මෙවර නිරිතදිග මෝසම් වැස්ස පෙර වර්ෂවලට වඩා ඉතා දැඩි වෙනවා   Featured

Wednesday, 15 May 2024 08:08

පසුගිය දිනවල ගතට දැනුණ උණුසුම දැඩිය. දහවල පමණක් නොව රාත්‍රියේද උණුසුමේ වෙනසක් නැත.

ඒ අතර හිටි අඩියේ මහවැසි ඇදහැලෙයි. වැසි වැටුණත් දැනෙන උණුසුමේ වෙනසක් නැත. මේ නිසා බොහෝ දෙනෙකු රෝගී බවට පත්වී ඇත. මේ කාලගුණික විපර්යාසය කුමක්ද? මේ තත්ත්වය කොතෙක් කලක් පවතී ද? ආදී වශයෙන් බොහෝ දෙනෙකු තුළ පැන නැඟී ඇති ගැටලු සඳහා පිළිතුරු අපේක්ෂාවෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා සමඟ සිදු කළ සංවාදයකි මේ.

පවතින කාලගුණික තත්ත්වය පිළිබඳව පැහැදිලි කිරීමක් කළ හැකිද?

මේ කාලගුණික වෙනස හදිසියේ ඇතිවූ තත්ත්වයක් නෙවෙයි. කලක් තිස්සේ වර්ධනය වෙමින් පවතින ගෝලීය තත්ත්වයක්. මේ වෙනස්වීම විටක දැඩි උණුසුමක් ලෙස පමණක් නොවෙයි, මහවැසි, උණුසුම් සුළං ධාරා, නියඟ, ගංවතුර ආදී ඕනෑම ආකාරයකින් ඇතිවිය හැකියි. මේ වෙනස්වීම් අතරින් අප මේ දිනවල අත්විඳිමින් සිටින්නේ දැඩි උණුසුම සහ වැස්සයි. මේ තත්ත්වය අපිට පමණක් නොවේ ලොව තවත් රටවලට බලපා තිබෙනවා. උණුසුම් සුළං හමා යාම නිසා ඉන්දියාවේ කීපදෙනෙක් මිය ගොස් තිබුණා. යාපනයේත් මරණයට පත්වීම් මෙන්ම රෝගී බවට පත්වීම් පිළිබඳව වාර්තා වී තිබුණා.

කාලගුණික දත්ත විශ්ලේෂණය අනුව පෙනී යන්නේ මෙම උණුසුම් තත්ත්වය දිවයිනේ දකුණ, බස්නාහිර, මධ්‍යම ප්‍රදේශවලින් පහව යමින් පවතින බවයි. මෙම මාසය අවසන් වීමට පෙර උණුසුම් කාලගුණික තත්ත්වය අවසන් වීමට නියමිතයි. නමුත් ඉන් අනතුරුව ආරම්භ වෙන්නේ නිරිතදිග මෝසම් වැස්සයි. මෙවර මෝසම් වැස්ස පෙර වර්ෂවලට වඩා ඉතා දැඩි වනු ඇති බව කාලගුණ විද්‍යාඥයන්ගේ මතය බවට පත්ව තිබෙනවා. පසුගිය දිනවල අප දෙපාර්තමේන්තුවෙහි මෝසම් වැස්ස පිළිබඳව කමිටුව රැස්වී මාස කිහිපයක් තුළ අධික වැසි හේතුවෙන් රට තුළ ඇතිවිය හැකි පාරිසරික වෙනස්කම් හා ආපදාවන් පිළිබඳ දැනුම්වත් වීමේ වැඩසටහනක් සිදු කරනු ලැබුවා. ආයතනයක් ලෙස අපි අවධාරණය කරන්නේ උණුසුම් තත්ත්වයට වඩා ඉදිරියේදී ඇදහැලෙනු ඇතැයි අපේක්ෂා කරන අධික වැසි තත්ත්වය නිසා ඇළ දොළ පිටාර ගැලීම් මෙන්ම කඳුකර පළාත්වල නායායෑම් වැනි තත්ත්වයන් පවා ඇතිවීමේ ලොකු ඉඩක් තිබෙනවා.

මෙසේ කාලගුණය වෙනස් වීම ගෝලීය කාරණයක් බවද ඔබ පවසන්නේ?

