එහෙත් 1990 දශකයේ මැදක් වන විට මෙරට විශාල විදුලිය අර්බුදයක් නිර්මාණය විය. පසුව ඒ වකවානුවේ හදිසියේ ආරම්භ කළ ඩීසල් බලාගාර හේතුවෙන් විදුලි අර්බුදයට තාවකාලික විසඳුමක් ලැබුණි. වර්තමානය වන විට රටේ විදුලි ඉල්ලුම වාර්ෂිකව සියයට පහකින් පමණ වැඩි වී තිබේ.
සාම්පූර් ගල් අඟුරු බලාගාරය 2016 වසරේ යහපාලන ආණ්ඩුව අහෝසි කර දැමීම නිසා ඉකුත් වසර හයේදී රටට සිදුව තිබෙන පාඩුව රුපියල් කෝටි විසි දහසකට අධික යැයි ලංවිම ඉංජිනේරු සංගමය හෙළි කර සිටියි. මේ මඟින් ඩීසල් බලාගාර හිමියන් රුපියල් කෝටි 16,000කට අධික මුදල් ප්‍රමාණයක් උපයා ගැනීමට සමත් වී ඇතැයි ඉංජිනේරුවන් ගණන් බලා තිබේ. කාලයක් තිස්සේ ක්‍රියාත්මක විදුලි මාෆියාවට සම්බන්ධ විදුලිබල මණ්ඩලයේ ඇතැම් පිරිස්, ඇතැම් දේශපාලකයන් හා ඩීසල් බලාගාර හිමි පාර්ශ්ව ඩීසල් බලාගාරවලින් විදුලිය නිපදවා, ඒවා වැඩි මිලට විදුලිබල මණ්ඩලයට විකුණමින් අති විශාල ලෙස ලාභ උපයමින් සිටින බව ද ඉංජිනේරුවරු කියා සිටිති.
නොරොච්චෝල ගල් අඟුරු බලාගාරය නිසි කලට ඉදි නොකළ නිසා මේ වන විට රටට සිදුව ඇති පාඩුව පමණක් රුපියල් කෝටි අනූදහස ඉක්මවා ඇති අතර, සාම්පූර් ගල් අඟුරු බලාගාරය අහෝසි කර දැමුවේද මෙකී ව්‍යාපාරික පිරිස යැයි ඔවුහු හෙළි කර සිටිති.
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ පාලන කාලයේදී මෙන්ම යහපාලන කාලයේදී රටට අවශ්‍ය විදුලි බලාගාර ඉදි නොකළ බවත්, මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාව සිටි අවධියේ මෙගොවොට් නවසියයකින් යුත් නොරොච්චෝල බලාගාරය ඉදි නොකළා නම් මේ වනවිට දිනකට පැය 12ක්වත් විදුලිය කපා දැමීමට තරම් බරපතළ විදුලි අර්බුදයකට රට පත්වනු ඇතැයිද ඉංජිනේරුවරු කියා සිටිති.
නිසි කලට නිවැරැදි තීරණ නොගැනීම නිසා මේ වන විට රට මුහුණ දෙමින් සිටින විදුලි අර්බුදයට හේතුව ඩොලර් හිඟය පමණක්ම නොවේ. ඉහත පැවසූ අයුරින් වාර්ෂිකව වැඩි වන විදුලි ඉල්ලුමට මෙන්ම අනාගත විදුලි ඉල්ලුම පිළිබඳ පූර්ව නිගමනවලට එළැඹ, ඒ වෙනුවෙන් අවශ්‍ය විදුලි නිෂ්පාදනය කිරීමට බලාගාර ඉදි නොකිරීමය. ඉදි කිරීමට යෝජිතව තිබූ බලාගාර ද දේශපාලන හේතු මත ඉදි නොකිරීමේ සහ කඹ ඇදීමේ ඵලවිපාක දැන් අපි අත්විඳිමින් සිටිමු.
