියෙන පරිසරයක, ධන බද්දක් නිවැරදිව ක්‍රියාත්මක කරන්න හැකියාව තියෙනව ද කියන එක. වත්කම් හඳුනාගන්න, තක්සේරු කරන්න, තහවුරු කරගන්න පුද්ගල යාන්ත්‍රණයක් තිබිය යුතු යි. උදාහරණයක් විදිහට, යමෙක් කියනවනම් තමන් මෙච්චර ණයයි කියලා, ඒ බව නිවැරදිව තහවුරු කරගන්න හැකියාව තිබිය යුතුයි. ගැටලුව වෙන්නේ, ඊට අදාළ මානව සම්පත අප සතුව තියෙනවද කියන එක.”
“මෙවැනි බද්දක් අයකිරීම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් කරන්නත් පුළුවන්, නැත්නම් ඒ වෙනුවෙන් වෙනත් ඒකකයක් නිර්මාණය කරන්නත් පුළුවන්. මිනිස්සුන්ට වත්කම් තිබුණට ඒවා ප්‍රකාශ කරන්නේ නැහැනේ. ඒ නිසා ඒවා හඳුනාගැනීමේ සිස්ටම් එකක් නිර්මාණය කළ යුතු යි. මේකට සාමාන්‍ය ජනතාව බිය වියයුතු නැහැ. මොකද නිශ්චිත වටිනාකමකින් ඉහළ වත්කම් වෙනුවෙන් පමණ යි ධන බද්දක් අයකෙරෙන්නේ. කොහොම වුණත් රජය දැන් ඉඳලම තක්සේරු කිරීම ආරම්භ කළ යුතු යි. වත්කම් පැවරීමේ දී, අදාළ වත්කමේ වටිනාකම අනුව රජයට පැවරුම් බදු ආදායමක් ලැබෙන ක්‍රමවේදයක් දැනට ක්‍රියාත්මක වෙනවා. ඉඩම්වල වටිනාකම තක්සේරු කරන්න ප්‍රාදේශීය වශයෙන් දේශීය ආදායම් නිලධාරීන් ඉන්නවා. ඒ ක්‍රියාවලිය විධිමත් වියයුතුයි. ඒ වගේම මේ බද්ද අයකෙරෙන සීමාව පිළිබඳවත් ජනතාව දැනුවත් කළ යුතුයි. නැත්නම් වගා නොකරන ඉඩමක් තියෙන ගොවියෙක් පවා බයවෙන්න පුළුවන් තමන්ගෙනුත් මේ බද්ද අයකරන්න යනවා කියලා.”
කෙසේ නමුත් අද විපක්ෂ ක්ණ්ඩායම් මෙම ධන බද්දට හෝ කුලී නිවාස ආදායම් මත බද්දට හෝ විරුද්ධ වූවත් මේ අය සියළු දෙනාම, ඇති හැකි පිරිස්වලින් වැඩියෙන් බදු අයකර අඩු ආදායම්ලාභීන්ට වැඩි සහන සැලසීම මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශවලට ඇතුළත් කර ඇති බව දැක ගත හැකිය. නමුත් එවැනි ක්‍රමවේදයක් ප්‍රතිපත්තිමය වශයෙන් කිසිදු දිනයක රට තුළ ක්‍රියාවට නැගී නැත්තා සේම ඊට ඉඩ දීමත් සිදු වූයේ නැත..
තවත් රටවලත් තියෙනව ද?
ධන බදු ප්‍රධාන වශයෙන් යුරෝපීය රටවල ක්‍රියාත්මක කර ඇත. 1990 දී යුරෝපයේ රටවල් දොළහක ධන බද්දක් පැවැතිණි. එහෙත් එය අද ක්‍රියාත්මකව ඇත්තේ රටවල් තුනක පමණි. ඒ, නෝර්වේ, ස්පාඤ්ඤය සහ ස්විට්සර්ලන්තය යන රටවල ය.
ඊට අමතරව ආර්ජන්ටිනාව, බංග්ලාදේශය, කොලොම්බියාව, ඉන්දියාව, ඉන්දුනීසියාව, පාකිස්ථානය වැනි යුරෝපීය නොවන රටවල් කිහිපයක් ද වරින් වර ධන බදු පනවා ඇත. මෑතකාලීනව යළිත් ධන බදු පිළිබඳ අලුත් උනන්දුවක් ඇති වී තිබේ. එක්සත් ජනපදයේ ජනාධිපති අපේක්ෂකයන් වරින්වර විවිධ ආකාරයේ ධන බදු යෝජනා කර ඇත.
එසේම පසුගිය වකවානුවේ, ප්‍රංශයේ ද ධනවතුන් මත ”සුපිරි බදු” පැනවීමට යෝජනා විය. එහි මූලික සාධාරණීකරණය වූයේ, සමාජයේ වැඩිවන අසමානතාවය ආමන්ත්‍රණය කිරීමයි.