ඒ කොහොම නමුත් ලංකාවේ කිසිවකුත් බඩගින්නෙ මැරෙන තරමට ආහාර හිඟයක් ඇතැයි කියන්න හේතු මේ රට වැසියන්ට නම් නැත.
මේ රටේ කවුරුවත් බඩගින්නේ නැති බවත් ගහක කොලයක් කඩා ගෙන කා හෝ දිවි රැක ගත හැකි වාසනාවන්ත රටක් ලෙසත් සමහරු හඳුන්වති.ඒ අනුව කොස් දෙල් අල බතල කොල පළතුරු ඕනෑ තරම් තිබේ . මේ නිසා මේ රටේ සමාජවාදී විප්ලව කළ නොහැකි බව කියන වාමාංශිකයන් ද සිටී.
ඒ අනුව ආහාර සුරක්ෂිතතාවයක් රටේ තිබේ. එහෙත් රට බත බුලතින් සරු යැයි පැවැසූව ද එය ජාත්‍යන්තර නිර්ණායක අනුව ආහාර සුරක්ෂිතතාවය තහවුරු කරන්න තරම් මට්ටමක් නොවේ.මේ ආහාර සුරක්ෂිතතාවය කියන්නේ අප කියන ආහාර සුරක්ෂිතතාවය නොවේ.
ඇත්ත කතාව කුමක්ද?
පසුගිදා මන්දපෝෂණය ගැන පැවැති පාර්ලිමේන්තු විවාදයේ දී ලෝක ආහාර වැඩ සටහනේ සංඛ්‍යා දත්ත ගැන ගැන විශාල සංවාදයක් ඇති විය. මේ රට මිලියන 6.7 කට වඩා ආහාර හිඟයකට මුහුණ දෙමින් සිටිනවා යන්න පිළිගැනීම මෙන්ම නොපිළිගැනීම ගැන වාදයක් ඇති විය.
ජනාධිපතිවරයාගේ අය වැය කතාවේදී මේ රටේ උග්‍ර ආහාර හිඟයකට මුහුණ දෙන පිරිස 66,000 ක පමණ වන බව සඳහන් විය. විපක්ෂ නායකවරයා ඇයවැය ගැන පළමු අදහස් දැක්වීමේ දීම කියා සිටියේ ජනාධිපතිවරයා බොරු කියන බවත් මේ සංඛ්‍යාව වැරදි බවය.ඔහුට අනුවත් මිලියන් ගානක් බඩගින්නේ සිටින බවත් අවධාණය කරිණි.
දැන් මෙහි ඇත්ත කතාව කුමක්ද යන්න සෙවීමට නම් ආහාර සුරක්ෂිතතාවය යනු කුමක්ද යන්න නිවැරදිව දැන ගත යුතුය.
සිංගප්පූරුව අංක එකට
ලෝකයේ ආහාර සුරක්ෂිතතාවය ශේණිගත කිරීමේදී 2019 වසරේ අංක එකේ සිටියේ සිංගප්පූරුවය. එහෙත් මිලියන 5 කට අධික ජනගහනයක් සිටින සිංගප්පූරුව අංක එකට ආවේ ඒ රටේ ගොවි, ධීවර ප්‍රජාවක් කියා නම් කරන්න තරම්වත් පිරිසක් නොමැතිවය. සමස්ත සිංගප්පුරුවේම වගා කළ හැකි බිම් ප්‍රමාණය සියයට 01 ගත් වඩා අඩුය.රට වටේ මුහුද තිබුණද ධීවර කර්මාන්තයක් කියා පුළුල්ව කෙරෙන යමක් නැත.දේශීය ආහාර නිශ්පාදනය ඉතා අවමය.රටේ අවශ්‍යතාවට සියයට 90 කට වඩා ආහාර ගෙන්වන්නේ විදේශයන්ගෙනි. වතුර පවා එසේමය. ලෝකයේ ආහාර සුරක්ෂිතතාවය අතින් අංක එකට පත් වූයේ එහෙම රටකි.
