නවසිය 48 නිදහස ලැබීමට පෙර මෙරට දේශපාලනය ජාතිය මත පදනම් වූයේ 'ශ්‍රී ලාංකීය' ජාතිය වශයෙන් නිදහස දිනා ගැනීමේ සටනක ලෙසය. එහිදී සිංහල දෙමළ මුස්ලිම් වශයෙන් බරපතල බෙදීම් අවම විය. නවසිය 31 දී ලංකා සමසමාජ පක්ෂය බිහිවීම මෙරට වාමාංශික දේශපාලනයේ ඇරැඹුම වූ අතර පංති ගැටුම ආරම්බ වීමත් ඒ සමඟ සිදුවිය. සමාජය පංතීන් අනුව බෙදෙන බව මුලින් පෙන්වා දුන්නේ මේ සමසමාජය විසිනි.
ඒ අනුව ධනපති පංතියක් සහ නිර්ධන පංතියක් මෙරට ඇති බවත් ධනපතියන් නිර්ධනයන් පාගා ගෙන සිය පැවැත්ම සහතික කරගන්නා බවත් පෙන්වා දි තිබිණි. කෙසේ නමුත් නිදහස දිනා ගැනිමේ සටනේ දී එනම් අධිරාජ්‍ය විරෝධී සටන් පාඨය යම් යම් ප්‍රමාණයන්ගෙන් මේ සියල්ලන්ටම පොදු විය.
මේ පංති ගැටුම නිසා වාමාංශික සහ දක්ෂිණාංශක බෙදීම තිව්රව තිබිණි. ඒ අනුව සමසමාජය ගොඩ නගපු වාමාංශික මතවාදයට එදිරිව එදා ආර්ථික නිදහස පදනම් වූ ලිබරල් වාදී මතයක් දරාගෙන අනෙක් පිරිස විය. පසුව මෙම කණ්ඩායම එක්සත් ජාතික පක්ෂය ලෙස සංවිධානය විය. නිදහස ලබන කාලය ආසන්න වන විට දක්ෂිනාංශක එජාපයත් වාමාංශික සමසමාජයත් ප්‍රමුඛ කර ගත් දේශපාලනික බෙදීම පැහැදිලි විය. එය ආර්ථික සමාජ දේශපාලනික ප්‍රතිපත්තිමය මතවාදී ගැටුමක් විය.
මෙම දක්ෂිනාංශක කඳවුර නියෝජනය කළ ඩී එස් සේනානායක , ඩඩ්ලි සේනානායක ,එස් ඩබ්ලිව් ඩී බණ්ඩාරනායක ,ඩී ඒ රාජපක්ෂ, ජේ ආර් ජයවර්ධන, ජෝන් කොතලාවල ආදීන් එම කඳවුරේ ප්‍රමුඛ නායකයන් විය.
මේ ප්‍රතිපත්තිමය ගැටුම් සහිත දේශපාලනය මේ දක්වා ගෙන ඒමට රට සමත් වූවා නම් රට අද පවතින්නේ මේතරම් බංකොලොත් තැනක නොවිය හැකිව තිබිණි. එදා මේ කලාපයට සිංගප්පුරුව වැනි රටවලට ආදර්ශක් ලබා දිය හැකි සමාජ ආර්ථික දේශපාලනික සැකස්මක් තිබු අතර නිදහසෙන් කෙටි කාලයක් තුළ ඉතා පටු අකල්ප නිසා විනාශකාරී මාවතකට ඇද වැටුණි.
රටේ අවාසනාවකට පටු වුවමණාවන් මත නිදහසෙන් පසුව දක්ශිණාංශක දේශපාලනය ජාතිය ආගම පදනම් කරගෙන දෙකඩ විය , බණ්ඩාරනායක, ඩී ඒ රාජපක්ෂ ප්‍රමුඛ කණ්ඩායම එක් ජාතියක ආගමක විමුක්තිය පතා එක්සත් ජාතික පක්ෂයෙන් වෙන් විය. දේශපාලන ආර්ථික ප්‍රතිපත්තිමය ගැටුම වෙනුවට ජාතිය ආගම මුල්කරගත් ගැටුම්කාරීත්වය ශ්‍රි ලංකාව වියවුල්කාරී දේශපාලන අර්ථික යුගයකට මඟ විවර කරනු ලැබු අතර අද දක්වාම එහි ආදීනව විසින් රට වළපලල්ට යැවීමට හේතු වී ඇත.
කෙසේ නමුත් මේ ජාති අගම පදනම් කර ගත් දේශවාත්සල්‍යයෙන් පිරුණු පටු දේශපාලන භාවිතාව මේ වන විට ගෝඨාභය රාජපක්ෂ පාලනය විසින් අවසන් ඉමකට ගෙනවිත් නතර කර තිබේ. බණ්ඩාරනායකගෙන් පසුව මහින්ද රාජපක්ෂ විසින් උත්කර්ශයට නවනු ලැබූ මේ දේශපාලන වේදිකාව ගෝඨාභය යුගයේදී සුනු විසුණුව ගිය බව පැහැදිලිය.
