රනිල්ට ජනවරමක් නැද්ද? තියෙනවා නම් ඒක කොහෙන්ද ආවේ ? Featured

Friday, 15 July 2022 17:07

ජනවරම යන වචනයට අර්ථකතන දීමේදී සැලකිය යුතු කාරණා ගැන වැඩි මනත් දෙයක් කීමට තරම් විශේෂ දැනුමක් මේ ලියුම්කරුට නැත. එය සරළව ගත්තොත් ජනතාව විසින් දීපු වරමකි. මේ ජනතාව කියන්නෙ කවුද ? මේ වරම කියන්නේ මොකක්ද යන්න ඒ ඒ අවස්ථාවේදී පවතින වපසරිය අනුව සහ ඒ ගැන පවසන්නාන්ගේ අවබෝධයන් යනුව වෙනස් විය හැකිය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු නැති නම් මහජන නියෝජිතයකු වශයෙන් ඡන්ද දායකයෝ විසින් ‍තෝරා පත් කරගන්නා තැනැත්තා ද ඒ පත්වන්නේ ජනතා වරමකින් යැයි කියවෙයි. එනම් පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරු සියලු දෙනාට ජනවරමක් හිමිය. ඡන්දයෙන් පත් වෙන ජනාධිපතිටත් ජනවරමක් තිබේ.

මෙතැන ජනවරම කියන්නේ ඡන්ද්දායකයන්ගේ යම් කොටසකගේ කැමැත්ත මිස සමස්ත ජනතාවකගේ නැතිනම් රටේ සියලු පුරවැසියන්ගේ කැමැත්ත නොවේ. මේ අනුව ඒ ඒ මහජන නියෝජිතයන්ගේ ජනවරම එක් එක් ප්‍රමාණයන්ගෙන් යුතුය. එසේම ඇතැම් විටෙක් යම් ජාතියක, ආගමක, කුලයක ආදී වශයෙන්ද ඒ ජනවරම හිමි වීම සිදු වෙයි. පක්ෂයක කණ්ඩායමක නියෝජිතයා වීම නිසාද ඊට ඇති පක්ෂපාතී බාවය අනුවද ඒ ජනවරම හිමිවේ.

දැන් මේ ජනවරම ඇත්තේ ඡන්ද දායකයාගේ ඡන්දය සෘජුවම ප්‍රකාශ වීමක් හරහා පමණකි, යන මතයද පසුගිය දින වල අසන්නට ලැබිණි. ඒ පාර්ලිමේන්තු කතා බහ අතර දී ජාජබය නියෝජනය කරන ජවිපෙ නායක අනුර කුමාර දිසානායක අගමැති රනිල් වික්‍රමසිංහට ජනවරමක් නැතැයි කීම නිසාය. අනුර එසේ කීවේ රනිල් පාර්ලිමේන්තු පැමිණියේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු වීම නිසා සහ ඡන්දයට ඉදිරිපත් වී කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ධුරයකට අවශ්‍ය ඡන්ද ප්‍රමාණය ලබාගැනීමට එජාපයට නොහැකි වීමත් නිසාය.

ජාතික ලැයිස්තුව හරහා මන්ත්‍රීධුරයක් ලැබිය හැක්කේ මැතිවරණ නාමයෝජනා ලබා දෙන අවස්ථාවේදී නම් කරන ලද ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර අපේක්ෂකයන්ගේ නම් ලැයිස්තුවට නම ඇතුලත්ව තිබීම හෝ මැතිවරණයට තරග කර ආසනයක් අහිමි වූ අපේක්ෂකයන්ට පමණකි. එසේ යම් නීති ප්‍රතිපාදනයක් තිබේ. එහෙත් ඊට පරස්පරව කොහෙවත් සිටි අයවද මන්ත්‍රීවරයකු ලෙස නම් කිරීම කිහිපවතාවක්ම සිදුව තිබේ. එහි ආසන්නතම උදාහරණය ව්‍යාපාරික ධම්මික පෙරේරාව නම් කිරීමය. ඒ කොහොම වෙතත් දැන් මේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන්ට ජනවරමක් නොමැතිද යන්න විමසිය යුතුය.