ලංකාව රටට ඇති තරම් වාර්ෂික වී අස්වැන්නක් ඇති රටකි. වාර්ෂික කොස් ගෙඩි අස්වැන්න කෝටි 28 ක පමණ බව සොයාගෙන තිබෙන අතර ඉන් ගෙඩි කෝටි 08 පමණක් පාරිභෝජනයට ගෙන ඉතිරිය ගස් යට කුණු වෙන රටකි. වර්ෂය පුරා වර්ෂාව ලැබෙන රටේ හැම බිම් අඟලකම වගා කළ හැකි තරම් සරු පසක් පවතී. මිලියන ගනක ගොවි, ධිවර ප්‍රජාවක් සිටි. විශාල මත්ස්‍ය අස්වැන්නක් ද ලැබෙන රටක ආහාර සුරක්ෂිතතා ශේණිගත කිරීම් වල 2019 සිටියේ 66 වන තැනය. මෙය විය හැක්කේ කෙසේද? මෙතැන ගැටළුව ඇත්තේ මේ ආහාර සුරක්ෂිතාවය යනු කුමක්ද ? එය ගනනය කරන නිර්ණායක පිළිබඳ ගැටළුවය.
ජාත්‍යන්තර නිර්ණායකය
ලංකාවේ ජනතාව මිලියන 6.7 කට වඩා බඩගින්නෙ සිටින බවත් ළමා සහ මාතෘ මන්දපොෂණය උග්‍ර බවත් කියන්නේ මේ ආහාර සුරක්ෂිතතාවය සම්බන්ධයෙන් පවතින් ජාත්‍යන්තර නිර්ණායක අනුවය.
එක්සත් ජාතින්ගේ ආහාර වැඩ සටහන,ආහාර සුරක්ෂිතතාව යන්නෙන් අදහස් කරන්නේ, සෑම අවස්ථාවකදීම, සියළුම පුරවැසියන්ට ඔවුන්ගේ ආහාර මනාපයන් සහ ආහාර අවශ්‍යතා සපුරාලන ප්‍රමාණවත්, ආරක්ෂිත සහ පෝෂ්‍යදායී ආහාර සඳහා භෞතික, සමාජීය සහ ආර්ථික ප්‍රවේශය තිබීමය.
මේ අනුව යම් පුද්ගලයකුට ලැබෙන ආහාර සම්බන්ධයෙන් ගනනය කිරීමක් තිබේ. බත් කොත ගහගෙන එළවලු දෙක තුනක් සමඟ හෝ බඩ උල් වෙන්න කෑවත් ඇතැම් විට එය ජාත්‍යන්තර නිර්ණායක අනුව ඒ පිළිගත හැකි ආහාර වේලක් වන්නේ නැත.
කොස් දෙල් අල බතල කවුපි මුංඇට කඩල වැනි දේ වේලක් සම්පූර්ණ කිරීමට අපට ප්‍රමාණවත් වූවත් කොහොමටවත් ඒවා පිළිගත් සම්මත ආහාර වේලක් වෙන්නේ නැත.
ගෘහස්ථ ආහාරවල විවිධත්වය සහ කොපමණ වාර ගණනක් ආහාර පරිභෝජනය කරයිද, තෝරා ගත් ආහාර කාණ්ඩ අටක පරිභෝජන වාර ගණන,එක් එක් ආහාර කාණ්ඩ සඳහා ප්‍රමිතිගත බර අනුව පෝෂක ඝනත්වය එනම් ආහාර වේලක තිබිය යුතු කැලරි ප්‍රමාණය, ප්‍රෝටීන් ප්‍රමාණය, පිෂ්ඨ ප්‍රමාණය, මේදය ප්‍රමාණය සේම විටමින් ඛනිජ ලවණ ප්‍රමාණය සම්මත ගනනය කිරීමක් තිබේ. ආහාර වේලක සංගඨක මේ මිනුම් සමඟ සමපාත නොවේ නම් ජාත්‍යන්තරය පිළිගන්නා සම්මත ආහාර වේලක් නොවේ. එය දුප්පත් ආහාර වේලකි.
දුප්පත් කෑම වේල
මෙරට පමණක් නොව වෙනත් ඕනෑම රාජ්‍යයක මේ ආහාර සුරක්ෂිතතාවය ගැන කරන සමීක්ෂණ වල දී නියමිත ආහාර වේල ලැබීම නොලැබීම මත කාණ්ඩ 3 කට වර්ග කරයි. දුප්පත්,මධ්‍යස්ථ නැතිනම් මායිමේ තිබෙන සහ සම්මත ආහාර වේල වශයෙනි.