මේ සුනු විසුණු වී ගිය කොටස් අහුලාගෙන යළි එම දේශපාලනයට පණ දීමේ වුවමණාවෙන් ඇතැම් පිරිස කටයුතු කළද ඊට සුදුසු පරිසරයක් අද නැත. රාජපක්ෂ පාලනයට එරෙහිව ගොඩ නැගුනු දැවැන්ත ජනතා නැගිටීම විසින් මේ ඊනියා දේශවාත්සල්‍යය ප්‍රතික්ෂේප කරනු ලැබ තිබේ.
එසේම මේ යුගය දක්වාම රටේ වාමාංශික ප්‍රවණතාවයන් පවා මේ ජාතිවාදී /ජාතිකවාදී/දේශප්‍රේමී මුහුණුවරයන්ගෙන් පැමිණි දේශපාලන ප්‍රවාහයන් වල ගොදුරු බවට පත් විය. විශේෂයෙන්ම දෘඩ මාක්ස්ලෙනින්වාදී විප්ලවවාදීන් ලෙස පෙනී සිටිය ජනතා විමුක්ති පෙරමුණ පවා සිටියේ වාම ජාතිකවාදී රැල්ලේ නායකත්ව භූමිකාවක් රඟ දක්වමිනි.
කොහොම නමුත් රාජපක්ෂ පාලනයට එරෙහිව ගොඩ නැගුනු ජනතා අරගලය හමුවේ මේ ජාතිවාදී ජාතිකවාදී දේශපාලනය ප්‍රතික්ෂේප කිරීමත් සමඟ යළි දක්ෂිණාංශික සහ වාමාංශික වශයෙන් වූ බෙදීම තිව්ර වී ඇත.
මෙම දක්ෂිණාංශික කඳවුරට අදත් නායකත්වය දෙන්නෙ රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ එජාපය විසින් වන අතර රාජපක්ෂලාගේ පොදු ජන පෙරමුණ, ශ්‍රි ලනීපය, සජබයද, දෙමළ ජාතික සන්ධානය ද දක්ෂිණාංශික කඳවුර හා නොනිල එකඟතාවයකින් කටයුතු කරනු පෙනේ. එනම් නිදහස් වෙළඳපොළ ආර්ථිකයක්, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී සමාජ ක්‍රමයක් වෙනුවෙන් මේ කණ්ඩායම් වැඩි නැඹුරුවක් දක්වමින් තිබේ.
එසේම ජනතා විමුක්ති පෙරමුණ මූලිකත්වයෙන් කටයුතු කරන ජාතික ජනතා බලවේගය පවා නියෝජනය කරන්නේ මේ නිදහස් වාදී කඳවුර බව එහි නායකකාරකාදීන්ගේ ප්‍රකාශ සහ ඔවුන්ගෙ ප්‍රතිපති වැඩ පිළිවෙලවල් වලින් හඳුනා ගත හැක. ඒ අනුව ජනතා විමුක්ති පෙරමුණටද පැරණි හැව ඉවත්කරමින් රාජ්‍ය කේන්ද්‍රීයවාදී ආර්ථිකයෙන් මිදුන මේ නිදහස්වාදී ආර්ථිකය පිළිගැනීමට සිදුව තිබෙනවාට සැක නැත.
මෙම කඳවුරට එරෙහිව සිටින්නේ පැහැදිලිවම පෙරටුගාමී සමජවාදී පක්ෂය ප්‍රමුඛ කණ්ඩායම්ය. පෙරටුගාමීන් පන්ති පදනමක් මත දරණ රාජ්‍ය කේන්ද්‍රීය ආර්ථික වුවමණාව සමඟ වන දෘඩ විප්ලවාදී මතය පිළිගන්නා තවත් යම් යම් කොටස් සමාජය තුළ සිටිය හැක. මේ අනුව අද පැහැදිලිවම රටේ දේශපාලනය ප්‍රතිපත්තිමය කඳවුරු දෙකක් අතර වන සටනක් දක්වා වර්ධනය වී තිබේ. ජනතා නැඟිටීම නිසා සිදුවූ ඉතා සාධනීය තත්වයක් ලෙස මේ හඳුනාගත හැක.
කෙසේ නමුත් වර්තමානයේ ශ්‍රි ලංකාව මුහුණ දෙන ආර්ථික අර්බුදය මේ රටේ දශක හතකට වැඩි කාලයක් දිගැදුන දේශපාලනික හා අදේශපාලනික ගැටුම් වල තවත් ප්‍රතිපලයක් ලෙස සැකිය හැකිය.
