මළමිනී සම‍‍ඟ ද දේශපාලන සන්ධාන හැදිය හැකිය... Featured

Tuesday, 12 December 2023 13:18

දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් 12 ක් මේ වන විට ‘මැතිවරණ සන්ධාන‘ ගොඩ නැගීමට සාකච්ඡා පවත්වති.  පාර්ලිමේන්තු දේශපාලනයේ  උපරිම අවදානව ඇත්තේ සන්ධාන හැඳීමේ දී ය.  සන්ධාන නිසා දිනූ පිරිසට වඩා, බලය ද, ජීවිත ද අහිමි කරගත් පිරිස වැඩි ය. ‘දැලි පිහියෙන් කිරි කෑමට වඩා බියකරු‘ සන්ධාන හැදීම ප්‍රවේශමෙන් කළ යුතු ව්‍යවස්ථාමය අභ්‍යාසයකි. 

විධිමත් ලියාපදිංචියක් සහිත ‘සන්ධාන‘ හා ‘කට වචනයට නැතිනම් අවබෝධතා ගිවිසුමකට‘ සීමා වූ සන්ධාන රැසක අත්දැකීම් ඇත.  මේ ‘සන්ධාන ගැන උගත් පාඩම්‘ කතාවයි. 

ලංකාවේ දේශපාලන බහුතරයක් ‘තනි පක්ෂ අනන්‍යතාව පසෙකලා, සන්ධානගතවීමට‘ උත්සහ දරන්නේ ඇයි? අද වන විට මෙරට ලියාපදිංචි දේශපාලන පක්ෂ 85 න් බහුතරයකට ‘දර්ශනික පදනමක්‘ නැත. ‘අනන්‍යතා පදනමක්‘ ද නැත.  එවැනි දාර්ශනික පදනමක් ඇති පක්ෂවලට උඩ සිට පහලට පැතිරුණු සංවිධාන ශක්තියක් හෝ යාන්ත්‍රණයක්‘ නැත. පක්ෂවලට අහිමි දාර්ශනික පදනම හා යාන්ත්‍රණයේ අහිමි බව වසා ගැනීමට ‘සන්ධාන ගොඩනැගීම‘ හැර විකල්පයක් නැත.

ඉතිහාසය

1988 බිහි වූ ‘එක්සත් සමාජවාදි පෙරමුණ‘ (මැටි පහන), 1994 බිහි වූ පොදුජන එක්සත් පෙරමුණ (පුටුව), වාමාංශික එක්සත් පෙරමුණ (මේසය),  ‘බහුජන නිදහස් පෙරමුණ‘ හි නම වෙනස් කරමින් 2004 දී බිහිවූ එක්සත් ජනතා නිදහස් සන්ධානය (බුලත් කොළය), 2022 දී මනෝ ගනේෂන් ගේ නායකත්වයෙන් බිහි වූ දෙමළ ප්‍රගතිශීලි සන්ධානය, මෙරට දේශපාලනයේ ප්‍රමුඛ සන්ධාන වෙති. මැතිවරණ කොමිසමේ ලියාපදිංචි නැති, ‘ඉලංකේ තමිල් අරසු කච්ච්‘ පක්ෂයේ නම හා සලකුණ සහිත ‘ද්‍රවිඩ ජාතික සන්ධානය‘ උතුරේ දේශපාලන ප්‍රබලයා ය.

ජාතික ජනබලවේගය (මාලිමාව) ද සන්ධානයකි. ජවිපෙ හා විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන් බහුතරයකගෙන් සමන්විත වූ ජාතික විද්වත් සන්ධානය එක්ව එය පිහිටුවා ගනු ලැබීය. රතු තරුව දම්පාටවීමක් ලෙස මතුපිටින් පෙනෙන්නට තිබූ නමුත් 2023 පළාත් පාලන නාම යෝජනා සමය වන විට  එය අපේක්ෂකයින් තේරීමේ දී පවා ජවිපෙ අනන්‍යතාව අතහැර සාම්ප්‍රදායික පක්ෂයක් බවට පරිවර්තනය වී ඇත.  

