සජිත් සහ අනුර තමන්ගේ ප්‍රතිවාදියා හරියටම තෝරගනියි ! Featured

Wednesday, 01 May 2024 09:47

තවත් වසර පහකට රටට නායකත්වය දෙමින්, ආර්ථික අර්බුදයට පත් රට එයින් ගොඩගැනීමට අති සාර්ථකව කටයුතු කළාක් මෙන්, තවදුරටත් රට මුහුණ දී ඇති ගැටළු ජය ගැනීම වෙනුවෙන් වැඩ කිරීමට තමන්ගේ ඇති වුවමණාව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ තවමත් නිල වශයෙන් රටට ප්‍රකාශ කර නැත.

එහෙත් දේශපාලන අභ්‍යන්තර තොරතුරු මාර්ග අනුව, ජනාධිපති රනිල් රට වෙනූවෙන්, ජනතතාව වෙනුවෙන් තමන්ගේ ඇති වගවීම තවදුරටත් දරන්නට සූදානමෙන් පසුවෙන බව තහවුරුවේ.

එක්සත් ජාතික පක්ෂය මේ වන විටත් එළැඹෙන ජනාධිපතිවරණය සඳහා තමන්ගේ සහ තවත් පක්ෂ වල එකතුවෙන් වන පුළුල් සන්ධානයක නිර්පාක්ෂික ජාතික අපේක්ෂකයා ලෙස ජනාධිපති රනිල් ඉදිරිපත් කිරීමට තීරණයකර ඇති බව වාර්තා වී ඇත. එමෙන්ම මේ වන විටත් ඊට අදාල මුලික පක්ෂ සංවිධාන කටයුතු සහ මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදුකරමින් තිබේ. ඒ අතර ජනාධිපති රනිල් තවදුරටත් රට වෙනුවෙන් රටේ නායකත්වය දැරිය යුතු බව විශ්වාස කරන පොදු ජන පෙරමුණේ බහුතර මැති ඇමැතිවරු පිරිසක් ජනාධිපති රනිල් වෙනුවෙන් පෙළ ගැසී සිටිති. බොහෝ විට පක්ෂයක් ලෙසම ඒ තීන්දුව ගැනීමත් විය හැකිය. ඒ අතර සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු ගනනාවක්ද, ශ්‍රීලනිපයේ මැති ඇමැතිවරු ගනනාවක්ද ජනාධිපති රනිල්ගේ ජනාධිපතිවරණ සටනට සහය දීමේ සුදානමෙන් පසුවන බවත් එම තොරතුරු මාර්ග පෙන්වා දෙයි.

එමෙන්ම පොදු ජන පෙරමුණෙන් සහ සමගි ජන බලවේගයෙන් ස්වාධීනව පසුවන මන්ත්‍රීවරු ගනනාවකගේ සහයද ජනාධිපතිවරයාට ලැබෙනු ඇති බව කියවේ. ඒ අතරම වතුකරයේ දෙමළ ජනතාව නියෝජනය කරන ලංක කම්කරු කොන්ග්‍රසය සහ තවත් බලවේග කිහිපයක්ද. උතුරු නැගෙනහිර දෙපළාත් නියෝජනය කරන දෙමළ ජාතික සන්ධනයට අයත් පක්ෂවල කණ්ඩායමක්ද ජනාධිපති රනිල් යටතේ ඉදිරි දේශපාලන කටයුතු වලට කැමැත්තෙන් පසුවේ. මේවන විටත් ජනාධිපතිවරයා සමඟ කටයුතු කරමින් සිටින පිරිසක්ද වේ. එසේම මුස්ලිම් දේශපාලන පක්ෂ වල සහයද ජනාධිපතිවරයාට හිමිවන ලකුණු ඇත.
මේ වන විට මේ සියළු කණ්ඩායම් වල ඡන්ද පදනම සලකා බැලීමේ දී ජනාධිපතිවරයා දැනටමත් සියයට 50 ඉක්මවායන බහුතරය ඡන්ද ප්‍රමාණය හිමිකරගෙන ජනාධිපතිවරණ ජයග්‍රාහකයා වී අවසන්ය.

