මා මිත්‍ර උපුල් ජනාධිපති නීතිඥ මාන්නයෙන් ගෞරව ලැබීම දැන් නීතිඥ වෘත්තිකයන් ගෙන් බැහැරව සාමාන්‍ය සිවිල් සමාජයේ ඕපාදූපයක් වී හමාර ය. ඊට හේතුව උපුල් යනු නෑ බෑ නො කියා කා වෙනුවෙනුත් පෙනී සිටින උගත් මිත්‍රයෙකුටත් එහා ගිය සමාජ චරිතයක් නිසා විය හැකිය. නීතිඥ නාමල් රාජපක්ෂට අනුව, උපුල් ජනාධිපති නීතිඥ මාන්නයෙන් ගෞරව ලබන්නේ අනුර කුමාර දිසානායකගේ අවසරය ඇතිව ය. උපුල් කුමරප්පෙරුම නම් උගත් මිතුරා සිය වෘත්තීය සුදුසුකම ලැබීමට අනුර කුමාර දිසානායකගේ අවසරය ඉල්ලීම මගේ නිරික්ෂණය අනුව නම් බෙහෙවින් සංවේග ජනක තත්වයකි.
නීතිඥ වෘත්තිය කුමක්ද යන්න පිළිබඳ මට වඩා පුළුල් අවබෝධයක් උපුල් තුළ තිබිය යුතු බව මෙහි සටහන් කරන්නේ නීතිඥ වෘත්තියෙන් හෙතෙම මට වඩා ජ්‍යෙෂ්ඨයෙකු වන නිසාය. නීතිඥ ලෝගුව නිකම් කළු කෝට් එකක් නොවේය, යන්න යථාර්ථය මිස රහ වැඩිකර කීමක් නොවේ. නීතිඥ වෘත්තිය යනු කිසිවෙකුට දෙවෙනි නො වේය කීම කයිවාරුවක් විය හැකිය. එහෙත් එය කිසිවෙකු අතින් අව තක්සේරුවීමට ඉඩ නො දිය යුතු යයි කීම අර්ථවත්ය.
නීතිඥයන් ආරක්ෂා කරගත යුතු ගරුත්වය හා අභිමානය සේවා දායකයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂාව කෙරෙහි තීරණාත්මක සාධකයකි. හෙවත් කොන්ද පණ නැති, අරූගෙන් මූගෙන් යැපෙන නීතිඥයෙකු යනු, ලාඩං නොගැසූ ගොනෙකු මෙන් රුවිතෙට ඇවිදින්නෙකු බවට පත්වීම නීති වෘත්තියට මෙන්ම සේවාදායකයන්ටද අවාසි දායක වේ. විශේෂයෙන් නීතීඥයන් සිය සේවාදායකයන් වෙනුවෙන් පෙනී සිටියදී විටෙක විනිශ්චය ආසනයට පවා අලගු නොතබන්නේ ඒ නිසාය. බදු ගෙවන තරම් බරසාර වැටුපක් නොලබන ගුරු වෘත්තිකයන් ජෝෂප් ස්ටාර්ලින් සර්ට අවනතව, බදු ගැසීමට එරෙහිව පන්ති කාමර වලින් බැහැරව වර්ජනයට එක් වන ගුරු වෘත්තිකයන්ද අර ලාඩං නොගැසූ නිසා රුවිතෙට ඇවිදින ගොන් නාම්බන්ගේ රූපකයට සමපාත වී අවතක්සෙරු වේ.
නීතිඥ වෘත්තිකයෙකු සිය වෘත්තිය වගකීම සහ දේශපාලනය සමබරව තබාගැනීම යන කාරණාවේදී තමන් සාර්ථක වීද යන්න උපුල් තමාගෙන්ම අසා දැන ගත යුතුවේ. මෙහිදී සුප්‍රකට සතාසිවම් නඩුවේ විත්තිය වෙනුවෙන් ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා පෙනී සිටීම හොඳ නිර්ණායකයකි. ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩක සතාසිවම් මිනි මැරුම් චෝදනාවෙන් නිදහස් කරගැනීම ආචාර්ය කොල්වින්ගේ වෘත්තීය ප්‍රාතිහාර්යකි. නමුත් ඒ වෘත්තීය සාර්ථකත්වය කොල්විල්ගේ දේශපාලන භූමිකාවට එල්ල කළේ බරපතල අභියෝගයකි. 1952 මැතිවරණයේදී කොල්විල් පරාජය වීමට හේතුව එය බව සමහරුන් විශ්වාසය කළහ.