මේ දිනවන සාකච්ඡා වෙමින් ඇති මැතිවරණ සන්ධාන හා ඉහත සන්ධාන අතර පැහැදිලි වෙනසක් ඇත. එනම් මැතිවරණ කොමිසමේ විධිමත් ලියාපදිංචියක් තිබීම හා ‘මැතිවරණ සන්ධානයකට‘ එවැනි අනන්‍ය නමක් හෝ සලකුණක් නොතිබීම ය.

ජනතා විමුක්ති පෙරමුණ හා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය එක්වන ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය (කුසලානය) බිහි විය.  එජාපය ජනාධිපතිවරණයන් හි දී, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ (හංසයා) යටතේ තරඟ කර ඇති නමුත්, මහා මැතිවරණයක දී අලියා ලකුණ  ද එජාප ය ද අත හැර නැත. එක්සත් ජාතික පෙරමුණ ලෙස ඔවුහු තම සන්ධානයේ ප්‍රචාරක කටයුතු කර ඇත.

එජාපයෙන් බිදී ගිය සජිත් ප්‍රේමදාස ඇතුළු කණ්ඩායමක් ඩයනා ගමගේ ගේ  ‘අපේ ජාතික පෙරමුණ‘ පක්ෂය සමඟ 2020 මැතිවරණ සන්ධානයකට එක් වී, පක්ෂ ලකුණ සහ නම වෙනස් කර සමගි ජනබලවේගය බිහිකර ගත්තේය. ඩයනා සහ සජිත් කණ්ඩායම අතර වූ අවබෝධතා ගිවිසුමේ වගන්ති නිසා ඩයනා සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීමට මේ දක්වාම සජබට හැකිවී නැත.  එලෙසම චම්පික රණවක සහ සජිත් කණ්ඩායම අතර අවබෝධතා ගිවිසුමට අනුව තේරී පත්වූ පසුව ස්වාධීනව කටයුතු කිරීමේ අයිතිය චම්පික ට හිමිව ඇත. බදුල්ලේ අරවින්ද කුමාර් සම්බන්ධයෙන් ඔහු නියෝජනය කරන දෙමළ ප්‍රගතිශීලි පෙරමුණ කටයුතු කරන්නේ නැත. මුස්ලිම් මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් ද එසේම ය.  වැරදි ගිවිසුම් දේශපාලන සන්ධාන දුර්වල කරයි.  සජබ අද තනි පක්ෂයක් ලෙස ව්‍යවහාරයේ ද, සන්ධානයක් ලෙස ව්‍යාවස්ථාපිතව ද, එක විට ක්‍රියාත්මක ය.

සන්ධාන ගිවිසුම් නිසා පාර්ලිමේන්තු බලය අහිමිවීමේ  අමිහිරිතම සිදුවීමට ජනපති ඩී.බී.විජේතුංග මුහුණ දුන්නේ 1994 මහා මැතිවරණයේ දී ය. මුළු රටටම අලියා ලකුණින් තරඟ කළ ඒ.එච්.එම්.අශ්රොෆ් ගේ ‘ජාතික සමගි පෙරමුණ (නුවා)‘ පක්ෂයේ අවබෝධතා ගිවිසුමට අනුව තේරී පත්වන මන්ත්‍රීවරුන්ට ස්වාධීනව කටයුතු කිරීමේ හැකියාව තිබුණි. මහා මැතිවරණය ජය ගෙන රජයේ හෙලිකොප්ටරයෙන් කොළඹට පැමිණි අශ්රෝෆ් කෙළින්ම චන්ද්‍රිකා වෙත ගොස් ආණ්ඩුව පිහිටුවීමට අවශ්‍ය තම ඡන්දය දුන්නේය.

