ලෝක වෙළෙඳපොළේ කුරුඳු නිෂ්පාදනයෙන් 95% කටම හිමිකම් කියනුයේ ශ්‍රී ලංකාවයි. ශ්‍රී ලංකාව අපනයනය කරන කුරුඳු හා කුරුඳු නිෂ්පාදනවලින් 40-50% ක් පමණ ප්‍රමාණයක් මිල දී ගන්නේ මෙක්සිකෝවයි. අනෙකුත් ප්‍රධාන ගැනුම්කරුවන් වන්නේ ලතින් ඇමරිකානු රටවල්, ස්පාඤ්ඤය හා ජර්මනිය ඇතුළු රටවල් 73ක්.
උපාය ඇති ආදායම
-----------------------------
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අපනයන වෙළෙඳ භෝගයක් වන කුරුඳු මඟින් උපයන ආදායම වසරින් වසර වැඩිවීම සුවිශේෂ කරුණකි. කොවිඩ් වසංගතයේ බලපෑම ඉතාම තදින් දැනුණු පසුගිය වසරේ අමෙරිකානු ඩොලර් මිලියන 254ක වාර්තාගත ආදායමක් කුරුඳු අපනයනයෙන් ඉපැයීමට සමත් විය. මෙය කුරුඳු කර්මාන්තය දිනෙන් දින ප්‍රසාරණය වන බවට කදිම සාක්ෂියකි. නව තත්ත්වය යටතේ ඉදිරි වසරවලදී ශ්‍රී ලංකාවේ කුරුඳු සඳහා ලෝක වෙළෙඳපොළේ ඇති ඉල්ලුම තවත් වැඩිවනු ඇත.
දැනටත් ලෝකයේ ප්‍රධානම සත්‍ය, කුරුඳු නිෂ්පාදකයා ශ්‍රී ලංකාවය. 2020 වසරේ ශ්‍රී ලංකාව කුරුඳු කූරු මෙට්‍රික්ටොන් 18,721ක් අපනයනය කර රුපියල් මිලියන 38,218ක් උපයා ගෙන ඇත. එම වසරේ කුරුඳු කොළ තෙල් මෙට්‍රික් ටොන් 300ක් යැවීම මඟින් රුපියල් මිලියන 1156ක් ගෙන ඇත. කුරුඳු පොතු මෙට්‍රික්ටොන් 67ක් අපනයනය කර රුපියල් මිලියන 2775ක් ඉපැයීමට මෙරට සමත්ව ඇත.
පසුගිය 2021 වසරේ කුරුඳු කූරු මෙට්‍රික්ටොන් 18,813ක් අපනයනයෙන් ශ්‍රී ලංකාව රුපියල් මිලියන 45,879ක් උපයාගෙන ඇත. එමෙන්ම කුරුඳු කොළ තෙල් මෙට්‍රික්ටොන් 307ක් අපනයනය කර රුපියල් මිලියන 1384ක් හා කුරුඳු පොතු තෙල් මෙට්‍රික් ටොන් 73ක් යැවීමෙන් රුපියල් මිලියන 2629ක් උපයාගෙන ඇත.
වෙනත් ආදේශක
----------------------------
අපේ කුරුඳු තරම් උසස් තත්ත්වයක නොතිබුණ ද ලාංකේය කුරුඳුවලට ආසන්න ආදේශයක්ද ඇත. එය හැඳින් වෙන්නේ සිනමෝනියම් කැෂියා නමිනි. කැෂියා ශ්‍රී ලංකාවේ කුරුඳු මෙන් රසයක් හා සුවඳක් නොතිබුණද එහි මිල ඉතා අඩුය. කැෂියාවල මිල දේශීය කුරුඳුවල මිලෙන් පහෙන් එකක් පමණ අඩුය. මේ නිසා ලෝකයේ කුරුඳු ඉල්ලුමෙන් කැෂියා සඳහා සියයට 70 – 80ක පමණ දායකත්වයක් ඇත. අමෙරිකාව, යුරෝපය, ජපානය වැනි රටවල ඉහළ ඉල්ලුමක් කැෂියාවලට තිබේ.
ලෝක කුරුඳු අවශ්‍යතාවෙන් වැඩි ප්‍රමාණයක් කැෂියා කුරුඳු වලින් සපුරා ගත්ත ද ඉහළ වෙළෙඳ ඉල්ලුමක් ඇත්තේ ශ්‍රී ලංකාවේ කුරුඳුවලටය. ඒවා සත්‍ය කුරුඳු නමින් ද හැඳින්වේ. දේශීය කුරුඳු අපටම ආවේණික ශාකයකි. අපේ කුරුඳු ලෝකයේ ඇති ඉස්තරම්ම කුරුඳු ලෙස සැලකේ. කට කාරවන රසයක් ඇති කැෂියා සඳහා නිසා ලෝක වෙළෙඳපොළේ ඉහළ වටිනාකමක් නැත. කැෂියා ප්‍රචලිත නොවන ඊළඟ හේතුව වන්නේ කුමරික් නම් පිළිකා කාරකය අඩංගු වීමයි. ඒවා මිනිස් ශරීරයට අහිතකරය.
දේශීය කුරුඳුවලට ආදේශකයක් වන කැෂියා වගා කරන්නේ චීනය, ඉන්දුනීසියාව, මියන්මාරය, මැලේසියාව වැනි අග්නිදිග ආසියානු රටවලය. ලෝක වෙළෙඳපොළේ අපේ කුරුඳුවලට ඉහළ වටිනාකමක් තිබුණත් කැෂියාවල මිල අඩුය.