පවතින සමානුපාතින මැතිවරණ ක්‍රමයේදී ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීවරුන් පත් කෙරෙන්නේ ඒ ඒ පක්ෂ විසින් ලබාගන්නා රටේ සමස්ත ඡන්ද ප්‍රමාණය සලකා බලා ප්‍රතිශතයක් වශයෙනි. සමස්ත ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර ප්‍රමාණය 29 කි. ඒ ඒ පක්ෂ විසින් ලබා ගන්නා සමස්ථ ඡන්ද ප්‍රතිශතයන් සමග සසඳා ලැයිස්තු මන්ත්‍රී ප්‍රමාණය ඒ ඒ පක්ෂ වලට බෙදී යයි. සමස්ථ රට තුළින් යම් පක්ෂයකට සැලකිය යුතු කැමැත්තක් ප්‍රකාශ වී ඇතිනම් එහෙත් එමඟින් දිස්ත්‍රික් මන්ත්‍රීධුරයන් (ප්‍රතිශතය අඩුව මත) මඟ හැරී ඇත්නම් එම ඡන්දදායකයන්ට පාර්ලිමේන්තු නියෝජිතයකු පත්කර ගැනීමේ තවත් අවස්ථාව තිබිය යුතුය කියන ප්‍රජාතන්ත්‍රවාදී අදහස අනුව මෙම ක්‍රමය ක්‍රියාත්මක වේ.මෙය එක්තරා විදිහක අමතර වරප්‍රසාදයකි.

එමෙන්ම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර අපේක්ෂක ක්‍රමයක් සකසා ඇත්තේ මැතිවරණ දේශපාලනයට පැමිණීමට නොහැකි නමුත් රටේ දේශපාලන සම්බන්ධයෙන් ක්‍රියත්මක විය යුතු යැයි සිතන වෘත්තිකයන්, විද්වතුන් ආදීන්ගේ නියෝජනය පාර්ලිමේන්තුව තුළ ප්‍රකාශයට පත් කිරීමටය.

එහෙත් ඒ සඳහා ඒ ඒ පක්ෂ වලට සැලකිය යුතු ජනවරමක් තිබිය යුතුය. පක්ෂයට ලැබෙන ලැයිස්තු මන්ත්‍රී ප්‍රමාණය තීන්දු වන්නේ ඒ ජනවරම අනුවය. ඒ අනුව ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයකට නම් කරනු ලබන අයෙක් වේ නම් අනිවාර්යෙන්ම ඒ ජනවරම සහිත කෙනෙක් වෙනු ඇත.

පැවැති මැතිවරණයෙන් එම අපේක්ෂකයකු පරාජය වීම ඊට අදාල නැත. මන්ද පක්ෂයට ලැයිස්තු මන්ත්‍රීවරුන් පත් කිරීමට ජනවරමක් හිමිව තිබෙන නිසා ඒ් පත් කරන්නාට නිතැතින්ම එම ජනවරම හිමිය.

ඒ අනුව පාර්ලිමේන්තුවේ සිටින සියලූම මන්ත්‍රීන් ජනවරමක උරුම කරුවන්ය.
එසේම එම පත්වීම ලැබූ පසු ජනවරමේ ප්‍රමාණය හෝ එහි විශේෂතා අදාලත්වයක් නැත. සියලු දෙනා මහජන නියෝජිතයන්ය. මහජන මතයක් නියෝජනය කරන්නෙකි. රටේ ව්‍යවස්ථා සම්පාදන කියාවලියට ඔවුන් සම්බන්ධ වන්නෙ සමානයෝ හැටියටය. පාර්ලිමේන්තුවෙ ඡන්ද විමසීමෙදි ඔවුන් සියලු දෙනාට ලැබෙන ඡන්ද අයිතිය සමානය. පාර්ලිමේන්තුව තුළ එම සභාව පවත්වාගෙන යෑමේ පහසුවට අවශ්‍ය තනතුරු බෙදාහදා ගැනීම් වලට ලැබෙන යම් වරප්‍රසාදයක් හැරුනු කොට ඔවුනට ලැබෙන පිළිගැනීම එකය.