ආරිය බුලේගොඩ ගේ ශ්‍රී ලංකා ප්‍රගතිශීලි පෙරමුණ (මල් පෝච්චිය) සන්ධානය ජවිපෙ 1994 දී නැවත මැතිවරණ දේශපාලනයට රැගෙන ආ සන්ධානය යි. ශ්‍රීලනිප යේ පතාක යෝධයෙකු හා අති දක්ෂ කථිකයෙකු වූ ආරිය බුලේගොඩ පරඩැලක් බවට පත්ව අකාලයේ මියයාමට හේතුවූයේ ද වැරදි සන්ධාන දේශපාලනය යි. .

යාපනයේ ජයප්‍රියම රසායන විද්‍යා ගුරුවරයා වූ ටී.බාලකුමාර් ගේ ඊරෝස් සංවිධානය සමඟ එල්ටීටීඊ සංවිධානය ගිවිසුම්ගතව යාපනය දිස්ත්‍රික්කය ජයගත්තේ ස්වාධීන කණ්ඩායමක් ලෙසිනි.   එල්ටීටීඊය තුල බාලකුමාර් දියවූ අතර, අවසන යුද බිමේ මිය ගියේය.

වැරදි වගන්ති සහිත අවබෝධතා ගිවිසුම් ඉතිහාසය පුරාම සෑම මැතිවරණයක දී ම පරාජිතයින් බිහිකර තිබේ.  සන්ධාන ගැසීමෙන් වැරද්දා ගත් දැවැන්තයි ගැන ඇති තරම් උදාහරණ තිබේ.

ලංකාවේ විධිමත් සන්ධානයක් ලියාපදිංචි කිරීමට නම්, දේශපාලන පක්ෂයක් ලෙස වසර හතරක් කටයුතු කළ බවට ලේඛන, ගිණුම් වාර්තා ඉදිරිපත් කළ යුතුය. ඒ නිසාම බිහිවන්නේ මැතිවරණ සන්ධානයන්ය. ඒවා සෑදීම පහසුය. අවදානම වැඩිය.

මෙරට ප්‍රමුඛ පක්ෂ සියල්ලම පසුගිය දශක හතර පුරා සෑම මැතිවරණයකටම තරඟ කොට ඇත්තේ සන්ධාන වශයෙනි.  ඒ, දාර්ශනික පදනම සහ සංවිධාන යාන්ත්‍රණය පිළිබඳ අර්බුදය ජයගැනීම උදෙසාය.

මැතිවරණ සන්ධාන

මැතිවරණයක් ප්‍රකාශයට පත් කළ පසුව, දේශපාලන පක්ෂ දෙකකට හෝ එයට වැඩි ගණනකට ‘සන්ධානයක්‘ ලෙස ක්‍රියාත්මක වන බව මැතිවරණ කොමිසමට දැනුම් දිය හැකිය. 1981 අංක 1 දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනත 7 (3) සහ (4) වගන්ති අනුව සන්ධාන ගත පක්ෂවලින් එකක් නම සහ අලුත් ලකුණ එම සන්ධානය භාවිත කරනු ඇත. සන්ධානයේ නිලධාරීන් නායක, මහ ලේකම්, භාණ්ඩාගාරික වැනි තනතුරු විධිමත් ලෙස පත් කර ගෙන මැතිවරණ කොමිසමට දැනුම් දිය යුතුය.   එවැනි සන්ධානයකට සරළ ව්‍යවස්ථාවක්, තනතුරු, නිල නාම කාර්ය පටිපාට, පක්ෂ ව්‍යුහයක් පැවතිය යුතුය.

විධිමත් මැතිවරණ සන්ධානයක් නොමැතිව ‘සන්ධානගතවී‘ පරාජයට පත්වීමට වඩා ‘ජයග්‍රහණය කිරීම‘ අවදානම් සහගතය.  මන්ද, පාර්ලිමේන්තුවේ පැති මාරු කිරීමට එය අනුබලයක් (හෝ බාධාවක්) වේ.