දුප්පත් කෑම වේලක් යනු ප්‍රධාන සංගඨකය බත් ලෙස ගන්නේ නම් බත් සමඟ එළවලු නිතිපතා ලබා නොගෙන තිබීම සහ මස් මාලු බිත්තර වැනි අධි ප්‍රෝටීන් ආහාර නොගෙන හෝ කලාතුරකින් ගැනීම ය. මධ්‍යම සීමාවේ නම් බත් සමඟ එළවලු සමඟ ඇට වර්ගයක් තෙල් සහිත ආහාර සහ ඉඳ හිට මස් මාළු බිත්තර ගැනීමය. පිළිගන්නා සම්මත ආහාර වේලක් යනු නිතිපතා බත් එළවලු සමඟ ඇට වර්ග තෙල් සහිත ආහාර සමඟ සතියට දින දෙක තුනක් හෝ මස් මාළු බිත්තර ආහාරයට ගැනීමය. සතියක කාලයක් තුළ මෙම ආහාර වට්ටෝරුව ගැනීම සලකා බලයි.
මස් මාළු බිත්තර හිඟතාවයක් හෝ මිළ වැඩි වීමක් නොතිබුණ යුගයේදීත් සතිය පුරා සම්මත ආහාර වේලක් ගන්න ඇත්තේ කීයෙන් කී දෙනාද? දැන් ලෝක ආහාර වැඩසටහන ප්‍රමාණාත්මක්ව ආහාර නොලැබෙන බවට ගනන් හැදුවේ මේ දුප්පත් සහ මැද සීමාවේ කාණ්ඩ එකතු කරගෙනය. ඔවුන්ගේ නිර්ණායක අනුව මේ ඉක්කම මිලියන 6.7 ක් නොව ඊටත් බොහෝ වැඩි විය හැකිය. මන්ද සම්මත මට්ටමෙ ආහාර වේලක් මේ කියවන ඔබවත් මමවත් ලබාගන්නේ ඉඳ හිට බව අපට සහතික නිසාය.
මේ අනුව නිර්මාංශිකයන් නැතිනම් වෙජිටෙරියන්ලාත් ගනන් කරනු ලබන්නේ ආහාර හිඟතාවයකින් පෙළෙන කාණ්ඩයටය වීම විය හැකිය.
කොහොම නමුත් ලෝක ආහාර වැඩ සටහන පෙන්වා දෙන තරම් උග්‍ර ආහාර හිඟයක් මේ රටේ නැති බව පැහැදිලිම කරුණකි. එහෙත් ආදායම් නොමැති වීම නිසා ඒ ලබා ගැනීමේ අපහසුව මත බරපතල පීඩාවකට පත්ව සිටින පිරිසක් රටේ සිටින බවත් ඇත්තකි. එය වත්මන් ආර්ථික අර්බුදයට පෙර සිටමත් තිබුණු තත්වයකි. අද ඒ තත්වය වැඩි වීම සිදුව තිබේ. එය 66,000 ඉලක්මට වඩා යම් පමණකින් වැඩි වියද හැකිය. සැබවින්ම රජය විසින් අවදානයෙන් බලා ගතයුතු වන්නේ ඒ පිරිසය.
අපිට බැරි ඇයි?
ආහාර සුරක්ෂිතතාවය අතින් සිංගප්පුරුව අංක එකට ආවේ රටේ ජනගහනයට සෑහෙන තරමින් ආහාර ආනයනය කර ගබඩාකර තබාගැනීම නිසාය. විශේෂයෙන්ම ආහාර සුරක්ෂිතතාවයේදී වඩා වැදගත්වන නිර්ණායකයක් වන්නේ ආහාරයේ ගුණාත්මක් බව සහ පිරිසිදු බාවයය. එනම් ආහාරය ගැනීමෙන් පසුව එය ශරීර පෝෂණයට හේතු වීම සහ ලෙඩ රෝග වලට හේතු නොවීමේ හැකියාවය. අනෙක් හේතුව ආහාර තෝරා ගැනීමේ සහ අවශ්‍ය තරමට ලබාගැනීමේ පහසු හැකියාව තිබීමය. එනම් වෙළඳපොළේ බඩු පිරී තිබීමය. සිංගප්පුරුව අංක එකට ආවේ ඒ නිසාය.