වියළි කාලගුණයක් පවතින මේ දිනවල රාත්‍රී කාලයේ විදුලි ඉල්ලුම ඉහළය. එය මෙගාවොට් 2400 සිට පසුගියදා වාර්තා වුණු මෙගාවොට් 2650 දක්වා හෝ ඉදිරියේ දී ඊට වඩා හෝ වැඩි විය හැකිය. එසේම ඉන්ධන ආනයනය සඳහා රටේ පවතින ඩොලර් හිඟය ද, මෙගාවොට් 300ක විදුලිය සපයන නොරොච්චෝලේ තෙවැනි ජනන යන්ත්‍රයේ කාර්මික දෝෂය ද, කැලණිතිස්ස පරිශ්‍රයේ පිහිටි සොජිට්ස් පුද්ගලික බලාගාරය වාර්ෂික නඩත්තු කටයුතු සඳහා අක්‍රීය කිරීමෙන් ද පසුගිය දිනවල අහිමි වූ මෙගාවොට් ප්‍රමාණය 472කි. මේ හේතු මත ඉල්ලුමට සැපයුම දීමට විදුලිබල මණ්ඩලය අපොහොසත් වීම නිසා ඇති වූ තත්ත්වය සමබර කර ගැනීමට විදුලි කප්පාදු කිරීමකට යෑමට සිදු විය. මේ වසරේදී විදුලි ඉල්ලුම, එම ඉල්ලුමේ උපරිමය මෙගාවොට් 2900ක් වෙතැයි අපේක්ෂා කෙරෙන බව බලශක්ති විශේෂඥයකු වන ආචාර්ය තිලක් සියඹලාපිටිය මහතා පවසයි.
කෙසේ වෙතත් මේ වකවානුවේදී වාරිමාර්ග සඳහා ජලය අවැසි නොවේ. එම නිසාම මහවැලි බලාගාර ප්‍රමුඛව දිවයිනේ බොහෝ ජල විදුලි බලාගාරවලින් ඉදිරි යල කන්නයේදී මෙන්ම පානීය ජල අවශ්‍යතා සැපිරීම කෙරෙහි ද මේ ජලාශවල ජලය මේ කාල වකවානුවේ දී රඳවා තබා ගැනීම අතිශය වැදගත් වේ. මේ වන විට ප්‍රධාන ජලාශවල ජල මට්ටම ශීඝ්‍රයෙන් පහත බැස යමින් තිබෙන අතර, ජල විදුලිය සඳහා ජලය නිකුත් කිරීම ද සීමා කර තිබේ.
ඒ අනුව එම ජලාශවල ජලය ආරක්ෂා කර ගැනීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ජල සම්පාදන මණ්ඩලය, මහවැලි අධිකාරිය, කෘෂිකර්ම අමාත්‍යංශය ඇතුළු ආයතන උත්සාහ දරයි. විදුලි අවශ්‍යතා සැපයීම සඳහා ජලය මුදා හැරීම අවශ්‍ය වුව ද මේ මොහොතේ එම ඉල්ලුම සිදු කළ නොහැක්කක් බව පැහැදිලිය. ඒ අනුව මේ වකවානුවේ මහා පරිමාණ ජල විදුලි බලාගාර වන ලක්ෂපාන, මහවැලි සහ සමනළ යන බලාගාරවලින් ජාතික පද්ධතියට එකතු කළ යුත්තේ මෙගාවොට් 500ක් පමණ වෙතැයි අනුමාන කර තිබේ.
සාම්පූර් බලාගාරය සහ සොබාදනවි බලාගාර නියමිත කාලවලදී ඉදි කරන්න ඉඩ දුන්නේ නම්, අද මුහුණ දෙමින් සිටින විදුලි අර්බුදයට මුහුණ දීමට සිදු නොවනු ඇතැයි විදුලිබල ක්ෂේත්‍රයේ විද්වතුන්ගේ මතයයි. කෙසේ වෙතත්, වර්තමාන රජය කල් ඇදෙමින් තිබූ සොබාදනවි බලාගාරය ඉදිකිරීම සඳහා ගිවිසුම්, පසුගිය වසරේදී අත්සන් කිරීම පැසසිය යුත්තකි. ඒ ඔස්සේ 2024 වසරේ මෙගාවොට් 340ක් ජාතික පද්ධතියට එකතු වීමට නියමිතය.
-පංචාලි