එහෙත් දිරියෙන් ඉදිරියට යන කර්මාන්තකරණයක් පැවතීමෙන් සංවර්ධන ඉලක්ක සපුරා ගන්නා රටක් බවට පත්වීමට අපේ රටට පුළුවන. අපේ රටේ කර්මාන්ත ශාලා බිහි කළ යුතු බව මුලින්ම පැවසුවේ දේශීය චින්තනයෙන් රට අවදි කළ අනගාරික ධර්මපාලතුමා බව සිහිපත් කළ යුතුව ඇත. රටේ විශාලා කර්මාන්තශාලා ප්‍රමාණයක් නිර්මාණය වුවා පමණක් නොව රටේ ශ්‍රම බළකායට ඉතාම පහසුවෙන් රැකියා උත්පාදනය සිදු විය. ඒ අනුව එකල තරුණ තරුණියන්ට හොඳ රැකියා වෙළෙඳපොළක් නිර්මාණය වී තිබුණි.
1977න් පසුව ඇති වූ විවෘත ආර්ථිකය තුළ මේ තත්ත්වය ඉතාම අයහපත් අයුරින් වෙනස් විය. 77 බලයට පත් වූ ජේ.ආර්.ජයවර්ධන දේශීය කර්මාන්තකරුවා සහමුලින්ම විනාශ කිරීමට අවශ්‍ය පිඹුරුපත් සකස් කළේය. දේශීය ව්‍යාපාරිකයන් සියලු දෙනාම බංකොළොත් විය. ඇඟලුම් කර්මාන්ත ශාලා බිහි විය. ඉතාම අඩු මුදලකට සිය ශ්‍රමය පූජා කරන තරුණ තරුණියන් පිරිසක් ඒ ආශ්‍රිතව නිර්මාණය කළේය. කටුනායක, බියගම, කොග්ගල ආශ්‍රිතව ඒ කර්මාන්ත ශාලා බිහි විය. ඒවායේ හිමිකරුවන් වූයේ විදේශ සමාගම්ය. විදේශ රටවලින් රැගෙන එන අමුද්‍රව්‍යවලින් අපේ රටේ දී නිෂ්පාදනය පමණක් සිදු විය. ඒ අනුව අපේ රටේ සන්නාලියන් පමණක් බිහි විය. කෙසේ හෝ එයත් අපේ රටේ ශ්‍රමය ඉතාම අඩු මුදලකට ගෙන විදේශ සමාගම්කරුවන් විශාල ආදායම් උපයා ගත් බව නොරහසකි. පසුකාලීනව මේ වෙළෙඳපොළ ජය ගැනීමට දේශීය කර්මාන්තකරුවන්ට ද හැකි වීම අගය කළ යුත්තකි.
ජනගහනය මිලියන 22ක් ජීවත් වන අපේ රටේ වෙළෙඳපොළ සීමිත වුවද විදේශීය වෙළෙඳපොළ ජය ගැනීමට අපේ කර්මාන්තකරුවන්ට පුළුවන් වීම නව ඉලක්ක සපුරා ගැනීමකි. 77 බලයට පත් වූ එජාප ආණ්ඩුව ක්‍රියා කළේ ඉදිකටුවේ සිට සියලු දේ පිටරටින් ගෙන ඒමේ න්‍යාය පත්‍රයයි. අපේ රටේ සරුවට වගා කෙරුණ බිබිලේ දොඩම් වගාව පාළු කළේ ඉතාම කුමන්ත්‍රණකාරි ලෙසය. බිබිලේ දොඩම් වගාකරුවා මිය යද්දී පකිස්තානයෙන් තායිලන්තයෙන් දොඩම් මෙරටට ගෙන ඒමට අවසර ලැබුණේය. නුවරඑළියේ පෙයාර්ස් වගාවට ද සිදුවූයේ ද ඒ දේමය. පෙයාර්ස්වලට ඇති වූ රෝගයෙන් මුළු පෙයාර්ස් වගාකරුවන් මිය යද්දී ඔස්ට්‍රේලියාවේ ඇපල් ගෙඩියට අපේ වෙළෙඳපොළ විවෘත විය. යාපනයේ මිදි වගාවට ද එවැනි රෝගයක් හට ගත්තේ බිබිලේ දොඩම්වලට මෙන් නුවරඑළියේ පෙයාර්ස්වලට අත් වූ ඉරණම පරිද්දෙනි. මේ තරම් සියුම් අයුරින් අපේ දේශීය පලතුරු වගාවට කණකොකා හැඬුවේ ඒ අයුරිනි.