සිංගප්පුරුවට පසුගිය වසර වන විට ශේණිගත කිරීම වල 15 දක්වා පල්ලම් බැසීමට සිදු වූයේ කොවිඩ් වසංගත තත්වය සහ පසුව ඇතිවූ ලෝක ආහාර නිශ්පාදනය කඩා වැටීම, යුක්‍රේන් රුසියා යුද්ධ ආදී හේතු නිසා විදේශ වෙළඳ පොළොන් ආහාර ලබාගැනීමේ දුෂ්කරතාවයකට පත් වීම නිසාය. මේ නිසා ඔවුන් දේශීය ආහාර නිශ්පාදන වැඩසටහනක් ගැන දැන් කල්පනා කරමින් තිබේ. ඒ දැනට සියයට 10 ක් පමණ වන දේශීය ආහාර නිශ්පාදන ප්‍රතිශතය සියයට 30 දක්වා හෝ 2030 වසර වන විට පත් කර ගැනීමටය. ඉඩම් නැති රටේ මේ ඉලක්කය ජය ගැනීමට ඔවුන් විවිධ ක්‍රමවේද අත්හදා බලමින් තිබේ. සිංගප්පුරුවේ සෑම ගොඩනැගිල්ලකම වහල මත ගෘහස්ථ වගාවන් ආරම්බ කිරීමට ඔවුන් සූදානම් වෙයි.වැඩි මත්ස්‍ය අස්වැන්නක් ලබාගැනීම ගැන අලුතෙන් හිතමින් තිබේ.මේ වෙනුවෙන් ඩෝලර් මිලියන සිය ගනන් වැය කරමින් පර්යේෂණ කරමින් තිබේ.
සිංගප්පුරුව එසේ සිදු කළත් අද ඒ සියළු හැකියාවන් පහසුකම් ඇති මේ රටේ වගාව වෙනුවෙන් එහෙම බරක් දරන්නෙ නැත. දේශීය ආහාර නිශ්පාදනය මහා කර්මාන්තයක් ලෙස සලකන්නෙ නැත. වැදගත්ම දේ ආහාර සුරක්ෂිතතා ශේණිගත කිරීම් වල ඉහළට යන්න නම් ආහාරයක ගුණත්මකභාවය, පිරිසිදු බව ඉතා වැදගත්ය. ආහාර නිශ්පාදන වෙළඳපොළට පැමිණිය යුත්තේ ඒ ගැන සහතිකයක් සමඟය. එහෙත් අද පිලිකාකාරක ආහාර ගැන වැඩි වශයෙන් කියවන්න සිදුව තිබේ. එසේම ආහාර ලබාගැනීමේ පහසු, සුලබ හැකියාව රට තුළ තිබේ නම් පමණක් ආහාර සුරක්ෂිතත්වය අතින් ඉහළ රටක් වෙනු ඇත.
කන්න දන්නෙ නැති රටක්
මෙරට බත බුලතින් සරු රටක් යැයි හැඳින්වූවද තිබෙන ආහාර ටිකවත් හරියට පාරිභෝජනය කරන්න දන්නෙ නැති රටක් විදිහටත් මේ රට හැඳින්විය හැකිය. ලංකාවේ වාර්ෂිකව සාමාන්‍යයෙන් නිපදවන සහල් ප්‍රමාණය නිසි ආකාරයෙන් පාරිභෝජනයට ගන්නවා නම් එය රටේ පාරිභෝජන අවශ්‍යතාවයට වඩා දෙගුණයකටත් වැඩිය.
මන්ද නීරෝගි මිනිස් ශරීරයක් පවත්වාගෙන යෑම සඳහා අවශ්‍ය ආහාර වේලකට බත් අවශ්‍ය වන්නේ ග්‍රෑම් 90 ක 100 ක තරම් කුඩා ප්‍රමාණයක් වීමය. ඊයේ පෙරේදා පාසල් ළමුන්ට දෙන බත් වේලක බත් අඩංගු වන්නේ ග්‍රෑම් 75 ක් යැයි කියනකොට ඒක කුරුල්ලකුටත් මදිය, ආණ්ඩුව විහිළු කරනවා කියමින් ඊට එරෙහිව මත පළ විය. එහෙත් සෞඛ්‍ය විද්‍යාත්මකට ළමයකුට අවශ්‍ය ප්‍රමාණය ග්‍රෑම් 75 කි. එම බත් වේල සමඟ එළවලු දෙක තුනක් සමඟ බිත්තරයක් ලැබීම යනු අංග සම්පූර්ණ සම්මත ආහාර වේලකි.