මැතිවරණ සන්ධානයක සමාජිකයින්ගේ විනය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අභිමතය හවුල්කාර පක්ෂ වෙත ලබාදීම තුලින් ඔවුන්ගේ අනන්‍යතාව රැක ගැනීමට අවස්ථාව සැලසේ.  චන්ද්‍රිකා - ජවිපෙ අතර වූ ගිවිසුම අනුව බුලත් කොළය යටතේ (මොණරාගල) පළාත් සභා ඡන්දයෙන් තේරී පත් වූ පළාත් සභා මන්ත්‍රීවරුන් ඉවත් කිරීමට ජවිපෙට අවශ්‍ය විය.  එම ඉල්ලීම ඉටු කිරීමට සන්ධාන මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත මැතිවරණ කොමිසමට දන්වා සිටියේය. ඉවත් කිරීම සිදු විය. 

තේරීපත්වන මන්ත්‍රීවරුන් ඉවත් කිරීම පිළිබඳ ප්‍රතිපාදන ‘මැතිවරණ සන්ධානයට‘ විධිමත්ව අතුලත් කර ගැනීම අනිවාර්ය වූ අවශ්‍යතාවයකි. එසේ නොමැති විට 2020 පාර්ලිමේන්තුවේ සිදු වූ ලෙසින්, පාර්ලිමේන්තුවේ 2/3 ලබා ගැනීමට, ජනාධිපති තරඟයක දී හෝ පනත් සම්මත කර ගැනීමට අවශ්‍ය බහුතරය සකස් කර ගැනීමට අවශ්‍ය ඡන්ද විපක්ෂයෙන් සපයා ගැනීමට (නැතිනම් ආණ්ඩුව බිඳ දැමීමට ඡන්ද සකසා ගැනීමට) මේ පාර්ශවකරුවන් යොදාගැනීම නොවැලැක්විය හැකි වනු ඇත. කිසිදු පක්ෂයකට ආසන 65 හෝ 70 ඉක්වමා යා නොහැකි මැතිවරණයක දී, සන්ධාන සෑදීමේ ප්‍රතිපත්ති, මතවාද, පක්ෂ යාන්ත්‍රණයට වඩා වැදගත් මන්ත්‍රීවරුන් නෙරපීමේ වගන්තිය. 

මැතිවරණයක් ප්‍රකාශයට පෙර සන්ධාන ගතවීම, ජාතක කතා පොතේ එන ‘සේරිවාණිජ - කච්චපුට එකඟතාව‘ වන්නේය යන්න ‘මැතිවරණ දේශපාලනයේ‘ එළිපිට කතා නොකරන ‘ස්වර්ණමය රීතිය‘ කි. ප්‍රායෝගිකව එය ක්‍රියාවට නැංවෙන්නේ අත්දැකීම් හා ශුරතාවය අනුව ය.

1989 න් පසුව ජනතා විමුක්ති පෙරමුණ නැවත සංවිධානය කිරීමේ අවස්ථාවට කැඳවීමේ පණිවුඩය, කොළඹ සහ නාගරික සමාජිකයින්ට ලැබුණි. ඈත පිටිසර සිටි පිරිසෙන් කොටසකට පණිවුඩය නොලැබුණි. ඒ නිසා දෙවනි පෙළ නායකයින්, නව ජවිපෙ ලෙස එම රැස්වීමේ තනතුරුවලට පත්වූහ. මැතිවරණ සන්ධාන සෑදීමේ ප්‍රායෝගික ව්‍යවහාරය ද එම සිද්ධිය හා සමානය.  තැනේ බලා ඇණේ ගැසීම සන්ධාන පිහිටුවීමේ දී, පිරිස් බලය නොමැති දැක්මක්, දර්ශනයක් හා ජනප්‍රියත්වයක් ඇති  පිරිසකට අති මහත් වාසි ගෙන දෙන්නේය. එවිට, එය බලවත් පක්ෂ යාන්ත්‍රණයක් ඇති කණ්ඩායමට හිසරදයක්, විනාශයක් ගෙන දෙන්නේය.