1947 මහ මැතිවරණයේදී ආචාර්ය ඒ.පී. ද සොයිසා වැනි විශිෂ්ට ප්‍රතිවාදී පෞරුෂයන් අභිබවා වැඩි ඡන්ද 7436කින් වැල්ලවත්ත ගල්කිස්ස ආසනය ජය ගත් කොල්වින් ආර්. ද සිල්වා 1952 මහ මැතිවරණයේදී එජාප අපේක්ෂක ව්‍යාපාරික ඇස්. ද ඇස් ජයසිංහට පරාද වුණේ වැඩි ඡන්ද 4500ක පරතරයක් ඇතිවය. එයින් අදහස් වන්නේ එකී විශිෂ්ට වාමාංශික නීතිඥවරයා දේශපාලනය සහ වෘත්තිය සමබර කිරීමට අසමත් වූ බවද? නැත. ඔහු සේවාදායකයන් මුල් කොට පැවති බවය. සතාසිවම් නඩුව භාර ගන්නදැයි කොල්වින් සමසමාජ පක්ෂයෙන් ඇසුවා නම් ලැබෙන තීන්දුව කුමක් විය හැකිද? එපා කියන්නට ඉඩ තිබුණ ඉඩකඩ වැඩිය. කිසි විටෙක කොල්වින්ගේ දේශපාලනය අනුමත නොකළ මා උක්ත කොල්වින්ගේ වෘත්තීය අභ්‍යාසය අනුගම්‍ය පූර්වාදර්ශයක් ලෙස සලකමි. වරක් මා මේ සම්බන්ධව ජනාධිපති නීතිඥ විජය වික්‍රමරත්නගෙන් විමසූ විට කීවේ කොල්වින් කියන්නේ ඒ ජාතියේ ඉත්තෙක් එහෙයියෙක් නොවේ කියාය. එපමණක් නොවේ. ආචාර්ය ඇන්.ඇම්. පෙරේරාගෙන් ඇසුවා නම් මෝඩ හිනාවක් පා කොල්වින් දෙස බලනවාට සැක නැත. කොල්වින් පිළිබඳ නිර්නායකය මා උපුල් සම්බන්ධව යොදාගන්නේ එසේය.
තම සේවය අපේක්ෂා කරන්නෙකු වෙනුවෙන් පැවරුණ වගකීමෙන් මඟ හැර යාම කිසිදු නීතිඥයෙකු නොකළ යුතු සේම එවැනි අවස්ථාවන් නිසා පැන නගින ආතතීන් හා ආකල්පමය පීඩනයන් දරාගන්නේ කෙසේදැයි ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම මටත් වඩා හොඳින් දනී. එසේම වෘතිකයෙකු හැටියට එවැනි අභියෝගයකට මුහුණ දීම අභිමානයක් මිස කිසිසේත් ඇද වැටීමක් නොවන බවට කොල්වින් උදාහරණයකි. මේ සංසිද්ධින් සමඟ මා මිත්‍ර උපුල්, ජනාධිපති නීතිඥ තනතුර ඉල්ලුම්කිරීමට පෙර අනුර කුමාර දිසානායක ගෙන් අවසර ගත්තාය යන්න සමාජයේ විවෘත සාකච්ඡාවක් වන්නේ අනුරගෙන් අවසර ලබාගැනීම මෙන්ම, ජන පදනමක් නැති රනිල් මේ කාර්යයේදී විශ්වාස කිරීම නිසාය.
අධිකරණයට අපහාස කිරීම පිළිබඳ ලංකා ඊ නිවුස් කර්තෘ සඳරුවන් සේනාධීරට සහ චන්ද්‍රසිරි සෙනෙවිරත්නට එරෙහි ශ්‍රේෂ්ඨාධිකරණ නඩුවේදී ජනාධිපති නීතිඥ උපුල් ජයසුරිය, ජනාධිපති නීතිඥ සී.ජේ. වැලිඅමුණ, සමඟ මා වෙනුවෙන් පෙනී සිටි උපුල් කුමරප්පෙරුම පිළිබඳ මට ඇත්තේ ලෙන්ගතු ගෞරවයකි.