ලෝකවාසී අප සැමගේ නිවහන පෘථිවියයි. එහි ජල ගෝලය, වායුගෝලය, මෙන්ම ශිලා ගෝලය අතර පවතින්නේ අන්තර් සබඳතාවක්. දේශගුණික විපර්යාස ඇති කරන ප්‍රධාන හරිතාගාර වායුන් ලෙස සැලකෙන්නේ කාබන් ඩයොක්සයිඩ් සහ මීතේන් වායුවයි. මේවා පරිසරයට මුදාහැරෙන්නේ ඛනිජ තෙල් දහනයේදී (මෝටර් රථයක් ධාවනයේදී), ඛනිජ තෙල් දහනයෙන් විදුලිය නිපදවීම, ගල් අඟුරු භාවිත කිරීම වැනි ක්‍රියාකාරකම් නිසායි. වනාන්තර එළි කිරීම හේතුවෙන්ද වායුගෝලයේ ඔක්සිජන් ප්‍රතිශතය අඩු වී කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිශතය ඉහළ ගොස් තිබෙනවා. කෙටි කලකදී සිදු කළ අධික පරිභෝජනය හේතුවෙන් පොළොව තුළ තැන්පත්ව ඇති කාබන් පොසිල හෙවත් ඛනිජ තෙල් අසීමිත ලෙස දහනය කර තිබෙනවා. මේ හේතුවෙන් වායුගෝලයට එක්වී ඇති හරිතාගාර වායු ප්‍රතිශතය වැඩි වෙලා තිබෙනවා.

වායු සංයුතිය වෙනස් වීම නිසයි උණුසුම වැඩි වෙන්නේ. උෂ්ණත්වය ඉහළ යාම කතාවේ ආරම්භය පමණයි. පෘථිවිය සෑම අංගයක්ම එකිනෙකට සම්බන්ධ වී ඇති පද්ධතියක්. එක් ප්‍රදේශයක සිදුවන වෙනස්කම් අනෙක් සියල්ලෙහි වෙනස්කම්වලට බලපෑම් කළ හැකියි. මේවායේ අනිටු විපාක දැන් ඇතිවීම ආරම්භ වෙලා. දැඩි නියඟ, ජල හිඟය, දරුණු ළැව්ගිනි, මුහුදු මට්ටම ඉහළ යාම, ගංවතුර, ධ්‍රැවීය අයිස් දියවීම, ව්‍යසනකාරී කුණාටු සහ ජෛව විවිධත්වය පහත වැටීම නිසා මිනිසුන් විවිධ ආකාරවලින් දේශගුණික විපර්යාස අත්විඳිනවා. මෙසේ සාගර ජල මට්ටම ඉහළ යාම වලාකුළු ඇති වීම, සුළං ඇති වීම මෙන්ම කුඩා සාගර ජලයෙන් ගොඩබිම් වැසී යාම වැනි බලපෑම් රාශියක් ඇති වෙමින් තිබෙනවා.

මෙතෙක් ලෝකයේ කාලගුණික වෙනස්කම් සිදුවුණේ යම් රටාවකට අනුවයි. මේ තත්ත්වය නිසා ඒ රටාව කෙටි කලක් තුළ විපර්යාසයට ලක්වෙලා තිබෙනවා. ඇත්තෙන්ම අද ඇතිව තිබෙන විෂම තත්ත්වයට හේතුව එය විදිහට සඳහන් කිරීමේ වරදක් නැහැ.

ගෝලීය උණුසුම වැඩි වීමට වගකිවයුතු අය කවුද?

දේශගුණ විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ පසුගිය වසර 200 තුළ සිදු වූ දැඩි පරිභෝජනය හේතුවෙන් ගෝලීය උණුසුම වැඩි වී තිබෙන බවයි. විද්‍යාඥයන් සඳහන් කරන්නේ කාර්මික විප්ලවයට පෙර 1800 ගණන්වල අග භාගයේ පැවති පෘථිවි පෘෂ්ඨයේ උෂ්ණත්වයට වඩා සෙල්සියස් අංශක 1.2 කින් පමණ ගෝලීය උණුසුම ඉහළ ගොස් බවයි.