රාජ්‍ය බලය ලබා ගැනීම අරමුණු කර ගත් දේශපාලන පක්ෂ දෙකක් ‘සන්ධානගත වන්නේ‘ තම බල ඉලක්කය උදෙසාය.  තනිව බලය ලබා ගත නොහැකි විට ය.  සෘජු ඡන්දයෙන් ජයග්‍රාහකයා තෝරන ‘ජනාධිපතිවරණය‘, පාර්ලිමේන්තු බහුතරයෙන් පත්වන ‘අග්‍රාමාත්‍ය තනතුර‘ සඳහා සන්ධාන සකසන විට පක්ෂ හා පුද්ගලයින් තමන්ට නොමැති බලයක් දිනා ගැනීම සෑම විටම අරමුණු කර ගනී.  සන්ධාන හැදීමේ වත්මන් සාකච්ඡාව ජනපති - අගමැති අපේක්ෂක ධූරයන් බෙදා ගැනීමට සීමා වී ඇත.

දිස්ත්‍රික්ක මට්ටමින් ඡන්ද පදනමක් නොමැති කිසිදු පාර්ශවයක්, පුද්ගලයෙකු සමඟ මැතිවරණයකට පෙර ලිඛිතව සන්ධාන ගතවීම බොහෝ විට ප්‍රධාන පක්ෂයට අවාසි සහගත ලෙස බලපා තිබේ. මන්ද, පුද්ගල චරිත, අතීති ශ්‍රී විභුතියක් තිබු පුද්ගලයින්ට  ඉඩදීම තුලින් ප්‍රධාන පක්ෂයට තමන්ගේම අපේක්ෂකයෙකු පත් කර ගැනීමට තිබූ අවස්ථාව අහිමි වන නිසාය. අවසන් මොහොතේ කොළඹට නාමයෝජනා අත්සන් කළ ඒ.එච්.එම්. ෆවුසි නිසා අද හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ට මන්ත්‍රී ධූරය අහිමිවිය. කළුතර කුමාර් වෙල්ගම නිසා අජිත් පී. පෙරේරා ට අසුන අහිමිවිය.

ද්‍රවිඩ ජාතික සන්ධානයේ සිටි සුරේෂ් ප්‍රේමචන්ද්‍ර (EPRLF), තමිල් අරසු කච්චි මහ ලේකම් මාවෙයි සේනාධිරාජා, රවිරාජ් ගේ බිරිඳ, කලකට පෙර උතුරේ තරුවක් වූ ආනන්දි ට ද මේ ඉරණම අත්විය.  ජාතික ලැයිස්තුවේ සිටි සුමන්දිරන්, යාපනයේ ඡන්දයට ඉල්ලන විට අසුන් අහිමි වූවේ පතාක යෝධයින්ට ය.  ප්ලොට් සංවිධානයේ ඩී.සිද්ධාර්ථන්ට යාපනයේ ලැයිස්තුවට යාම ද එසේමය. මෙවැනි උදාහරණ දුසිම් ගණනකි.

පක්ෂ මාරු කරන ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයින්ට ඉඩදීමට ජීවිතයේ දශක ගණනාවක් පක්ෂ වෙනුවෙන් දර දිය ඇදි පුද්ගලයින් ට සිදු වේ. හිරුණිකා, අජිත් පී. පෙරේරා ට, මාවෙයි ට, අත් වූ ඉරණම 2024 අවිධිමත්ව පිහිටුවන සන්ධානය තුලින් සෑම පක්ෂයක්ම නියෝජනය කරන තවත් තරුණ දේශපාලනඥයින් රැසකට උරුම කර, කිසිදා තනිව තරඟ කර දිනිය නොහැකි පිරිසකට මාතර, පොලොන්නරුව, කොළඹ, ගම්පහ, මහනුවර, ආදී වශයෙන් නැවත පාර්ලිමේන්තුවේ අසුන් සුරක්ෂිත කරනු ඇත.