මේ ප්‍රශ්න කරන්නේ ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම අභිමානය නොවේ. ඔහු දේශපාලන ආගමික සමාජ ආදි සිවිල් අපේක්ෂාවන් අතර දෝලනය වීමෙන් කපාගන්නා අස්වැන්න ප්‍රමාණයන්ය.
මහ බැංකු බැඳුම්කර විමර්ශනයේදී රවි කරුණානායක ගෙන් දප්පුල ලිවේරා හරස් ප්‍රශ්න ඇසීම ඉස්මතු කරමින් ඒ ගැන මාධ්‍ය හරහා යමක් කළ යුතු බව ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර අදහස් දැක්වූ අවස්ථාවේ ලේක් හවුස් ආයතනයේ කෘර්තෘ මණ්ඩල අධ්‍යක්ෂව සිටි මා කියා සිටියේ, දප්පුල ලිවේරා ප්‍රමාණය ඉක්මවා යාම කෙසේ වෙතත් වෘත්තීය වශයෙන් ගත් කළ හරස් ප්‍රශ්න ඇසීම නීතිඥයෙකුගේ වෘත්තිය වගකීමක් සහ අයිතියක් හෙයින් අප ඒ ගැන උනන්දු නොවිය යුතු බවය. ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ලෙස නීතිඥ සුදර්ශන ගුණවර්ධන ද සහභාගි වී සිටි මෙම අවස්ථාවේ දී අමාත්‍ය මංගල සිය කරුණු දැක්වීම අවසන් කළ බව මංගලට ගෞරවයක් ලෙස සටහන් කරමි. (හේමලයා ස්වයං චරිතාපදානය චන්ද්‍රසිරි සෙනෙවිරත්න. සරසවි ප්‍රකාශනයකි.)
ජනාධිපති නීතිඥ යූ.ආර්.ද සිල්වා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති තනතුරට තරග කළ අවස්ථාවේ මා මිත්‍ර උපුල්, යූ.ආර්. ද සිල්වාගේත් මා අනුර මැද්දේගොඩගේත් ජය තහවුරු කිරීමට ක්‍රියා කළේ ස්වකීය අභිමතය අනුවය. යූආර්. මගේ ස්ථාවරය ගැන විමසූ විට, ශිරාණි බණ්ඩාරනායක සම්බන්ධ කාරණාවේදී යූආර්, රාජපක්ෂලාට සහාය දැක්වීමත් අනුර මැද්දේගාඩ අප සමඟ රාජපක්ෂලාට එරෙහිව සටන් කිරීමත් ඊට හේතුව බව සිහිපත් කළෙමි.
එවැනි අර්බුදයකදී රාජපක්ෂලාට සහාය පළ කරන්නෙකුගෙන් කිසිවිටෙක අධිකරණයේ ස්වාධීනත්වය සහ ගෞරවය අපේක්ෂා කළ නොහැකි බවට මා කළ කරුණු දැක්වීමෙන් පසුව ඔවුන්ට සුබ පැතීමෙන් හමුව අවසන් විය. එදා උපුල්, යූ.ආර්. ද සිල්වා සමඟ හිටගත්තේ ඔහුගේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා නිසා විය හැකිය.
මේ අතීත සිද්ධි සමාලෝචනය හරහා නීතිඥ වෘත්තිය මෙන්ම පැවරුණ කාර්යභාරය ගැන සිවිල් සමාජයට යම් අදහසක් ඇති කරගත හැකිය. මේ සියල්ල අවසානයේ අනුර කුමාර අපේක්ෂිත ජයග්‍රහණය හමුවේ උපුල් ගැන තීරණයක් දුන් ආකාරය අනුව අනාගත රටේ ජනාධිපති ලෙස අධිකරණ කටයුතු ගැන කෙසේ ක්‍රියා කරන්නේද යන්න සිතා ගත හැකිය. ඊට සාපේක්ෂව උපුල් කුමරප්පෙරුමට සිල්ක් ඇන්දවූ රනිල්ගේ හැසිරීම ගැනත් යමක් කිව යුතුවේ.