අභියෝගය ජය ගැනීම
----------------------------------
අපේ කුරුඳුවලට ඉහළ වෙළෙඳ වටිනාකමක් හිමි වීම නිසා වෙනත් කුරුඳු වර්ගද ශ්‍රී ලංකාවේ කුරුඳු ලෙස ලෝක වෙළෙඳපොළට ඉදිරිපත් වීම මේ කර්මාන්තයේ ප්‍රවර්ධනයට බලපෑ ප්‍රධානම අභියෝගයයි. දේශීය කුරුඳුවල අනන්‍යතාව ආරක්ෂා කරන්නේ කෙසේ ද යන ගැටලුව අප ඉදිරියේ ඇත.
ශ්‍රී ලංකා කුරුඳු යුරෝපා සංගමය විසින් 2022 වසරේ පෙබ: 02 දා සිට දින ලංකා කුරුඳු, "Ceylon Cinnamon" යන භූගෝලීය දර්ශක නාමය යටතේ ආරක්ෂිත භූගෝලීය දර්ශකයක් ලෙස ලියා පදිංචිකර ඇත.
මේ අනුව යුරෝපා සංගමයේ රටවල් තුල 'සිලෝන් සිනමන්' යන නාමයෙන් හඳුන්වාදිය හැක්කේ සහ වෙළෙඳපොළට ඉදිරිපත් කළ හැක්කේත්, ශ්‍රී ලංකාවෙන් එම රටවලට අපනයනය කරන කුරුඳුවලට පමණකි.
2016 වසරේදී කර්මාන්තයේ බිද වැටීම ගැන ලංකා කුරුඳු සංගමයේ සභාපති සාරද ද සිල්වා බි.බි.සි වෙබ් අඩවියට දැක්වූ අදහස් ,
(2016.01.24 බිබිසි වෙබ් අඩවිය )
''සිලෝන් ටී මෙන් ශ්‍රී ලාංකීය සන්නාමය තහවුරු කෙරෙන, අගය එකතු කෙරුණු නිපැයුමක් ලෙස අපේ කුරුඳු තවම ජාත්‍යන්තර වෙළෙඳපොළේ ස්ථාවර තැනක් අත්පත් කර ගෙන නෑ. ‘ඔපෙක්‘ සංවිධානය සතුව තෙල් පිළිබඳ ඒකාධිකාරය පවතිනවා සේම වසර දෙදහසකටත් අධික කාලයක් තිස්සේ ලෝක කුරුඳු වෙළෙඳපොළේ ඒකාධිකාරය පවතින්නේ අප සතුවයි. එය දැනට ලෝක වෙළෙඳපොළේ අප සතුව පවත්නා එකම ඒකාධිකාරයයි. මේ ඒකාධිකාරයේ ශ්‍රී ලාංකීය සන්නාමය තහවුරු කෙරෙන වැඩපිළිවෙළක් මෙතෙක් ක්‍රියාත්මක නොවීමයි අද පවතින ගැටලුව.
මේ තත්ත්වයට මුහුණ පාන්නට ශ්‍රී ලාංකීය කුරුඳු කර්මාන්තයට සිදුව ඇත්තේ ඒ සම්බන්ධයෙන් සොයා බලා කටයුතු කිරීම පිණිස නිසි රාජ්‍ය යාන්ත්‍රණයක් මෙතෙක් ක්‍රියාත්මක නොවීම නිසා''
ප්‍රවර්ධනය උදෙසා වත්මන් රජයේ දායකත්වය
------------------------------------------------------------
මේ වන විට මධ්‍යම පළාතේ මාතලේ, මහනුවර, කෑගල්ල දිස්ත්‍රික්කයේ හා බස්නාහිර පළාතේ කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්ක සැලකිය යුතු වපසරියක කුරුඳු වගා කර ඇත. ඊට අමතරව අනුරාධපුර, පොලොන්නරුව වැනි පළාත්වලද කුරුඳු වගාව සඳහා යොමු වීමක් දැකගත හැකිය. ඒ පළාත්වල වගාවේ වර්ධනය ගැන පර්යේෂණයක් දෙපාර්තමේන්තුව මේ වන විට කරගෙන යයි.
තැළුම්කරුවන්, වගාකරුවන් ආදි ලෙස කුරුඳු වගාව ආශ්‍රිත කර්මාන්තවල 35,000ක පමණ ශ්‍රමික පිරිසක් රැකියාව කරති. එහෙත් මේ වන විට ශ්‍රී ලාංකීය කුරුඳු කර්මාන්තය මුහුණ දී ඇති ප්‍රධාන ගැටලුව නම් කුරුඳු තැලුම්කරුවන් ගේ උග්‍ර හිඟය යි . කුරුඳු තැළුම්කරුවන් සඳහා රත්නපුර, කළුතර වැනි දිස්ත්‍රික්කවල විශාල වශයෙන් රැකියා අවස්ථා ඇතත් ඒ සඳහා පුහුණු ශ්‍රමිකයන්ගේ හිඟයක් ඇත. මෙයට පිළියමක් ලෙස දෙපාර්තමේන්තුවේ දිස්ත්‍රික්ක කාර්යාල මඟින් එක් දින පුහුණු වැඩසටහනක් ද කරගෙන යයි. ඊට අමතරව මාතර පුහුණු මධ්‍යස්ථානය නොකඩවා නේවාසික පුහුණු වැඩසටහන් පවත්වයි. ඒ සඳහා අනෙකුත් දිස්ත්‍රික්කවල සිටින කුරුඳු තැළීම ඉගෙන ගැනීමට කැමැති අයට ද සහභාගි විය හැකිය.
-පංචාලි