මේ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත පසුගිය දා කොළඹ දී පැවැත්වූ මාලිමා මැයි දින සමරු වේදිකාවේදී කළ ප්‍රකාශයකි. මේ පිළිබඳ සමාජ මාධ්‍ය තුළ වගේම සමාජයේ විවිධ තරාතිරමේ පුද්ගලයන් අතර විවිධ අදහස් පළවෙමින් තිබේ. ඒ වගේම පාර්ලිමේන්තුවේදී ද ලාල්ගේ ප්‍රකාශය සම්බන්ධයෙන් බරපතල විවේනයන් එල්ල විය.
කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් පසුගිය දාක රූපවාහිනී සාකච්ඡාවකට එක් වු ජවිපෙ නායක අනුර දිසානායක ප්‍රකාශ කර සිටියේ, ලාල්ගේ ප්‍රකාශය හරහා ගම්‍ය කරපු දේ නොවෙයි ඇත්ත අදහස, යනුවෙන් පවසා වෙනත් අදහසක් පැහැදිලි කරදීමට උත්සහ ගත්තේය. ඒ තුළ ඔහු කියා සිටියේ, බලය ජනතාව වෙත ප්‍රසාරණය විය යුතු බවත් කිසිසේත් ජනතාව වෙත අධිකරණ බලය ලබාදීමක් සිදු නොවන බවත්ය. ඒ අනුව අනුරගේ සහ ලාල්ගේ ප්‍රකාශයන් එකිනෙක පරස්පර විරෝධී විය. මෙහිදී අමතක නොකළ යුතු කරණ වන්නේ, අනුර යනු ජවිපෙ නායකයා වගේම මාලිමාවේද නායකයාය. එපමණක් නොව මාලිමාවේ ජනාධිපති අපේක්ෂකයාය යන්නය. එසේම, එය අනුර මැනවින් අවබෝධ කොටගෙන සිටින බවය. ඒ නිසාම මෙම හැසිරීමේ විශේෂත්වය නම්, සිය පක්ෂයේ අනෙක් කිසිවකුට හානියක් වුවත් ජනප්‍රියත්වයේ ඉහළට ආ තමන්, ජනතාව ඉදිරියේ නිවැරදි යැයි ඒත්තු ගැන්වීමට අනුර බරපතල උත්සායක නිරත වීමය. මීට පෙර සුනිල් හඳුන්නෙත්ති කළ ප්‍රකාශයක්ද මෙහිදී අනුර බැහැර කිරීම කළේය.
අනුරගේ හැසිරීම එසේ වෙද්දී පාර්ලිමේන්තුවේදී හරනි අමසූරියගේ හැසිරීම ද එසේම විය. ඇය නීතියේ මූලික සංකල්ප (access to justice) මත පිහිටා ලාල්ගේ කතාව අර්ථ ගන්වන්නට උත්සාහ කළාය. අනුරට වඩා බරපතල අර්බුදයකට ගොදුරුව සිටින්නේ ඇයය.
ඒ කෙසේ වුවත් ලාල්කාන්ත එදා මැයි දින වේදිකාව ඉදිරියේ සිටි ජවිපෙ කාඩරයට වගේම මාලිමාලෝලීන්ට කියා සිටියේ, මාලිමා ආණ්ඩුවක් යටතේ ගමේ නීතිය තියෙන්නේ උඹලාගේ අතේ. යුක්තිය පසිඳලන්නේ උඹලා. ඒකට ඕන කරන බලය අපි දෙනවා වගේ අර්ථයකින් යුත් ප්‍රකාශයකි. ඒ කියන්නට උත්සාහ ගත්තේ එවැන්නක් නොවන බව දැන් කවරෙකු පැවසුව ද එය ලාල් අනවබෝධයකින් හෝ නොදැනුවත්ව කළ ප්‍රකාශයක් නොවන්නේ, ඔහු එවැනි බරපතල කරුණක් අපැහැදිලිව පවසන්නට තරම් නොදරුවෙකු හෝ නූගතෙකු නොවන බැවිනි.