විසඳුම් තිබෙන ප්‍රශ්නයක්
මේ අනුව මේ රට නිපදවන සහල් ප්‍රමාණයෙන් අඩක් පමණ අවශ්‍ය නම් සත්ව ආහාරවලට වුව යොදාගෙන ඩොලර් ඉතිරිකර ගත හැක. නැතිනම් ඩොලර් සොයා අපනයනය කළ හැකිය.
ඊළඟ කාරණය මේ නිපදවන ආහාර බෝග නිසි පරිදි ගබඩා කරගැනීමක්, ඇසුරුම් කිරීමක්, නිසි පරිදි බෙදාහැරීම සහ ප්‍රවාහනය කිරීමක් නොකිරීම නිසා සියයට 40 ක තරම් විශාල ප්‍රමාණයක් අනර්ථයේ අපතේ යෑමය. එසේම මුලික අස්වනු අනුසාරයෙන් වෙනත් නිශ්පාදන බිහි වන්නේ ඉතා අඩුවෙනි. ආහාර කල්තබා ගැනීමේ තාක්ෂණයෙන් වැඩක් ගන්නේ නැත.
රටේ ඕණෑම තැනක බීජ ඇට ටිකක් විසි කළ විට පැල හැදෙනවා මිසක විධිමත් කෘෂිකර්ම භාවිතයක්ද සිදු නොවෙනවා කිව්වට වැරදි නැත. අඩුම තරමෙන් මේ අවුරුදු දහස් ගනනක් තිස්සේ කෘෂිකාර්මික රටක් බවට පාරම්බෑවට අද මේ මොහොත දක්වාම ගොවියන් සඳහා දේශගුණික කාලසටහනක් (crop weather calender) හෝ කිසිදු කෘෂි කාර්මික ආයතනයකින් පිළියෙල කරද නැත. ඒ ඒ කාල වල වැවිය යුත්තේ මොනවාද, එය බෙදා හරින්නේ කොහොමද, ගබඩා කරන්නේ කොහොමද, ඇසුරුම් කරන්නේ කොහොමද,පිරිසිදු බව, ගුණාත්මක බව තබා ගන්නේ කොහොමද, යන්න ගැන ක්‍රියාත්මක විද්‍යාත්මක පිළිවෙත් නැති තරම්ය. එහෙත් රටේ කෘෂිකර්මය නඟාසිටුවීමට ගැන, ආහාර සුරක්ෂිතතාවය ගැන සිදු කළ පර්යේෂණ වාර්තා නම් දහස් ගනනක් පෙට්ටගම් වල සුරක්ෂිතව තිබේ.
කොහොම වෙතත් වර්තමානයේ පවතින ආහාර අර්බුදය විසඳා ගැනීමේ හැකියාව රටට තිබෙන බව පැහැදිලි කරුණකි. විදේශයන්ගෙන් සිඟමන් යැදිය යුතු නැත. එහෙත් මේ ගැටළුව විසඳා ගැනීම වෙනුවෙන් රජය ගන්නා ක්‍රියාමාර්ග තවමත් අපැහැදිලිය.
මේවාට වගකිව යුත්තේ දේශපාලනඥයන්ය කියා ඔවුන්ට තඩි බෑම ද තේරුමක් නැති වැඩකි. මන්ද අවශ්‍ය දේ කිරීමට ඕනෑ තරම් ප්‍රතිපාදන සහ සැලසුම් ක්‍රමවේද රජය සකසා ඇත. සිදු නොවෙන්නේ මේවා ක්‍රියාත්මක කළ යුතු රාජ්‍ය නිලධාරීන්ගේ නිසි රාජකාරියය. එය පැහැදිලි සත්‍යයකි.
මේ අනුව මේ රටේ කිසිවකු හෝ බඩගින්නෙ සිටින්න සිදු වෙනවා නම් ඒ කිසිදු තේරුමක් නැතිව බව කිව යුතුය.
- ජයතුංග බණ්ඩාර
chatham street journal පුවත් පතෙනි