ජාතික ලැයිස්තු අර්බුදය

ජාතික ලැයිස්තුවෙන් හැර වෙනත් කිසිදු ක්‍රමයකින් පාර්ලිමේන්තුවට නැවත පත් විය නොහැකි පිරිස, මැතිවරණ පූර්ණ සන්ධාන සෑදීමේ වැඩිම විභවය සහිත පිරිස වෙති. අවසන් ඉලක්කය මන්ත්‍රී ධූරයක්, අමාත්‍ය ධූරයක් සහ අග්‍රාමත්‍ය ධූරය හා හැකියාවක් ඇතොත් ජනාධිපති (පොදු) අපේක්ෂකත්වය යි.   දේශපාලන මතවාද වෙනුවෙන් බොම්බ ප්‍රහාරයක්ට ලක්වූ උගත් දක්ෂ තරුණයින්ට පසෙකලා, සන්ධාන නිසා ජාතික ලැයිස්තු යාමට සමත් වූ වාසනාවන්තයින් රැසකි.

පූර්ව මැතිවරණ සන්ධානයන් බිහි කිරීමේ දී වැදගත්ම සාධකය ‘ප්‍රාදේශීය ජන කණ්ඩායම්වල මැතිවරණ හැසිරීම සම්බන්ධ ඇති දැනුම හා අතැති තොරතුරුවල වටිනාකම‘ යි. 

බහුතරයක් දේශපාලන පක්ෂ හා ඒවායේ තීරණ ගන්නා මට්ටමේ නායකයින්ට, රටේ සෑම ආසනයක්ම ආවරණය වන පරිදි නිතිපතා යාවත්කාලීන වන තොරතුරු පද්ධතියක් නොමැති බව ය.  දැනට පාර්ලිමේන්තුවේ සිටින හෝ ජාතික මට්ටමේ ප්‍රසිද්ධ පුද්ගලයෙකු සමඟ ගිවිසුම්ගතවීමේ දී, යම් පක්ෂයක් එසේ කරන්නේ ඇයි ද? එයින් ප්‍රධාන පක්ෂයට ලැබෙන වාසිය කුමක් ද? යන ප්‍රශ්නයට ලැබෙන නිශ්චිත පිළිතුරක් නැත. විටෙක එය, කථිකත්වයට වැඩි දෙයක් වන්නේ ද නැත.

දිස්ත්‍රික්ක මට්ටමින් මැතිවරණ ප්‍රතිඑලයට සිදුවන බලපෑම නොතකන කිසිදු සන්ධානගතවීමක් ප්‍රධාන දේශපාලන පක්ෂයට වාසිදායක වී බව 1994, 2001, 2004, 2015 හා 2020 මහා මැතිවරණ වලින් පසු ඇති වූ තත්වයන් විමසීමේ දී පෙනේ.

2020 දී බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තුවේ 2/3 ක බලයක් ආසන්නයටම පැමිණියේ “ප්‍රාදේශීය ජන කණ්ඩායම්වල මැතිවරණ හැසිරීම සම්බන්ධයෙන් ඇති දැනුම හා අතැති තොරතුරුවල වටිනාකම‘ නිසාය.  අම්පාර දිස්ත්‍රික්කයේ දී අක්කරේපත්තු (අතාවුල්ලා) හා සයින්දමරදු දේශපාලන බලවේගය එක් කර අසුනක් ලබා ගත හැකි බව, දත්ත විශ්ලේෂණ සාක්ෂරතාව තිබූ අයට නම් රහසක් නොවීය.  කරුණා අම්මාන් අම්පාර දිස්ත්‍රිකයෙන් නාම යෝජනා ලබාදීම, ද්‍රවිඩ ජාතික සන්ධානයට ලැබෙන අසුන අහිමි කිරීම ත්, එය පොහොට්ටුවට ලබා ගැනීමත් ශුරත්වයකි. මඩකලපුව දිස්ත්‍රික්කයේ හිස්බුල්ලා වෙනම තරඟ කළේ ද, මේ දත්ත පාදක සන්ධාන උපක්‍රමය නිසාය.