එපමණක් නොව පසුගිය යහපාලන ආණ්ඩු සමයේ ඉන්දියාවේ කසළ තේ අපේ රටේ තේවලට කලවම් කොට ලෝක වෙළෙඳපොළට යවා අපේ අන්තර්ජාතික ප්‍රමිතියට කැළැලක් සිදු කළ බව මතකය . අපේ ගම්මිරිස්වලට ද වියට්නාමයේ හා ඉන්දියාවේ ගම්මිරිස් කලවම් කොට අන්තර්ජාතික වෙළෙඳපොළට යැවූ ඇමැතිවරුන් ද යහපාලන ආණ්ඩුවේ සිටි බව අමතක නොකළ යුතුය.
එය එසේ සිදු වෙද්දී රටක් වශයෙන් අපට නැඟී සිටීමට හැකියාව ඇත්තේ දේශීය නිෂ්පාදන ඇති කිරීමෙන් බව වත්මන් ජනාධිපති ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා වීමට පෙරාතුව සිට ජනතාව දැනුම්වත් කළේය. ඒ අනුව එතුමාගේ ජයග්‍රහණයෙන් පසු එය ක්‍රියාවට නැංවීමට විශාල කැප කිරීමක් සිදු කොට ඇත. 77න් පසු ඇති වූ විවෘත ආර්ථිකයෙන් සිදු වූයේ අපේ රට සහ අපේ රටේ ජනතාව විදේශ වෙළෙඳපොළ අරක් ගෙන සිටින රටවල්වල පාරිභෝගිකයන් බවට පත් කිරීම පමණි.
මේ කනගාටුදායක තත්ත්වයෙන් අපේ රට මුදාගෙන ස්වශක්තියෙන් නැඟී සිටින රටක් බවට පත් කිරීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු වර්තමාන රජයේ බලාපොරොත්තුවයි. විවිධ බාධක කම්කටොලු අභියෝග හමුවේ ඒ කටුක මාර්ගයේ ගමන් කිරීම වර්තමාන ආණ්ඩුවේ දැක්මයි. ඒ දැක්ම සාක්ෂාත් කර ගැනීම සඳහා දේශීය නිෂ්පාදන වැඩි දියුණු කොට දේශීය ව්‍යාපාරිකයන් සවිබලගැන්වීම රජයේ එකම අපේක්ෂාවයි. කොවිඩ් අභියෝගය මතින් ද අපේ රටේ ව්‍යාපාරික ප්‍රජාව ඒ දියුණුව සාක්ෂාත් කරගෙන තිබෙන බව අපේ රටේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයකු වන ධම්මික පෙරේරා මහතා ප්‍රකාශ කොට ඇත. එහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නායකත්වයෙන් යුතුව ගත් තීන්දු තීරණ ඵලදායි වූ බව ද සිහිපත් කළ යුතුව ඇත. විශේෂයෙන් රජයේ ආරක්ෂක හමුදා මැදිහත් වී සිදු කළ එන්නත්කරණය හේතුවෙන් බොහෝ දුරට කොවිඩ් නමැති මාරාන්තික රෝගයෙන් ජනතාව බේරා ගැනීමට හැකි වීම ද අප ලද ජයග්‍රහණයකි.
එහිදී පෞද්ගලික අංශයේ ව්‍යාපාර කටයුතු ඉතා ක්‍රමවත්ව සෞඛ්‍ය නීතිරීතිවලට අනුකූලව යමින් ක්‍රියා කළ නිසා දේශීය කර්මාන්තකරුවන්ට අන්තර්ජාතික වෙළෙඳපොළ ජය ගැනීමට හැකි වූ බව මේ මොහොතේ සඳහන් කළ යුතුව ඇත.
-පංචාලි