නිදහස්වාදී වෙළඳපොළ ආර්ථිකයක් නිදහසෙන් පසුව ස්ථාපිත කරගෙන තිබුණ ද එය 56 දි ජාතිකවාදී රාජ්‍ය කේන්ද්‍රීය ධනවාදයක් බවට පත් වීමත් පසුව යළි 70 සමඟි පෙරමුණ සමයේදී මුළුමනින්ම පාහේ සංවෘත්ත ආර්ථිකයක් බවට පත් කිරීමත් රටේ ඉදිරි වර්ධනය අඩපණ කෙරෙනි. පසුව ගෝඨාභය පාලන සමයෙදී මේ අසාර්ථක වූ පැරණි ආර්ථික ප්‍රතිපත්ති පදනම් කරගෙන නිශ්චිතව හඳුනාගත නොහැකි ආර්ථිකයක් බවට පත් කිරීමට ගත් උත්සහයය මේ රට මුළුමනින්ම බංකොලොත් කිරීමට සමත්ව තිබිණි.
මේ බංකොලොත් කරනු ලැබු රට තුළ වූ ජනතා අරගලයෙන් පසුව වර්තමානය ගොඩ නැගෙමින් තිබෙන්නේ නිදහස් වෙළඳ පොළ ආර්ථික ක්‍රමයක් ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී සමාජ ක්‍රමයක් ඉල්ලා සිටින පසුබිමක් මතය.
වාමාංශික කණ්ඩායම් සිය පැරණි මාක්ස් ලෙනින්වාදී මුලධර්මයන් මත දක්ෂිණාංශක කඳවුරට බලපෑමක් එල්ල කළ ද ශ්‍රි ලංකාව මුහුණ දී තිබෙන අර්බුද හමුවේ සහ අද ලෝකය ගමන් කරන දිශානතීන් අනුව රට වැටී තිබෙන ආගාධයෙන් ගොඩගැනීම සඳහා නූතනවාදී විසඳුම් ඔවුන් සතුව නොමැති බවත් පෙන්නුම් කර තිබේ. ආකර්ශනීය සටන් පාඨ වලින් පමණක් රටක් ගොඩනැගිය නොහැක.
ශ්‍රී ලංකාව යනු හුදකලා දූපතක් නොවේ. එය ලෝකයේ සෑම අහු මුල්ලක් නෑරම ගැටගසුනු භූ දේශපාලනිකව දියත්වන යන්ත්‍රණයක් හා ගැට ගැසී තිබෙන්නෙකි. ඒ අනුව මේ දූපතට හුදකලා පැවැත්මක් තබා ගත නොහැකි බව පැහැදිලි කරුණකි.
ලෝකයේ කොතනක වුව සිදුවන ආර්ථික කුණාටුවකදී එය රටේ ආර්ථිකය හොළවන්න තරම් බලපාන බව පසුගිය කාලයෙ වූ සහ අදත් සිදුවෙමින් තිබෙන සංසිද්ධි වලින් පැහැදිලිය.
මේ අනුව ලෝකය සමඟ අනුගතව පවතින, ඒ මාර්ගයේ, ඒ හැල හැප්පිලි සමඟ ගමන් කරන, ඊට සංවේදී ආර්ථික ක්‍රමයක් තුළ පමණක් රටේ පැවැත්ම සහතික වෙනු ඇත.
වර්තමානයේ රනිල් වික්‍රමසිංහ පාලනය ප්‍රමුඛ කඳවුර විසින් රට රැගෙන යාමට උත්සහ කරමින් සිටින්නේ ඒ මාර්ගයේ බව පැහැදිලිය.
අද වත්මන් ජන සමාජය මේ නූතන ප්‍රතිපත්තී මතවාදයන් සමඟ සබුද්ධිකව දේශපාලනයට සම්බන්ධ විය යුතුය. මේ ප්‍රතිපත්ති මතවාදයන් සමඟ නිරන්තරයෙන් සංවේදීව කටයුතු කළ යුතුය.
ජාති ආගමික පටු වුවමණාවන් සහ යල් පැන ගිය ද්‍රෘඩ අන්තවාදී මතයන් මත දේශපාලනික තීන්දු ගෙන රට යළිත් වළපල්ලට යැවීමට දායක නොවී වඩාත් නිදහස්වාදීව මෙරට සියළු ජන කොටස් සමඟ අවබෝධයෙන් සහයෝගයෙන් ජීවත් විය හැකි, එසේම ලෝකය සමඟ විවෘත්තව ගනුදෙනු කළ හැකි යුගයකට අප යායුතුය. ජන අරගලය සැබෑ ජයග්‍රහණයක් වෙත ගෙන යා හැක්කේත් ඒ අනුව පමණය.
-SJ