1975-77 ජේ.ආර්.ජයවර්ධන විසින් මෙම සිද්ධාන්තය අත්හදා බලා සාර්ථකත්වය ලගා කර ගත් අයුරින්ම, 2020 දී බැසිල් රාජපක්ෂ බලය සඳහා වන තම ඉලක්කය ජයගත්තේය. සැබවින්ම, එදා ප්‍රමුඛ විපක්ෂය ‘ප්‍රාදේශීය ජන කණ්ඩායම්වල මැතිවරණ හැසිරීම සම්බන්ධ ඇති දැනුම හා අතැති තොරතුරුවල වටිනාකම‘ පිළිබඳ නිසි අවධානයක් යොමු කළේ නම්, ගෝඨාභය රජයට 2/3 ක බලයක් කිසිවිටෙක ලබාගත නොහැකි වන්නට තිබුණි.

කෙටියෙන්ම, ජනාධිපතිවරණයක දී මෙන් නොව, මහා මැතිවරණයකදී නම් මැතිවරණ නීතියට අනුව සන්ධානයක්/පෙරමුණක් ලියාපදිංචි කිරීම ‘දේශපාලනික ප්‍රඥාව‘ යි. එය කිරි සයුර කැලතීම හා සමානය.  අමෘතය ද, හලාහළ විෂ ද එකවරම මතුවන්නේය.

ඉදිරි මහා මැතිවරණයක කිසිදු පක්ෂයක් ආසන 70 ඉක්මවා නොයන්නේ නම්, පත්වන  මන්ත්‍රීවරුන් 225 ආණ්ඩු හදන්නට, අගමැති තෝරන්නට සිදු වේ. පක්ෂ මාරු කිරීම එහි අනිවාර්ය ප්‍රතිඑලය යි. නිවැරදිව සන්ධානගත නොවන්නේ නම්, එක්කෝ අරවින්ද කුමාර්, ඒ.එච්.එම්.ෆවුසි ඇතුළු මුස්ලිම් මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් සජබ ට ඇති වූ තත්වය අනාගතයේ දී ඕනෑම සන්ධානයකට අත් විය හැකිය.  නැතිනම්, ඩයනා ගමගේ, හරීන් ප්‍රනාන්දු, මනූෂ නානායක්කාර පැටලුණු සේ අමිහිරි තත්වයකට පත්වන්නට හැකිය.

විනය කාර්ය පටිපාටිය සවිස්තර හා අංග සම්පූර්ණ නොවන කිසිදු පක්ෂයක, සන්ධානයකින් තේරී පත් වූ මන්ත්‍රීවරයෙකු පාර්ලිමේන්තුවෙන් ඉවත් කළ නොහැකි බව දැන් වත් ප්‍රමුඛ දේශපාලන පක්ෂ නායකයින්, නීති විශාරදයින් අවබෝධ කර ගත යුතුව ඇත. සන්ධානයක දී මෙම තත්වයට වඩාත් සංකීර්ණ වේ.

සන්ධාන ගොඩනැගීමේ දී සිදුවන විනාශකාරීම තත්වය, හවුල්කාරී පක්ෂ වෙත නැති බලයක් ආරෝපනය කර ගැනීමට ලැබෙන අවස්ථාව යි. (ගෙවිදු කුමාරතුංග ගේ යුතුකම සංවිධානය පාර්ලිමේන්තුවට පැමිණීම පත් කල ගෝඨාභයට, වත්මන් විපක්ෂයට, අර්බුදයේ දී රටට, හෝ අඩුම ගණනේ ගෙවිදු ගේ ගමේ පුරවැසියෙකුට හෝ සෙතක් වුවේද?)