එසේම එය ඉතාම බරපතල කාරණයක් වන්නේ, ජවිපෙ ජනප්‍රිය ප්‍රබලම නායකයකු, දේශපාලන මණ්ඩලයේ සාමාජිකයකු වෙතින් එසේ රටට ප්‍රකාශ වීම නිසාය. මන්ද ජවිපෙ ඉතිහාසය තුළ රටේ නීතිය බල්ලට දමා තමන්ගේම වූ ම්ලේච්ඡ ගෝත්‍රික නීතියක් ක්‍රියාත්මක කිරීමේ අවස්ථාව සිය කාඩරය අතට පත්කරමින් සිදුකළ විනාශයක ප්‍රතිඵල අදටත් නොනැසී ඇති බැවිනි. ලාල්කාන්තම වරක් මාධ්‍ය හරහා පවසා සිටියේ, 88-89 කාලයේ ඔත්තු දීපු අය මැරුවා, විරුද්ධ වෙච්ච අය මැරුවා කියාය. එසේම මේ මෑතක දී රුපවාහිනී සාකච්ඡාවකට එක් වූ ජවිපෙ මධ්‍යම කාරක සභික නලින් හේවගේ පැවසුවේ, ගමේ මංකෝල්ලකාරයන්, කසිප්පුකාරයන් වගේම ස්ත්‍රී දූෂකයන් මරලා දැම්මා කියාය. ඔවුන්ගේම වචනවලින් රට හමුවේ සනාථකර සිටියේ, ජවිපෙ සමාජිකයා අතට බලය ලැබු පසුබිමක ඔවුන්ගේ කැලෑ නීතිය ක්‍රියාත්මක කරන්නේ කෙසේ ද යන්නය.
අනුරගේ සහතිකය පුස්සක්
අනුර, ලාල්ගේ ප්‍රකාශය සම්බන්ධයෙන් තමන් සහතිකවන බව පවසා අධිකරණ බලය සිය සාමාජිකයාට ලබා නොදෙනවා යැයි පැවසුව ද එය රටවැසියට විශ්වාස කළ හැකිද යන්න ජවිපෙ නම් වූ පක්ෂයේ ඉතිහාසය පිළිබඳ යම් හෝ අවබෝධයක් දැනුමක් ඇති කවරෙකුට වුවද නිතැතින් පැනනගින ගැටලුවකි. ඒ අනුව ජවිපෙ අසහාය නායකයා යැයි නාමකරණය ලත් රෝහණ විජේවීරට එදා පක්ෂය තුළ උරුම වූ තැන, බලය, නිදහස (ඒ ගැන පහළින් සටහන් වේ) හෙට දවසේ අනුර දිසානායකට අත්නොවේ යැයි කවෙරෙකුට හෝ සහතික විය හැකි ද? ලාල්කාන්තලාගේ නලින් හේවගේලාගේ ප්‍රකාශ හරහා ඒත්තු ගැන්වෙන්නේ, අනුරට ද ඒ ඉරණමට මුහුණ දීමට සිදුවන බවය. එය එසේ නොවනු ඇතැයි ප්‍රාර්ථනා කළ ද යම් හෙයකින් එසේ වුවහොත් මාලිමා සිහිනයේ නිද්‍රාශීලිව සිටින අහිංසකයන්ටත් ටිල්වින්ලාගේ ලාල්කාන්තලාගේ ජවිපෙ නම් වූ ගිනිපුපුරු මැද අළුවී යාම අනිවාර්යයකි.
කොහොම නමුත් ලාල් මෙම ප්‍රකාශය කරනු ලැබුවේ තමන් කතාකරන්නේ කුමක් ගැනද යන්න පිළිබඳ පූර්ණ අවබෝධයක් සහිතව බව එම සම්පූර්ණ කතාව තුළ පැහැදිලිය. එසේම එය යළි සනාථ කරමින් ලාල්කාන්ත පසුව යුටියුබ් නාලිකාවක් සමග කළ සම්මුඛ සාකච්ඡාවක දී තමන්ගේ ත්‍රාඩ ප්‍රකාශය නැවත තහවුරු කර සිටීයේය. ඒ මෙසේය, නීතිය හදාගැනීම, නීතිය ක්‍රියාවට නැගීම, නීතිය පසිඳලීම ජනතාව සතුයි. ජනතාව අනුමත කරනවා නම් ඔය කවුරුවත් විරෝධය දැක්වුවාට වැඩක් නෑ, යනුවෙනි. මේ ජනතාව යනු ජවිපෙ කාඩරය මිසක් වෙන කිසිවකු නොවේ. මන්ද මාලිමාව සමඟ මෙතෙක් එක්වී සිටින බහුතරයක් දෙනා ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය ගැන යම් විශ්වාසයක් දරන අය මිසක් නීතිය අතට ගැනීමට සූදානමින් සිටින මිනීමරු දේශපාලනය අනුමත කරන්නන් නොවන නිසාය. ලාල් නැවතත් තමන්ගේ පෙර ප්‍රකාශය යළි ඒ ආකාරම බව ඔප්පු කර ඇත.