මීට වසර දෙක තුනකට පෙර මෙරට තිබු දේශපාලන ආර්ථික සහ සමාජීය වියවුල්කාරිත්වය මේ වන විට සමනය වෙමින් තිබේ. ඒ අනුව එදා තිබු දේශපාලන මතවාද ආකල්ප ආදිය වෙනස් වෙමින් තිබේ. ආණ්ඩුව නියෝජනය කරන දේශපාලන පක්ෂ කෙරෙහි වු විවේචන, විරෝධයන් ආදිය දැන් වෙනස් වෙමින් අවම වෙමින් තිබේ. එසේම ආණ්ඩුවේ සාර්ථකත්වය මත යළි විශ්වාසයන් ගොඩනැගෙමින් තිබේ. ඒ අයගේ තිබුණු ජනප්‍රියතාවයන් යළි ඇතිවෙමින් තිබේ. මේ තත්වයන් තුළ එදා විපක්ෂ දේශපාලන පක්ෂ විසින් ජනතාව මත පැටවූ විවිධ විරෝධාකල්ප මතවාද ආදිය ගැන නැවත කල්පනා කරන තැනට ජනතාව පත්ව ඇත. පැවැති දුෂ්කර පීඩාකාරී ආර්ථික දේශපාලන පරිසර සාධකයන් වෙනස් වෙමින් තමන්ට දැනෙන පහසුවක් අත් විඳින විට සහ අනාගත අපේක්ෂාවන් යළි ගොඩනැගෙන විට අහපු දැකපු හිතන් හිටපු දේවල් වැරදි බවත්, දැන් වෙනස් විය යුතු බවත් බහුතර ජනතාව කල්පනා කිරීම සාමාන්‍ය තත්වයක් බවට පත්වේ.

ජනතාවගේ අභිලාශයන් ඒ අවශය පරිදි ඉටු වෙනවා නම් මේකේ වෙනස් කරන්න දෙයක් නැත. දැන් බහුතරයක් ජනතාව කල්පනා කරන්නේ මේ යහපත් වෙනස තවදුරටත් පවත්වාගෙන යෑම වෙනුවෙන් තමන්ගේ කැමැත්ත ප්‍රකාශ කළ යුතුය කියන එක ගැනය. මේ අනුව ජනාධිපති රනිල් යළිත් වරක් සිටින්නේ ජයග්‍රාහී තැනකය.

මීළඟ කාරණය වන්නේ ජනාධිපති රනිල්ට අභියෝගයක් වෙමින් රටේ බලය අත්පත් කරගැනීම සඳහා වඩාත් සමීපතම ප්‍රතිවාදින් දෙදෙනා වූ ජවිපෙ අනුර කුමාරත්, සජබ සජිත් ප්‍රේමදාසත් දැන් ඇද වැටී තිබෙන කණගාටුදායක තත්වයය.

අවුරුදු දෙක තුනකට පෙර මේ අයට හැදුනා කිව්ව රැළි දැන් නැත. සුනාමි වගේ වෙනවා කිව් රැලි වෙනුවට දැන් ඇත්තේ නිස්කලංකව හීන් හඬින් කෙඳිරිගාගා යන රැළිය. විපක්ෂයේ ප්‍රයෝගකාරී, වෙනස් වෙන සුළු ප්‍රතිපත්ති, වැඩපිළිවෙල කෙරෙහි විශ්වාසය දැන් බිඳවැටෙමින් තිබේ. ජනාධිපති රනිල්ගේ වැඩපිළිවෙලට අභියෝග කිරීමේ හැකියාවක් විපක්ෂයට නැති බවත් හෙළිදරව් වී තිබේ. කොටින්ම මේ අපේක්ෂකයන් දෙදෙනාම කටකයිවාරුකම් දොඩවන විගඩම්කාරයන් බවට පත්ව තිබේ.