යම් යුගවල මැතිවරණයකින් මන්ත්‍රී ආසන දිනා ගත් අපේක්ෂකයකුගේ ඡන්ද මනාප ඡන්ද සංඛ්‍යාව ඉතා අඩු අගයක් වී තිබිණි. එම මැතිවරණයේදීම ඇතැමෙකු ලක්ෂ ගනනින් මනාප ලබා තිබිණි. එහෙත් ඒ අඩු වැඩිය මන්ත්‍රීවරයකු වීමට බලපෑවේ නැත. අඩුවෙන් ගත්තු කෙනාට ජනවරමක් නැතැයි කිව නොහැකිය. මැතිවරණ ක්‍රමය එසේ නම් එය පිළිගත යුතුය. 1989 මහ මැතිවරණයේ උතුරු පළාත් මනාප ප්‍රතිපළ මීට හොඳ උදාහරණයකි.

මේ අනුව රනිල් වික්‍රමසිංහ ජතික ලැයිස්තුවෙන් පැමිණීම මඟින් ඔහුට ජනවරමක් නැතැයි කියා අනුර කරන චෝදනාව පිළිගත නොහැක. වරෙක අනුර කුමාරත් පාර්ලිමේන්තුවට ආවේ ලැයිස්තුවෙනි. වර්තමාන පාර්ලිමේන්තුව තුළත් ජාජබය නියෝජනය කරමින් සිටින හරිණි අමසූරියත් ලැයිස්තු මන්ත්‍රීවරයෙකි. එසේ නම් අනුරට අනුව ඇයටත් ජනවරමක් නැත.

අනෙක කාරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව අගමැතිවරයා පත් විය යුත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අතරිනි. එනම් එහි සිටින මන්ත්‍රීන් 225 දෙනා අතරෙනි. ඒ සියලුදෙනා සමානයන් ලෙස සැලකීම මත සියලු දෙනටම අගමැතිවීමේ මූලික සුදුසුකම තිබේ.

අරයට මනාප ඡන්ද මෙච්චරයි මෙයාට මනාප ඡන්ද මෙච්චරයි.. ඒ නිසා මෙයා තමයි අගමැති විය යුතුතේ කියා දෙයක් නැත. ඒ අනුව රනිල්ව අගමැතිවරයා ලෙස නම් කිරීමහි කිසිදු වැරැද්දක් නැත. ඔහුට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ බහුතරය දිනාගෙන හෝ නොමැතිව එම තනතුරෙහි කටයුතු කළ හැකි නම් එපමණය.

2015 වසරේ රනිල් අගමැතිවරයා ලෙස පත් වූයේත් මාස 8ක පමණ කාලයක් තනතුර දැරුවේත් තමන්ට පක්ෂපාත මන්ත්‍රීධුර 47 ක පමණ සුළුතර බලයක් තබාගෙනය. හිටපු ජනාධිපති ගෝඨා ඔහුව අගමැති තනතුරට පත් කරන විට ඔහුට පක්ෂපාතව සිටියේ ඔහුම පමණය.

ජනාධ්පති ගෝධාභය තනතුරෙන් ඉවත්ව යන විට වැඩ බලන ජනාධිපතිවරයා ලෙස පත් වන්නේ ඒ වන විට සිටින අගමැතිවරයාය. ඒ පවතින ව්‍යවස්ථා ප්‍රතිපාදනය අනුවය. ඒ අනුව රනිල් වැඩ බලන ජනාධිපතිවරා වීම වරදක් නොවේ. එය නිත්‍යානුකූලය. එසේම ඊට හිමි ජනවරමක් ඔහුට තිබේ.