අනුරලා, හරිනිලා මොන මොන පැහැදිලි කිරීම් කළත් ඔහු කියන්නේ තම ජනතාවට ( ජවිපෙ කාඩරයට), ව්‍යවස්ථාදායක බලය, අධිකරණ බලය සහ විධායක බලය සෘජුව ක්‍රියාත්මක කිරීමේ අයිතිය ලබාදෙන බවය. එය රටේ මුලික නීතිය බවට පත්කරන බවය. විධායකය, ව්‍යවස්ථාදායකය, අධිකරණය හරහා ක්‍රියාත්මක වන්නේ ජනතාවගේ පරමාධිපත්‍යය බව ඇත්තය. නමුත් ශිෂ්ඨ සම්පන්න ලෝකයේ එය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ජනතා සම්මුතියක් ඇති කරගෙන තිබේ. එනම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් මගින් හදාගත් නීති රාමුවක් තුළ ප්‍රජාතන්ත්‍රවාදී ලෙස සියළු පුරවැසියන්ගේ අයිතිවාසිකම් නිදහස සුරැකෙන පිළිවෙලක් තිබේ. එහිදී කොල්ලාටයි බල්ලාටයි ඕනෑ විදිහට නීතිය ක්‍රියාත්මක කළ නොහැක. ඒ අනුව ලාල් මාලිමාවේ යෝජනාව ලෙස ඉදිරිපත් කරන්නේ ම්ලේච්ඡ ගෝත්‍රික යුගයටත් පෙර පැවැති මජර මිනීමරු භාවිතාවක් ගැනය.
විජේවීරට අත්වූ ඉරණම කුමක්ද?
ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීරට අවසන් කාලයේ සිය පක්ෂය තුළ අත්වූ ඉරණම තනි වාඛ්‍යයකින් සටහන් කළ හැකි නමුත් මේ වියමන කියවන පාඨකයාට වඩාත් පහසුවෙන් එය තේරුම් ගැනීමට නම් එය සිදුවූ පසුබිම පිළිබඳ යම් කරුණු අනාවරණයක් සහිතව සටහන් කළ යුතුය යන්න ලියුම්කරුගේ අදහසයි. මේ සටහන ඒ වෙනුවෙනි.
ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර 71 කැරැල්ලේ චූදිතයකු වශයෙන් සිරදඬුවම් ලබා නිදහස ලබන්නේ 1977 නොවැම්බර් මස 2 වෙනිදාය. එතැන් සිට මෙරට ක්‍රියාත්මක වූ ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ප්‍රවාහයට ඔවුන් අනුගතව කටයුතු කරමින් සිටියේය. ඒ අනුව 1982 සංවර්ධන සභා මැතිවරණයට ද 1982 ජනාධිපතිවරණයට ද තරඟ කළේය. කෙසේ නමුත් 1983 කලු ජූලිය සිදුවූ දෙමළ ජන සංහාරය පාදක කරගනිමින් මෙරට දේශපාලන පක්ෂ ගණනාවක් තහනම් කිරීමට එදා ආණ්ඩුව කටයුතු කළේය. ඒ අනුව 1983 ජූලි 30 ජනතා විමුක්ති පෙරමුණ තහනම් දේශපාලන පක්ෂයක් විය. එය දැනගත් සැනින් ජවිපෙ නායකයෝ සියලු දෙනා සැඟවී දේශපාලනය කිරීමට තීන්දු කළේය. කෙසේ නමුත් ලයනල් බෝපගේ පමණක් ‘වරදක් නොකර සැඟවෙන්නේ ඇයි?‘ කියා නොසැඟවී සිටීමට තීරණය කළේය. (1983 විතාරන්දෙණිය සාකච්ඡාව)