ඒ අතර වඩා වැදගත්ම දේ මේ පක්ෂ දෙක අතර පවත්වනවා කියන මහා විවාදය විසින් මේ පක්ෂ දෙකටම කරමින් පවතින බරපතල හානියය. අප පසුගිය කලාපයේ මේ තීරුවෙන්ම පවසා සිටියේ මේ සජිත්-අනුර යෝජිත විවාදය රයිගමයි ගම්පොළයයි කරන විවාදයකට වඩා දෙයක් නොවන බවය. දෙදෙනා මෝඩයන් වුවද අනෙකාට පැරදෙන්න තියෙන බයට, කපටිකම් කරමින් අභියෝගයෙන් පලා යෑමට සැරෙනවා සේම, මේ වන විටත් සජිත්- අනුර දෙපාර්ශ්වයම විවාදයෙන් පලා යෑමේ උත්සාහයක නිරත බව ඔවූන්ගේ ලියුම් ගනුදෙනු හා කියුම් කෙරුම්වලින් පැහැදිලිය.

එය කොහොම වෙතත් අපගේ ප්‍රශ්නය මේ විවාදය පවත්වන්නේ කුමක් අරඹයාද කියා පැහැදිලි නැති කමය. සජබය මුලින්ම විවාදකට අභියෝග කර තිබුණේ ආර්ථික ප්‍රතිපත්ති ගැන පක්ෂ දෙකේ ආර්ථික කමිටු සාමාජිකයන් සමඟ කරමුය කියමිනි.

ඊට පදනම් වූ එකම හේතුව ‘The Chatham Street Journal’ අප විසින් ජාතික ජන බලවේගයේ ප්‍රකාශිතව තිබු ආර්ථික ප්‍රතිපත්ති සම්බන්ධයෙන් ඇති අඩුපාඩුව, බොරුව, විහිළුව මුල් වරට හෙළිදරව් කරමින් එය ප්‍රශ්න කිරීම සහ එම කාරණා එජාපයේ ගම්පහ සංවිධායක වරුණ දීප්ති රාජපක්ෂ විසින් රූපවාහිනි සජීවී වැඩ සටහනකදී රටටම දකින්න ඇහෙන්න, ජාජබයේ ආර්ථික විශේෂඥයකු ලෙස පෙනී සිටින චතුරංග අබේසිංහ යන අය හමුවේ ප්‍රශ්න කිරීම විය. එහිදී ඇතැම් කාරණා වලට ඔහු නිරුත්තර වීම සහ තවත් කාරනා වලදී වැරදි බව පිළිගෙන තමන් අලුත් ප්‍රතිපත්ති ප්‍රකාශනයක් ඉදිරිපත් කරන බවත් පැවැසීම ආදිය නිසා ඒ සමඟ සමාජය තුළ මේ ගැන විශාල කතිකාවක් නිර්මාණය විය.

සජබයද මේ මතුවුණු කතන්දර ටික ජාජබයට එරෙහි තමන්ගේ දේශපාලන ප්‍රචාරක කටයුතුවලට හොඳින් යොදා ගැනීම කළේය. ඒ මගින් සජබය ලැබු තෘප්තිය ඉස්මොල්ලේ ගිය අතර ඒ අනුව සජබය මේ ආර්ථික ප්‍රතිපත්ති විවාදයට ජාජබයට අභියෝගය කිරීමට තරම් පෙළඹීම සිදුවිය.

