බල හුවමාරුව සිදු විය යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදි ආකාරයකටය. ඊට අවශ්‍ය නෛතික ප්‍රතිපාදන ව්‍යවස්ථාව තුළ තිබේ. ව්‍යස්ථා වෙනසකට වුව යා යුත්තේ පිළිගත් නීතියට ගරු කරමින් එහි සඳහන් උපදේශනවලට අනුවය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යනු රටේ මූලික නීතිය බව අප වටහාගත යුතුය. ඊට පිටින් යෑමේ හැකියාවක් කිසිවකුට නැත.
රට අරාජිත තත්ත්වයක් කරා ඇදී ගිය හොත් සිදු වන ඛේදවාචකයේ තරම සිතා ගන්නට බැරි තරම්ය. ලක්ෂ පහළොවකට වැඩි රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ගෙවන්නේ කවුද? විශ්‍රාමිකයන්ගේ විශ්‍රාම වැටුප් ගෙවන්නේ කවුද? තෙල්, ගෑස්, ඖෂධ මේවා මිලට ගන්නේ කෙසේද? අධ්‍යාපනය, සෞඛ්‍යය, ප්‍රවාහනය ඇතුළු අත්‍යවශ්‍ය සේවාවන් ගැන වගකියන්නේ කවුද? ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පවත්වන සාකච්ඡා මේ වන විට අඩාළ වී ඇත. එය පවතින්නේ රට ගොඩනැඟීමේ අවසන් තුරුම්පුව හැටියටය. පවතින තත්ත්වය තුළ අයි.එම්.එෆ් ණය අහෝසි වන්නටත් බැරිකමක් නැත. මේවා පිළිබඳ වගකීමකින් ක්‍රියා කිරීම සෑම පාර්ශ්වයකම යුතුකම වෙයි. රටේ අනාගතය දෙස බලා එම වගකීම ඉටු කරන්නට කවුරුත් වග බලාගත යුතුය.
දේශපාලන පක්ෂ හා ඒවායෙහි නායකයන් ද සද්භාවයකින් ක්‍රියා කළ යුතුය. තමන්ගේ පෞද්ගලික න්‍යාය පත්‍රවලට අනුව වැඩ කිරීමේ හැකියාවක් මේ මොහොත තුළ නැත. පළමුව අර්බුදයෙන් රට බේරාගෙන නිදහස් හා සාමකාමි සමාජ ආර්ථික හා දේශපාලනික පසුබිමක් නිර්මාණය කරගත යුතුය. තනි පාර්ශ්වයකට එය ඉටු කිරීමේ හැකියාවක් නැත. සාමූහික වගකීම මෙහිදී වැදගත් වෙයි. දේශපාලන පක්ෂවලට හා ඒවායෙහි නායකයන්ට පොදු එකඟත්වයක් කරා යෑමට සිදුවනු ඇත. එය අත්‍යවශ්‍ය සාධකයකි. එලෙසම අරගලකරුවන් ද ප්‍රචණ්ඩත්වයෙන් හා බලහත්කාරයෙන් ඉවත් විය යුතුය.
-මහේෂි