මේ තත්වය යටතේ ජවිපෙ නායකයන් සියලු දෙනා කැළෑ වැඳුණු අතර අප්‍රසිද්ධ නායකයන් විවිධ නම්වලින් පෙනී සිට පක්ෂයේ කටයුතු සිදුකරමින් සිටියේය. ඒ පක්ෂය විසින් තෝරාගත් රහසිග ස්ථානවල රැස්වූ පක්ෂ නායක මණ්ඩලය විසින් ගනු ලැබූ තීන්දු තීරණ හරහාය. ඔවුන් මුලුමනින්ම දේශපාලනය ලෙස තෝරාගත්තේ, රාජ්‍ය විරෝධී කටයුතු කිරීමය. සිය පක්ෂ කාඩරය තුළ රාජ්‍ය පිළිබඳ බද්ද වෛරයක් ගොඩනැගීමට හා ඊට එරෙහිව ක්‍රියාත්මක වීම වෙනුවෙන් පංති හා කඳවුරු පැවැත්විය. මහජනතාව දැනුම්වත් කිරීම වෙනුවෙන් පුවත්පත්, පත්‍රිකා ආදිය මුද්‍රණය කොට බෙදා හැරියේය. එසේම සැඟවී සිටින පක්ෂයේ නායකයන් ඇතුළු සමස්ත පක්ෂයේ නඩුත්තුව වෙනුවෙන් මුදල් ඉපයීම වෙනුවෙන් ඔවුන් විවිධ ගොවිපලවල් පවත්වාගෙන යාම වගේම හිතවත් කඩහිමියන්ගෙන් මාසික මුදලක් ලබාගැනීම සිදුකළේය. එහෙත් එය ප්‍රමාණවත් නොවූ තැන හොරකම් කිරීම වගේම මර්දනයට එරෙහිව යැයි කියමින් ආයුධ රැස් කිරීම ද ආරම්භ කළේය. බත් මුට්ටියේ සිට මිලමුදල් රත්තරන් ආභරණ දක්වා මෙම හොරකම පළල් විය. ඒ අනුව වෘත්තීය හොරු, පක්ෂය විසින් නිර්මාණය කොට නඩත්තු කළේය. කාලය මෙසේ ගෙවෙමින් තිබිය දී 1987 ජූලි 29 දින ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කිරිම ජවිපෙ දේශපාලනය කනපිට හැරවූ සංධිස්ථානය විය. එතැන් පටන් ඔවුන් ඉන්දීය විරෝධීන් විය. දේශප්‍රේමීන් විය. මෙම සිදුවීමට සමගාමීව පක්ෂයේ ද සැලකිය යුතු වෙනසක් දේශපාලනමය වශයෙන් සිදුවිය.
ඉන්දුලංකා ගිවිසුමට පොදු සමාජයේ නිර්මාණය වී තිබූ විරෝධය ද තමන්ගේ අභිලාෂයන් ඉටුකරගැනීම සඳහා උපයෝගී කොට ගත් ජනතා විමුක්ති පෙරමුණ 1987 ජූලි 29 දා එනම් ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කළ දා කඩුවෙල ප්‍රදේශයේ සිට කොට්ටාව හරහා ඒකරාශී වූ පිරිසක් පෙළපාලියක් ලෙස පනාගොඩ හමුදා කඳවුර දක්වා ගියේය. ඒ යන ගමන තුළ විරෝධතා සටන් පාඨ කියනවාට අමතරව හමුවූ සෑම රාජ්‍ය ආයතනයකටම, විදුලි ට්‍රාන්ස්පෝමරයකටම පහර දෙමින් ගිනි තබමින් සිය විරෝධය දැක්වීමට ඔවුන් කටයුතු කළේය. මෙම විරෝධතා ගමනේ දී පොලිස් වෙඩි පහරින් 7 දෙනෙකු මිය ගියේය. එලෙස පනාගොඩ හමුදා කඳවුරට ගොස් කතාබහකින් පසු හමුදා ආරක්ෂාව යටතේ නැවත එන ගමනේ දී සටන් පාඨ කියමින් සිය විරෝධය ප්‍රකාශ කර සිටියේය. එහිදී ජේ.ආර්. භංගවේවා, ගිවිසුම ඉරා දමව්, ලංකා ඉන්දියාවේ කොළනියක් නොකරව් වගේ සටන් පාඨ කියා ජනතා විමුක්ති පෙරමුණට ජයවේවා ! කියමින් ගියද හදිසියේ ලැබුණු පණිවිඩයකට අනුව ‘දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයට ජයවේවා !’ කියා කෑ ගසන්නට විය. දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ ආරම්භ සනිටුහන් වූයේ එතැනිනි.
දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය යනු ජනතා විමුක්ති පෙරමුණේ සන්නද්ධ ව්‍යාපාරයයි. ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවට කොල්ලකාරී ම්ලේච්ඡ සන්නද්ධ දේශපාලනයේ තෝතැන්නයි. එහි ප්‍රධානියා වූයේ ජවිපෙ දේශපාලන අංශය හෝ අධ්‍යාපන අංශයන්හි කටයුතු කළ කිසිවකු නොව සන්නද්ධ අංශය ගොඩනැඟීමේ ප්‍රමුඛයා වූ සමන් පියසිරි ප්‍රනාන්දු හෙවත් කබ්රාල්ය. කීර්ති විජයබාහු නමින් පෙනී සිටියේ ද මොහු ය. 1987 අගෝස්තු මුල් සතියේ සිට ජවිපෙ තීරකයා වූයේ මේ සන්නද්ධ අංශ ප්‍රධානියාය. ඔහුගේ අණසකට සියල්ලෝම අවනත විය. විජේවීර ඒවන විටත් සිටියේ ඔවුන්ගේ අත්අඩංගුවේය. නිවාස අඩස්සියේය. ඔවුන් දෙන කෑමක් කා ඔවුන් කියන තැනක පදිංචි වී කටයුතු කරන්නට සිදුවී තිබුණේය. උපතිස්ස ගමනායක පක්ෂයේ ලේකම්වරයා බණඩාරගම ප්‍රදේශයේ මුදලාලි කෙනෙකු ලෙස කටයුතු කළේය. ඩයස් මහත්තයා හෙවත් ඩයස් මුදලාලි නමින් පෙනී සිට දේශප්‍රේමීන්ගේ ඕඩර්වලට අනුව සිය මෝටර් සයිකලය පදවාගෙන විවිධ තැන්වලට ගොස් සාකච්ඡා පැවැත්වීමට පමණක් ඔහුට සිදුවිය. විජේවීරට ඒ අවස්ථාව ද අහිමි විය.
ජවිපෙට වඩා දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය වේගයෙන් සාර්ථක කරගැනීමට ඔවුන් සමත් විය. ආයුධ රැස් කිරීම, විරුද්ධවාදීන්ට පහර දීම, මුදල් කොල්ල කෑම, සමූපකාර කඩා ආහාර ද්‍රව්‍ය එකතු කිරීම වැනි කඩාකප්පල්කාරී වගේම විනාශකාරී කටයුතු නිසා සමස්ත සමාජයම භීතියට පත්ව සිටියේය. ඒ නිසාම ඇතැම් ග්‍රාමීය ප්‍රදේශවල දේශප්‍රේමීන්ගේ අණසකට නතුව තිබුණේය. ඒ අනුව ඒ ඒ කලාප කොට්ඨාශවල විකල්ප ආණ්ඩු බලයක් ඔවුන් සතුකරගෙන සිටියේය. මේ තත්වය යටතේ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රථම වතාවට රාජ්‍ය බලය අත්හදා බැලුවේ, සිය ආණ්ඩුවේ ඇමති මණ්ඩලයක් ද නම්කර ගෙනය. විජේවීර ජනාධිපති වශයෙන්ද, ගමනායක අගමැති ද සමන් පියසිරි ආරක්ෂක ඇමති ද විය. මේ පිළිබඳ දැනට ජීවතුන් අතර සිටින සැඩෝ අගමැති ගමනායකගේ බිරිඳ වන කරුණා ගමනායකගෙන් අසා දැනගැනීමට පුළුවනි.
88 ජවිපෙ ඇමති මණ්ඩලයේ සිටියේ කවුරු කවුරුද යන්නට වඩා මෙතැනදි වැදගත්ම දේ ශ්‍රී ලංකා යුද හමුදාවේ නිල ධූරාවලියට සමපාත වන පරිදි ඒ ඒ නිලයන් ඇතුළත් හමුදාවක් නම් කර කටයුතු කිරීමය. එහි ප්‍රධානියා වූයේ ආරක්ෂක ඇමති නාමය ලද කබ්රාල් හෙවත් සමන් පියසිරි ප්‍රනාන්දුය. දෙවැනියා වූයේ රාගම පතී නමින් පෙනී සිටි සුදත් ප්‍රනාන්දුය. ඔවුන්ගේ පළමු ආයුධ පුහුණු කඳවුර සමනල කන්ද ප්‍රදේශයේ දී පැවැත් වූ අතර හමුදා සේවයෙන් විශ්‍රාම ගෙන සිටි පෙරේරා සහ රොඞ්නි යන අය ප්‍රධාන ආයුධ පුහුණුකරුවන් විය. ඒ සඳහා ආධුනිකයන් වශයෙන් සහභාගි වී අවි පුහුණුව ලත් ඇතැම් පිරිස් අදටත් ජවිපෙ වගේම වෙනත් දේශපාලන ක්‍රියාකාරකම්වල ද පුද්ගලික ව්‍යාපාර වැනි නිශ්ක්‍රීය දේශපාලන කටයුතුවල ද නියැලෙමින් ජීවත්ව සිටියි.