මෙහිදී ජාජබයට සිදු වුයේ තමන්ගේ ප්‍රතිපත්ති ගැන විශාල අවුලක් නිර්මාණය වී තිබියදී තමන්ගේ කණ්ඩායම තුළවත් ඒ ගැන එක මතයක් නොතිබෙන විටකදි, එසේම සමාජවාදී ජවිපෙ හා ලිබරල්වාදී මාලිමා කණ්ඩායම් අතරද විශාල ගැටුමක් ඇතිව තිබියදී එහෙම විවාදයකට යන්න පුළුවන් කමක් නොතිබීමේ ගැටළුවට මුහුණ දීමට සිදුවීමය. එම නිසා එය මඟහැර ආර්ථික කමිටු විවාදය වෙනුවට පක්ෂ නායකයන් අතර විවාදයක් ජාජබයෙන් යෝජනා විය. ජාජබය කල්පනා කරන්නේ තමන්ගේ නායක අනුරගේ කතිකත්වය හමුවේ සජිත්ව පරාජය කළ හැකි බවය. සජිත් මින් පෙර මෙවැනි විවාදයන්ට සහභාගී වී නැති නිසා ඔහුව පහසුවෙන් පරාජය වෙනු ඇතැයි ජාජබයේ විශ්වාසය වී ඇත. එහෙත් නායකයන් අතර විවාද යෝජනාවට සජබය අදි මදි කරන්නේ ආර්ථිකය ගැන හෝ දේශපාලනය ගැන දන්නා දෙයක් නැති සජිත්ව විවාදයකට යවා තමන්ට තියෙන ලබු ගෙඩියත් නැති කරගැනීම වෙනු ඇති බවටය. ඒ නිසා ප්‍රථමයෙන් ආර්ථික කමිටු අතර විවාදයම සජබය ඉල්ලා සිටී.

මේ අනුව දැන් විවාදය සිදු කිරීම ගැන පවතින්නේ බරපතල විවාදාත්මක විවාදයකි. ඒ විවාදයේ ජයග්‍රාහකයා කවුරු වෙයිද අපි දන්නේ නැත. නමුත් විවාදයක් නොපැවැත්වීමේ සම්භාවිතාවය නම් ඉහළය.

කොහොම නමුත් මෙම විවාදය පැවැත්වීම කරන්නේ කුමක් අරඹයාද යනුවෙන් අපි ප්‍රශ්න කරන්නේ මේ පක්ෂ දෙකම ආර්ථික ප්‍රතිපත්ති ගැන විවාදයක් ගැන කතා කළද මේ පක්ෂ දෙක සතුවම එහෙම විවාදයක් කරන්න තරම් ආර්ථික ප්‍රතිපත්ති අතර ගැටුමක් තිබේද යන්න අපහැදිලි නිසාය. එහෙම ගැටුමක් හෝ එකඟතාවයක් මොකක් හරි තිබෙනවා ද නැද්ද යන්න දැනගැනීමට නම්, මේ පක්ෂ දෙකම මුලින්ම මෙන්න මේක තමයි අපේ ප්‍රතිපත්තිය, මේක තමයි ආර්ථික වැඩපිළිවෙල කියා ස්ථිර පැහැදිලි ලේඛනයක් නිල වශයෙන් රටට ඉදිරිපත් කළ යුතුය. එහෙම එක පාර්ශ්වයක් හෝ ඉදිරිපත් කර ඇතිනම් ඒ ගැන තිබෙන විවේචනය හෝ එකඟතාවය මතු කළ හැකිය. තමන්ගේ තියෙන වෙනස හෝ නිවැරදි බව ගැන තර්ක කළ හැකිය.

එහෙත් දැන් ඇත්තම ප්‍රශ්නය එහෙම පිළිගත් නිල ලේඛනයක් දෙපැත්තම සතු නොවීමය. ජාජබයේ තිබුණු එක ඔවුන් විසින් ප්‍රතිශේපකර අලුත් එකක් ඉදිරිපත් කරනවා යැයි කීවද මේ වන තුරුත් ඉදිරිපත්කර නැත. සජබයේ හර්ෂ දි සිල්වා ලියා පළ කළ බ්ලු ප්‍රින්ට් යනුවෙන් වන ලේඛනය, සජබයේ නිල ප්‍රතිපත්තියද යන්න ගැන පැහැදිලිතාවයක් නැත. සජිත් ප්‍රේමදාස මෙන්ම එම පක්ෂයට එකතු වූ නාලක ගොඩහේවා වැනි ගෝඨාභය පාලනයේ උපදේශකයන් වූ අයද, එය පක්ෂයේ නිල ප්‍රතිපත්තිය නොවන බව කිහිප වතාවක්ම කියා ඇත. එසේම සජිත් දේශපාලන වේදිකා ගානේ කියවන ප්‍රතිපත්ති හා කරනවා කරනවා කියා දොඩවන දේවල් ද මේ බ්ලු ප්‍රින්ට් ප්‍රතිපත්තිවලට එකඟ නැත. පරස්පරතා බහුලය.