ලොව විද්‍යාඥයන් දහස් ගණනකගේ සහභාගිත්වයෙන් සකස් කරන ලද එක්සත් ජාතීන්ගේ වාර්තාවකට අනුව ලෝක බලවතුන් ප්‍රමුඛව එකඟ වී ඇති සම්මුතිය වෙන්නේ ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.5 සීමාව ඉක්මවීම වැළැක්විය යුතු බවයි. එසේම වායුගෝලය උණුසුම් කිරීමේ ක්‍රියා අවම කිරීමට කටයුතු කළ යුතු බවයි. නරකම දේශගුණික බලපෑම් වළක්වා ගැනීමට සහ ජීවත් වීමට සුදුසු දේශගුණයක් පවත්වා ගැනීමට මෙවැනි එකඟතාවක් අවශ්‍ය බවට එක්සත් ජාතීන් එකඟ වී තිබෙනවා. නමුත් සංඛ්‍යා ලේඛන අනුව අනාවරණය වී ඇත්තේ ශත වර්ෂය අවසානය වන විට ගෝලීය උණුසුම සෙල්සියස් අංශක 3ක් දක්වා ඉහළ යනු ඇති බවයි.

පාරිසරික බලපෑම් ලෝකයේ සෑම ප්‍රදේශයකිම සිදු වෙනවා. ඒ සඳහා වැඩිම දායකයන් බවට පත්වෙන රටවල් ලෙස හඳුන්වන්නේ ලොව ප්‍රමුඛ රටවල් බව සංඛ්‍යා දත්ත පෙන්නුම් කරනවා. මේ සඳහා දායක වන ප්‍රමුඛම රටවල් හත පිළිවෙළින් චීනය, අමෙරිකා එක්සත් ජනපදය, ඉන්දියාව, යුරෝපා සංගමය, ඉන්දුනීසියාව, රුසියානු ෆෙඩරේෂන් සහ බ්‍රසීලයයි.

මේ ප්‍රමුඛ රටවල සිදු වන සංවර්ධන ක්‍රියා මෙන්ම අධික පරිභෝජනය මීට හේතු වී තිබෙනවා. මෙම තත්ත්වය අවම කිරීම සඳහා විද්‍යාඥයන් යෝජනා කරන්නේ විකල්ප බලශක්ති භාවිතය සඳහා ආයෝජන පුළුල් කළ යුතු බවයි. එමෙන්ම මෙසේ පරිසරයට බලපෑම් කරන රටවල පවතින පාරිසරික සාධක වෙනස් කිරීම සඳහාත් ආයෝජනය කළ යුතු බවයි.

අවස්ථා කීපයකදීම ලෝක බලවතුන් සහභාගි වන පාරිසරික සම්මේලන අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා සිටියේත් පරිසරය ආරක්ෂා කිරීම සඳහා කුඩා රටවලට සාපේක්ෂව ලෝකයේ ප්‍රමුඛ රටවල් සතුව විශාල වගකීමක් ඇති බවයි.

කාලගුණ විපර්යාස අවම කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග ප්‍රමාණවත් යැයි ඔබ සිතනවාද?

ලෝක පරිසර සංවිධාන ලෝක බලවතුන් එක්වී කොතෙක් සාකච්ඡා කළත් මේ සඳහා අවශ්‍ය පියවර ගෙන නැති බවයි පාරිසරික විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ.

තිරසර සංවර්ධන ඉලක්ක, දේශගුණික විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතිය සහ පැරිස් ගිවිසුම වැනි සම්මුතීන් පදනම්ව දිගුකාලීන හා කෙටි කාලීන වශයෙන් යෝජනා රැසක් ඉදිරිපත්වී තිබෙනවා.. ඒවා මෙසේයි.

හරිතාගාර වායු විමෝචනය නවතා දැමීම

සිදුවෙමින් පවතින දේශගුණික බලපෑම්වලට අනුවර්තනය වීම

පවතින තත්ත්වයන්ට අවශ්‍ය ගැළපීම් කිරීම සඳහා මුදල් යෙදවීම ආදියයි.

ඛනිජ තෙල් වෙනුවට සූර්ය තාපය ශක්තියක් ලෙස භාවිත කිරීම ,විද්‍යුත් ශක්තිය මඟින් ක්‍රියාත්මක වෙන වාහන භාවිතය දිරිගැන්වීම,ලොව ප්‍රමුඛ රටවල් මෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටවල්ද මේ වනවිට ආරම්භකොට ඇති විසඳුම් කීපයක්.