ජවිපෙ විසින්ම ගොඩනැගූ දේශප්‍රේමි ජනතා ව්‍යාපාරය තමන්ගේ අණසකට ජවිපෙ නායකත්වය යටපත් කොට ම්ලේච්ඡ සන්නද්ධ ව්‍යාපාරයක් ලෙස ගොඩනැගුනේ එලෙසය. එතැන් පටන් ඔවුන්ගේ භාවිතාව ගැන කොතෙකුත් පොත් පත් ප්‍රකාශන ලියවිලි නිකුත්ව තිබේ. මේ ඒ පිළිබඳ කෙටි සාරාංශයකි.
ලංකාවේ මෑත ඉතිහාසයේ සංවිධානාත්මක අපරාධ සමාජගත කළ කණ්ඩායම වූයේ ජවිපෙය. ඒ අතර බැංකු කොල්ලකෑම්, රාජ්‍ය ආයතන ගිනි තැබීම්, මනුස්ස ඝාතන ඉතා අමානුෂික අයුරින් සමාජය මුදා හැරියේය. තමන්ට එරෙහි වූ ඕනෑම අයෙකුට අත් වූ ඉරණම මරණය විය. සමාජය තුළ වැරදිකරුවෙකු ලෙස නම් කළ පුද්ගලයකුට ලැබුණු දඬුවම අද ලාල්කාන්ත කියනවා වගේ දඬුකඳ නොව බෙල්ල කපා ඉණිවැටේ ගැසීමය. පක්ෂයේ වුවමනාවන් වෙනුවෙන් මහමගදී වාහන මංකොල්ල කෑම ඔවුන්ගේ සිරිතක් විය. වරදක් නොකළත් වරදක් කරවි යැයි සැකයක් ඇති වූ සෑම තැනකදීම මිනිසුන් මරා දැමීමට ඔවුන් දෙවරක් නොසිතා ක්‍රියාත්මක විය. මුළු ශරීරය පුරාම සමාජ වෛරය පුරෝගත්තු මිනිස් ප්‍රාණීන්ගෙන් මෙවැනි තිරිසන් ගති මිසක මනුස්ස ස්වභාවයන් බලාපොරොත්තු විය නොහැකි බවට ජවිපෙ මෙකී ඉතිහාසය සාක්ෂි දරයි.
මේ පිළිබඳ 2019 වර්ෂයේ දී මාධ්‍යවේදියකු වගේම ලේඛකයකු වූ හෙන්රි වර්ණකුලසූරිය විසින් රචනා කොට පළකරන ලද ‘නාඳුනන තුවක්කුකරුවාගේ කතාව‘ නම් වූ කෘතියේ, ජවිපෙ අදටත් අසහාය නායකයකු ලෙස සලකන සුමිත් අතුකෝරලගේ මගපෙන්වීම හරහා ජවිපෙ සන්නද්ධ අංශයට ඇතුළත් වන සේපාල ප්‍රනාන්දු නම් වෙඩික්කරුවා විසින් කබ්රාල්ගේ සහ පතීගේ දැනුම් දීම් මත පක්ෂය වෙනුවෙන් එදා සිදුකරන ලද අපරාධ සම්බන්ධයෙන් පැහැදිලි විස්තරයක් සාක්ෂි සහිතව අඩංගු වේ. ඒ අනුව තේවිස් ගුරුගේ, ග්ලැඩිස් ජයවර්ධන, ලෙස්ලි රණගල ඝාතනය කිරීම් වගේම ලංකාවේ ලොකුම බැංකු මංකොල්ල කෑම් සිදුකළ අයුරු මැනවින් එහි සටහන් කොට තිබේ.
මෙම මනුස්ස ඝාතන අද ජවිපෙ නලින් හේවගේ කියනවා වගේ ස්ත්‍රී දූෂණ, මංකොල්කෑම් හෝ කසිප්පු පෙරීම නිසා සිදුකළ ඝාතන නොවේ. ග්ලැඩිස් ජයවර්ධන ජවිපෙට කරපු වරද නම් ජේ.ආර්. ජයවර්ධනගේ සහෝදරියක්ව මෙලොවට බිහිවීමය.