මේ තත්වයන් මත මේ පවත්වනවා කියන විවාදයම දෙපැත්තම හිස් කඩදාසි අතැතිව කරන කිසි තේරුමක් නැති වැදගමක් නැති, දෙපැත්තේ බොරු පම්පෝරි ගැසීමකට වඩා දෙයක් නොවන බව සහතිකය. තමන්ගේ නැති ප්‍රතිපත්ති ගැන, කරන්න බැරි වැඩ ගැන, බොරු කතා කරන්න ගිහින් ජනතාව හමුවේ, රැවැටිලිකාරයන් විහුළුකාරයන් වන්න ලැජ්ජාවක් බයක් නැතිනම් මේ දෙගොල්ලන්ටම කටකයිවාරුකම් දොඩවමින් මේ විවාදය කළ හැකිය. එහෙත් එය ජනතාවට හුදු විනෝද සමයං වැඩ සටහනකට වඩා දෙයක් නොවනු ද ඇත.

කොහොම නමුත් දැන් සජිත් හා අනුර මෙරට දේශපාලනය තුළ තමන්ගේ තැන ලකුණු කරගැනීම, මේ විවාද යෝජනාව කිරීමත්, ප්‍රතියෝජනාවක් කිරීමත් ඒ ගැන විවාදයකට යෑමත් නිසා සිදුව තිබේ. ඒ අනුව, මේ වන විට සජිත් තමන්ගේ එකම දේශපාලන ප්‍රතිවාදියා ලෙස අනුරව තෝරාගෙන ඇත. අනුර තමන්ට ඇති එකම අභියෝගය ලෙස සජිත්ව තෝරාගෙන ඇත. දැන් සටන තියෙන්නේ ඒ දෙදෙනා අතරය. ඒ ඉදිරි ජනාධිපතිවරණය ජයගන්න නම් නොවේ. දෙවැනියා වෙන්නේ කවුද කියන එකටය. අනාගත විපක්ෂ නායකයා වෙන්නේ කවුද කියන එකටය. මේ දෙගොල්ලම ජනාධිපති රනිල්ට විවාද වලට අභියෝග කරන්නේ නැත්තේ ඒ නිසාය. එලෙස අභියෝග කිරීමද කළ නොහැකිය. මන්ද නිවැරදි ප්‍රතිපත්තියක් සැලසුමක් වැඩපිළිවෙලක් ඇතිව හා එය භාවිතයේ යොදවා ජනාධිපති රනිල් සාර්ථක වී ඇති නිසාය. එය රට තුළද ජාත්‍යන්තරය තුළද පිළිගැනීමට සහ ඇගයුමට පාත්‍ර වී ඇති නිසාය. රටේ අනාගත ඉරණම රඳා පවතින්නේද මේ රනිල් ප්‍රතිපත්ති අඛන්ඩව ඉදිරි දශකයටත් ක්‍රියාත්මක වීම හෝ නොවීම මතය කියා ලෝකයේ විශිෂ්ටතම ආර්ථික විශේෂඥවරුන්ගේද මතය වී ඇති නිසාය. මේ නිසා රනිල්ගේ ප්‍රතිපත්ති හමුවේ සජිත්-අනුර කොහොමත් නියත පරාජිතයන්ය.

ඒ අනුව ජනාධිපති රනිල් ජනාධිපතිවරණයට පෙර තවත් වාරයක් තමන්ගේ ජයග්‍රහණය සහතික කරගෙන අවසන්ය.

මේ අවස්ථා සියල්ලෙන්ම රටේ අනාගතය පැහැදිලිය. වෙන විකල්ප නැත. තවත් අවුරුදු 5 කට ජනාධිපතිවරයා රනිල් පමණය.

-ඝෝෂක

The Chatham Street Journal

Leave a comment

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ක්‍රීඩා

වනිඳු පෙරමුණට

වනිඳු පෙරමුණට

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක වනිඳු හසරංග අන්තර්ජාතික පන්දුවාර 20යි 20 ක්‍රිකට් තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ...

Connet With Us