පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කමිටු පත් කිරීමේ කටයුතු මේ වන විට සිදු වෙමින් පවතින අතර තවත් අතුරු කමිටු කිහිපයක් පිහිටුවීමේ අවශ්‍යතාව ද හඳුනාගෙන තිබේ.
මුළු පාර්ලිමේන්තුවම ආණ්ඩුවක් බවට පත් කරලීමේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අදහස අනුව අධීක්ෂණ කාරක සභා සහ ජාතික සභාව ක්‍රියාත්මක කෙරෙයි. අධීක්ෂණ කාරක සභා සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හැරුණු විට තරුණ නියෝජීතයන් පස් දෙනකු බැගින් සම්බන්ධ කර ගැනීමට ජනාධිපතිවරයාගේ අදහස වී තිබේ.
එවැනි කමිටුවලට මේ ආකාරයට තරුණ පිරිස් සහභාගි කර ගැනෙන පළමු රට බවට ශ්‍රී ලංකාව පත් වනු ඇති අතර ප්‍රජාතන්තවාදී ආණ්ඩුකරණය ගැන ලෝකයටම නව ආදර්ශයක් සපයනුද ඇත.
ජාතික සභාව සියලු පක්ෂ සහ කණ්ඩායම් නියෝජනය වන පරිදි පිහිටුවනු ලැබේ.
පාර්ලිමේන්තුවම ආණ්ඩුවක් බවට පත් කිරීමේදී කමිටු ක්‍රමය නියෝජනය කරනවාද, එසේ නැති නම් ආණ්ඩුවට එක්වනවාද යන්න තීරණය කර තමාට දැනුම් දෙන ලෙස සර්ව පාක්ෂික ආණ්ඩුව සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවලදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ විපක්ෂයේ පක්ෂවලට දැනුම් දී තිබේ.
රටේ මහජනතාව මෙන්ම ජාත්‍යන්තරයත් අපේක්ෂා කළ පරිදි, මෙරට ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කොට නීතියේ අධිපත්‍ය තහවුරු කිරීමේ අරමුණින්, අධිකරණ, බන්ධනාගාර හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිස්සංකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රජපක්ෂ ඉදිරිපත් කළ 22 ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථා සංශෝධන කොටුම්පත මේ වන විට පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කර තිබේ. සංශෝධනය සම්මත කර ගත් පසු මෙම නව ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට නියමිතය.
පසුගිය යහපාලන ආණ්ඩු සමයේ හඳුන්වා දුන් 19 වන ව්‍යවස්ථා සංශෝධනය මඟින් ඉතා ශක්තිමත්ව ස්ථාපිත කළ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කමිටු ක්‍රමය යළි ස්ථාපිත කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් යෝජනා කළේ ඔහු වත්මන් පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍යවරයාව සිටි සමයේදීය.
2015-2019 යහපාලන ආණ්ඩු කාලය තුළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නොවන, විද්වතුන් සහ වෙනත් ප්‍රවීණයන් උපදේශකයන් වශයෙන් ආංශික අධීක්ෂණ කමිටු සඳහා පත් කර තිබිණි.
ආංශික අධීක්ෂණ කමිටු අලුත් දෙයක් නොවන අතර පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප් කමිටුව), රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (කෝපා කමිටුව) සහ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව යනාදිය කාලයක් තිස්සේ පවතින ආංශික අධීක්ෂණ කමිටු කිහිපයකි.
ආංශික අධීක්ෂණ කමිටු පිහිටුවනු ලබන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙනි. ආංශික අධීක්ෂණ කමිටුවට අදාළ විෂය පථයක් වෙන් කරන අතර එම විෂය පථයට අදාළ පනතක්, යෝජනාවක්, ගිවිසුමක්, වාර්තාවක් හෝ වෙනත් අනුබද්ධ නීති සම්පාදනයක් සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමට බලය ඇත.අවශ්‍ය අවස්ථාවල දී සාක්ෂිකරුවන් කැඳවීමට සහ ලිපිගොනු සහ වාර්තා යනාදිය ඉල්ලා සිටීමට ද ආංශික අධීක්ෂණ කමිටුවලට බලය ඇත.
පාර්ලිමේන්තුවට, වෙනත් ඕනෑම කාරක සභාවකට හෝ අමාත්‍යවරයකුට ආංශික අධීක්ෂණ කමිටුවක විෂය පථය යටතේ ගැනෙන කරුණක් විමර්ශනය කිරීම සඳහා අදාළ කමිටුවකට යොමු කළ හැක.
එසේම සුදුසු පරිදි නිර්දේශ ඉදිරිපත් කිරීමට ආංශික අධීක්ෂණ කමිටුවලට වගකීමක් පැවැරේ. එහෙත් මෙහි පවතින දුර්වලතාවය වූයේ එම නිර්දේශ ක්‍රියාත්මක කිරීමට බලයක් නොමැති වීමය. හඳුන්වාදීමට නියමිත ක්‍රමවේදය අනුව මෙම කමිටු සභාපතිවරුන්ට කැබිනට් රැස්වීමට සහභාගී වීමේ හැකියාව ලැබෙන බැවින් පැවැති තත්වයට වඩා වැඩි බලයක් ආංශික අධීක්ෂණ කමිටුවලට හිමිවනු ඇත.
කෙසේ වෙතත් පාර්ලිමේන්තුවට ආංශික අධීක්ෂණ කමිටු 20 දක්වා පත් කිරීමේ හැකියාව ඇත.
කතානායක, නියෝජ්‍ය කතානායක, කාරක සභා නියෝජ්‍ය සභාපති, අග්‍රාමාත්‍ය, සභානායක, විපක්ෂ නායක සහ කැබිනට් අමාත්‍යවරුන් හැර වෙනත් ඕනෑ ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට ආංශික අධීක්ෂණ කමිටුවක සාමාජිකත්වය දැරිය හැකිය.
පාර්ලිමේන්තුවේ නිල කාලය අවසන් වන තෙක් මෙම කමිටු ක්‍රියාත්මක වන අතර පාර්ලිමේන්තුව කල් තැබීමක් සිදු වුව ද, එම කටයුතු පවත්වාගෙන යෑම සිදුවේ.
අවසානයේ රැස්වීම්වලට අදාළ තොරතුරු සමඟ නිර්දේශයන් ලිඛිත වාර්ථාවක් ලෙස කතානායකවරයා වෙත භාර දෙන අතර කතානායකවරයා එම වාර්තාව පාර්ලිමේන්තුව තුළ සභාගත කරනු ලබයි. ඒ සම්බන්ධයෙන් අදාල ක්‍රියා මාර්ග ගැනීම රජයේ කාර්යභාරය වන නමුත් පවතින අත්දැකීම වූයේ මේ නිර්දේශ කියාත්මක වීම අතිශය සීමා වීමය.