උපුල් කුමරප්පෙරුම නම් නීතිඥ වරයාගේ දේශපාලන භූමිකාව මැනවින් දන්නා, ජනවරමක් නැති බවට උපුල්ලා නිතර කියවන ජනාධිපති රනිල් වික්‍රමසිංහ, උපුල් කුමරප්පෙරුමගේ නම ජනාධිපති නීතිඥ ලැයිස්තුවෙහි එසේම තිබෙන්නට ඉඩ හැරීම සිවිල් සමාජය ගැඹුරෙන් සමාලෝචනය කළ යුතුව තිබේ. ජනවරමක් රහිත ජනාධිපති රනිල් වික්‍රමසිංහ එක් වසරක කාලයක් රට වෙනුවෙන් කළ මැදිහත්වීම් සියල්ල හකුළා, මොනවා කළත් රනිල් දිනන්නේ නෑ යනුවෙන් ඔහුව ප්‍රතික්ෂේප කර ජාම බේරාගන්නා මාලිමා කාඩරයට උපුල් කුමරප්පෙරුම ජනාධිපති නීතිඥයෙකු වීම රනිල් ගැන අලුතෙන් යමක් කල්පනා කිරීමට අවස්ථාව සැලසීමකි. ගෙවී ගිය එක් වර්ෂයක අසීරු කාලයේ පැවති බොහෝ අපහසුකම් මඟ හරවමින් රනිල් කළ මැදිහත්වීම මාලිමා විග්‍රහය අනුව ආපදා ධනවාදයට වඩා යමක් නොවන හෙයින් එය තරයේ ප්‍රතික්ෂේප කරයි.
ඉන්ධන පෝලිම් අවසන් කරමින් පැවති සීමිත තොග සාධාරණ බෙදාහැරීම හරහා ජනතාව ලබන ප්‍රතිලාබයත් ආපදා ධනවාදය දැයි මා කළ විමසීම අදටත් පිළිතුරු නොලැබුණ විවෘත ප්‍රශ්නයකි. ජනතාව පීඩාවට පත්වන අවස්ථාවක තමන් අකමැති පාලකයෙකු සහන සැලසීම ආපදා ධනවාදය ලෙස හඳුන්වා දෙමින් ලබන මෝඩ ජොලිය ‘අපි එන කල් තොපි මැරියව්’ යන්න හැර වෙන යමක් නොවේ. අපේ පාලනයක් එන තෙක් ලංකාවට ඩොලර් යවන්න එපා යයි අනුර කුමාර දිසානායක විදේශගත ශ්‍රී ලාංකිකයන් ගෙන් ඉල්ලා සිටියේ ආපදා ධනවාදය හරහා ජනතාවට සැපයෙන දේ කෙරෙහි පවත්නා අප්‍රමාණ වෛරය නිසාය. සත්තකකින්ම ඔවුන් වෛර කරන්නේ ධනවාදයටද නැතහොත් ධනවාදි පාලයක් හරහා සාමාන්‍ය මිනිසා සතුටින් සිටීම ගැනද යන්න උපුල් කුමරප්පෙරුමත් කල්පනා කළ යුත්තකි.
මෙහිදී අපදා ධනවාදි කතාවට උපුල් පටලා ගන්නේ රනිල්ගේ අනුමැතියෙන් පිරිනැමෙන ජනාධිපති නීතිඥ තානාන්තරය ඉල්ලුම් කිරීමට අවසරය දීමේදී එකී තානාන්තර ප්‍රදානය අපදා ධනවාදි ක්‍රියාවක් ලෙස අනුර කුමාර හෝ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලය දරණ මතය උපුල් වෙනුවෙන් තාවකාලිකව හකුළා ගැනීමකි.
ආචාර්ය ඩබ්ලිව්.ඒ. අබේසිංහගේ නවතම කෘතිය, එනම් දේශ දේශාන්තරයන්හි (රුසියාව ප්‍රකාශනයකි.) 65 පිටෙහි සටහනක් මෙසේ සාරාංශ කර දක්වමි.