දේශගුණික ක්‍රියාකාරකම් සඳහා රාජ්‍යයන් සතු වගකීමේ තරමට කිසිදු රටක් තවමත් කටයුතු නොකිරීම කනගාටුවට කරුණක්. යෝජනාවී ඇති එක් තීරණාත්මක යෝජනාවක් වෙන්නේ සංවර්ධනය වෙමින් පවතින රටවලට වසරකට ඩොලර් බිලියන 100 ක් මේ සඳහා වෙන් කළ යුතු බවයි.

මේ තත්ත්වය නිසා බැට කෑමට සිදුව ඇත්තේ සංවර්ධනය වන රටවලට නේද ?

දේශගුණික අර්බුදය හේතුවෙන් වැඩි වශයෙන් පීඩාවට පත්වෙන්නේ දුප්පතුන් බව නිරන්තරයෙන්ම තහවුරුවෙන කරුණක්. ගංවතුර නායයෑම් ,කුණාටු ආදී කුමන ආකාරයේ ස්වභාවික විපතකින් වුවත් වැඩි හානි සිදුවෙන්නේ මේ පිරිසටයි. ජීවිත හානි සිදුවීම් දේපළ හානි මෙන්ම නැවතත් ගොඩනැඟීමට අපහසු තත්ත්වයට පත්වෙන්නේ මේ කලාපයේ ජනයායි.

ලෝකයේ අඩුම ආදායම් ලබන රටවල් 74 පිළිබඳව විමසුව හොත් ඒ රටවල් වෙතින් නිකුත් කෙරෙන හරිතාගාර වායු ධාරිතාව වායුගෝලයට එකතුවෙන සමස්ත වායු ප්‍රමාණයෙන් දහයෙන් එක් කොටසක් ලෙස ගණනය කර තිබේ. නමුත් ලෝක බැංකුව වාර්තා කරන්නේ දේශගුණික විපර්යාස හේතුවෙන් දැඩි ලෙස අසරණභාවයට පත්වෙන්නේ මෙම රටවල් 78 බවයි. පසුගිය වසර 10 තුළ මේ රටවල්වල පිරිස් 1980 ගණන්වල මෙන් අට ගුණයක ස්වභාවික විපත් සඳහා මුහුණදී තිබේ. 2050 වන විට මෙම තත්ත්වය පාලනය නොකළහොත් දේශගුණික විපර්යාස නිසා මිලියන 200කට වඩා වැඩි පිරිසකට උන්හිටිතැන් අහිමිවනු ඇතැයි අනුමාන කෙරෙන අතරම මිලියන 130ක් පමණ ජනතාව දරිද්‍රතාවයට පත්වෙනු ඇතැයි අනුමාන කෙරෙනවා.

රටක් ලෙසින් මේ පාරිසරික අභියෝග ජය ගැනීමට අප කටයුතු කළ යුත්තේ කෙසේද?

මේ තත්ත්වයේදී කුඩා දූපත් රාජ්‍යයක් ලෙස අපට මුහුණ දීමට සිදුවන අභියෝගය විශාලයි. ආපදා කළමනාකරණය පිළිබඳ යන්ත්‍රණය වඩාත් ශක්තිමත් ආකාරයෙන් ගොඩනැඟීමට කටයුතු කළ යුතු වෙනවා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විදිහට අපිට කළ හැක්කේ අනාගතයේ ඇතිවිය හැකි තත්ත්වයන් පිළිබඳව අදහසක් දැක්වීමයි. උදාහරණයක් විදිහට ඉදිරියේදී මහවැසි නිසා ගංවතුර තත්ත්වයක්, නායායාම් තත්ත්වයක් ඇතිවිය හැකි යැයි අපි පවසනවා. ඒ අනුව එවැනි තත්ත්වයක් වැළැක්වීමට අවශ්‍ය පියවර අදාළ පාර්ශ්වයන් විසින් සැලසුම් කළ යුතු වෙනවා.

බුද්ධිකා බ්‍රාහ්මණගේ

dinamina

Leave a comment

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

අනං මනං

ශාරුක් ලෙඩ වෙයි, තත්වය යහපත් අතට

ශාරුක් ලෙඩ වෙයි, තත්වය යහපත් අතට

බොලිවුඩ් සිනමාවේ සක්විති ලෙසින්ද හඳුන්වනු ලබන ශාරුක් ඉන්දියාවට බලපා තිබෙන දැඩි උෂ්ණත්වය හේතුවෙන් ඇති...

ක්‍රීඩා

Connet With Us