එලෙස ජවිපෙ සන්නද්ධ නායකයන්ට වරදක් යැයි හැඟෙන ඕනෑම කරුණකට අදාළව දඬුවම් දීමට, ඝාතනය කිරීමට තරම් ඔවුන්ගේ access to justice බලවත් විය. ඔවුන්ගේ සන්නද්ධ ව්‍යාපාරය කෙතෙරම් අසාධාරණ දැයි කවරෙකුට වුවද මැනවින් තේරුම් ගත හැකි සිදුවීමක් 1989 අගෝස්තු මැද කාලයේ දී සිදුවිය.
ඒ වන විට රාජ්‍ය මර්දනය බලවත්ව තිබූ පසුබිමකි. එමනිසාම ජවිපෙට සම්බන්ධව රාජ්‍ය විරෝධී කටයුතුවල නිරත වූ බොහෝ දෙනෙකු අත්අඩංගුවට පත්ව හෝ මරණයට පත් වෙමින් තිබූ වටපිටාවකි. මේ සම්බන්ධයෙන් දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ නායකයන්ට තමන්ගේ බලය ක්‍රමයෙන් ගිලිහෙමින් පවතින බවද, සමාජය නැවත රාජ්‍යයට අවනතව කටයුතු කිරීමට පටන්ගෙන ඇති බවද වැටහී තිබිණි.
ඒ අනුව කෙසේ හෝ මේ තත්වය හැකි ඉක්මණින් වෙනස් කළ යුතු බවද නැතහොත් වැඩිකල් නොගොස් පක්ෂය සතුරු හමුදාවන් ඉදිරියේ පරාජයට පත්වනු ඇති බවද කතිකා කළේය. ඒ අනුව අවසානයේ තීන්දු වූයේ නැවත වරක් සමාජය බිය ගැන්විය යුතු බවය. පක්ෂයේ අණසක යළි පතුරුවා හැරිය යුතු බවය. සමාජය පක්ෂ තීන්දුවට අවනත කරගත යුතු බවය. ඒ සඳහා කළ හැකි එකම දේ, එක රැයින් රට පුරා පෝස්ටර් ගහනවා වගේ එක දවසින් රටපුරා තම විරුද්ධවාදීන් දහසක් ඝාතනය කිරීම බව තීන්දු කළේය. ඒ අනුව පක්ෂ සටන්කාමී කාඩර්වරුන්ට දැනුම් දී තිබුණේ, තම තමන්ට පහසුවෙන් ගොදුරු කරගත හැකි එක්සත් ජාතික පක්ෂ පවුල්වල සාමාජිකයන් හෝ පොලීසියත් සමග හිතවත්කම් පවත්වන අයවලුන් අදාළ දිනයේ ඝාතනය කළයුතු බවය. එකිනෙකාට වෙන වෙනම මෙම දැනුම් දීම සිදුකර තිබිණි. ඒ අනුව ඇතැම් අයකුට එක් ඝාතනයක් සිදුකිරීමට බාර වූ අතර තව කෙනෙකුට මිනිසුන් 5 හෝ 6ක් ඝාතනය කිරීමට බාර දී තිබිණි. කෙසේ වෙතත් අදාළ දිනයට දින තුනකට කළින් මේ සම්බන්ධයෙන් ඇති වූ ගැටලු මත ඒ කාර්යය නිසි පරිදි සිදුකර ගැනීමට අසමත් විය. එසේම රාජ්‍ය ආරක්ෂක අංශයන්ගේ ක්‍රියාත්මක වීමද එයට හේතු විය. එසේ වුවද අදාළ දිනයේ මනුස්ස ඝාතන 200කට ආසන්න ප්‍රමාණයක් දේශප්‍රේමීන් විසින් සිදුකර තිබිණි. එසේ ඝාතනයට ලක් වූවෝ කළ විශේෂ වරදක් නොවීය. එහෙත් ඝාතකයාට එය අදාළ නොවුණේ, පක්ෂයේ නියෝගය අනෙකාගේ ජීවිතයට වඩා ඔහුට වැදගත් වූ බැවිනි.