1966 කළ සිය මුල්ම රුසියා සංචාරය අතර එක් රාත්‍රි භෝජනයක් සඳහා ආචාර්ය අබේසිංහ සහ ඔහුගේ භාෂා පරිවර්තිකා රුසියන් ජාතික ලුද්මිලාත්, කෙන්යානු තරුණ ලේඛක ජොනතන් කරියාරා සහ ඔහුගේ භාෂා පරිවර්තිකා රුසියන් ජාතික ඉරීනාත්, අවන්හළකදී ඇති පදමට වොඞ්කා බොමින් කාලය ගත කළහ. එහිදි පදම වැඩිවූ කරියාරාගේ පරිවර්තිකා රුසියන් ජාතික ඉරීනා චතුර ඉංග්‍රිසිය හසුරුවමින් This shark of Socialism යනුවෙන් කළ සමාජ විග්‍රහය කාගේත් වොඞ්කා වෙරිය යටපත් කොට දෙ කන් අස්සෙන් දහදිය දමන තරමට බරපතල විය. නවසිය හැට ගණන්වල සෝවියට් දේශයේ හැම පුරවැසියෙකුම තමන් අතර එක් චර පුරුෂයෙකු හෝ සිටින බවට පැවති භීතිකාව ඉහත කී දහදිය දැමීමට හේතුවයි. ව්‍යක්ත ලේඛක මා මිත්‍ර අබේසිංහ, සමාජවාදය හඳුනාදෙමින් ඉරීනා පාවිච්චි කළ shark යන්න මිනි මෝරා ආදි ලෙස අර්ථ ගන්වමින්, 1966දී පවා රුසියාවේ ජීවත්වූ තරුණ පරපුර, අනුකාරක සමාජවාදය ස්ත්‍රි පුරුෂ භේදයකින් තොරව නොබියව ප්‍රසිද්ධියේ හෙළා දුටු බව සඳහන් කරයි. නවසිය අසූ ගණන්වල ගොර්බචොප්ගේ පෙරස්ත්‍රෝයිකා පෙරළියේ කියවීම අනුව නවසිය හැට ගණන්වල පවා සෝවියට් දේශයේ තරුණ පෙළ අපේක්ෂා නො කළෙහිද?
ඉහතින් මා දැක්වූ අපදා ධනවාදී සැපයුම් අනුභව කරමින් ජනවරමක් නැති“සනිල් රාජපක්ෂ” පාලනයෙන් සැපයෙන ඉන්ධන ආහාර පමණක් නොව ජනාධිපති නීතිඥ වැනි ඇගයීම් පවා උපුල්ද ප්‍රමුඛ ලංකාවේ මාලිමා සම්මතය විසින් ඉවසා පිළිගැනීම සිවිල් සමාජය ගැඹුරෙන් හදාරමින් සිටින්නාහ. අද මාලිමාව කියන අපදා ධනවාදය ආඳා මාළු සේ විටෙක ඉරටුවෙන් නොව දෑතින්ම තෘප්තියෙන් අනුභව කිරීම රුසියන් ජාතික ඉරීනා එක් දහස් නවසිය හැට ගණන්වල දුටු මිනී මෝර සමාජවාදි චින්තනය නොවන්නේදැයි සිවිල් සමාජය සාකච්ඡා කළ යුතුවේ.
උපුල් කුමරප්පෙරුමගේ දේශපාලන භූමිකාව දැන දැනම ජනාධිපති නීතිඥ ලැයිස්තුවෙහි උපුල්ගේ නම එසේම තිබෙන්නට ඉඩ හැරිය ජනාධිපති වික්‍රමසිංහට යම් දිස්ත්‍රික්කයක දිසාපති හෙවත් දිස්ත්‍රික් ලේකම්වරයෙකු ගැන එක දිගට පෙත්සම් ලැබෙන්නට විය. ඒවායෙන් කියැවුණේ එකී දිස්ත්‍රික් ලේකම්වරයා ජනතා විමුක්ති පෙරමුණට සමීපව කටයුතු කරන බවකි. මේ සම්බන්ධව උපදෙස් ගැනීමට ජනාධිපති වරයා හමුවූ යම් නිලධාරියෙකුට ලැබුණ පිළිතුර මෙසේය.
පැත්තකට දාන්න. රාජ්‍ය නිලධාරින්ගේ රාජකාරි මැදිහත්වීම් තත්වය මිස දේශපාලන ලෙන්ගතුකම් ගැන අපි කිසි විටෙකත් ක්‍රියා නොකළ යුතුයි. ජනාධිපති වික්‍රමසිංහ දුන් පිළිතුර එසේ සාරාංශ කර කියැවිණ. මාලිමා දැක්ම අනුව ජනාධිපති වික්‍රමසිංහගේ ඒ ආකල්පයද ආපදා ධනවාදි චින්තනයකි.
-නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න විසිනි.