ඉදිරියේදී ස්ථිර ලෙස ජනාධිපතිවරයා ලෙස පත් කරගනු ඇත්තේත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතරින් කෙනෙකුය. ඒ සඳහා එම 225 න් ජනාධිපති තනතුරට අදාල විශේෂ සුදුසුකම් සපුරා ඇති නම් ඕනෑම් කෙනෙකුට සුදුසුකම් ඇත. අගමැති තනතුරත් ඒ අනුව 225 ටම විවෘත්තය. මන්ත්‍රී ආසන 3ක් අතැතිව සිටින අනුර කුමාරටත් ඒ සඳහා ජනවරමක් හිමිය.

පිළිගෙන තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යස්ථාව අනුව තීරණය කර තිබෙන පිළිවෙත අනුව මෙම පත්වීම් සිදු වෙයි.. ඒ අනුව ඒ කිසිවක් වැරදි නොවේ.

මන්ත්‍රීවරු 225 ටම ජනවරමක් ජනතාව දී ඇත්තේ යම් කාල සීමාවකටය. වසර 5ට නම් එය ලබා දුන්නේ ඒ වසර 5 ඉක්ම යන තෙක් එම ජනවරම වලංගුය. එම කාලය තුළ රටේ ජනතාව මොන තීන්දු තීරණ ගත්තත් එම ජනවරම අහෝසි වන්නෙ නැත. දැන් ජනමතය වෙනස් වෙලා කියා මන්ත්‍රීවරුන් අගමැතිවරයා හෝ ජනාධිපතිවරයා පළවා හැරීම සිදු කළ හැකි ක්‍රමවේදයන් ද ව්‍යස්ථාවෙන්ම පනවා ඇති ක්‍රමවේදයටම විය යුතුය. එසේ නොමැතිව සිදුවේ නම් ඒ් නීති විරෝධීය.

ජනාධිපති ගෝඨාභය තනතුරෙන් ඉල්ලා අස්වූයේ ඔහුට රාජ්‍ය පාලනය කරගෙන යෑමට ඉඩ නොදීමට යම් ජන කොටසක් කළ කැරලිකාරී විරෝධයෙහි ප්‍රතිපලයක් ලෙසය. එය තමන්ව බලයට පත් කළ 69 ලක්ෂයකගේ බහුතරය මතය ඉක්මවා යන ජන ඒකරාශී වීමක් ද, නොවන්නක් ද කියා විනිශ්චය කිරීම කළ නොහැකි වුණත් ඔහු තීරණය කළේ තනතුර අත් හැරීමටය. එලෙසම මන්ත්‍රීවරකුගේ තනතුර සම්බන්ධයනුත් නීති ප්‍රතිපාදන පවතී. ඒ අනුව ඔවුන්ගේ ජනවරම අහෝසි කළ හැකිය.

රටේ ජනතව පිළිඅරගෙන ක්‍රියාත්මක කරන, යටත්ව සිටින නීතිය අනුව රනිල් වික්‍රමසිංහ අද වැඩ බලන ජනාධිපතිවරයා ලෙස පත්වීම වැරදි නැත. ඔහුට ජනවරමක් නැතැයි කියා තර්ක කිරීමෙහි තේරුමක් ද නැත. ඒ පරික්ෂා කිරීම මැතිවරණයකින් හැර වෙන ක්‍රමයක් ද නැත. ඔහුට ජනවරමක් නැතැයි කියන පිරිසටද ජනවරමක් තිබෙන බව පරික්ෂා කිරීමටද ක්‍රමයක් නැත.

ජනතාවට අවශ්‍ය නම් ඔහුව එළවා දැමීමට කැරලි ගැසිය හැකිය. නැතිනම් තමන්ගේ මහජන නියෝජිතයන්ගේ මාර්ගයෙන් පාර්ලිමේන්තුව තුළ කළ හැකි යමක් කළ හැකිය.

ඒ සිදු නොවේ නම්, ජනවරම කියා දෙයක් පිළිගන්නේ නම් මේ මොහොතේ ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහව පිළිගැනීම කළ යුතුය.

-SJ

Leave a comment

Gossip

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us