හවුල්කාර පක්ෂයන්ගේ ග්‍රහණයකට නතුවී මහා මැතිවරණ නාම යෝජනා සැකසීම අවුල් ජාලයක් බවට පත්වීම 2010, 2015, 2020 මහා මැතිවරණවල දී ප්‍රධාන පක්ෂ මුහුණදුන් තත්වයකි (උදා - විමල් වීරවංශ ගේ ජාතික නිදහස් පෙරමුණ).  ප්‍රධාන පක්ෂයේ ඡන්ද පදනමින් නොගැලපෙන තරමේ පංගුවක් හවුල්කාර පක්ෂය අතට පත්වීම (2004 ජනතා විමුක්ති පෙරමුණ  තේරී පත් වූ මන්ත්‍රී සංඛ්‍යාවෙන් 1/3 ක් හිමිකර ගැනීම) මෙහි අනිවාර්ය ප්‍රතිඑලයකි. 

රූපවාහිනී නාලිකාවක් හෝ අති විශාල මුදල් ප්‍රමාණයක් ඇති දේශපාලන පුද්ගලයෙකුට සන්ධානයක කොටසක් වෙන් කිරීම මෑත කාලීන ව්‍යවහාරයක් වී ඇත. මෙවර මහ මැතිවරණයේ දී, මේ දක්වා පරීක්ෂාවට ලක් නොකෙරුණු නව නීතියක් එනම්, මැතිවරණ වියදම් පිළිබඳ නීතිය බලපවත්වන්නේය.  එහි වරද ට දඩුවම් ලෙස, ප්‍රජා අයිතිය අහිමි කිරීම ද ඇතුළත් ය.

පාර්ලිමේන්තු මැතිවරණයකට පශ්චාත් මැතිවරණ සන්ධාන අවශ්‍යය.  මළ මිණී සමඟ ද සන්ධාන සෑදිය හැකිය. 

  • රජිත් කීර්තිතෙන්නකෝන්

Leave a comment

Gossip

පොහොට්ටුව ජනාධිපතිට නට්ට නාමල්ට   

පොහොට්ටුව ජනාධිපතිට නට්ට නාමල්ට  

ආණ්ඩුව නියෝජනය කරන කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරුන් පසුපෙළ මන්ත්‍රීවරුන් 48 දෙනකු කොළඹදී ස්ථාන දෙකකදී...

ගල් අරක්කු මිල අඩු කරන්න IMF අනුමැතිය ගන්න වෙනවලු

ගල් අරක්කු මිල අඩු කරන්න IMF අනුමැතිය ගන්න වෙනවලු

සුරාබදු ආදායම පනත යළි සංශෝධනය කරමින්, මත්පැන් වලින් ලැබෙන රාජ්‍ය බදු ආදායම වැඩි කරගැනීමට රජය සුදානම්...

ජනාධිපතිවරණය ඔක්.05 හෝ 12 ස්ථිරයි. ජනපති රනිල් සූදානම්. විපක්ෂය සෝදාපාළුවක

ජනාධිපතිවරණය ඔක්.05 හෝ 12 ස්ථිරයි. ජනපති රනිල් සූදානම්. විපක්ෂය සෝදාපාළුවක

නෛතික ප්‍රතිපාදන අනුව නිසි කාලය තුළ ජනාධිපතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ඊයේ (11) පාර්ලිමේන්තුවේ පැවති...

චම්පික පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකත්වය ඉල්ලා

චම්පික පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකත්වය ඉල්ලා

හිටපු කැබිනට් අමාත්‍යවරයෙකු වන සහ දැන් අලුතින් පිහිටුවන ලද එක්සත් ජනරජ පෙරමුණේ (URF) නායක පාඨලී චම්ප...

Connet With Us