ඒ අනුව රාජ්‍ය බලය අත්පත් කරගැනීම වෙනුවෙන් සටන් කරනවා වෙනුවට ඔවුන් සිදුකළේ රාජ්‍ය ආයතන හා රාජ්‍ය නිලධාරින්ට එරෙහි සටනකි. විරුද්ධ මතධාරී අහිංසක මිනිස්සුන්ට එරෙහි සටනකි. ඒ අතරතුර පුද්ගලික පලිගැනීම් ද අතොරක් නැතුව සිදුකළේය. එය එසේ නොවේ නම් රජයේ ආරක්ෂක අංශ සාමාජිකයන් සිටින පවුල් පිටින් ඝාතනය කොට රාජ්‍ය බලය ලබාගැනීමට ඔවුන් කල්පනා කළා විය යුතුය.
අද ජවිපෙ දේශපාලන මණ්ඩලය නියෝජනය කරන ටිල්විල්ලා, ලාල්කාන්තලා, ජගත්ලා ජවිපෙ දේශපාලනය විදිහට මුල්කාලයේ අත්වින්ඳේ මෙන්න මේ එදා දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය නමින් සිදුකළ සමාජ වෛරී සහගත ම්ලේච්ඡත්වයයි. ටිල්වින් සිල්වලා තමන්ගේ පක්ෂෙ සමුළු අමතමින් හැමදාම සිය පක්ෂික කාඩරයට කියා සිටින්නේ, අවස්ථාව ලැබුණු සැනින් අපි බලාගන්නම් යනුවෙනි. ඒ තමන් අත්වින්ඳ සැහැසි දේශපාලන භාවිතය නිසා විය යුතුය. අනුරට එය එතරම් අදාළ නොවන්නේ, ඔහු දේශපාලනය පැත්තක දමා සිය උපාධියද හමාර කොට ඉන් පසුව ජවිපයේ පූර්ණ කාලීනව වැඩකරන්න එන්නේ 1993 න් පසුව ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට අවනතවූ ජනතා විමුක්ති පෙරමුණට වීම නිසාය.
එසේම මාලිමාවේ ජනප්‍රියතාව නිසා උදම් වී සිටින ලාල්කාන්තලාගේ ප්‍රකාශ හරහා අවධාරණය කරන්නේ, එදා කබ්රාල්ලා, විජේවීරට අත්කර දී තිබූ ඉරණම හෙට දවසේ අනුරත් අත්විඳීමට සුදානම් විය යුතු බව මිස වෙනකක් නොවේ. අනුරට ඒ ප්‍රකාශයන් වැරදි බව කියමින් වෙන වැල්වටාරම් දොඩවන්න සිදු ඇත්තේ තමන්ට තිබෙන අනතුර ගැන වැටහීමෙන්ද විය හැකිය. ආණ්ඩු විරෝධී ජනප්‍රිය සටන් පාඨ විවිධ තරාතිරමේ පුද්ගලයන් හරහා සමාජගත කරමින් මාලිමාවට මුවා වෙමින්, ජවිපෙ සාහසික දේශපාලන කාඩරය බලයගන්න හදන්නේ තමන්ගේ සමාජ වෛර පිරිමසා ගැනීමට, ඇරියස් කවර් කරන්න නොවේ යැයි කල්පනා කළ හැකිද? එය එසේ නොවන බව දැන් ජවිපෙ හෝ මාලිමාවේ කිසිවකුට සහතික විය නොහැකි තරමට ජවිපෙ කාඩරය පැලකර තිබූ සමාජ වෛරය අද අතුඉති දා වර්ධනය වී අවසන්ය. දැන් බලා සිටින්නේ බලය අත්පත් වන මොහොත එන තුරුය. ලාල්ලා ජවිපෙ කාඩරයට සංඥාව දෙන්නේ ඊට සූදානම්ව සිටින ලෙසය. මේවා මැතිවරණ වේදිකව මතදී සෙනඟ දැක චූන් වී කරන කට කැඩිච්ච කතා නොවේ. බොහොම දැනුවත්ව අවබෝධයෙන් කරන දේශපාලනික ප්‍රකාශයන්ය.
එනිසා මේ අනතුර හඳුනා නොඟෙන පාට සායම් තැවරූ මාලිමාවට රැවටුණහොත් හෙට දවසේ රට ගොඩනැගීම කෙසේ වෙතත් දශක ගණනාවක් යළි පසුපසට ඇද දැමෙන සැහැසිකම් පිරුණු ම්ලේච්ඡ බිමකඩක උරුමක්කාරයන් වීමට රටවැසියට සිදුවනු නියතය. අනුරටවත් තව කරන්න දෙයක් ඉතිරි නොවනු ඇත.
- විශේෂ ලියුම්කරුවකු විසිනි
chatham street journal